Print this Article


සදහම් දැනුම


ප්‍රශ්නය -
බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් බුද්ධත්වය පතා දුෂ්කර චර්යාවන්හි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත්, තෙරුන් සමඟ පවසා තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත මුල්කොටගෙන ඇති වූ සාකච්ඡාවෙහි දී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි නිදාන කථාවෙන් පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක් අත්හදා බැලීමෙන් පර්යේෂණයෙන් ප්‍රායෝගිකව ඥාන දර්ශනය ලබාගත් බව කටුක අත්තකිලමතානුයෝගී ප්‍රතිපදාවලින් එය නොලැබිය හැකි නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් සැරියුත් තෙරුන්ට පැහැදිලි කළහ. මෙහිදී බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමථානු යෝගය (දුෂ්කරක්‍රියාව) පැහැදිලි කරන්න.

පිළිතුර - සිදුහත් බෝසතාණන් වහන්සේගේ අත්තකිලමථානු යෝගීව ගතකළ දුෂ්කරක්‍රියා සමය පිළිබඳ ම.නි. මහා සීහනාද සූත්‍රය ඇසුරෙන්ම සකස්කරගැනීම වඩාත් යෝග්‍ය වන බව පෙනෙන නිසා සූත්‍රාගත තොරතුරු වඩාත් සමීපව විස්තර කළහැකිය. බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙමින් ලත් බිහිසුන් අත්දැකීම් රාශියක් සැරියුත් තෙරුන් වහන්සේ සමඟ පවසා තිබේ. මහා සීහ නාද සූත්‍රයෙහි විස්තර වන අත්තකිලමථානුයෝගී දුෂ්කර චර්යා සමහරක් මහා සච්චක සූත්‍රාගත තොරතුරු වලට සමාන වන අතර සමහරක් සිද්ධාර්ථ බෝසත් අවදියට අයත් සාවුරුදු දුෂ්කරක්‍රියා අයත් නොවන බව බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශකොට තිබේ. “සාරිපුත්ත, මෙකල මසං ගෙඩිවලට වඩා එකල මසං ගෙඩි ලොකු යයි ඔබට සිතෙන්නට පුළුවන. මේසා දීර්ඝ කාලයෙහි ක්ෂත්‍රිය රජබවට පත්ව මහා සතර බ්‍රාහ්මණ බවට පත්ව නොකළ යඥයක් නැත නොකළ ගිනිදෙවි පිදීමක් නැත. යනපාඨ වලින් ඒ බව පෙනී යයි. මහා සීහනාද සූත්‍ර දේශනාවලදී විස්තර වන පරිදි, හණ වැහැරි දරමි. නන්හුයෙන් මුසු පිළ ගස්පොතු වලින් තැනූ පිළි දමේ අඳුන් දිවිසම්, මුවසම්, කුස වැහැරි, නියඳ වැහැරි, කෙස්කම්බිලි, අස්ලොම් කම්බිලි, බකමූණු පිහාටු කම්බිලි දරමි.

කෙස් රැවුල් උදුරා දමමි. ආසන ප්‍රතික්ෂේප කොට හිටගෙන සිටිමි. කට ඇතිරියෙහි සක්මන් කරමි. සයනය කරමි. උක්කුටිකයෙන් සිටිමි දවසට තෙවරක් දියෙහි බැස සිටිමි. මෙසේ ශරීරය තැවීමෙහි නානාප්‍රකාර අනුයෝගයන් හි යෙදී වාසය කරමි. සාරිපුත්ත මගේ ‘පරම තපස්වී භාවය මෙබඳුුය” මගේ රූක්ෂ ප්‍රතිපදාව මෙසේ ය. ශරීරයේ අවුරුදු ගණන් ගත වූ දූවිලි කුණු තට්ටු බැඳී ඇත. අවුරුදු ගණන් පැරැණි පුපුරා පතුරු හැදුණු තිඹිරි කණුවක් වැනිය. එහෙත් මේ දූලි තට්ටු පිසදමා අහක් කළ යුතු ය. කියාවත් මට නොසිතෙයි සාරි පුත්ත මගේ රූක්ෂ ප්‍රතිපදාව මෙබඳු ය.

මාගේ ප්‍රවිවේකය මෙසේ ය. මම යම් කිසි ආරණ්‍යයකට වැදී සිටිමි. කොයි වෙලාවක නමුත් ගොපල්ලකු, පශු පාලකයකු තණ කපන්නෙකු, දර කපන්නෙකු, වන කාර්මිකයෙකු මුණ ගැසුනොත් මම ඒ වනයෙන් වෙනත් වනයකට යමි තමාට ඔවුන් නොහමු වීමටත් ඔවුන්ට තමා නොහමුවීමටත් වනයෙන් වනයට ලාහැබෙන් ලැහැබට කන්දෙන් කන්දට, පල්ලමෙන් පල්ලමට පැන යමි මිනිසුන් දැක පලා යන වන මෘගයෙකු මෙනි.

හරකුන් - ගොපල්ලන් පිටමං වී ගිය පසු දෙදණ දෙවැලමිට බිම ඔබා ගාලං ගොස් දෙනුන් ළඟට ගොස් කිරිබොන වසුපැටියන්ගේ ගොමකමි. ස්වකීය, මළ මුත්‍රා හීනනොවන තෙක් මළ මුත්‍ර කමි සාරිපුත්ත ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යභාවය ඇතිකරන ඤාණ දර්ශනයක් ලැබූ බව මම නොදනිමි. කුමක් නිසාද අද මා ලබා ඇති මාර්ගඥානය වැනි පිළිපදිනවුන්ගේ දුක්නැසීමට හේතුවන මාර්ග ප්‍රඥාවක් නොලත් හෙයිනි. බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන අසිරිමත් ලක්ෂණ නම් ඒ සා මහත් දුක් වේදනාවලිනුත් උන්වහන්සේගේ සිතේ පසු බැසීමක් හෝ සත්‍ය ගවේෂණයෙන් බැහැර වීමේ හෝ ඇති නොවීමයි.

ප්‍රශ්නය - බුදු දහම නිකෙලෙස් පුරුෂෝත්තමයකුගේ සොයා ගැනීමකි. බුදු දහමින් අනාවරණය වන පරිදි ජනතාව ජාතිමරණාදී පොදු දුකෙහි වැටී සිටිති. මෙය නැතිකිරීමට නම් අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කළ යුතු ය. ඒ නිසාම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පොදු ලෝක දුක් නිවාරණය සඳහා නව දහම් මඟ ලෝකය හමුවෙහි තැබූ සේක. බුදු සිරිත ඇසුරෙන් සාකච්ඡා කරන්න.

පිළිතුර -ම.නි. අරියපරියේසන සූත්‍රාගත දේශනා පිළිතුර සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ඒ අනුව, එහි අවශ්‍ය කොටසෙහි අනුවාදයයි මේ. උපුල් විලක හෝ රත් නෙළුම් විලක හෝ සුදුනෙළුම් විලක දියෙහි හටගත් දියෙහි හොඳින් වැඩුණු දියෙන් මතු නොවූ සමහර උපුල් රතු නෙළුම් සුදු නෙළුම් දිය යට වැඩෙයි. සමහර උපුල් රතු නෙළුම් සුදු නෙලුම් දියෙහි හටගෙන දියෙහි හොඳින් වැඩී ජලය හා සමව පවතී.

සමහර උපුල් රතු නෙළුම් සුදු නෙළුම් දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් උඩට නැග දියෙහි නොතැවරී පවතී. එමෙන් කෙලෙස් අඩු කෙලෙස් වැඩි තියුණු ඉඳුරන් ඇති මොළොක් ඉඳුරන් ඇති මනා ආකාර ඇති නොමනා ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි එසේ නොහැකි පරලොව වරද හා බිය දකිනසුලු සමහර සත්වයන් දැක මෙසේ වදාළහ. බ්‍රහ්මය, වෙහෙසකි යන හැඟීමෙන් ප්‍රගුණ කළ ධර්මය මිනිසුන් අතර නොදෙසීම් අසන කැමැත්තෝ ශ්‍රද්ධාව උපදවත්වා ඔවුන්ට අමාදොරටු විවෘත කරන ලදී. (ම.නි. අරියපරිස්ස සූත්‍ර)

බාහිර ලෝකයෙහි සමාජ ගති පැවැතුම් දෙස බලනවිට මේ සියුම් ‘පටිසෝතගාමී’ නවදහම දේශනා කිරීම වෙහෙසකැයි පෙනී ගියත් ආධ්‍යාත්මික තත්ත්වයෙන් අඩුවැඩිකම ඇති විවිධ පුද්ගලයෝ සිටිති. අසනුකැමත්තෝ අසත්වා අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීමයි. බුදු දහම අධ්‍යාත්මික දියුණුව කැමැති සැදැහැති ශ්‍රාවකයින් සඳහා ය. මෙතැන්හී දීම බුදුදහමේ නිදහස් චින්තනය සටහන්වී ඇත. අමාදොර විවර කිරීම බුදු දහමින් සිදුවී ඇත. එයින් පල ලැබිය හැකි බුද්ධිමත් මිනිස්සු සිටිති. එහෙත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍යතාවයක් තිබිය යුතු ය. දොර විවෘතය. මෙය අසවලුන් සඳහාම යැයි නම නියමයක් නැත. සියල්ලන්ටම පොදු ධර්මයක් ලෙසින් විවෘත කිරීමක් විනා කිසිවෙකුට එරෙහිවූ හෝ කිසිවෙකුට පක්ෂපාතී වූ හෝ දහමක් නොවේ. අවශ්‍යතාවය ඇත්තවුන් සඳහායි. ශ්‍රද්ධා පෙරදැරිව අසා විමසා දැකිය යුතුය. බුදු දහම “එහිපස්සික” ධර්මයකි.

ප්‍රශ්නය - අංගුත්තර නිකායේ, රාජවග්ග, ධම්මරාජසූත්‍රයෙහි එන දේශනා පාඨයකි මේ. ධාර්මික ධර්මරාජ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය නිසාම ධර්මයම සත්කාරකොට ධර්මයට ගරුකොට ධර්මයට බුහුමන්කොට ධර්මධ්වර (දහම් කොඩි) කොට ධර්මය හේතුකොට මෙවැනි කාය කර්ම, වාග්කර්ම, මනෝකර්ම, ඇති විය යුතුය. එමෙන්ම මෙවැනි කාය වාග් මනෝ කර්ම ඇති නොවිය යුතු ය. මෙවැනි ගම් නියම්ගම් ඇසුරු නොකළ යුතු ය. භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ ගෝපනය සලසා ධර්ම චක්‍රය පවත්වති. මෙම සූත්‍ර දේශනාවට අනුව ධර්මයෙන් ලොවට ආරක්ෂාව සලසා දීම ධර්ම ප්‍රචාරයෙන් බලාපොරොත්තු වන අරමුණයි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රමවේදය පැහැදිලි කරන්න.

පිළිතුර - ශ්‍රාවකයා ඉහත සඳහන් අරමුණට යොමුකර ධර්ම මාර්ගයෙහි හැසිරවීම පිණිස මුඛ්‍ය ලක්ෂණ හතරක් අනුව ධර්මය දේශනය කළහ. පාලි අට්ඨකතාවල එන පරිදි මේ කාරණ හතර බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජු තම ඤාති ප්‍රේතයනට පින්දීම සඳහා යොමු කළ දේශනයට අදාළ කර දක්වයි. ‘සන්දස්සෙසි’ යන්නෙන් තම ඤාතීන් විෂයෙහි කරුණු පැහැදිලි කරමින් තම යුතුකම හා වගකීම පෙන්වාදුන් අයුරු දක්වයි. සමාද වෙසි යන්න. කලින් සඳහන් කළ සද්ගුණයන් කෙරෙහි උද්යෝගිමත් කිරීම සඳහන් කරයි. සමුච්චේද යන්න වගකීම බැඳී පවත්නා යුතුකම ඉටු කිරීමට උනන්දු කරයි. සිව්වැන්න, වූ “සම්පහං සනා යන්නෙන් චරිතය, ක්‍රියාව හා කැපවීම ශ්‍රාවකයා තුළ ජනිත කරවීමේ අරමුණය.