Print this Article


බුදුදහම හා මාර සංකල්පය 12 බුදුරදුන් වසඟ කරන්නට තැත් කළ මාර දූවරු

බුදුදහම හා මාර සංකල්පය 12

බුදුරදුන් වසඟ කරන්නට තැත් කළ මාර දූවරු

පසුගිය බක් අමාවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ පාපී මාරයා බුදුරජාණන් වහන්සේට රජවීමට උපදෙස් දුන් ප්‍රවෘත්තියක් ඇතුළත් වන සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් ‘රජ්ජ සූත්‍රය’ විමසා බැලීමටයි. අද දින අපගේ අවධානය යොමුවන්නේ සංයුත්ත නිකායෙහිම මාර සංයුත්තයට අයත් මාරයාගේ දූවරු ගැන සඳහන් වන ‘මාරධීතු සූත්‍රය’ විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක. එකල්හි මරහුගේ දූ වූ, තණ්හාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ ඒ පාපී මාරයාට මෙසේ කියා පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝකකෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔබට යටත් වන්නේ ය. එවිට පාපී මාරයා මෙසේ කීය සුගතයෝ ලොව රහත් කෙනෙක්, රාගයෙන් බැඳ ගෙනිය නොහැක්කය, මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක, එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙම්යි,

“අරහං සුගතො ලොකෙ,
න රාගෙන සුවානයො,
මාරධෙය්‍යං අතික්කන්තො,
තස්මා සොවාමහං භුස’න්ති,”

ඉක්බිති තණ්හාද, අරතිද, රගාද, යන මාරදූවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ” යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් ක්ෂයෙහි මිදුනු සේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත් සේක.

ඉක්බිති තණ්හාද, අරතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් “පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක්, එක් සියක්කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත් යි නිශ්චය කර ගත්හ. ඉක්බිති තණ්හාද? අරතිද, රගාද, යන මාරදුහු එක් සියක්, එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ශ්‍රමණයාණනි, ඔබේ පා මෙහෙවර කරම්හ” යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත් සේක. ඉක්බිති තණ්හාද, අරතිද, රගාද, යන මාරදුහු මෙසේ නිශ්චය කර ගත්හ. “පිරිමින්ගේ අදහස් නානාවිධය, අප දරුවන් නොවැදූ අඹුවන් සියදෙනෙකුන් සේ එකී එකියක සියය, සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති’යි නිශ්චය කර ගත්හ. ඉක්බිති තණ්හාද, අරතිද, රගාද යන මාරදුහු එකි එකියක නොවැදූ අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට පැමිණියහ. පැමිණ, මහණ පා මෙහෙවර කරම්හයි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත් සේක. ඉක්බිති තණ්හාද? අරතිද, රගාද, යන මාරදුහු එක් වරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ, මහණ, ඔබට පා මෙහෙවර කරම්හ’යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුන භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත් සේක. ඉක්බිති තණ්හාද අරතිද, රගාද යන මාරදුහු දෙවරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ, මහණ, ඔබට පා මෙහෙවර කරම්හ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුනු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත් සේක.

ඉක්බිති තණ්හාද, අරතිද, රගාද යන මාරදුහු පසෙක ඉවත්ව සිට, අප පියා කීයේ ඇත්තක්මය. එනම්, “සුගතයෝ ලොව රහත් කෙනෙක, රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක, මරහුගේ බල පැවැති පෙදෙස ඉක්මවාලු කෙනෙක, එබැවින් මේ බොහෝ සේ ශෝක කෙරෙම් යි” සිතූහ.

අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ යම් උපක්‍රමයෙන් එළඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැළෙන්නේ ය. උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේ ය. උඩඟු බවට හෝ පැමිණෙන්නේ ය. සිත් කැළඹුමට හෝ පැමිණෙන්නේ ය.

සිඳිනු ලැබ යම් නිල් බටගසක් යම් සේ වියළෙන්නේ ද, වෙසෙසින් වියළෙන්නේද, මැලවෙන්නේ ද, එසේම හෙතෙම වියළෙන්නේ ය. වෙසෙසින් වියළෙන්නේ ය. මැලවෙන්නේ යි කීහ. ඉක්බිති තණ්හාද, අරතිද, රගාද යන මාරදුවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට පැමිණියෝ ය. පැමිණ පසෙක සිටියහ. පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

ශෝකයට පැමිණ වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදුණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යම් අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකම් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළුවෙක් ඇති නොවේද? එවිට භාග්‍යවතුන් වහන්සේ, මම් පි‍්‍රයවු, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කළෙමි. එබැවින් ජනයා හා යහළුකම් නොකරමි, කිසිවකු හා මගේ යහළුවකමෙක් නැත්තේ ය, යි වදාළ සේක. ඉක්බිති අරති මාරදුහිතෘ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවා ය. “මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පඤ්චවාරික (කෙළෙස්) මහවතුර තරණය කළේ ද? මෙලොව සයවැනි (මනෝවාරික කෙළෙස්) මහවතුරින් එතර කළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුළුමනින්ම බැහැර වෙත්ද? එවිට රගා නම් මරදු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීවා ය. “ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්ඳේය. බොහෝ සත්ත්වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ.

ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට (නිවනට පමුණුවන්නේය.) එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහාවීරවූ තථාගතවරු සද්ධර්මයෙන් සත්ත්වයන් එතෙරට (නිවනට) පමුණුවත්මය. නුවණැතියන් ධර්මයෙන් සත්ත්වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්ෂ්‍යාවෙක්ද?

ඉක්බිති තණ්හාද, අරතිද, රගාද යන මාරදුහු පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පාපී මාරයා, එන තණ්හාද, අරතිද, රගාද යන මාරදුන් දුරදීම දැක මෙසේ කීය.

‘අනුවණයිනි, නෙළුම් දඬුයෙන් කන්දක් පළන්නට සිතවූද? නියෙන් පර්වතයක් සාරන්නහුද? දතින් යකඩ විකන්නහුද? හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද? ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් පසුව එවුද? තණ්හාද, අරතිද, රගාද යන මාර දුහු දිලිහි දිලිහි බුදුරදුන් වෙත ආහ. එහෙත් සුළඟ පුළුන්පොදක් ඉවතලුවා සේ ශාස්තෘන් වහන්සේ එහිදී ඒ මර දුන් දුරු කළ සේක.

මතු සම්බන්ධයි,


බුදුදහම හා මාර සංකල්පය 11 - බුදුරදුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා