Print this Article


පූජාච පූජනීයානං

මාතලේ ධම්මකුසල නාහිමි

කොළඹ, මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රමාරාමය, හුණුපිටිය ශ්‍රී ධර්මාරාමය, මාතලේ පුරුජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන ශ්‍රී ශාක්‍යසිංහාරාමය හා මෛත්‍රිවර්ධනාරාමය යන සදහම් නිකේතනයන්හි අධිපතිත්වය හා උපදේශකත්වය දරන මාතලේ ධම්ම කුසල නාහිමිපාණෝ සිය ප්‍රවෘජ්ජා දිවිය තුළ සම්භාවනාවට පත්වැ ඇත්තේ මුළු ජීවිත කාලයම ශාසනික අභිවෘද්ධියට හා සමාජයීය ප්‍රගමනයට නිස්සරණාධ්‍යාශයෙන්ම කැපකිරීමේ ජීවන පූර්වාදර්ශය නිසාවෙනි.

උතුරු කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිත්වය දිගු කලක සිට උසුලන උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පදවියෙහිද වත්මනෙහි කටයුතු කරති.

උන්වහන්සේටම ආවේණික වූ සරල, සුගම, සුභාවිත භාෂා විලාසයකින්, මධුරස්වරයෙන් සිදු කරනු ලබන ධර්ම දේශනා ශෛලියද ඈත එපිට ගම් දනව්වලට පවා කරුණා සිතින් යුතුව විවිධ සමාජයීය සේවාවන් සඳහා වැඩම කරන උන්වහන්සේ ගුවන්විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය තුළින් ද මුළු ලොවටම දායාද කරන ධර්ම දේශනා හා සාකච්ඡා බෞද්ධ අබෞද්ධ කාගේ වුවද සිත් සතන් නිවා සනසාලන්නේ ය.

කොළඹ, මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය (ඕඩේ පන්සල) කේන්ද්‍ර කොට ගනිමින් ගිහි, පැවිදි අපමණ වූ පිරිසකට ලබාදුන් භාෂා ශාස්ත්‍රඤණය ගුරුකොට ගත්තො අද දෙස් විදෙස්වල පවා කීර්තිමත් යතිවරයන් වහන්සේලා සහ විද්වත්හු ලෙස සම්මානීයත්වයට පත්වැ කාර්ය සාධනයන්හි නිමග්නව වෙසෙති. අල්පේච්ඡ ජීවිතය, කරුණා මෛත්‍රීය සපිරි හද මඬල, නිහතමානීත්වය හා පරෝපකාරය සිය පැවිදි ජීවිතයේ ආභරණ කරගත් ධම්ම කුසල නාහිමිපාණෝ ශාසනයට දායාද කළ සඟ, සිසු පිරිස අපමණය. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාතලේ සාසනතිලක අනු නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා බද්දේගම විමලවංශ අනුනාහිමිපාණන් වහන්සේගේ ඇසුර හා රැකවරණය තුළ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් ආරම්භ කළ සිය ප්‍රශස්ථ හා ප්‍රබුද්ධ අධ්‍යාපන මෙහෙවර තුළින් දශක තුනක් (03) තුළ එහි පරිවේණාධිපති ධුරය තෙක්ම පිය එසවීමේ භාග්‍යයත් කුසලතාවයත්, හිමිකරගත් මාතලේ ධම්ම කුසල නාහිමිපාණෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයටත්, ප්‍රබුද්ධ කාව්‍ය ප්‍රබන්ධයටත් නිපුන පරිචයකින් පිරිපුන් වියත් පඬිරුවනකි.

අතීතයේ දී ඉතා නිවැරදිවම අපද දත් ඉතාම කුඩා පන්සලක් සේ ඇරඹි මට්ටක්කුලියේ ශ්‍රී වික්‍රමාරාමය අද වන විට අංග සම්පූර්ණ දුටු දුටුවන්ගේ සිත් සනසාලන සදහම් නිකේතනයක් බවට පත් කරලීමම, ධම්මකුසල නාහිමිපාණෝ සතු සාසනික කැපවීම හා කාර්ය ශූරත්වයට කදිම නිදසුනකි. ශාසනයේ ඉදිරි දැක්ම පිළිබඳව දැක්වූ සංවේදීතාවය කොපමණ ද යත් උන්වහන්සේ අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රදේශවල දරුවන් සසුන්ගත කොට සිවුදෙස විහිදී ඇති නිකායට සම්බන්ධ විශාරස්ථානවලට ඒ සාමණේර හිමිවරුන් සහ සම්බන්ධ කිරීමෙන්ම අවබෝධ කරගත හැකිය. උන්වහන්සේගේ අධිපතිත්වයෙන් ඇති සෑම විහාරස්ථානයකම දහම් පාසල් පිහිටුවා ඒවායේ අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලත් ගුරුවර, ගුරුවරියෝ අනුයුක්ත කොට මනා පශ්චාත් පාලනයකින් යුතුව ඒවා අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් සිදුකරන නිහඬ සාසනික, හා සමාජයීය සේවාව මෙවැනි අවස්ථාවක සිහිපත් කිරීම යුතුකමක් කොට සලකමි.

කුඩා කල පැවිදිව, තරුණ කල මනාසේ සිප්සත හැදෑරුව, මැදි වියේ සිට, අනවරතව ශාසනික සේවාවන්හි නියුක්තව සසුනඹර පෑයු පුරසඳක් සේ බැබළෙමින් හැත්තෑ හතර වන (74) වියද පසුකරමින් අද උන්වහන්සේ වැඩ සිටිනුයේ කායික හා මානසික ශක්තියෙන්ද යුක්තව ආදර්ශමත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙසිනි. අර්ථ විරහිත දෑ නොමැති උන්වහන්සේගේ සරල, සුගම, නිවැරදි හා අත්‍යලංකාර භාෂා ශෛලය නිසාවෙන්ම විවිධ මත මෙන්ම විවිධ ආගම් අදහන්නෝ ද උන්වහන්සේ වටා නිරතුරුවම රොක් වෙති. ආධාර උපකාර කරති. ඊට කදිම නිදසුනක් වනුයේ කොළඹ 15 ශ්‍රී වික්‍රමාරාම විහාරස්ථානයේ පැවැත්වෙන කවර නම් හෝ ආගමික උත්සවයන්හිදී ධර්ම ශාලාවේ වෙන් කළ අසුන් හී කතෝලික පූජකවරු අන්‍ය ලබ්ධික නායකවරු, මුස්ලිම්, මවුලියවරු, අසුන්ගෙන සිටිති. මෙය උන්වහන්සේ ලත් සමාජයීය ජයග්‍රහණයකි.

අප්‍රේල් මස 18 වන දින හැත්තෑපස් ( 75 ) වියට වැඩම කරවූ මාතලේ ධම්ම කුසල නාහිමිපාණෝ මූලික කොට මහා සංඝයා වහන්සේලා පනස් නමක් (50) විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පවත්වා සන්ධ්‍යාවෙහි විශේෂ බෝධි පූජාවක් පැවැත්විණි. උන්වහන්සේට චිර ජීවනයක් නිරෝගී සම්පත්තියක්, දීර්ඝායුෂත් මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.


බානගල සුසීල මාහිමි

පසුගියදා මහනුවර මල්වතු මහා විහාරයීය මහා සංඝරත්නය විසින් කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වලල්ලාවිට කෝරළේ උප ප්‍රධාන සංඝනායක ධුරය මතුගම පන්නිල ශෛලබිම්බාරාමාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බානගල සුසීල මාහිමිපාණන් වෙත පිරිනමනු ලැබීය. දකුණු ලක මොරවක් කෝරළේ සැදැහැති ජයවර්ධන පවුලේ 1932.9.20 වන දින මේ දරුවා ජන්ම ලාභය ලැබීය. පැවිද්ද වෙතම තම සිතැගි මෙහෙයවූ මොහු කයිකාවල සුනන්දාරාමය ඇතුළු විහාර ඝනයෙහි අධිපත්‍ය දැරූ රාජකීය පණ්ඩිත බානගල ශ්‍රී ඥානරතන නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් 1950 ඉඳුරුව කයිකාවල සුනන්දාරාමයේදි ‘බානගල සුසීල’ නමින් උතුම් පැවිදි බව ලැබීය. ගුරු ඇසුරෙන් හා ප්‍රාචීන භාරතී පිරිවෙනින් මූලික බණදහම් හදාරා උසස් අධ්‍යාපනය ලැබීමට ගංගොඩවිල විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලැබීය.

මේ අතර එනම් 1956 දී වෙසක් මස මල්වතු විහාරයෙන් උපසම්පදාවද ලබා ගත්හ.

පිරිපුන් තරුණ යතිවරයෙකු ලෙස අධ්‍යාපන සේවයට ඇතුළත් විය. තමන් උගත් පිරිවෙනේම ටික කලක් ගුරු පදවිය දරා අනතුරුව රජයේ ගුරු සේවයට ප්‍රවේශව මොනරාගල ඇල්පිටිය විද්‍යාලය,ඇතුළු විදුහල් කීපයක සේවය කොට විශ්‍රාම ලැබ තමන්ගේ ගුරුපරපුරේ ආරාමයක් වූ පන්නිල ශෛලබිම්බාරාමයට වැඩම කොට එම සිද්ධස්ථානය දැකුම්කළු පුදබිමක් බවට දියුණු කළේය.

ඉන්දියාව, ජපානය, මැලේසියාව, ආදි බෞද්ධ රටවල පුළුල් ලෙස සංචාරය කොට අත්දැකීම් සපුරා ඇති උන්වහන්සේ තමන්ට ලැබෙන සියලු දේ සාසනික දියුණුව වෙනුවෙන්ම කැප කළ සේක. දැනුදු ඒ වෙනුවෙන්ම නිරතව සිටිති.

මේ උදාර සේවාවන් හා චර්යාවන් නිසා ප්‍රසාදයට පත් මහනුවර මල්වතු මහා විහාරීය මහා සංඝ සභාව ඉහත දැක්වූ නායක පදවිය සුසීල මාහිමියන් වෙත පත් කොට තිබේ.

එම උත්සවය මහනුවරදී හා පන්නිල විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ගෞරවාර්හ බානගල සුසීලාභිධාන බෙන්තර වලල්ලාවිට කෝරළේ උප ප්‍රධාන සංඝනායක මාහිමියන්ට දිගාසිරි පතමු.