Print this Article


දුක ඇතිවීමේ හේතුව කුමක්ද?

දුක ඇතිවීමේ හේතුව කුමක්ද?

ලොකෝත්තර විමුක්තිය උදාකරගැනීමේ නියුක්ත ගිහි පැවිදි බුදුසව්වන් ඒ සඳහා සිත යොමුකර ක්‍රියාකරන විට බුදුරජාණන් වහන්සේගේ දාර්ශනික මූලධර්මයන් පිළිබඳ පුදුම තරම් වැටහීමක් ඇති කරගෙන සිටීම වැදගත් ය. අනුන්ගෙන් අසා දැනගත් විට ම සියල්ල සම්පූර්ණ වන්නේ නැත. තමන්ට ඒ කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයක් හා දැනීමක් තිබිය යුතු ය. විශේෂයෙන් ම බුදුදහමේ මූලධර්මයන් වන පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, කර්ම සංකල්පය ආදීන් පිළිබඳ මනා අවබෝධයක් වැටහීමක් ඇති කරගෙන තිබිය යුතු ය. මේ ලිපියේ දී එහි එන චතුරාර්ය සත්‍යයේ දුක පිළිබඳවත් එහි හටගැන්මේ මූලය පිළිබඳවත් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන්ට ඇසළ පුන් පෝ දින මංගල ධර්ම දේශනාව පවත්වමින් සම්බුදු හිමියන් දේශනා කළේ දුකෙහි හටගැනීම පිණිස බෙහෙවින් ම බලපානු ලබන්නේ තණ්හාව බවයි. ඒ පිළිබඳවත් එහි අන්තර්ගතය පිළිබඳවත් මෙසේ උන්වහන්සේ වදාරා ඇත.

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරියසච්චං යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සෙය්‍යථීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” (දම්සක් සුතුර)

“මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙය වේ. ඒ තණ්හාවයි. තණ්හාව නැවත ඉපදීමක් ඇති කරවයි. (පුනර්භවය) නන්දිරාගය හා එක්වෙයි. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන භවයන්හි ඇලෙයි.” යනුවෙන් එහි සරල අදහසයි.

කෙසේ නමුත් බුදුරදුන් පහළවීමට පළමුව භාරතයේ පැවැතියේ දෙවියන් මුල් කරගත් දුක පිළිබඳ විචාරයකි. එනම් දුකෙහි ඇති කිරීම හා ප්‍රහාණය කිරීම දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වූ බව සමාජීය මිනිසුන්ගේ මතය විය. තවත් තිබූ මතයක් වූයේ දුක ඉබේ ම හටගන්නා බවයි. මේ ආකාරයට දුක පිළිබඳ විවිධ මත උද්ගතව තිබූ සමාජ පසුතලයක දුකෙහි හටගැනීම පිළිබඳ යථාර්ථවාදී වූ සංකල්පය ඉදිරිපත් කළේ සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ දේශනා කළේ දුක හටගැනීම හේතු – ඵලවාදීව සිදුවන බවයි. දුක පිළිබඳ දක්වා ඇති එහි වැදගත්ම කාරණාව වන්නේ කුමන කරුණක් මුල් කරගෙන එය ඉපැදෙන්නේ ද යන්න විමසීමයි. මේ පිළිබඳ බුදු හිමියන් සංයුත්ත නිකායේ ගහපති වර්ගයේ දුක්ඛ සූත්‍රයේ දී දේශනා කර ඇත.

“කතමෝ ච භික්ඛවේ දුක්ඛස්ස සමුදයෝ” චක්ඛුංච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංඝති කස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා. අයං ඛෝ භික්ඛවේ දුක්ඛස්ස සමුදයෝ.”

“මහණෙනි, දුකෙහි හටගැන්ම කෙසේ වේ ද? ඇසත් රූපත් හේතුවෙන් චක්ඛු විඤ්ඤාණය උපදී. මේ තුනෙහි එකතුවීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව ඉපදේ. වේදනාව හේතුවෙන් තණ්හාව උපදී. මේ දුක හටගැනීමේ ඇරඹුමයි.”

දුකෙහි ඇතිවීමත් ක්ෂණයකින් පැතිර යෑමත් නිසා තණ්හාව යමෙක් තුළ ඇත්තේ ද ඔහුට සසර ගමන දීර්ඝ බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. මේ පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් සූත්‍රයක් වන්නේ අංගුත්තර නිකායේ තණ්හා සූත්‍රයයි.

තණ්හා දුතියෝ පුරිසෝ - දීඝමද්ධාන සංසාරං
ඉත්ථභාවඤ්ඤථාභාවං - සංසාරං නාතිවත්තති

“යමෙක් තණ්හාව තම සහායිකාව කොට ගෙන වෙසේ ද ඔහු දිගු කාලයක් සංසාරයේ ගමන් කරන්නේ සංසාරයෙන් එතෙර වීමක් නොදකියි.”

මේ අනුව අපට හොඳින් පැහැදිලි වන්නේ දුක ඇති වීමේ පළමු සාධකය තණ්හාව ම නොව සෑම දෙයක් කෙරෙහිම පැතිර පවත්නා හේතුවයි. තණ්හාව යන්නෙන් සඳහන් කිරීමේ දී බොහෝ වස්තූන් එයට යටත් කොට දැක්විය හැකිය. ධනය, කාමය, විවිධ දෘෂ්ටි, ආකල්ප, මතවාද හා විශ්වාසයන්ද තණ්හාවට අයත් ය. ඒ අනුව අප වටා ඇති සෑම අංශයක් කෙරෙහි ම තණ්හාව සෘජුව බලපා ඇතැයි අපට පෙනේ. ආර්ථීක කටයුතු සමාජීය ආදී අංශයන්ද තණ්හාව ඇති කරලීමේ ප්‍රබල සාධකයන් ය. මේ සියල්ල නිසා දුක හටගැනීම වන්නේ ය.

තණ්හාය ජායති සෝකෝ - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

ධම්මපදයේ පිය වර්ගයේ අන්තර්ගත වන මෙම ගාථාවෙන් ද පෙන්වා දෙන්නේ තණ්හාව නිසා උපදින්නා වූ අනර්ථයන් ය. එදිනෙදා ජීවිතයේ දී ශෝකය භය වැනි මනෝමූලික සංක- ල්පයන් නිසා මහත් කනස්සල්ලට දුකට, වේදනාවට පත්වේ. මේ සියල්ලේම උපත තණ්හාවයි. එය නැති කරන්නාට ශෝකයක්වත් භයක්වත් නොමැති බව අවධාරණය කරයි. සාමාන්‍ය ජීවිතයේ දී පෘථග්ජනයන්ගේ ස්වභාවය වන්නේ කාමයන්ට වැඩි ඇල්මක් දැක්වීමය. නමුදු කාමයේ ඇති බැරෑරුම් බව වටහාගෙන ප්‍රඥාවන්තයින් ඉන් මිදීමට උත්සාහ දරන බව පෙන්වා දේ.

අප සමාජයේ ජීවත් වන විට කෙතෙක් දේවල් රැස් කිරීමට මහන්සි ගන්නේ ද? භෞතික මෙන්ම ජීවී වස්තූන් ද අප සන්තක කර ගැනීමේ මහත් වෑයමක අපි යෙදෙමු. නමුදු කෙතෙක් වෙර වීර්ය දැරුව ද එහි අවසාන ප්‍රතිඵලය සැපක් නොව දුකකි. අප මෙතුවක් කල් සැපක් විඳීමේ අභිලාෂයෙන් හඹා ගොස් ඇත්තේ දුක පසුපස ය. ඤාණවන්ත තැනැත්තා මේ ක්‍රමවේදය නිවැරදි දැයි කල්පනා බුද්ධියෙන් තේරුම් ගත යුතු ය. ඇසින්, කනින්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෙන් අපේක්ෂාවෙන් කෙතරම් අප පරිහානිදායක කටයුතු සිදුකරන්නේ ද? නමුදු අවසානයේ එහි ගැබ්ව පවත්නේ දුකමය. මේ අනුව තණ්හාව ආශාව ලෝභය වැනි මනෝභාවයන්හි අවසාන ඵලය දුකමය.

න කහාපණ වස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ

යනුවෙන් ඒ කරුණ වඩාත් අවධාරණය කරමින් කහවනු වැස්සක් වැටුණේ නමුදු කාමයන්හි තෘප්තියක් මිනිසාට ඇති නොවන බවත් කාමයෝ ආස්වාද රහිතය, දුක සහිතය යනුවෙන් නුවණැත්තෝ දැන එය ප්‍රහාණය කිරීමට උත්සුක වන බවත් පෙන්වා දේ. මේ අනුව බලන කල අප නිරන්තරයෙන් භුක්ති විඳින්නේ දුකමය. සැපයි, සැපයි යනුවෙන් පී‍්‍රතිමත් වුව ද, සැපය ද දුකක් ම වන්නේ ය. ආශාව මුල් කරගෙන දුක සත්ත්වයා ලුහුබඳින බව මෙහි දී අප අවබෝධ කරගත යුතු මූලිකම සිද්ධාන්තයයි.

තණ්හාව අපට දුක ශෝකය කනස්සල්ලට පිණිස හේතුවන්නේ යැයි නිවැරදිව අවබෝධ කර ගත්තේ නම් අප එය ප්‍රහීණ කිරීම පිණිස එළඹිය යුතු වන්නේ ය. එහි දී අනුගමනය කළ යුත්තේ තදංග ප්‍රහාණය නොව සහමුලින්ම ප්‍රහාණය කිරීමයි.

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ඡින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති
ඒවම්පි තණ්හානුසයේ අනුහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

“කිසියම් ගසක මුල යම් උපද්‍රවයක් රහිත වන්නේ නම් ඒ ගස කෙතෙක් කැපුව ද නැවත නැවත ලියලා වැඩේ. එලෙසින් ම තණ්හාව හා බැඳුණු අනෙකුත් ක්ලේශයන් සම්පූර්ණයෙන් නොනසන්නේ නම් නැවත නැවත සංසාර දුක හටගනී.” මේ අනුව අපට පැහැදිලි වන සත්‍ය නම් තණ්හාව ක්ෂය කිරීමේ දී භාවිත කළ යුත්තේ ඒ ඒ අවස්ථාවට පමණක් උචිත වන අයුරින් නොව සහමුලින් ම බවයි. අපත් උතුම් වූ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා දුක නැතිකිරීමේ මාවතට එළඹීමට උත්සාහවත් වෙමු.