Print this Article


බුදු දහම සහ ජාතිවාදය

බුදු දහම සහ ජාතිවාදය

මිනිසා ජාති , කුල ගෝත්‍ර ආදී වශයෙන් විවිධ කණ්ඩායම්වලට බෙදී සිටීම සහ ඔවුනොවුන් අතර විවිධ ගැටුම් සහ භේදකාරී තත්ත්වයන් ඇති කර ගැනීම ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් එන තත්ත්වයකි. ක්‍රි.පූ. 5000ටත් වඩා ඈතට ගමන් කරන වෛදික සාහිත්‍යයේ පවා වර්ණයට අනුව මිනිසුන් වර්ග කිරීමක් පැවැති බව පෙනේ.

ව්‍යවහාර වශයෙන් මිනිසුන් අතර නානාත්වයක් ඇති බව බුදුදහම පිළිගන්නා නමුත් (නානත්තකායා නානත්ත සඤ්ඤා) ජාති, වර්ණ, කුල, ගෝත්‍ර, වශයෙන්ම ම මිනිසා විසින් ඇති කරගෙන තිබෙන එකී සම්මතයන්ට අනුව එක් වර්ගයක් තවත් වර්ගයකට වඩා උසස්ය හෝ පහත්ය යන අදහස බුදුසමය සහමුලින්ම බැහැර කරයි. කවර නම් වලින් හැඳින්වුවද, මිනිසුන් අතර ජාති භේදයක් පැවතිය නොහැකි බවත් මිනිසාට ඇත්තේ එකම ජාතියක් බවත් පළමුවරට ප්‍රකාශ කළ ශාස්තෘවරයා බුදුන් වහන්සේය.

බුදුන් වහන්සේ පහළ වන අවධිය වන විට භාරතීය සමාජයේ ඉහළම වරප්‍රසාද හිමි කරගෙන සිටියේ බ්‍රාහ්මණයන්ය.ආගමික වශයෙන්ද බ්‍රාහ්මණ ආධිපත්‍යය සමාජයේ සෑම අංශයක් කෙරෙහිම තදින් බල පැවැත්විය. උත්පත්තිය අනුව මිනිසා උසස් පහත් වශයෙන් වර්ග කිරීමේ ක්‍රමයක් හෙවත් දැඩි වර්ණ භේද වාදයක් එකල සමාජය තුළ තහවුරු වී තිබිණ. බ්‍රාහ්මණ ධර්මයට අනුව මිනිසා බ්‍රහ්මයාගේ නිර්මාණයකි. ඒ අනුව බ්‍රාහ්මණ වංශය බ්‍රහ්මයාගේ මුඛයෙන්ද ක්ෂත්‍රියයා බාහුවෙන් ද ,වෛශ්‍යයා නාභියෙන්ද, ශුද්‍රයා පාදයෙන් ද බිහිවූයේ වෙයි. බ්‍රාහ්මණයා සෑම අතින්ම පාරිශුද්ධ වූ අතර අනෙක් අය ඊට පහත්ය. ශුද්‍රයන් යනුවෙන් හැඳීන්වූ කොටස කෙතරම් පහත් තත්වයක ලා සැලකුවේ ද යත් නිදහසේ ආගම ඇදහීම වැනි මානව අයිතිවාසිකම් පවා අහිමි කර තිබිණි. මෙසේ උත්පත්තිය අනුව මිනිසුන් උසස් පහත් සේ වර්ග කිරීම සහ මිනිස් අයිතිවාසිකම් පාගා දැමීම බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ අතර, එබඳු තත්ත්වයක් කවර මූලධර්මයකට අනුව වූවත් පිළිගත නොහැකි බව ශාස්ත්‍රීය මෙන්ම විද්‍යාත්මක පදනමකින් යුතුව පැහැදිලි කළහ.

ජාතිවාදය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි කරන ඉතාමත් වැදගත් දේශනාව ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයෙහිය. උන්වහන්සේ එය මෙසේ පැහැදිලි කළහ.

“වාසෙට්ඨයෙනි, මම තොපට ප්‍රාණීන්ගේ ජාති විකාශය ඇති සැටියෙන් මෙසේ විවරණය කරමි. ජාතීහු නානාප්‍රකාරයහ. යම් තෘණ, වෘක්ෂ කෙනෙක් ඇත්ද, ඔවුන්ගේ වෙන වෙනම ජාතිමය ලිංගයක් ඇත. කවර හෙයින්ද යත් තෘණ ලතාවෝ නානා ප්‍රකාරය .එක ගස් වර්ගයකින් අනෙක් ගස් වර්ගය වෙනස්ය. එය ලතාවකින් අනෙක් තෘණ ලතා වෙනස්ය. එසේම කුරුකුහුඹුවන්ගේ පටන් පණුවන්ද පළගැටියන්ද වෙනස්ය. උන්ගේ ජානමය ලිංගයක් ඇත. පා දෙක ඇති සතුන්, පා සතරක් ඇති සතුන් අතරද ජාති වශයෙන් වෙනසක් ඇත. ඔවුන් නානාප්‍රකාරයහ. ජලයෙහිම උපන් ජලයම ගෝචර කොට සිටින මත්ස්‍යයන් ආදී සතුන්ගේ ද වෙනස් ජාති ඇත. එක් ජලජ සත්වයෙකුගෙන් අනෙක් සත්වයා වෙනස් ය. පියාපත් විදහා අහසේ පියාසර කරන සත්වයන් (පක්ෂීන්) ගේද, වෙනසක් ඇත. පක්ෂීන් විවිධය. නානාප්‍රකාරය. මෙසේ විවිධ සත්ව කොටස් අතර වෙන වෙනම ජාතිමය ලිංග ඇත්ද, ඒ ආකාරයෙන් මිනිසුන් කෙරෙහි ජාතිමය ලිංගයක් නැත.

“යථා එතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුථු
එවං නත්ථි මනුස්සෙසු ලිංගං ජාති මයං පුථු”

මෙයින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයකි. ජීව විද්‍යාවට අනුව විවිධ සත්ව කොට්ඨාශයන්හි ලක්ෂණ විශේලේෂණය කරන විට සතුන් මෙන් මිනිසා ගේ විවිධ ජාතීන් දැක්විය නොහැක. මිනිසා කෙබඳු ස්වරුපයන්ගෙන් යුක්ත වූවත් එකම ජීව විශේෂයකි. එම නිසා මිනිසුන් අතර ජාති භේදවාදයක් පවතින්නේ නම් ජීව විද්‍යාත්මක පදනමක් මත බුදු දහම එය ප්‍රතික්පේෂ කරයි.

භෞතික විද්‍යාත්මක සාධක වලට අනුවද මිනිසුන් අතර සත්ව ජාති මෙන් විවිධ වර්ග දැක්විය නොහැක. බුදුරජාණන් වහන්සේ එකී සාධක පැහැදිලි කර දෙමින් වාසෙට්ඨ සූත්‍රයෙහිදී පැහැදිලිවම ජාතිවාදය බැහැර කරති. එනම් ඕනෑම මිනිසෙකුගේ ශාරිරික අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරය බලන විට ඇත්තේ එකම ස්වරූපයකින්ය. කේශයෙන්, හිසින්, කනින්,ඇසින්, මුවින්, නැහැයෙන් ,තොලින් විභේදයක් නැත. ගී‍්‍රවයෙන්,අංශයෙන්,උදරයෙන්, පිටින්,උරයෙන්,අත්වලින්, පාවලින්, ඇඟිලි , නිය, කලවා ආදියෙන් හා මෛථූනයෙන්ද විභේදයක් නැත.මෙම ශරීර අංගවල වර්ණය,උස, පළල, හැඩය ,ආදියෙහි නානාත්වයක් දක්නට ලැබුණද විද්‍යාත්මක වශයෙන් ඇත්තේ එකම පදනමකි. එහෙත් සිවුපාවුන් පමණක් ගතහොත් එක් එක් සිව්පා වර්ගයන්ගේ ශරීර අංගයන්හි සංයුතිය වෙනස්ය.ප්‍රජනනය හා මෛථූනයද වෙනස්ය. භෞතිකව බලන විට මිනිසා තුළ ඇති ඒකීයත්වය අනුව ජාතිවාදයක් ඇති කර ගැනීමට පදනමක් නැති බව බුදුදහම පෙන්වා දෙයි.

ආචාර විද්‍යාත්මකව සලකන විට මිනිසුන් අතර ඔවුන්ගේ උප්පත්තියට අනුව ජාති, වර්ග, වශයෙන් ප්‍රභේදයක් ඇති කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ බව වාසෙට්ඨ සූත්‍රයේ හි දක්වා ඇත්තේ මෙසේය.

“සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”

සහ ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.

මේ අනුව මිනිසුන් උප්පත්තියට අනුව උසස් පහත් වශයෙන් සැලකීමත් එක් කොටසක් වරප්‍රසාද හිමි කරගැනීමත් තවත් කොටසකට අයිතිවාසිකම් අහිමි කිරීමත් සමාජ ධර්මයට එකඟ නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.

“ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො
සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං”

බුදුදහමේ උගන්වන අවසාන නිෂ්ටාව හෙවත් නිර්වාණය සියලු බැඳීම් වලින් නිදහස් වීමයි. අම්බට්ඨ සූත්‍රයෙහිදි බුදුරජාණන් වහන්සේ යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම නිවනින් ඈත් වන්නේ යැයි ප්‍රකාශ කරති. එයින් පැහැදිලි වන්නේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි උත්තරීතර අවස්ථාව හෙවත් නිර්වාණබෝධය ලැබූ උතුමන් තුළ ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ඇති වන පටු ආකල්ප කවර ආකාරයකින් වුවත් පැවතිය නොහැකි බවය.

බුදුරජාණන් වහන්සේ මෙසේ ජාතිවාදය උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් බැහැර කළා පමණක් නොව ජාතිවාදයෙන් තොර තෘප්තිමත් සමාජයක් බිහි කළ හැකි බව ආදර්ශයෙන්ද ඔප්පු කළහ.උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජයට එවකට භාරතයේ සිටි සියලු ජාති, කුල ,ගෝත්‍රවලට අයත් පුද්ගලයන් ඇතුළත් කර ගත්හ. එසේ ම කිසිදු විශේෂයක් නැතිව ඔවුන්ව සංඝ සමාජයේ හිමි විය යුතු ස්ථාන ලබාදුන්හ. බුදුන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ පැවිද්ද හරියටම මහ මුහුද හා සමාන බවය. එනම් සියලු ගංගාවලින් එන ජලය මහ මුහුදට වැටුණු කල (මුහුදුවතුර) එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කවර ජාතියක, කුලයකින් සසුනට ඇතුළු වූවත් ඒ සියලු දෙනාම එකම බුද්ධ ශ්‍රාවකයින් බවය. සසුන බොහෝ කලක් පැවතියේ ද ඒ ආකාරයෙන්ය. මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දර්ශනයක් වශයෙන් බුදුසමය ජාති භේදය පිළිකුල් කරන අතර සමාජය තුළ ඇති විවිධ ජාති, වර්ණ, කුල,ගෝත්‍ර අභිභවා මනුෂ්‍යත්වයට ජයගත හැකිබව පැහැදිලිවම විවරණය කරන බවය.


ආරෝග්‍ය පරමා ලාභා - නිරෝගි බව උත්තම ලාභයයි - ධම්ම පදය