UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමාජ නායකත්වයයි බෞද්ධ මඟ පෙන්වීමයි

සමාජ නායකත්වයයි බෞද්ධ මඟ පෙන්වීමයි

බක් අමාවක (18) පත්‍රයේ පළවූ ලිපිය හා සම්බන්ධයි

සකුලුදායි පිරිවැජියාගේ ආරාමයට වැඩම කළ අවස්ථාව හා ගයා ශිර්ෂයෙහි උරුවෙල් කාශ්‍යපයන්ගේ ආරාමයට වැඩමවීම නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. එම සහජීවන කාර්යෙහිදි තම මතවාදය සංස්ථාපනයට අවකාශ ගත් අතර දුරුමත විදාහරණයට පසුබට නොවූහ. වර්තමාන සමාජ ගැටලුවක් වූ ආගමික අනවබෝධයන්ට ඉන් පිටුබලයක් උදා කර ගත හැකි වෙයි.

නායකත්ව වගකීම් දරද්දි විවිධ චෝදනා අපවාද එල්ලවීම ස්වභාවිකය. වැඩ කරන විට විරුද්ධවාදින් බහුල වෙයි. ඒවාට ඉවසීමත් නොබියව මුහුණදීමත් බියේ පලා නොයාමත් සාර්ථක නායකයෙකු සතු ගුණාංගයකි.එය කළ හැක්කේ පිරිසුදු විනිවිද පෙනෙන ක්‍රියාමාර්ග ඇත්තෙකුට පමණි. බුදු සිරිත තුළ මොනවට පැවැති එම ක්‍රියා පිළිවෙත තාදි ගුණය නමින් විශද විය. බුදුපියාණන් වහන්සේ අන්‍ය තිර්ථකයන්ගේ ප්‍රකෝපකාරි අමූලික චෝදනා හමුවෙහි නොසැලි සිටියේ

සේලෝ යථා ඒකා ඝණො වාතෙන සමීරති

ඒවං නින්දා පසංසාසු න සමිංජන්ති පණ්ඩිතා” යන තම ප්‍රකාශය සනාථ කරමිනි. ලාභ අලාභ, යස අයස ,නින්දා ප්‍රශංසා, සැප දුක් යන අට ලෝ දහම නියතියකි. කීර්ති ගුණ ඝෝෂා සොයා යන නායකයින් පිරිහී ඇද වැටෙනු ඇත. ඒවා සොයා යායුතු නැත. නිරායාශයෙන්ම ඒවා ලැබෙන්-නේමය.

අප ශාන්තිනායකයාණන් වහන්සේ තුළ පැවති අගය කළ යුතු ගුණාංගයකි ස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථානුකූලව එළඹෙන තත්වයන් තේරුම් ගෙන කටයුතු නොකිරීමෙන් බොහෝ නායකයින් අසාර්ථකත්වයට පත්වූ අවස්ථා ඇත. එමෙන්ම විශාල අර්බුද අවස්ථා සුළු ක්‍රියාමාර්ග මඟින් විසඳාගත් අය සිටිති.අනාගතය දැකිය හැකි වීමද අවශ්‍යය. නායකයා දකින්නේ දැන් නොව හෙට යන කියමන මෙහිලා වැදගත්ය. බුදුහිමියන් අනාගතයෙහි ශාසනයෙහි ඇති වන තත්වයන් සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. ධර්ම විනය දෙක මගේ ඇවෑමෙන් ශාස්තෘවරයා වන බවට කළ දේශනාව අනාගතයෙහි බුද්ධ ශාසනය පෞද්ගලික බූදලයක් නොවනු පිණිස ගන්නා ලද කදිම තීන්දුවකි.

මධ්‍යස්ථ බව සමාජ සාධාරණය ඉටු කරන්නකි. චන්ද, දෝස, භය, මෝහ යන සතර අගතිය සමාජ විනාශයට පරිහානියට හේතුවෙයි. පිරිසකට නායකත්වය දෙන්නා අගතිගාමී වූ විට පැත්තකට වාසි හෝ අවාසි වන ලෙස ක්‍රියා කිරීම නිසා විශාල පිරිසක් අහිමි කරගනී. එවිට විරුද්ධවාදීන් පිරිසක් නිර්මාණයවීම තමාගේ පැවැත්මට හිතකර නොවේ. එනිසා හැකි හැම විටම උපරිමයෙන් මධ්‍යස්ථව ක්‍රියා කරනු වටී. බුදුපියාණන් වහන්සේ සැම දෙනා කෙරෙහි මැදිහත්ව ක්‍රියා කළහ. විරුද්ධවාදීකම් කළ දෙව්දතුන්- ටත් තම රහල් පුතණුවන්ටත් සම මෙත පෑ අයුරු ඉතා ප්‍රකටය. විශේෂයෙන් විරුද්ධවාදීන් දිනා ගැනීමෙහි දක්ෂ වූවෙකුට විශාල වැඩ කොටසක් කළ හැකිය. තථාගතයන් වහන්සේ උදාර නායකයකු ලෙස අනුගමනය කළ සුවිශේෂි ගුණාංග තුනකි. හැමට පළමුව කථා කිරීම, පළමුව සිනාසීම, පළමුව ක්‍රියාකිරීම සමාජ සුධාරකයකුගේ ලක්ෂණයක් විය යුතුය. තමන් වෙත ආ පුද්ගලයාගේ අවධානය දිනාගැනීමට එය උදව් වේ. නායකයා පළමුව කටයුතු කිරීම තුළින් අනුගාමිකයෝ වඩාත් උනන්දු වෙති.

සිඟාලෝවාද සූත්‍රයෙහිදී ගුරු ශිෂ්‍ය සබඳතා දක්වන තැනදී තම ශිෂ්‍යයා අන් අයට හඳුන්වා දීම අගයකොට ඇත. හැම කෙනෙකුම තමන් අගයනු දැකීමට කැමැතිය. මනෝවිද්‍යාවෙහිදි එය අභිපේ‍්‍රරණ ක්‍රමයක් ලෙස අගය කරයි. දෙමාපියන් වුවත් තම දරුවන් නිතර නිතර අගයකිරීම තුළින් දරුවන්ගේ පෞරුෂ වර්ධනය වන බව පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ තම ශිෂ්‍ය පිරිස නිතර අගය කළහ. සමහර අවස්ථාවන්හිදී සැරියුත් හිමියන් අමතා තමන් වහන්සේට තරමක වෙහෙසක් ඇති නිසා එම ධර්ම දේශනාව ඉදිරියට කරගෙන යන ලෙස දන්වති. එම ධර්ම දේශනාව අවසානයෙහි බුදුහිමියන් සාධුකාර පවත්වා මම එම ධර්ම දේශනාව දේශනා කළේ නම් දේශනා කරනුයේද එම කරුණම බව භික්ෂූන් ඉදිරියේ ප්‍රශංසාත්මකව දේශනා කොට ඇත. එමෙන්ම ඒ ඒ කරුණෙහි දක්ෂතා දැක්වූවන්ට සුදුසුකම් අනුව තනතුරු වගකීම් පවරා ඇති අයුරු ඒතදග්ගපාලියෙන් ප්‍රකටය. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා එසේ ඇගැයීමට ලක් කළ අතර හඳුන්වාදීමක්ද කර ඇත.

බොහෝ නායකයන්ට තමාගේ අනුගාමිකයන්ව නිසිලෙස හඳුනා ගැනීමට නොහැක. ඔවුන්ගේ දක්ෂතා හැකියා අවශ්‍යතා හඳුනාගත් විට ඔවුන් වෙත සමීපවීම පහසුය.එසේනොවන තැන නායකයා කෙරෙහි අනුගාමිකයෝ කළකිරෙති. එවිට කොතරම් ජනපි‍්‍රය නායකයකු වුවද සමාජය ප්‍රතික්ෂේප කරනු ඇත. ඒනිසා නායකයකුට හොඳ ඉවක් තිබිය යුතුමය. සමාජය අධ්‍යයනය කිරීමෙන් අවශ්‍යතා තේරුම් ගැනීමෙන් එම කාර්ය කළ හැකිය. බුදුපියාණන් වහන්සේ තමන් වෙත පැමිණෙන්නන්ගේ අභිලාශයන් හොඳින් දන්නා සේක. ඒ ඒ අයගේ මානසික තත්වයන් අනුව දාන කථා ආදි අනුපිළිවෙළ කථායෙන් දහම් දෙසා ඔවුන් සුවපත් කොට ඇත. කුස ගිනි නිවා දහම් දෙසු පුවත ඉතා ප්‍රකටය.

ගුරුමුෂ්ටිය නොතබා තමන් දත් දේ සියල්ල දේශනා කිරීමද බුද්ධ චරිතයෙහි කැපීපෙනෙන ලක්ෂණයකි.ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය නම් ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන්කොට විමුක්තිය ලබා ගත හැකි බව දේශනා කොට ඇත. තමා අභිභවා යතැයි සිතා බොහෝ නායකයන් අනුගාමිකයන්ට තමන් දන්නා සියල්ල නොදෙති. එවිට සිදුවන්නේ අනුගාමිකයින් බිහි නොවී එතනින් පසු ආයතන සංවිධාන බිඳ වැටීමයි. ලෝක නාථයන් වහන්සේ වරක් මාරයාට ප්‍රකාශ කළේ ,තම ශ්‍රාවක,ශ්‍රාවිකා පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න වනතුරු තමන් වහන්සේ පිරිනිවන් නොපාන බවයි. ඉන් පැහැදිලි වන්නේ තම ශ්‍රාවක පිරිස අනාගත අභියෝගන්ට මුහුණ දීමට බල ගැන්වීමෙහිලා උන්වහන්සේ තුළ පැවැති අභිලාශයයි. එය ආදර්ශමත් නායකත්ව ලක්ෂණයකි.අවසන් මොහොත දක්වාම තම ශ්‍රාවක පිරිස බලගැන්වීමෙහි නිරත වූ බුදුන්වහන්සේ ආනන්ද හිමියන් ලවා භික්ෂූන් වහන්සේ ඒකරාශිකොට ගෙන දේශනා කළේද තමන්ට යමක් පිළිබඳව කුකුසක් ගැටලුවක් සැකයක් ඇත්නම් තමන් වහන්සේගෙන් විමසා දැනගන්නා ලෙසයි. තමන්ට ඍජුව එය ඇසිය නොහැකි නම් යහලුවකුගේ මාර්ගයෙන් හෝ එය විමසා සැක හැරගන්නා ලෙසයි. හොඳ නායකයකු පරිසරය හා ඒකාත්මික විය යුතුය. ස්වභාව සෞන්දර්ය කාමියකු විය යුතුය. පරිසරය සතා සිව්පාවා ,ගස්වැල් ,ඇළ දොළ ගංගා ඈ නෙක කෙරෙහි ආදරය ඇත්තෙකු විශිෂ්ට නායකයෙකි. බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජයම, පරිසරයම එකට ඒකාබද්ධ කොට සලකා ක්‍රියා කළහ.උන්වහන්සේගේ මෛත්‍රි සංකල්පය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට එය දැක ගත හැකිය.ජීව අජීව ලෝකය කෙරෙහි හිතානුකම්පීවීම සුවිශේෂී ය. ගසක් යට ඉපදී ගසක් යට බුදුවී ගසක් යට පිරිනිවන් පෑ බුදුන්වහන්සේ වැඩි කාලයක් ගත කර ඇත්තේ සොබාදහම සමඟය.

සමාජ නායකයකු ලෙස භික්ෂූන්වහන්සේලා ක්‍රියා කළ යුත්තේ කෙසේද? යන්න උන්වහන්සේ අවධාරණය කළහ. මහජනයාට බරක් නොවී තම අවම අවශ්‍යතා පමණක් ඉටුකරගැනීමෙහිලා භික්ෂූන් මෙහෙයවූ බුදුපියාණන් බඹරුන් මල් නොතලා රොන් ගන්නා අයුරු සිතට නන්වා ඇත. පරපටි බද්ධ ජීවිතය මතකයට නන්වමින් දසධම්ම සූත්‍රය දේශිතය. සමාජයට මග පෙන්වන්නා ආදර්ශයෙන් පිරි ජීවිතයකට හිමිකම් කිව යුතු බව දේශනා කොට තිබේ. භික්ෂුව පරමාදර්ශි ජීවිතයක් ගත කළ යුතුවේ. එයට හේතුව සමාජය ඔහු අනුගමනය කිරීමට සැදී පැහැදී සිටීමයි.

පැරැණි සමාජය අනුගමනය කළේ භික්ෂු චරිතයයි. උන්වහන්සේගේ සරල පැවැත්ම ගිහියාද පුරුදු විය. චාම් ජීවිතය, ,අල්පේච්ඡ බව, පරිත්‍යාගී ගුණය, මෛත්‍රී චින්තනය එහි ප්‍රතිඵලය දැහැමි ජීවත්වීමට හුරුවු ගැමියා පරිසර හිතකාමියකුද විය. ගමයි, පන්සලයි, වැවයි , දාගැබයි යන තේමා පාඨය තම ජීවිතයට බද්ධ කළේ මහා සංඝරත්නය වෙති. මෙරට ජනතාව ඉතා ආදර්ශමත් ගුණගරුක පිරිසක් වූහ. ආත්මාර්ථ පරාර්ථ සාධනයට ඉවහල් වන සමාජ නායකත්වයක් බුදුදහම අපේක්ෂා කළ බව මනාව වැටහෙයි.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]