Print this Article


බුදුදහමින් නිවනට

බුදුදහමින් නිවනට

බුදුදහමේ දැක්වෙන සතර සතිපට්ඨාන ධර්මය අවබෝධ කර ගැනීමට දැනුමට වඩා ප්‍රඥාව දියුණු කරගත යුතුය. ප්‍රඥාව ලැබීමට ,කායානුපස්සනාව, වේදානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනා භාවනා වැඩිය යුතුය.දානය, සීලය, භාවනාව ඇතත් ඒවා ලෞකික සම්පත් ස්වර්ග සම්පත් ලබා දෙයි.

බුද්ධ දේශනාවේ හරය අරටුව සතර සතිපට්ඨානය යි. එය අවබෝධ කර ගැනීමට දැනුම ප්‍රඥාව දියුණු විය යුතුය. බුද්ධ ධර්මය සුභවාදී ද නොවේ. අසුභවාදී ද නොවේ. ජීවිතයත් ලෝකයත් ඇති සැටියෙන්ම දක්නා, මිනිසා බොරුවෙන් සනසා මායා ලොවක සැතප්පීමක් හෝ බොරු බියවලින් සහ පව්වලින් තැති ගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත. මිනිසා කවරෙක්ද? ඔහු වටා පිහිටි ලෝකය කුමක්ද? ඔවුන්ට කියාදෙන සැබෑ නිදහසත්, සැනසීමත්, සතුටත් පිළිබඳ මාර්ගය පෙන්වා දෙයි. එහි ඇත්තේ දුකින් මිදීමේ ගැඹුරු ලෝකෝත්තර ධර්මයයි. එය නුවණැත්තන්ට වටහා ගැනීමට ය.

බුදුවරු පහළ වන්නේ දුක ගැන කියන්නට නොවේ. සදා සැපත ගැන කියන්නටද නොවේ. පුංචි ළමයෙක් මව්පියන් නැතිවුනාම, දුකක් ඇති වුනාම අඬනවා. එලෙස කවුරුත් දන්න දුක ගැන පළමුව දේශනා කරලා එයින් නිදහස් වන හැටි පරම සැපත ගැන කියනවා. සම්මා දිට්ඨිය ගැන දැන ගැනීම තමා බෞද්ධයකු වීමට ඇති ප්‍රධානම සාධකය. සම්මා දිට්ඨිය කුමක්ද? දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගයයි. මේ ගැන සම්පූර්ණ දැනුම හා අවබෝධය ඇත්නම් ඔහුට සම්මා දිට්ඨිය ඇත. එය ප්‍රඥාව ඇතිවීමයි.

පානදුර වාදයත්, බද්දේගම වාදයත් නිසා ලෝකය සැලකිය යුතු කොටසකට බුදුදහම ගැන දැන ගන්නට ලැබීම නිසා බුදුදහම හැදෑරීමට හෙන්රි ඕල්කට් තුමා, ඩේවිට් විල්හෙම්, ගෛගර් රිස් ඩේවිඩ්, මාරි මියුසියස් හිගින්සි වැනි විද්වතුන් ලංකාවට පැමිණීම නිසා පාලි භාෂාවෙන් තිබූ ත්‍රිපිටකය ලෝකයේ උගතුන් අතට පත්විය. ලන්ඩනයේ පාලි සුසයිට් පිහිට වීමෙන් ලෝකයේ ඉංගී‍්‍රසි උගතුන්ට ත්‍රිපිටක දහම ඉගෙනීමට හැකිවිය. එහෙත් අපේ සිංහල පමණක් උගතුන්ට ත්‍රිපිටක දහම ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි පාලි දැනුමක් තිබුණේ නැත. සමහර පාලි උගතුන් ත්‍රිපිටකයේ ඇති දහම් කොටස් සාමාන්‍ය ජනතාවට දැන ගැනීමට අවශ්‍ය පරිදි සැකසුවත් එයද එසේ සම්පූර්ණ වූවක් නොවේ.

ඇමරිකාව යුරෝපාදී රටවල සිට ලංකාවට පැමිණි විද්වතුන් මේ රටේ පිරිවෙන්, පන්සල්වලට ගොස් පාලි ඉගෙන ත්‍රිපිටකය හදාරා බුද්ධ දේශනාවේ ඇති දර්ශනය ගැඹුරු දහමේ හරය තේරුම් ගෙන ලෝකයට ගෙන ගියේය. ඔවුන්ට එසේ කිරීමට හැකි වූයේ ත්‍රිපිටකය ලියා ඇති පාලි ඉගෙන ගැනීම නිසාවෙනි. ලංකාවේ එදා පාලි උගතුන් සිටියේ පන්සල්වල හා පිරිවෙන්වල ය. 19 වන ශත වර්ෂය වනවිට ඒ අතලොස්සක් විය. වර්ෂ 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ත්‍රිපිටකය සංස්කරණය කළත්, ඒවා සාමාන්‍ය උගතුන්ට පරිහරණය කිරීමට පාලි දැනුමක් තිබුණේ නැත. හේවාවිතාරණ පොත් ද පාලි උගතුන් සඳහා පමණක් ප්‍රයෝජනවත් විය.මෙම අඩුව පිරිමැසීමට ආචාර්ය ඒ.පී.ද. සොයිසා මහතා ගත් ව්‍යාපෘතිය සාර්ථක වුවත් එම පොත් ගැන හරියාකාර ජනතාව දැනුවත්වී නැත.

ආචාර්ය ඒ.පී.ද. සොයිසා මහතා සංස්කරණ කරන ලද පොත් උගත් අයට මෙන්ම සාමාන්‍ය උගතුන්ට ද තේරුම් ගෙන දුකින් මිදීමේ මාර්ගයට යා හැකිය. එහෙත් ගමේ ගොඩේ උපාසක උපාසිකාවන්ට තේරුම් ගැනීමට හැකි ලෙස මෙයටත් වඩා සරල කර ලියන්නේ නම් බොහෝ දෙනෙකුට බුද්ධ ධර්මයේ ඇති දුකින් මිදීමේ මඟ තේරුම් ගැනීමට ලැබෙනු ඇත.

මෙම දහම තේරුම් ගැනීමට හැකි පරිදි සරල බසට හැරවිය හැකි විද්වතුන් සහාය දීමට ඉදිරිපත්වන්නේ නම් ලෝකයාට කොතරම් සෙතක්ද?ජීවිතාබෝධය නො ලැබූ යොවුන් වියේදී පසිඳුරන් පිනවීමේ යෙදුනත් නුවණ මුහුකුරා ගිය වියපත් වියේදීවත් පසිඳුරන් පිනවීමම අරමුණු කර නොගෙන කය පවත්වාගෙන යෑමට අවශ්‍ය දේ පමණක් ගෙන කුසල් අකුසල් දැන හැඳින නිවන් සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍ය හැදෑරිය යුතු ය.