Print this Article


දුසිල්වත්ව සියක් වසක් ජීවත්වීමට වඩා සිල්වත්ව එක දවසක් ජීවත්වීම උතුම්

දුසිල්වත්ව සියක් වසක් ජීවත්වීමට වඩා සිල්වත්ව එක දවසක් ජීවත්වීම උතුම්

දාන සීල භාවනාදී පින්කම් කිරීමට විවේකයක් නැතැයි මැසිවිලි නඟන පිරිස අද සමාජයේ බහුලයි. ගේ දොර ඉඩ කඩම් දූ දරුවන්ගේ ප්‍රශ්න කොපමණ තිබුණත් මරණයට මේ කිසිවක් වලංගු නැහැ. විවේකය ඉබේටම ලැබෙන දෙයක් නෙවෙයි. වුවමනාවේ ප්‍රමාණයටයි විවේකය ලැබෙන්නේ. ශ්‍රද්ධාව හා වීර්යය තිබේනම් ගුණ දහම් පිරීමට විවේකය ඕනතරම් ලබා ගන්න පුළුවන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යෝ චේ වස්ස සතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීලවන්තස්ස ඣායිනෝ

කාරුණික පින්වතුනි,

මිනිසුන් මෙන්ම තිරිසන් සතුන්ද සැනසිල්ලේ සුවසේ ජීවත්වීමට කැමතියි. ලෝකයේ හැම ආගමක්ම බිහිවුණේ ඒ සැනසිල්ල ලබා දීමටයි. විශේෂයෙන් බෞද්ධ භාවනාව අපට සදාකාලික නිවීම සැනසීම උදාකර දෙනවා.

මා මුලින් මාතෘකා කළ ගාථාවෙන් ඉතා වැදගත් අදහසක් ප්‍රකාශ වෙනවා. භාවනාවෙන් සිත දියුණු කර නොගෙන දුසිල්වත්ව වසර සියයක් ජීවත් වන පුද්ගලයාට වඩා සීල භාවනාදී ප්‍රතිපත්තියත්, චිත්ත සංයමයත්, සිතේ සංහිඳියාවත් ඇතිව ජීවත් වන පුද්ගලයාගේ එක දවසක් ජීවත්වීම ඉතා වැදගත් බවයි ඉන් ප්‍රකාශ වන්නේ. දාන සීල භාවනාදී පින්කම් කිරීමට විවේකයක් නැතැයි මැසිවිලි නඟන පිරිස අද සමාජයේ බහුලයි. ගේ දොර ඉඩ කඩම් දූ දරුවන්ගේ ප්‍රශ්න කොපමණ තිබුණත් මරණයට මේ කිසිවක් වලංගු නැහැ. විවේකය ඉබේටම ලැබෙන දෙයක් නෙවෙයි. වුවමනාවේ ප්‍රමාණයටයි විවේකය ලැබෙන්නේ. ශ්‍රද්ධාව හා වීර්යය තිබේනම් ගුණ දහම් පිරීමට විවේකය ඕනතරම් ලබා ගන්න පුළුවන්.

ඉහත සඳහන් ගාථාවෙන් ප්‍රකාශ වන අදහසක් අනුව අද මා මේ ධර්ම දේශනාවෙන් අපේක්ෂා කරන්නේ බෞද්ධ භාවනාව පිළිබඳ කරුණු කිහිපයක් සැකෙවින් ඉදිරිපත් කිරීමටයි. භාවනාව යනු කුමක්ද? ඉතා සරලව කියනවා නම් විසිරී පැතිරී අවුල් වී තිබෙන අපේ සිත එක අරමුණක පිහිටුවා සන්සුන් කිරීමයි, භාවනාව කියන්නෙ’. “භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒකායති භාවනා” කුසල ධර්මයන් වැඩෙන මඟ යනු එහි අදහසයි. අත්ථසාලිනී අටුවාවට අනුව කුසල යන වචනය අර්ථ තුනක් වැටෙනවා. මේ අනුව සිතේ නිරෝගි බව, නිවැරදි බව හා දක්ෂ බව දියුණු කිරීමට ඇති හොඳම මාර්ගය භාවනාවයි.

භාවනාවෙන් සිදුවන ප්‍රධාන කෘත්‍ය හයක් පිළිබඳ ධර්මයෙහි සඳහන් වෙනවා. සිත දෙස බැලීම, සිත හඳුනා ගැනීම, සිත පාලනය කිරීම, සිත පිරිසුදු කිරීම, සිත දියුණු කිරීම හා සිත ජය ගැනීම යනු ඒ කරුණු හයයි. භාවනා කරන, පුද්ගලයා මේ ප්‍රතිඵල ලබනවා. එසේ නම් අප කළ යුත්තේ භාවනාව කිරීමයි.

මීළඟට භාවනා කිරීමට යෝග්‍ය පරිසරය කුමක්දැයි විමසා බලමු. ඉතා රමණීය පිවිතුරු වනය, කාම ගවේෂී පුද්ගලයන් සූන්‍ය ස්ථාන, නිහඬ පරිසරය භාවනාවට යෝග්‍යයි. අප්පසද්ද අප්පනිග්ඝෝෂ, විපිනවාත, මනුස්සරාහසෙය්‍ය, පටිසල්ලානසාරුප්ප ආදී වචනවලින් ඒ පරිසරය හඳුන්වා දී තිබෙනවා. එසේම භාවනා කිරීම සඳහා හිඳ ගැනීම සිට ගැනීම ආදී සතර ඉරියව් භාවිතා කළ හැකියි.

එමෙන්ම භාවනාවේ ප්‍රභේද පිළිබඳ සැළකිලිමත් වීමත් වටිනවා. සමථ, විපස්සනා යනුවෙන් භාවනාවෙහි ප්‍රධාන ප්‍රභේද දෙකයි. කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කරන, අඩු කරන, නැති කරන භාවනාව සමථයයි. කෙටියෙන් කිවහොත් සිත දියුණු කරන භාවනාව සමථය ලෙස හැඳින්විය හැකියි. මෙහි දියුණුව අවස්ථාව අටසමවත් නමින්ද පඤ්චාභිඤ්ඤු නමින්ද හැඳින්වෙනවා. සමථ භාවනාවට සම සතළිස් කර්මස්ථානයන්ම අයත් වෙනවා.

රූප ධර්ම සංඛ්‍යාත ජීවිත දෙස ත්‍රිලක්ෂණ දෘෂ්ටි කෝණයකින් බැලීම දැකීම විපස්සනාවයි. මෙය බුදු සසුනකදී පමණක් පවතින භාවනාවක් සතිපට්ඨාන සූත්‍රයෙහි විපස්සනා භාවනාව වඩන අයුරු මැනැවින් පැහැදිලි කර තිබෙනවා. මෛත්‍රී, ආනාපානසති, කායගතා සති ආදී භාවනා ක්‍රම රාශියක් බුදු දහමෙහි ඉගැන්වෙනවා.

බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති යනුවෙන් ආරක්ෂක භාවනා ක්‍රම හතරක් ගැන ද සඳහන් වෙනවා. මේවා නිරතුරුවම වැඩිය යුතුයි. එනිසා මේවා සබ්බත්ථක කම්මට්ඨාන නමින් හැඳින්වෙනවා. බුද්ධානුස්සති භාවනාව වැඩීමෙන් ශ්‍රද්ධාව දියුණු වී ප්‍රතිපත්ති පිරීමෙහි ලැදි වෙනවා. මෙත්තානුස්සතිය වැඩීමෙන් සියලු දෙනාටම පි‍්‍රය පුද්ගලයෙක් වෙනවා. අසුභය තුළින් විරාගය වර්ධනය වෙනවා. ලෝකාමිෂයෙහි ඇලෙන්නේ නෑ. මරණානුස්සතියෙන් වීර්යයෙන් යුක්තව ප්‍රතිපත්ති පිරීමට පෙළඹෙනවා. එමෙන්ම ඊර්ෂ්‍යා ක්‍රෝධාදී කෙලෙස් මළ දුරු වෙනවා. කායිකා මානසික සුව සහනය සැළසෙනවා. ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය ඇති වෙනවා. විවිධ රෝග නිවාරණය වී, නිරෝගී සුව ලැබෙනවා. මෙනිසා අපට ලැබී හමුවී තිබෙන මේ උතුම් ශාසනයෙන් අමිල ජීවිතයෙන් ප්‍රයෝජනය ගැනීම පිණිස භාවනා වඩමු. ප්‍රගුණ කරමු. සිත හදමු. උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උත්සාහ දරමු.

සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!