Print this Article


භික්ෂුණී ශාසනයේ ආරම්භය හා ව්‍යාප්තිය

භික්ෂුණී ශාසනයේ ආරම්භය හා ව්‍යාප්තිය

දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ කාන්තාවට තිබුණේ ඉතා පහත් පිළිගැනීමකි. කිසිදු බලයක් නැත යන අර්ථය ඇති ‘අබලා’ යනුවෙන් ද ප්‍රඥාවෙන් දුබල ය යි දැක්වීමට ‘ද්වංගුල පඤ්ඤා’ යනුවෙන් ද එකල කාන්තාව හැඳින්වීමට පුරුදුව සිටීමෙන් ඒ බව පැහැදිලි වෙයි. සමාජයේ පැවැති මේ පහත් පිළිගැනීම සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා බුදුහු ක්‍රියා කළහ. උන්වහන්සේගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් හරි අඩක්ම කාන්තාවන් වීම වැදගත් ය.

බුදු දහමට ආසන්න ම තරඟකාරීත්වයකින් ක්‍රියාත්මකව පැවැතියේ ජෛන ආගමයි. එහි ද සෑහෙන තත්ත්වයක් කාන්තාවන්ට තිබුණි. චන්ද්‍රා නම් කාන්තාවගේ නායකත්වයෙන් තිස්දහසක් පමණ ස්වේතම්බර නිකායට අයත් කාන්තාවන් මුල් කාලයේ පැවිදිව සිටිය බව ජෛන ග්‍රන්ථයන් පෙන්වා දෙයි. බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම වූ අවස්ථාවෙහි මහා ප්‍රජාපතී ගෝතමීය පැවිද්ද සඳහා අවසර ඉල්ලූ නමුත් එය උන්වහන්සේ තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ. මෙයින් පසුබට නොවූ මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණි නදිය අසබඩ දී පැවිදි වූ ශාක්‍ය, කෝලිය කුමාරවරුන් පන්සියයකගේ භාර්යාවරුන් සමඟ හිස මුඩුකොටගෙන කහවත් හැඳ බුදුරදුන් පස්වෙනි වස එළඹ වැඩ සිටි විසාලා මහ නුවර කූඨාගාර ශාලාව වෙත පැමිණියහ.

ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම

පනස් එක් යොදුනක් දුර මඟ ගෙවා ගෙන පා ගමනින් පැමිණීම නිසා දෙපා තුවාල වී දහඩිය වගුරවමින් පැමිණ දොරටුවේ වැතිර කඳුළු සලමින් සිටි මේ කාන්තා පිරිස දුටු ආනන්ද හිමි එහි වැඩමවා තොරතුරු විමසීය. අනතුරුව මේ කාන්තාවන්ගේ පැමිණීමත්, ශාසනයට ඇතුළත් වීමේ අරමුණත් බුදුරදුන්ට ඉදිරිපත් කරන ලද නමුත් කලින් මෙන්ම බුදුහු ඔවුන්ගේ අදහස ප්‍රතික්ෂේප කළහ. මෙහි දී බුද්ධෝපස්ථායක ආනන්ද හිමියන් බලවත් සේ කරුණු දැක්වීම නිසා භික්ෂුණී ශාසනය ඇතිකළ බව සමහර ග්‍රන්ථවල සඳහන් වෙතත් එහි බුද්ධෝපස්ථායක යන්න සත්‍යය නොවේ. අනඳ හිමියන් උපස්ථායක ධුරයට පත් වූයේ බුද්ධත්වයෙන් විසිවන වසරේ දී ය. භික්ෂුණී ශාසනය පිහිටුවීමට අවසර දෙන ලද්දේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී නිසා බුද්ධෝපස්ථායක තනතුර මේ සඳහා බලපෑවේය යි යෙදීම තර්කානුකූල නොවේ.

අනඳ හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට බලපෑ එක් හේතුවක් වූයේ කාන්තාවන් සමාජයේ ජීවත් වන විට චරිත කෙලෙසීමක් ඉතා පහසුවෙන් සිදුවිය හැකි වීමත්, එය බුදු සසුනේ පැවැත්මට බාධාවක් විමත් ය. තවත් කරුණක් වූයේ කලින් දැක් වූ අන්දමට රෝහිණී නදිය අසබඩින් පැමිණ පැවිදි වූ තරුණයන් පන්සියය සිවුරු හරවාගෙන වීමේ යටි අදහසක් ඔවුන්ගේ කාන්තාවන් තුළ තිබුණි. ඒ නිසා ඉල්ලූ වහාම පැවිද්ද ලබා දීමට බුදුහු අකැමැති වූහ. පැවිදිකම පහසුවෙන් ලබාගත හැක්කක් නොවන බව කාන්තාවන්ට අවබෝධ කර ගැනීමට සැලැස්වීම මහාප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවක් වූවාට සැක නැත. කෙසේ වුවත් තුන් වරක් ම ප්‍රතික්ෂේප කොට තිබූ භික්ෂුණී ශාසන පිහිටුවීමේ කාර්යය නැවත ආනන්ද හිමියන් මැදිහත් වී දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීම නිසා පෙර බුදුවරුන් ද ක්‍රියාත්මක කළ අන්දමට අෂ්ට ගරු ධර්ම පිළිගෙන උපසම්පදාව ලබා ගන්නා මෙන් ආනන්ද හිමියන් මඟින් මහා ප්‍රජාපතී ගෝතමියට දැන්වූහ. මහත් සාධු නාදයෙන් අෂ්ට ගරු ධර්ම මහා ප්‍රජාපතී ගෝතමිය පිළිගත් අතර ඒ අන්දමට අනෙක් කාන්තාවන් පන්සියට ද මහණ උපසම්පදාව ලබා ගැනීමට සැලැස්වූහ.

අෂ්ට ගරු ධර්ම

චුල්ලවග්ග පාලියෙහි සඳහන් වන අන්දමට කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීම සඳහා බුදුරදුන් ඉදිරිපත් කරන ලදැයි දැක්වෙන අෂ්ට ගරු ධර්ම සැකෙවින් මෙසේ ය.

01. උපසපන් වී සියක් වසරක් වූ භික්ෂුණියක වුවද එදින උපසපන් වූ භික්ෂුවකට වැඳීම් ගරු කිරීම කළ යුතු ය.

02. අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක් නැති ප්‍රදේශයක භික්ෂුණිය වස් නොවිසිය යුතු ය.

03. අඩමසක් පාසා භික්ෂුණිය භික්ෂූන් වෙතින් පොහොය විචාරීම හා අවවාද ලබා ගැනීම කළ යුතු ය.

04. වස් විසූ භික්ෂුණීය උභතො සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

05. ගරු ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභය සංඝයා ඉදිරියේ වත් මානත් පිරිය යුතු ය.

06. දෙවර්ෂයක් කඩ නොකොට ශික්ෂමානාවක මැනවින් හික්මී උභතො සංඝයා ඉදිරියෙහි උපසම්පදාව ලබා ගත හැකිය.

07. කවර හේතුවක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

08. භික්ෂුණීන් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන්ගේ අවවාද භික්ෂුණීන් පිළිගත යුතු ය.

විමසිලිවත් ව බලන විට මේ අෂ්ට ගරු ධර්මයන්ගේ නොගැළපෙනමෙන් ම සැක උපදන තැන් ඇති බවට සමහර අය කරුණු ඉදිරිපත් කරති. මෙහි දැක්වූ කරුණු අට අතරින් භික්ෂූන් විසින් පොහොය විචාරීම, උභතො සංඝයා ඉදිරියේ පවාරණය කිරීම, ගරු ඇවතකට පත් භික්ෂුණිය උභය සංඝයා ඉදිරියේ මානත් පිරීම යන කරුණු විනය නීතිවලට අයිතිය. බුදුරදුන් ඉහත දැක්වූ නියමයන් සම්බන්ධ සියලු විනය නීති බුද්ධත්වයෙන් විසිවෙනි වර්ෂයේ දී පැන වූ බව ප්‍රසිද්ධ කරුණකි. එසේ තිබිය දී බුද්ධත්වයෙන් පස් වන වසරේ දී ඉහත දැක්වූ නියමයන් බුදුරදුන් භික්ෂුණීන්ට පැනවූයේ යැයි දැක්වීම සැක පහළ කරවන කරුණකි. හයවන ගරු ධර්මයෙන් දෙවසරක් කඩ නොකොට ශික්ෂමානාවකට කටයුතු කළ කෙනෙකු පමණක් උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදා කළ යුතු යැයි නියම කොට තිබුණත් මහා ප්‍රජාපතී ගෝතමිය සමඟ පැමිණි පන්සියයක් කාන්තාවන් එම අවස්ථාවෙහිම උපසම්පදා කිරීම බුද්ධනියමය කඩ කිරීමක් ලෙස සමහරු සලකති.

භික්ෂුණියට බලපාන අන්දමට භික්ෂු නමක් කවර අන්දමේ වැරදි ක්‍රියාවක් කළත් ඒ පිළිබඳ භික්ෂුණීන් විසින් චෝදනා කිරීමට හත්වන කරුණෙන් දැඩි ලෙස වළක්වා තිබීම සදාචාර සම්පන්න සමාජයකට නුසුදුසු බවට කරුණු දක්වති. ගරු ධර්මයන්හි අට වැන්නෙහි ද එසේම අසාධාරණ තත්ත්වයක් ඇති බව පෙන්නා දෙති. මෙවැනි කරුණු නිසා අෂ්ට ගරු ධර්ම බුද්ධ නියමයන් නොවන බවටත්, ඒවා පසුව විනය ග්‍රන්ථයනට එක්කර ඇති බවටත් ඉදිරිපත් කරන අදහස්වල සත්‍යාසත්‍යතාව නිගමනය කිරීම උගත් සිල්වත් ථේරවාදී භික්ෂූන් සතු වගකීමක් බව අවධාරණය කරමු.

පැවිද්ද ලබා ගැනීම

භික්ෂුණී ශාසනය දඹදිව ඇතිවීමත් සමඟ බොහෝ කාන්තාවෝ සසුන්ගත වූහ. එසේ වැඩිපිරිසක් ගිහිගේ අත්හරින ලද්දේ නිවන් අවබෝධයම මුල්කොටයයි දැක්වීම පහසු කරුණක් නොවේ. මහා ප්‍රජාපතී ගෝතමිය සමඟ පන්සියක් කාන්තාවන් පැවිදි වීමට ප්‍රධාන හේතුව වූයේ තම ස්වාමිපුරුෂයන් පැවිදි වීමය. ඉසිදාසිය පැවිදිවීමට මූලික හේතුව විවාහය අසාර්ථක වීමෙන් ඇති වූ කල කිරීමයි. අම්බපාලි හා සිරිමා ආදී සුරූපී කාමයෙහි ඇලුණු කාන්තාවෝ කල්ගත වන විට ඇති වූ හිරිහැරත් සමඟ නිසරු වූ තම ජීවිතය ගැන කල්පනාකොට පැවිද්ද ලබා ගත්හ. මුත්තා තෙරණිය වැනි කාන්තාවන් බොහෝ දෙනෙකු ස්වාමියාගෙන් විඳින්නට සිදු වූ හිරිහැර වලින් බේරීමට මෙහෙණි සස්නේ පිහිට පැතූහ. මේ අන්දමට ගෘහ ජීවිතයේ විවිධ කරුණු මුල් කොට සසුන් ගත වුවත් එයින් බොහෝ අයට පෙර සසර පෙරුම්දම් පුරා සම්පූර්ණ කර තිබීම හේතුකොට රහත් භාවයට පත්වීමට හැකිවීම මහත් වාසනාවකි.

ආත්මශක්තිය හා ප්‍රඥාව

මෙහෙණි සසුන දඹදිව ව්‍යාප්තවීම කෙරෙහි තදින් බලපෑ කරුණු කීපයකි. පිළිගත් රාජවංශික කාන්තාවන් සසුන්ගත වීම ඒ අතුරින් වැදගත් වෙයි. මුලදී පැවිද්ද ලබාගත් අයට අමතරව බිම්සර රජුගේ අගබිසව වූ ඛේමා ද කොසොල් රජුගේ උදුම්බරි නම් දේවිය ද පැවිද්ද ලැබූ අය අතර වූහ. සසුන්ගත වීමේදී ධනය හෝ කුලය හෝ නොසැලකීම වැදගත් කරුණකි. පුණ්ණා, කිසාගෝතමී, ඡාවි, පටාචාරා ආදී භික්ෂුණීන්ගේ චරිත විමසනවිට ඒ බව මැනවින් ප්‍රකට වෙයි.

පැවිදි බවට පත් බොහෝ කාන්තාවන් ආත්මශක්තියෙන් ද ප්‍රඥාවෙන් ද කාර්යශූරත්වයෙන් ද ක්‍රියා කළ බව පැහැදිලි වෙයි. ජීවක අඹවනයේ සිටි සුභා තෙරණිය හමුවට පැමිණි කාමුක තරුණයෙකු ඇය වසඟයට ගැනීමට දැඩි උත්සාහයක යෙදුණහ. නිසරු තම ශරීරයෙහි කවර අංගයක් දැක ඔබ වසී වුයෙහි දැයි එතුමිය ඔහුගෙන් විමසුවා ය. ඔබේ දිගු දෙනෙත් දකින මාගේ කාම රතිය උතුරා යන්නේය යි කාමුක තරුණයා පිළිතුරු දුණි. ඒ ඇසූ සුභා තෙරණිය ලාකඩ ගුලියක් වැනි ගඳ ගසන මේ ඇස අවශ්‍යනම් මෙන්න ගන්න යැයි තම ඇසක් උගුලා තරුණයා අතෙහි තැබීමට තරම් පුදුම ආත්මශක්තියක් සුභා තෙරණියට තිබුණි.

ඉතිරි කොටස වෙසක් අව අටවක (11)පත්‍රයේ පළ වේ.


විස්සාස පරමා ඤාති - විශ්වාස ය ඇත්තේ නම් උතුම් නෑයා හෙතෙමේය - ධම්ම පදය