අසමසම උත්තමයාණෝ
ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක
මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමි
වෙසක් මස පුරපසළොස්වක පොහෝදා ථේරවාදී බෞද්ධ ලෝකයාගේ පමණක් නොව මිනිසාගේ
ශ්‍රේෂ්ඨත්වය ගරු කරන සියලු දෙනාගේ අමන්දානන්දයට ලක් වන දිනයකි. ඒ කවර
හෙයින්ද? ඒ පොහොය දවස තම ශාස්තෘන් වහන්සේ වන සිද්ධාර්ථ ගෞතම
සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත්
කරවන දිනය වීමයි. ඒ සිද්ධි අයත් වන්නේ අදින් සහස්‍ර වර්ෂ දෙකහමාරකටත්
ඉහත දිනයකට ය.
එසේ නම්, ඇයි අපි ඒ සිද්ධි වර්තමානයේදී ඒ තරමට ම වැදගත් කොට සළකන්නේ?
මොහොතක් නිහඬව සිතා බලමු. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ උපත අතිශය
ආශ්චර්යජනක සිද්ධියක් වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සවිස්තරාත්මක ව විවරණය
වන්නකි. ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවැනි සියවසෙහි උතුරු ඉන්දියාවේ විසූ
අශ්වඝෝෂ නම් කීර්තිමත් පඬිවරයා විසින් සංස්කෘත කාව්‍යභාෂාවෙන් රචිත
බුද්ධචරිතය සහ ලංකාවේ පොළොන්නරු යුගයේ විසූ පලාබත්ගල ධර්මකීර්ති නම්
කවීන්ද්‍රයන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් ලියු දාඨාවංසය මේ
සම්බන්ධයෙන් ඉදිරිත් කළ හැකි උසස් සාහිත්‍යකෘති දෙකකි. ඒ ග්‍රන්ථ
දෙකෙහි මෙන් ම වෙනත් තැන්වල විස්තර වන පරිදි, සිදුහත් කුමාරයාගේ උපත
සාමාන්‍ය ජනයාට පමණක් නොව අනේකප්‍රකාර කායික - මානසික
දුක්ඛදොමනස්සයන්ගෙන් පරිපීඩත වූවන්ට පවා විස්මයජනක ලෙස සුවදායි වූ
සිද්ධියක් විය. එදා භූගෝලික පරිසරය නොපැතූවිරූ ලෙස සහනදායී වූවා සේම
සෞන්දර්යජනක ද විය. දිව්‍ය–බ්‍රහ්ම ආදීහු නිම්-හිම් නැති සේ
ප්‍රීතිප්‍රමෝදයට පත් වූ සුවිශේෂ අවස්ථාවක් විය. එදා ඒ කුමරා ද උපන්
ඇසිල්ලෙහි ම පියුම් හතක් මත ඉදිරියට ගොස් අභීත සිංහනාදයක් කළේය. “මම
ලෝකයාට නායක වෙමි, මම ලෝකයාගේ වැඩිමල්ලා වෙමි, ලොව සියල්ලන්ට වඩා උසස්
කෙනෙක් වෙමි, මේ මගේ අන්තිම උපතයි” එදා උතුරු ඉන්දියාවේ ජීවත්වූවන්ට
වඩා උන්වහන්සේගෙන් වසර දෙදහස් පන්සිය පණස්නවයක් ඇවෑමෙන් අද ලොව උරුම කර
ගෙන සිටින සියලු දෙනාට ඉහත කී ප්‍රකාශය අප්‍රමාණ සාධක මගින් සක්සුදක්
සේ තහවුරු වූ සත්‍යයක් බව සිතා ගැනීම දුෂ්කර වේද? ඒ මහාපුරුෂරත්නයේ
පරිනිර්වාණයෙන් පසු, ශිෂ්ටසම්පන්න මානව ඉතිහාසයේ මේ දක්වා කාලය තුළ
තවත් ඒ සමාන පුරුෂයෙකු ගැන සඳහන් වේද? මේ සිද්ධිය ම ගෞතම බුදුරජාණන්
වහන්සේගේ අනුත්තර බව, අසමසම බව මොනවට විදහා පායි.
වෙසක් පුණු පොහෝදායක දඹදිව නේරංජලා නදී තීරයේ ගයා හිස ඇසතු බෝ රුක්
සෙවනේ වැඩ හිඳිමින් ගෞතම සිදුහත් තවුසාණෝ අනුත්තර වූ සම්මාසම්බුධත්වයට
පත් වී වදාළ සේක. චතුරාර්යසත්‍යය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය,
මධ්‍යම ප්‍රතිපදාව වැනි පරමගම්භීර ධර්මයේ සහ පරමවිමුක්තිසුවයේ
රසාස්වාදය විඳිමින් පුරා සති හතක් බෝ රුක අසලම ගත කළ උන්වහන්සේ ලෝසතුන්
වැඩ සළසනු පිණිස පස්වග මහණුන් සොයා බරණැස බලා එතැනින් පිටත් වූ සේක. ඒ
ගමනේ අතරමගදී හමු වූ හුහුංකජාතික (හූල්ලන ස්වභාවයක් ඇති) බමුණා විසින්
කළ විමසීම්වලින් බුදුන් වහන්සේගේ පෞරුෂත්වය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට
අපට වටිනා අවස්ථාවක් ලැබෙයි. බමුණා වෑයම් කළේ හමු වූ උතුමා කාගේ
ගෝලයෙක්ද යන්න සහ කෙබඳු තත්ත්වයක කෙනෙක්ද යන්න දැනගැනීමටය. ඔහුට
පිළිතුරු දුන් බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “මට ගුරුවරයෙක් නැත. මට සමාන
කෙනෙක්ද නැත. දෙවියන් සහිත මේ ලෝකයෙහි මට අභියෝග කළ හැකි කෙනෙක් ද
නැත.” මේ පිළිතුරෙන් ඔබට ලැබෙන වැටහීම කුමක්ද? පරමරමණීය නිවන් සුව
අත්පත් කර ගත් බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ අසහාය වූ
මහාපුරුෂරත්නයකැයි නොවැටෙහේද?
බුද්ධ ශරීරයෙහි මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් පැවති බව සූත්‍රපිටකය වාර්තා
කර ඇත. මෙහි සත්‍යතාව තහවුරු කෙරෙන තත්කාලීන සිදුවීම් කීපයක් ද එහි ම
අන්තර්ගත වෙයි.
බුදුන් වහන්සේ එක් දිනක සේතව්‍ය නුවර සිට උක්කට්ඨා නුවර බලා වඩිමින්
සිටියහ. උන්වහන්සේට පසුව ඒ මාර්ගයේ ම ගමන් කරමින් සිටි ද්‍රෝණ නම්
බමුණෙක් උන්වහන්සේගේ සිරිපතුල් ලාංඡනයෙහි විශේෂ සලකුණු ඇති බව දැක
මවිතයට පත්ව, ඒ සිරිපතුල සියැසින් ම දැක ගැනීමට දැඩි ආශාවක් උපදවා
ගත්තේය. ටික දුරක් වැඩම කළ බුදුරජාණන් වහන්සේ විරාමයක් සඳහා මගින්
ඉවත්ව අසල රුක් සෙවණක වැඩසිටියහ. ඒ දුටු බමුණා ලද මොහොත ප්‍රයෝජනයට ගෙන
එම රුක මුල වෙත ගොස් බුදුසිරිපතුල නරඹා පෙරටත් වඩා විස්මයට පත්විය.
“ඔබවහන්සේ දෙවියෙක් නේද?” බුදුපියාණන්ගෙන් විමසීමට බමුණා පෙළඹී ගියේ ඒ
විස්මය නිසාමය. “යම් කෙනෙක් දෙවියෙක් වන්නේ යම් කෙලෙස් කොටසක් නොනැසූ
නිසා නම් මම ඒ කෙලෙස් සහමුලින්ම උපුටා දැමුවෙමි” බුදුහු පිළිතුරු
දුන්හ. බමුණාගේ කුකුස නොනිමියේය. “එසේ නම් ගාන්ධර්වයෙක්ද?” ඔහු යළිත්
විමසිය. පෙර පිළිතුරම ප්‍රතිරාවය විය. එයිනුත් සෑහීමට නොපත් බමුණා
නැත්නම් යකෙක්දැයි ප්‍රශ්න කෙළ්ය. පිළිතුරේ වෙනසක් නොවිය. “එසේ නම්
මිනිසෙක් මයි” බමුණා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. මේ සියලු විමසීම්වලදී
තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ තමන් කෙලෙස් ගෙවා නොදැමූ කෙනෙකු නොවන
බවයි. මෙම සිද්ධියේ ගම්‍යාර්ථය වන්නේ බුදුන් වහන්සේ කෙලෙස් ගෙවූ
උත්තමයෙකු වන බවයි. කෙලෙස් සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ලෝකයා විසින්
භාවිතා කරන නම් කිසිවක් උන්වහන්සේට නොගැළපෙන බවයි. බුදුන් වහන්සේගේ
පිළිතුර අවසන් වන්නේ බමුණාට උපමාවක් දක්වමිනි. “බලන්න ජලාශවල ඕළු,
මානෙල්, නෙළුම් ආදී ජලජ පුෂ්පයෝ පිපෙනවා. ඒවා උපදින්නේ මඩ ගොහොරුවල,
ඒවා එහි නොපිපී මඩ ගොහොරුවෙන් සහ ජලයෙන් උඩට මතු වෙලා බැබළෙනවා. මමත්
එහෙමයි, ලෝකය තුළ ඉපදිලා එයින් උඩට මතු වෙලා තමයි ඉන්නේ. තමන් වහන්සේ
ලෝකයෙන් එතෙර වෙලා - ලෝකෝත්තර වෙලා ලොව දසත සුවඳ විහිදුවමින් වැඩ සිටින
බවයි මෙයින් පළකරනු ලැබුවේ. බුදුරාජණන් වහන්සේ යනු අසාමාන්‍ය
පුරුෂරත්නයක් බවයි.
කෙනෙකුගේ පෞරුෂත්වය පිළිබඳ නිවැරැදි තොරතුරු සහ තරාතිරම සමකාලීන සමාජය
විසින් ඔහු වෙත එල්ල කරන ලද ප්‍රතිචාර මගින් අවබෝධ කර ගත හැකිය.
සූත්‍රපිටකය බුදුරජාණන් වහන්සේ පිළිබඳව එවැනි තොරතුරු සපයන එක්
විශ්වසනීය මූලාශ්‍රයකි. එහි එක් රැස්වී ඇති තොරතුරුවලින් එළිවන පරිදි,
බුදුන් වහන්සේ යම් ප්‍රදේශයකට වැඩමවන බව ඒ ප්‍රදේශයේ වාසය කරන ජනතාව
ආරංචියක් වශයෙන් දැන ගත් විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අදහස ‘ඉතිපි සො
භගවා’ යන පාලි පාඨයෙන් කැටි කොට දැක්වේ. සූත්‍රපිටකයේ තැන් රාශියක මේ
වාර්තාව දක්නට ලැබේ. එයින් පළවන්නේ එකල විසූ වෙනත් විශේෂ පුද්ගලයන්ට
වඩා බුදුරජාණන් වහන්සේ ඤාණයෙන් සහ ගුණයෙන් පරමපූජනීය තත්ත්වයකට පත් ව
සිටි බව සහ සමාජ කල්‍යාණකරණතාව අතින් උන්වහන්සේගේ උත්කෘෂ්ට උපයෝගිතාව
යි. ඒ එදා සමාජ පිළිගැනීමයි. මෙම පාඨය තුළ උන්වහන්සේගේ පෞරුෂත්වයේ
අනභිභවනීයත්වය මනාව පිළිබිඹු වෙයි. එහි කියැවෙන තොරතුරු අසා දැන ගත්
කාට නම් උන්වහන්සේ තම ගමට හෝ නගරයට වැඩමවීමෙන් ලැබෙන අතිශය යහපත්
ප්‍රතිඵල ගැන සැකයක් පහළවේද? සැබවින්ම, සමකාලීන සමාජය තුළ ප්‍රකටව
පෙනුණු සාමාජික, ආගමික, ආධ්‍යාත්මික, අධ්‍යාපනික, සදාචාරාත්මක
රාජ්‍යතාන්ත්‍රික පරිහානිය හේතු කොටගෙන එවැනි මහෝත්තමයෙකුගේ පහළවීම සහ
ක්‍රියාකාරිත්වය ජනතාවගේ උණුසුම් ප්‍රාර්ථනාවක් ව පැවැති බවට උදාහරණයට
ගත් පාඨය ම සාක්ෂි දරයි. සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ, අනුත්තරෝ
පුරිසදම්මසාරථි ආදී සමාජ කළ්‍යාණකරණනාව හා සම්බන්ධ ගුණාංග සහ ශක්ති
විශේෂ හුවා දැක්වෙන්නේ ඒ අර්ථයෙනි. යම් යම් පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය
හේතු කොට ගෙන නොයෙක් ලෙසින් විපතට පත් ව සිටි පොදු ජනයාගේ දුක් නිවීම
අතින් බුදුන් වහන්සේගෙන් විශේෂ සේවයක් සැළසුණු අවස්ථා කීපයක්
සූත්‍රසාහිත්‍යයෙන් දැන ගත හැකිය.
මේ ආදී ලෙසින් සිතා බලන කළ මිනිස් සමාජයේ ප්‍රගතිය වළකාලන දුෂ්ට බලවේග
මර්දනය කිරීම හා ශුභ-සෙත නංවාලීම අතින් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්
ලොවට සිදුවූ සේවය වර්ණනා කොට නිම කළ නොහැකිය. බුදු කෙනෙකුගේ ගුණ සාර්ථක
ලෙස වර්ණනා කිරීමට සමත් වන්නේ තවත් බුදු කෙනෙකු පමණකැයි අපේ
සම්ප්‍රදායයෙහි පවත්නා අදහස කෙතෙක් සත්‍යදැයි වැටහෙන්නේ උන්හන්සේගේ
සේවයෙහි දිග-පළල විමසා බලන විටය.
ජිගච්ඡා පරමා රොගා - බඩගින්න හා සමාන රෝගයක්
නැත - ධම්මපදය |