Print this Article


පින් කරමු පව් නොකරමු

පින් කරමු පව් නොකරමු

තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටින අවධියේ එක්තරා පුද්ගලයෙක් වෙළෙඳ පිරිස සමඟ ගම්වල ද, නැව් නැගී වෙනත් ප්‍රදේශවල ද වෙළෙඳාම් කරමින් සිටියේ ය.

එතුමා එක දවසක් තමන්ගේ හිතවත් වෙළෙඳ පිරිසක් සමඟ නැවක නැගී යන විට නැව මුහුදේ ගිලුනා. මෙතුමා හැර, සෙසු සියලු දෙනාම මුහුදේ ගිලී මිය ගියා. නොමැරී ඉතිරි වුණ මොහු නැවේ ලෑල්ලක් අරගෙන ඉතා අපහසුවෙන් පීනාගෙන ගොඩට ආව. එම ස්ථානය තරමක කැලෑවකි. ඊට එහායින් ගමකි. එම ගමේ සෙනඟ දර සෙවීම සඳහා මෙම කැලයට එනවිට ගසක් යට වාඩි වී සිටින මොහු දුටුව. රහත් වුණ අයෙක්යයි සිතූ අය ආහාර ගෙනත් දුන්නා.

මෙතුමාගේ මිත්‍රයෙක් මිය ගොස් දේවතාවෙක් වී සිටිය. එම දේවතාවා තම මිතුරා මුහුද අසල ඇති කැලයක නිරුවතින් සිටින බව දැක ඔහු ළඟට පැමිණ අප දෙදෙනා මිතුරන්ය. මම පින් කළ නිසා මිය ගොස් දෙව්ලොව උපන්නා. ඔබ නිරුවතින් ඉන්න එපා පව් සිදුවෙනව. කවර හෝ දෙයකින් ඇඟ වසා ගන්න. ටික කලක් එසේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවන්න. කියා දේවතාවා දෙව්ලොවට ගියා.

ඊට පසු මෙතුමා තමා සිටින කැලයේ ඇති කොළ අතු කඩාගෙන, වැලකින් බැඳගෙන, විලි වසාගෙන ආහාර සොයන්න ගම්මානයට ගියා. එම ගමේ තිබුණ දේවාලයක කොට බිත්තිය මත මුණින් අතට නවා තිබූ පොඩි මුට්ටිය අරගෙන ගෙයින් ගෙට ගොස් කෑම ලබාගෙන සතියක් පමණ කැලයේ සිට තම මිත්‍ර දේවතාවා පැවසූ උපදෙස් අනුව, එම ඇඳුමෙන් බුදු හිමි හමුවීමට ජේතවනාරාමයට ගියා. බුදුහිමි පිණ්ඩපාතයේ වැඩිය බව දැනගෙන උන්වහන්සේ හමුවීමට ගියා. පිඬු සිඟා වඩින බුදුහිමි ඉදිරියට ගොස් බුදු හිමියනි, මම බණ අහන්න ආවේ. මට බණ කියා දෙන්න කීව. මොහුගේ ඇඳුම දෙස බලා ඇඳුමට ගැළපෙන විධියට බුදු හිමියන් ඔහුට ‘දාරුචීරිය’ යන නම හදල මෙසේ දෙසූහ.

දාරුචීරිය! මම දැන් පිණ්ඩපාතය කරන වෙලාව නිසා ධර්ම දේශනා කරන්න වෙලාව මදියි දෙසූහ. නමුත්, දාරුචීරිය ඒ ගැන නොසිතා තුන්වතාවක්ම, ස්වාමිනි! මම බණ අහන්න ආවේ යනුවෙන් කීව. එවිට, බුදු නුවණින් මොහු ගැන බැලූ විට, අදම මොහු රහත් වෙන බවත්, අදම මොහු මිය යන බවත්, දුටු බුදුරජාණන් වහන්සේ මොහු ගැන අනුකම්පාවෙන් මෙසේ දෙසූහ.

දකින දේ දුටුවා පමණි. ඇසූදේ ඇසුණා පමණි. සිතට දැනෙන දේ දැනුනා පමණි. මේ සියල්ලම අනිත්‍යය, දුකය, අනාත්මය යනුවෙන් විදර්ශනා භාවනා කිරීමට උපදෙස් දුන්හ.

ඒ අනුව භාවනා කළ දාරුචීරිය එම ස්ථානයේදීම රහත් විය. බුදු හිමිගෙන් අවසර ගෙන, ආපසු වඩින විට, කුඩා වසු පැටියෙකු සමඟ පාර මැද සිටිය ගවදෙනක් දාරුචීරිය රහතන් වහන්සේට ඇන්නා. උන්වහන්සේ පිරිනිවන් පෑහ. ඒ බව බුදු හිමිට දැන ගන්නට ලැබිණි. සෙසු භික්ෂූන් වහන්සේලා බුදු හිමි හමුවට පැමිණ දාරුචීරියට ගවදෙනක් ඇන මැරූ බව පැවසූහ. එවිට බුදු හිමි භික්ෂූන්ට මෙසේ දෙසූහ.

මහණෙනි! මා හමුවීමට පැමිණි දාරුචීරිය භාවනා කිරීමට උපදෙස් ලබා ගෙන භාවනා කරල රහත්වූණා. වැඩිදුරක් යන්නට පෙර මඟ දී ගවදෙනකු දාරුචීරිය තෙරුන්ට ඇණල පිරිණිවන් පෑව. එතුමා දුස්සීල ගිහියෙක් නොවේ. සියලු කෙලෙස් නසා රහත් වූ අයෙකි. එමනිසා, රහත් වුණ දාරුචීරියගේ අවසාන කටයුතු කළ යුත්තේ, රහතන් වහන්සේලාගේ ආදාහන කටයුතු කරන ආකාරයට බව දෙසූහ. එසේ නො කළහොත් පව් සිදුවන බව ද දෙසූහ. ඒ සමඟ දාරුචීරිය තෙරුන්ගේ අතීත කතාව ද එම භික්ෂූන්ට මෙසේ පැවසූහ.

දාරුචීරිය තෙරුන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉතා හොඳ දැහැමි ගිහි උපාසකයෙක්ව සිට හොඳට භාවනා කළ අයෙකි. එම පුරුද්ද නිසා මම හමු වී භාවනා ක්‍රමය ඉගෙනගෙන විදර්ශනා භාවනාව වඩා මේ ආත්මයේදීම රහත් වුණා. මෙම දේශනාව අනුව අපට පැහැදිලිවන්නේ පින් කරල තිබේ නම්, මේ භවයේදීම සෝවාන් ආදී මග ඵල ලබාගෙන රහත් විය හැකිය. එම නිසා, අපි පින් කරමු. පව් නොකරමු.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටිය චක්ඛුපාල තෙරුන් වහන්සේ අරඤ්ඤ ගත වී භාවනා කරල රහත් වූහ. නමුත්, දින කිහිපයක් ගත වූ පසු උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ විය. එයට හේතුව පෙර භවයක දී කරන ලද පවක් නිසාය.

එනම්, ගෞතම බුදු හිමි කල උපදින්නට පෙර චක්ඛුපාල හිමි ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙක්ව සිටිය. ඇස් පෙනීම අඩු වූ කාන්තාවක් එම වෙද මහතාගෙන් බෙහෙත් ගැනීම සඳහා ගියා. ඇයගේ ඇස් රෝගය ඉක්මණින් සුව වුණ විට මගේ නිවසේ වැඩට එන්න පුළුවන්ද? කියා වෙද මහත්මයා ඇසුව. ඇය එන බවට පොරොන්දු වුණා. ඇයගේ ඇස් දෙක ඉක්මණින් සුවවීමට වෙද මහතා ප්‍රතිකාර කළා. ඉතා හොඳට සුව වුණා. වෙදමහතාගේ නිවසේ වැඩට යන්නට අකැමැති නිසා, මගේ ඇස් දෙක සුවපත් වුණේ නැතැයි වෙද මහතාට ඇය බොරු කීව. ඇය බොරු කියූ බව වටහාගත් වෙද මහතා එසේ නම්, මෙම බෙහෙත කරමු කියා අන්ධවීම සඳහා එවෙලේම ඇස් දෙකට බෙහෙත් දැම්මා. ඇයගෙන් පළිගැනීම සඳහා අයහපත් චේතනාවෙන් කරන ලද ප්‍රතිකාරයෙන් ඇයගේ ඇස් අන්ධවීම නිසා පෙර භවයේ කරන ලද එම පාපකර්මය නිසා, රහත් වූ චක්ඛුපාල තෙරුන්ගේ ඇස් දෙක අන්ධ විය. එමනිසා, අපි පින් කරමු. පව් නොකරමු.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ ලක්ඛණ තෙරුන් සමඟ ගල් පර්වතයෙන් පහළට බහින විට මුගලන් හිමිට සිනහ පහළ වුණා. සිනහවුණේ ඇයි කියා ලක්ඛණ තෙරුන් ඇසුව. ඌරෙකුගේ හැඩයෙන් යුතු පෙරේතයෙක් කටින් කෙල පෙරාගෙන වලිගයෙන් පණුවන් ගලාගෙන සිටින බව දුටු නිසායි මුගලන් හිමි පැවසූහ. ලක්ඛණ හිමි, ස්වාමීනී එයට හේතුව ඇසූහ. වේළුවනාරාමයට ගොස් බුදු හිමි වැඩසිටින අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරමුයි තීරණය කරගෙන මෙම දෙනම වේළුවනාරාමයට වැඩියහ. දම් දෙසමින් සිටිය බුදු හිමි අබියසට ගිය මෙම හිමිවරු දෙනම බුදුබණ අසා අවසන් වී ලක්ඛණ හිමියන් මුගලන් තෙරුන් සූකර ප්‍රේතයා දැක සිනහ වීමට හේතුව ඇසූහ.

එම පැනයට බුදුහිමි මෙසේ පිළිතුරු දුන්හ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආරාමයක වයසක භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩ සිටියහ. මෙම ආරාමයට ආගන්තුක තෙරුන් වහන්සේ නමක් වැඩියහ. උන්වහන්සේ ධර්ම කථිකයෙකි. එම ආරාමයේ සිටිය දෙනමටත්, දායකයන්ටත් දහම් දෙසූහ. දහම් ඇසූ එම දෙනම සහ දායකයන් අතිශයින් සතුටට පත්වූහ. ටික කලක් මෙම ආරාමයේ සිටිය ආගන්තුක ධම්ම කථික තෙරුන්ට එම ආරාමය තමන්ට අයත් කර ගැනීමට ආසාවක් ඇති විය. තමන්ට ඉතා හොඳට උපස්ථාන කළ එම භික්ෂූන් දෙදෙනාට වෙන වෙනම කේළාම් කියල සමඟියෙන් සිටිය භික්ෂු දෙනම අතර අසමගිය අමනාපය ඇති කළා. ඉන්පසු ආගන්තුකව එම ආරාමයට පැමිණි ධම්ම කථික හිමිට ආරාමය භාරදීල එම දෙනම ගියා.

කලක් ගතවුණාට පසු ධම්මකතික හිමි මිය ගිහින් සූකරයෙකුගේ හැඩයෙන් යුතු ප්‍රේතයෙක් වී උපන්නා. එයට හේතුව ඔහු ආරාමයේ සිටිය දෙනමට කේළාම් කියා සමගිය නැති කිරීම නමැති පාප කර්මය නිසායයනුවෙන් බුදු හිමි දෙසූහ. එමනිසා, අපි ද එවැනි පව් නොකරමු. පින් කරමු. බොරු නොකියමු, කේළාම් නොකියමු. සමඟිය, සාමය ඇතිවන ලෙස මෛත්‍රී චේතනාවෙන් යහපත් වචන කියමු. ගුණවත් ජීවිතයක් ගත කරමු.

අන්සතු දේපළ ආරක්ෂා වන සේ හැසිරෙමු. සිල්වත්, ගුණවත්, ජීවිතයක් ගත කරමු. දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පින් කරමු. දසපින් කිරියවත්, දස කුසල් කරමු. තිදොර සංවර කර ගනිමු. සතර අපායට, අවීචියට නොවැටී දෙලොව යහපත සලසාගෙන, සසර ගමන නවතා ගෙන නිවන් දකින්නට අදාළ පින් කරමු.