UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවියන්ට වදාළ සම්බුදු බණ 12 මේ ලොව ජයගත යුතු එකම දේ තම සිතයි

දෙවියන්ට වදාළ සම්බුදු බණ 12

මේ ලොව ජයගත යුතු එකම දේ තම සිතයි

මේ ලෝ සතුන්ගේ ජීවිතවල වැදගත්ම අංගය තමා “සිත” කියන්නේ. සිත කියන්නේ හරි පුදුමාකාර දෙයක්. භාග්‍යවත් වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිත ගැන විශ්මය ජනක වූ විග්‍රහයක් පෙන්වා දී තිබෙනවා. ධම්ම පදයේ චිත්ත වර්ගයේ දී සිත ගැන මේ ලොව කිසිවෙක් සිදු නොකළ අපූරු විවරණයක් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් සිදුකොට වදාළා. උන්වහන්සේ වදාළ අයුරින් අපේ ජීවිතවල සියලුදෙයට ම මුල් වෙන්නේ පූර්වාංගම වෙන්නේ මේ සිතයි. සියලු දේටම ශ්‍රේෂ්ඨ වෙන්නේත් සිතමයි. සිතින්මයි සියල්ල හට ගන්නෙත්.

ඒ සිතට ආගන්තුකව ඇතුලුවන කෙලෙස් අතරේ අපට අයපහත පිණිස, දුක පිණිස, විපත පිණිස හේතුවන අකුසලයක් තමා ද්වේෂය කියන්නේ. මේ ද්වේෂය සිතට ඇතුල්වෙලා සිත දුෂ්ඨ වුණාම ඒ කෙනාට යහපත, අයහපත තෝරා බේරාගන්න බැරුව යනවා. සුචරිතය දුෂ්චරිතය තෝරා බේරා ගන්නටත් බැරුව යනවා. ද්වේෂය නිසාම ක්‍රෝධ කරනවා. වෛර කරනවා. නපුරු වචන කතා කරනවා. රණ්ඩු දබර ඇතිකර ගන්නවා. ජීවිත හානි පවා සිදු කරනවා.

ඒ නිසාම මේ ද්වේෂය නම් වූ අකුසලය දුරු කිරීමයි අපගේ ශාස්තෘන් වහන්සේ විසින් වර්ණනා කොට වදාළේ. උන්වහන්සේ පෙන්වා දී වදාළේ “ද්වේෂයට සමාන අපරාධයක්”් නැති බවයි. කෙනෙකුගේ සිත ද්වේෂයෙන් දුෂ්ඨ වුණ වෙලාවට ඒ ද්වේෂය විසින් ඔහුගේ නුවණැස අන්ධ කරනවා. ඔවුන්ගේ නුවණැස නැති කරනවා. ඔහු මෝඩයෙක් බවට පත් කරනවා, ඔහුගේ ප්‍රඥාව නිරුද්ධ කරනවා, ඔහුව දුක පැත්තට ඇද දමනවා. නිවන අහිමිවීම පිණිස හේතු වෙනවා.

මෙබඳු විශාල හානියක් සිදුකරන ඒ භයානක අකුසලය වන ද්වේෂය මුළුමනින්ම දුරු කරලයි මේ ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහිවුණේ. රහතන් වහන්සේලාත් ද්වේෂය දුරුකළ සන්සිදී ගිය සිත් ඇතිවයි වැඩ සිටියේ. අනාගාමි උතුමන් වහන්සේලාත් ද්වේෂ ගිනි නිවා දැමූ පිරිසක්. මාර්ඵලලාභීන් සියලු දෙනාම නිරයගාමි වූ ද්වේෂය දුරු කරවමින් තමා වාසය කළේ. එනමුත් අන් සියලු සත්ත්වයෝම භයානක සතුරු වධයෙකු බඳු ද්වේෂය තමා තුළම තබාගෙනයි දිවි ගෙවන්නේ.

මේ ගෙවී ගිය ජීවිත කාලයේ ද්වේෂය නිසා ඇති වූ පීඩාවන් අප කොතෙකුත් විඳලා ඇති. තරහායාම කියන්නේ අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ.

තරහා ඇති වූ වෙලාවට අපට කොතරම් නම් වෙහෙසක් තිබෙනවා ද? හොඳින් කල්පනා කර බැලුවොත් තරහා ගිය දිනවලට අපට නින්ද යන්නෙත් නැහැ. කෑම කන්නට හිතෙන්නෙත් නැහැ. වැඩක් පලක් කරන්ට හිතෙන්නෙත් නැහැ.

ඉතින් මේ ස්වභාවය අපට වගේම ඇතැම් දෙවිවරුන්ටත් තිබුණ බව පේනවා. එක දවසක් දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ පවසා සිටියේ මේ විදිහටයි.

එදා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ. එදින රාත්‍රියේ මුළුමහත් ජේතවනාරාමය ඒකාලෝක කරගෙන දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණුනා. එසේ පැමිණි ඒ දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පසකින් සිටගත්තා. එකත්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසුවා.

කිංසු ඣත්වා සුඛං සේති
කිං සු ඣත්වා න සෝචනි
කිස්සස්ස ඒකධම්මස්ස
වධං රෝචිසි ගෝතමා 'ති

කුමක් නසා දැමීමෙන්ද සනීපෙට නින්ද යන්නේ? කුමක් නසා දැමීමෙන්ද ශෝක නොකර ඉන්නේ? පින්වත් ගෞතමයන් වහන්ස කවර නම් එකම එක දෙයක් නැසීමටද කැමති වෙන්නේ?

දෙවියන් හට පවා ශෝක කිරීම, සුවපසුවත් නැති බව උපදින්නේ මේ ලාමක වූ අකුසල් නිසාමයි. ඒ ලාමක අකුසල් හටගන්නට හේතුවන අකුසල මූලයක් තමා ද්වේෂය කියා කියන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ද්වේෂය හටගන්නා ආකාර දහයක් “ආඝාත වත්ථු” කියන සූත්‍රයේදී පෙන්වාදී වදාළා. යම් පුද්ගයෙක් ගැන අපේ හිතේ ද්වේෂය හටන්නේ ඒ කරුණු දහය තුළමයි.

1. මොහු මට අයපහ කළා
2. මොහු මට අයහපත කරනවා
3. මොහු මා හට අයහපත කරාවි
4. මොහු මගේ හිතවතාට අයහපත කළා
5. මොහු මගේ හිතවකාට අයහපත කරනවා
6. මේ පුද්ගලයා මාගේ හිතවතාට අයපත කරාවි
7. මොහු මට අහිතවත් අයට යහපත කළා
8. මොහු මට අහිතවත් අයට යහපත කරන කෙනෙක්
9. මගේ අහිතවත් උදවියට මොහු යහපත කරාවි
10. ඒ වගේ විශේෂ කරුණක් නැතිවත් හිතේ තරහා ඇතිකර ගන්නවා.

මේ විදිහට හටගන්නා තරහා නිසා සනීපෙට නින්ද නොයන බව, සුවපහසුව අහිමිවන බව, මනාකොට අවබෝධ කළේ වීතදෙසීෂි වූ අපගේ ශාස්තෘන් වහන්සේ යි. ඒනිසා උන්වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා මේ අයුරින් පිළිතුරු ගාථාව වදාළා.

කෝධං ඣත්වා සුඛං සේනි
කෝධං ඣත්වා න සෝචති
තෝධස්ස විසමූලස්ස
මධුරග්ගස්ස දේවතේ
වධං අරියා ඵසංසන්ති
තං හි ඣත්වා න සෝචතී ති

ක්‍රෝධය නසා දැමීමෙනුයි සනීපෙට නින්ද යන්නේ. ක්‍රෝධය නසා දැමීමෙනුයි ශෝක නො කරන්නේ. පින්වත් දෙවිය, විස මුල් තිබෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති, ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා.

ඔය ක්‍රෝධය ම නසා දැමූ කෙනා ශෝක කරන්නේ නැහැ.මෙතරම් සෘජු ලෙස පිළිතුරු සපයන්නට හැකි වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ මේ ද්වේෂ මුළුමණින්ම දුරු කළ නිසාමයි. ද්වේෂය ගැන මනාකොට අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් ද්වේෂයෙන් දුෂ්ඨ වූ සිතින් යමක් කළොත් යම් දෙයක් කථා කළොත් ඉන් රැස්වෙන පාපී වූ දුක් විපාකය කරත්තයේ බැඳි ගොන පසුපස රෝදය එන්නාක් මෙන් පැමිණෙන බවයි.

එනිසාම හටගත් ද්වේෂය දුරුකිරීම පිණිස ක්‍රම රාශියේ අපගේ සම්බුදු සමිඳුන් අපට වදාළා. ඒවා අතුරින් අංගුත්තර නිකායේ “පඨවි ආඝාත පටිවිනය” සූත්‍රයේ ආකාර පහක් ගැන සඳහන් වෙනවා.

1. ද්වේෂය හටගත් විගස ඒ පුද්ගලයා කෙරෙහි මෙත්සිත වැඩිම
2. එසේ නැතිනම් ඔහු නිදුක් වේවා නිරෝගි වේවා වශයෙන් කරුණාව වැඩීම
3. එසේත් නැත්නම් ඒ ද්වේෂයට මූලික වූ කරුණ සිහි නොකර සිටීම.
4. ඒ පුද්ගලයාත් කර්මය දායාද කරගෙන ඉන්නේ. මාත් කර්මය දායාද කරගෙන ඉන්නේ වශයෙන් සිහි කර ඒ ද්වේෂ සිත අත්හැරීම.

අපගේ ශාස්තෘන් වහන්සේ ජීවිතය ගැන පිරිපුන් ලෙස අවබෝධ කළ කෙනෙක්. ඒ නිසාම ජීවිතයක් නසා දමන ද්වේෂයේ භයානකකම ගැනත් ඒ ද්වේෂය හටගන්නා අයුරුත්, ඒ හටගත් ද්වේෂය දුරුකරන අයුරුත් අපට දේශනාකොට වදාළා.

ඒ අපගේ ශාස්තෘ වූ වීතදෝෂි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

- නයනා නිල්මිණි


සුගිය සතියෙන් - දෙවියන්ට වදාළ සම්බුදු බණ 12 - බුදු සමිඳු සරණ ගියේනම් සතර අපායෙන් නිදහස්

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]