බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත්
කැලණිය විශ්වවිද්‍යාලයේ
චීන නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
නැදගලමුවේ
ධම්මදින්න හිමි
බක්අව අටවක පත්‍රය හා සම්බන්ධයි
සොරුන් යැයි අල්ලාගෙන මරන්නට නියම කර තිබුණත් නොමරණ ලද සොරන් තෙරුන්
සමීපයේ ධර්මය අසා, සිල් රැක පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වී භාවනා කර
දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයන් ලෙස උපන් අය නොයෙක් සිය ගණනකි. සුධර්මා
නම් දේව සභාවේ දෙදෙව්ලොව දෙවියන්,සතරවරම් දෙවිවරුන් හා ශක්‍ර දෙවියන්
ඉදිරියේ ඵුස්සදේව තෙරුන්ගේ ගුණ වර්ණනා කෙරෙයි. ඒ බව අසා ශක්‍රදේව
රාජයාණන්ගේ නාටිකාවෝ “තෙරුන් වහන්සේගෙන් ධර්මය අසමු”යි සක්දෙවියන්ට
කීහ. සක්දෙවියෝ එකිනෙහිම බලා ඇවිත් තෙරුන්ට වැඳ “ස්වාමීනි,අපේ
අන්තඞපුරයේ අය ඔබවහන්සේ ගේ ධර්මය ඇසීමට කැමැතියි. ඒ අයට ධර්මය දේශනා
කෙරේවා”යි කියා තෙරුන් වැඩ සිටි ආසනය පිටින්ම ගෙන හිස මත තබාගෙන ගියහ.
තෙරුන් වහන්සේ දිව්‍ය අප්සරාවන් දැකීමට අකමැති නිසා මනුෂ්‍ය ලෝකයේදීම
ඇස් පියාගත් අතර අභිධර්ම දේශනාවක් කළ සේක. ශක්‍රදේවේන්ද්‍රයාගේ බිසෝවරු
ධර්මය අසා තෙරුන් දැකබලාගෙන සතුටු සිතැතිව, දිව්‍ය පූජාවන් පූජා කර
තෙරුන් වැඩ සිටි තැනටම රැගෙන යන මෙන් ශක්‍රයාට කීවෝය. ශක්‍රයා තෙරුන්ව
රැගෙන ගොස් ඒ විහාරයට ම ඇරලවීය.
ඉක්බිති එක දවසක් තෙරුන් වහන්සේ සෑ මලුව අතුගා බුදුරදුන් මුල්කරගත්
පී‍්‍රතියෙන් යුක්තව සිටිසේක. එවේලෙහි මාරයා තෙරුන්ට උපන් පී‍්‍රතිය
නැති කරනු කැමතිව පාද පෙරළමින් එතැන සාරා, ගොම දමා, වැලි අවුස්සා යන්නට
ගියේය.තෙරණුවෝ ගොම අරන් දා,වැලි මට්ටම් කොට, අගු ගා “මේ හාත්පස ගොන්නු
නැත. මාව අවුල් කිරීමට පැමිණියා වූ මාරයාවත්දැයි” යි කල්පනා කොට “නුඹ
මාරයා”දැයි ඇසීය. ශ්‍රමණ තේජසින් යුක්ත ශ්‍රමණයාගේ කථාව අසා වංචාවක්
නොකොට”ඔව්, මා මාරයා වෙමි”යි කීවේය. තෙරුන් වහන්සේ ඔහුව වංචා කිරීමට”ඔබ
අපේ ශාස්තෘවරයාගේ රූපය දක්වන්නැ”යි කීවේය. ස්වාමීනි, එසේ නොකියන්න, ඔබ
වහන්සේගේ ශාස්තෘවරයාගේ රූපය මා බඳු මාරයන් දහසකට වුවත් මැවීමට
නොහැකියැ”යි කීය. ඔබට හැකි පමණින් අපට දක්වන්නැ”යි කීය. මාරයා තමාගේ
වේශය අතහැර අහසේ සිට අසූ අනුව්‍යජ්ජනයන්ගෙන් විසිතුරු වූ මහා පුරුෂ
ලක්ෂණ තිස්දෙකින් යුක්ත වූ සවනක් රැස් වලින් යුත් රැස් වලල්ලකින්
හාත්පස අලංකාර වු බුදුරුවක් මවා බබළමින් සිටියේය. තෙරුන් වහන්සේ
නිශ්චලව සිටිමින් බුද්ධාරම්මනයෙන් හටගත් කාය පී‍්‍රතියෙන් සිත පහදාගෙන
රහත් වූ සේක. මාරයා තෙරුන් වහන්සේගේ රහත්වීම දැනගෙන “ස්වාමීනි, මාව
හොඳටම රැවැට්ටුවා නේද?යි කියා දුකට හා දොම්නස් බවට පැමිණ එතැනදීම
අතුරුදන් විය.තෙරුන් වහන්සේ එම ආරාමයේම වසමින් මිනිසුන්ට සේවය කොට ආයුෂ
ඇතිතෙක් වැඩ සිට පිරිනිවන් පෑ සේක”.
(සහස්සවත්ථුප්පකරණය, ඵුස්සදේව ථෙර වස්තුවෙනි අර්ථ උත්පත්තිය)
උපගුත්ත නම් වූ මහරහතන් තෙරුන්වහන්සේ නමක්ද මාරයා පරාජයට පත් කර එයින්
නොනැවතී අවසානයේදී මාරයා බෞද්ධයෙකු බවටද පත්කළ කථා පුවතක් දිව්‍යාවදාන
නම්වූ සංස්කෘත ග්‍රන්ථයේ සඳහන් වී ඇත. ක්‍රි.ව. 2 වන සියවසේදී පමණ රචනා
කරන්නට ඇතැයි අනුමාන කෙරෙන මෙම කෘතියෙහි අශෝක රජතුමා පිළිබඳ බොහෝ
විස්තර ඇතුළත්ව තිබේ. ඔහුගේ ධර්මාචාර්යවරයා ලෙස උපගුප්ත මහ රහත්
තෙරණුවන් කටයුතු කළ බව මෙහි සඳහන් වී තිබේ. මේ පිළිබඳ විස්තර කිසිවක්
ථෙරවාද පාලි පොත්පත්වල සඳහන් වී නැති අතර උන්වහන්සේ සර්වාස්තිවාදි
භික්ෂුවක් විය හැකි යැයි යනුවෙන් මතයක් ඉදිරිපත් වී ඇත. ඉහත සඳහන් කල
උපගුප්ත තෙරුන්වහන්සේ හා මාරයා පිළිබඳ කථාපුවත මෙසේය. “එක් දිනක් මථුරා
නගරයේදී විශාල පිරිසක් ඉදිරියේ ධර්මය දේශනා කරනවිට මාරයා හා පිරිසගේ
අවධානය වෙනතකට යොමු කරවීමට මුතු මාලාවල් ප්‍රදර්ශනය කළේය.
දෙවැනි දින ද උන්වහන්සේගේ ධර්ම දේශනාව සිදු කෙරෙන අතරවාරයේ රත්තරන් හා
ස්වභාවික මුතු වැස්සක් ද හැලුණේය. උපගුප්ත තෙරුන් වහන්සේ ධර්මය දේශනා
කිරීමට පටන්ගත් විට, මාරයා දිව්‍යාංගනාවන් ලවා දිව්‍යවාදන භාණ්ඩ වාදනය
කරවා පිරිස මැද ගී ගැයීමට හා නැටීමට සැලැස්විය . ඒ නිසා ශ්‍රාවකයන්ගේ
සිත්ඇදී ගියේ දිව්‍ය අප්සරාවන්ට හා ඔවුන්ගේ සංගීතයටය. මාරයා බොහොම
සතුටට පත් වී උපගුප්ත ස්ථවිරයන් වහන්සේගේ හිස වටා මල් මාලාවක් දැමුවේය.
ඉන්පසු මාරයා පරාජය කිරීමට සිතූ මේ උතුම් භික්ෂුව නයෙකුගේ බල්ලෙකුගේ හා
මිනිසෙකුගේ ඇටකටුවලින් කළ මල් මාලයක් මාරයාගේ හිසවටේ පළඳුවේය. මාරයා එය
පැළඳගත්තාට පසු මල්මාලයක් වෙනුවට දකින්න ලැබුණේ නයෙකුගේ, බල්ලෙකුගේ හා
මිනිසෙකුගේ ඇටකටු ඔහුගේ හිසේ, බෙල්ලේ හා කන්වල තිබෙන ආකාරයයි. මාරයා ඒ
ඇටකටු ඇඟෙන් ඉවත් කිරීමට උත්සාහ කලත් එය සාර්ථක නොවීය. ඉන්පසු ඔහු අහසට
පැන නැගී ඉන්ද්‍ර, රුද්‍ර, විෂ්ණු , යම, වරුණ වැනි දෙවිවරුන්ගෙන් ඉල්ලා
සිටියේ තමන් කෙසේ හෝ මුදා ගන්නා ලෙසය. නමුත් ඒ දෙවිවරු ද එසේ කිරීමට
හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළෝය .අන්තිමේදී මාරයා මහා බ්‍රහ්මයා වෙත
ගිය විට ලැබුණු උපදේශය වූයේ හැකි ඉක්මනින් උපගුප්ත තෙරුන් මුණගැසී
ගැලවීම උදාකර ගන්නා ලෙසය.
ඉන් පසු බලවත් සේ පසුතැවිලි වූ මාරයා උපගුප්ත තෙරුන්ගේ පාමුල වැටී එම
හිස්කබල් හා ඇටකටු මාලය ඉවත්කර දෙන ලෙස ඉල්ලා සිටියේය. මින් මතු මාරයා
කිසිඳු භික්ෂුවකට කරදර කරන්නේ නැතිනම් හා බුදුරජාණන් වහන්සේගේ මනුෂ්‍ය
ස්වභාවය මවා පෙන්වූවොත් පමණක් ඔහුව මුදාහැරීමට උන්වහන්සේ කැමැති විය.
ඊට හේතුව නම් එහිමියන් බුදුරදුන්ගේ ධර්මකාය දැක තිබුණත් රූපකාය දැක
නැති නිසාය. මාරයා ඊට එකඟ විය. නමුත් තමන් මවන බුදුරුවට නොවැඳිය යුතු
බවත්, එසේ වැන්දොත් උන්වහන්සේ විනාශවන බවත් ඔහු තවදුරටත් කීය. ඉන්පසු
මාරයා අතුරුදන් වී මහාපුරුෂ ලකුණු තිස් දෙකින් යුතු බුද්ධ ස්වරූපය
මවාගත්තේය. එය ඇසට ඉතාමත්ම ලස්සන,වර්ණවත් අලංකාර නිර්මාණයක් විය. මෙම
අලංකාර දර්ශනය දුටු උපගුප්ත තෙරුන් බුදුරජාණන් වහන්සේගේ රූපයේ වුවද
පවතින්නා වූ අනිත්‍යය මෙනෙහි කළේය.
උපගුප්ත තෙරුන්වහන්සේ බුදුරුව දැක එය මැවීමක් බව අමතක වූ නිසා බුදුරුව
ඉදිරිපස කඩාවැටුණු දර කොටයක් මෙන් දිගාවී වැන්දේය. කලින් වූ පොරොන්දුව
මාරයා උන්වහන්සේට මතක් කරදුන් විට උන්වහන්සේ පැවසුවේ තමන් වැන්දේ,
මාරයාට නොව බුදුරජාණන් වහන්සේට බවය. බුදුරදුන් විරාජමාන නොවුවද
මිනිසුන් මැටියෙන් කළ දේව පිළිමවලට වඳින විට ගරු කරවනුයේ දෙවියන්ට නිසා
මේ වැඳීම ද බුදුරදුන් උදෙසා කළ දෙයක් බව උන්වහන්සේ පැවසූහ.
ඉන් අනතුරුව මාරයා තමාගේ යථා ස්වභාවයට පත්වී උපගුප්ත තෙරුන්ගෙන් බණ
ඇසීමට මිනිසුන්ට ආරාධනා කළේය. (දිව්‍යාවදානය, පාංශුප්‍රදානාවදානය)
නමුත් මාරයා මෙකල වැඩවසන සිල්වත් හා භාවනානුයෝගී භක්ෂූන් වහන්සේලාට පවා
බාධා කරන බව සත්‍යයකි. මෙකල ලංකාවේ ඉතාමත්ම ජනපි‍්‍රය පොත් පෙළක් වන
“මහ රහතුන් වැඩි මග ඔස්සේ,” නමැති ග්‍රන්ථ මාලාව රචනා කරන ස්වාමින්
වහන්සේ මේ පිළිබඳ ඉතාමත්ම සිත් ගන්නා සුළු කතා පුවතක් දක්වා ඇත.
උන්වහන්සේගේ එම අද්දැකීම ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.
දැන් භික්ෂුව මෙහි සඳහන් කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිපදාව තුළ එනම් තුන්
සිව්රත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම
මාර්ගයේ ගමන් ගත් එක්තරා භික්ෂුවක් සමාධියෙන් පසු වෙද්දි අත්දුටු
මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නමැති
දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්ෂුව රාත්‍රී 11.00
ට පමණ සමාධියෙන් පසුවෙත් දී භික්ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්,
වියරුවෙන් කුළුහරක් රංචුවක් පැමිණියහ. මෙම වියරු කුළු හරක් රංචුව
භික්ෂුවට මීටර් 25 ක් පමණ ඉදිරියෙන් ක්ෂණයෙකින් පහළ වී භික්ෂුවගේ
ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්ම ඉතාමත් ජව සම්පන්න හැඩි දැඩි
සතුන්ය.මෙසේ වේගයෙන් පිඹිමින් භික්ෂුව ඉදිරියට දිවමින් භික්ෂුවට මීටර්
පණහක් පමණ තිබියදී මේ වියරු කුළු හරක් රංචුව දකුණු පැත්තට හැරී
පලාගියහ. මෙම රංචුවේ අවසාන මී හරකාත් භික්ෂුවට සමාධියෙන් නොපෙනීයාමත්
සමගම එක ක්ෂණයකින් භික්ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළු
හරකෙන් පහළවිය. මොහු කුළු හරකෙක් නොව හරක් රජෙකි.
මතු සම්බන්ධයි |