Print this Article


භය හා ශෝකය නැති කිරීමේ මඟ

භය හා ශෝකය නැති කිරීමේ මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සො කො කුතො භයං

පින්වත,

මෙලොව උපන් සත්වයාට භයත් ශෝකයත් ඇති වන්නේ තණ්හාව නිසයි. තණ්හාව සම්පූර්ණයෙන්ම නැතිකරගත්විට භයත් ශෝකයත් ඇතිවන්නේ නැත.

ඉහත සඳහන් ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කොට වදාළේ එක්තරා මිසදිටු බමුණෙක් අරභයායි.

බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්වෙහෙර වැඩ ඉන්න කාලයේ දී ඒ මිසදිටු බමුණා ගඟක් අසබඩ කුඹුරක් සකස් කළේ ය. පසුකාලයේදී ඔහුට බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වීමට හේතු සම්පත් ඇති බැව් උන්වහන්සේ දුටු සේක. එබැවින් බුදුන් වහන්සේ පාසිවුරු ධාරීව මොහු කුඹුර සකස් කරන තැනට වැඩි සේක. දුරදීම බුදුන් වහන්සේ වඩින බැව් දුටු බමුණ නොදැක්කාක් මෙන් බිම්බලාගෙන තම කටයුතු කරගෙන ගියේ ය. බුදුරජාණන් වහන්සේ කුඹුර අසළටම වැඩ මවා නැවතී බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ සේක. මාකුඹුරක් සකස් කරන්නෙමියි පිළිතුරු දුන්නේ ය. හොඳයි බමුණ මා වඩින්නම් කියා විහාරයට ආපසු වැඩි සේක.

නැවත දින කීපයකට පසු බමුණා කුඹුර සකස් කරන තැනට බුදුන්වහන්සේ වැඩි සේක. බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ විට මා කුඹුර කොටන්නෙමියි පිළිතුරු දුන්නේ ය. හොඳයි බමුණ, මා වඩින්නම්, කියා ආපසු වැඩිසේක. තෙවැනි වරටත් බුදුන් වහන්සේ බමුණා කුඹුර සකස්කරන තැනට වැඩි සේක. බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ විට කුඹුර වපුරන්නෙමියි කීවේ ය. හොඳයි බමුණ, කියා උන්වහන්සේ ආපසු වැඩි සේක. නැවත කුඹුරුවැඩ කරන තැනට වැඩි බුදුන්වහන්සේ බමුණ කුමක් කරන්නේදැයි ඇසූ විට වල්පැළ නෙළන්නෙමියි කියා පිළිතුරු දී හිමියෙනි ඔබවහන්සේ මාකුඹුර සකස් කරන්නට ඇරඹූ දා සිට මාළඟට පැමිණ මා සමඟ කතාබස් කළේ ය. එබැවින් මා අද පටන් ඔබවහන්සේ මාගේ කල්‍යාණ මිතුරෙක් කොට සලකන්නෙමි. එපමණක් නොව මේ කුඹුරෙන් ගත් අස්වැන්න වලින් කොටසක් ඔබ වහන්සේටත් දෙන්නෙමියි කියා පොරොන්දු විය.

කුඹුර හොඳට පැසී පසු දින කපාගන්නට සූදානම්කොට රාත්‍රී නිදා ගත්තේ ය. එදින රාත්‍රියේ ඇදහැලුණ මහා වර්ෂාවෙන් ගඟ දෙගොඩ තලා ගලා ගොස් කුඹුරේ හොඳට පැසී තිබූ ගොයම් ගලවාගෙන ගසා ගොස් සියල්ලම පාලුවට ගොස් තිබුණේ ය. මෙය දුටු බමුණාට දැරිය නොහැකි ශෝකයක් හා භයක්ද ඇති විය. ගෙට ගිය බමුණා නොකා, නොබී කල්පනා කරමින් නිදා ගත්තේ ය. බුදුන්වහන්සේද බමුණා ශෝකයෙන් සිටින බැව් දැක ඔහුගේ නිවසට වැඩි සේක. ඔහු නිදා සිටි තැනටම වැඩමවා පනවා තිබූ අසුනේ වැඩ ඉඳ බමුණ ශෝක වන්නේ ඇයි? දැයි ඇසූ සේක. බුදුරජාණන් වහන්ස ඊයේ රාත්‍රියේ ඇද හැලුණු මහා වර්ෂාවට මාගේ කුඹුරු සියල්ලම විනාශ වුණා. පාළු වුණා. මට දුක ඔබට වූ පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වීම ගැනයි. බමුණ දුක් නොවන්න. ශෝක නොවන්න. මෙලෝකයේ උපන් සත්වයාට ශෝකයත් භයත් ඇති වන්නේ තණ්හාව නිසයි. ආසාව නිසයි. තණ්හාවත් ආසාවත් නැති කිරීමෙන් භය ශෝකය නැති කරගත හැකිය.

ඉහත ගාථාවෙන් දහම් දෙසූ සේක. එම ධර්මය අසා බමුණා සෝවාන් විය. සෝවාන් වීම නම්,

1. සක්කාය දිට්ඨි, 2. විචි කිච්ඡා, 3. සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් නැතිකර දැමීමයි.

පථව්‍යා එක රජ්ජේන සග්ගස්ස ගමනේනවා
සබ්බලොකාධිපච්චේන සෝතාපත්තිඵලං වරං

මුළු පොළවේ අධිපති සක්විති රජකමටත්, දෙව් ලොව ඉපදීමටත්, මුළු ලොව උපන් හැම සත්වයකුටත් වඩා සෝවාන් වීම උතුම් වන්නේ සසර ඉපදීම සීමාවීම නිසයි.

සසර උපනුපන් ආත්ම භාවයක් පාසා සෝකය හා භය ඇති වන්නේ තණ්හාව හෙවත් ආසාව නිසයි. මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තෙවැදෑරුම් වේ. කාම වස්තුන් හා කාම වස්තු ලබා ගැනීමට හැකි ලෝක කෙරෙහි තිබෙන ආසාව කාම තණ්හාවයි. භව තණ්හාව නම්, සාස්වත දෘෂ්ටි වශයෙන් බ්‍රහ්ම ලෝකය සදා කාලිකයි කියා සිතා බ්‍රහ්ම ලෝකය කෙරෙහි ඇතිකර ගන්නාවූ ආසාවයි. විභව තණ්හාව නම් උච්ඡේද දෘෂ්ටි වශයෙන් මරණින් මතු උපතක් නැත කියා සිතමින් මේ ආත්මය කෙරෙහි තිබෙන ආසාවයි.

මේ කාම, භව, විභව, වශයෙන් දැක්වෙන ආසාව නිසා සත්වයා භවයෙන් භවය ජාතියෙන් ජාතිය තැනින් තැන මැරි මැරී ඉපදි ඉපදී මැරි මැරී ඉපදි ඉපදී සසර නොනැවතී ගමන් කරති.