සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 34
- නාරංවත්තේ
ධම්මසිරි හිමි සාරිපුත්ත ස්ථූපය
සැවැත්නුවර ජේතවනාරාමයේ පිහිටි
සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු ස්ථූපය |
සීවලි මහ රහතන් වහන්සේ සහ අංගුලිමාල මහ රහතන් වහන්සේ වැඩසිටි කුටිවලට
නැගෙනහිර දෙසින් ඇති මෙය හතරැස් පදනමක් මත වෘත්තාකාරව තිබී ඇත. දැනට
ඇත්තේ පදනම පමණි. පදනමේ විෂ්කම්භය මී. 6.7 කන් පමණ වේ. ආචාර්ය හොයේ
මහතා විසින් මේ ස්ථූපය මී. 2.1 ක් යටට කැණීමේ දී පාත්‍රයක් හමු වී ඇත.
එහි ධාතුන් වහන්සේලා සහිත කරඬුවක් විය. මේවා කුෂාණ යුගයට (ක්‍රි.ව.
පළමු ශත වර්ෂයට) අයත්ය.
මෙහි අඩි 22 ක් යට දී මුනින් නවා තිබු විශාල පාත්‍රයක්ද ඒ තුළ පාෂාණමය
කරඬුවක්ද තිබුණි.මේවා සැරියුත් හිමියන්ගේ ධාතුන් වහන්සේලා බවත් ස්ථූපය
සාරිපුත්ත ස්ථූපය බවත් ආචාර්ය මොයේ හඳුන්වයි. මෙය අවට කුඩා පරිවාර
ස්ථූප , ස්මාරක . ගල්ටැම් සහ බටහිර පැත්තේ ළිඳක් ද තිබී ඇත.
සැරියුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර පිරිනිවන්
පෑ සේක. පරිනිවීමට පෙර තම මෑණියන් වු සාරි බැමිණියට දහම් දෙසා නිර්වාණ
මාර්ගයට යොමුකොට නාලන්දාවේ නාලක ගමේදී පිරිනිවන් පෑ සේක. ආදාහනයෙන් පසු
එම ධාතුන් වහන්සේ චුන්ද හිමියන් විසින් සැවත්නුවරට වැඩම වන ලදී.ආනන්ද
හිමියන් විසින් එම ධාතුන් වහන්සේලා පිළිගෙන බුදුරජාණන් වහන්සේට දීමෙන්
අනතුරුව ගාථා 500 කින් සැරියුත් හිමියන්ගේ ගුණ ගයා එම ධාතුන් නිදන්කර
අනේපිඩු සිටුතුමා ලවා චෛත්‍යයක් බැන්ද වු සේක. ධර්මාශෝක රජු සිද්ධස්ථාන
සොයා ධර්ම යාත්‍රාවේ යෙදෙන විට උපගුප්ත මහරහතන් වහන්සේ විසින් මෙම
ස්ථූපය පෙන්වන ලදී. ධාතුන් වහන්සේලා කීප නමක් මෙතැනම තිබෙන්නට හැර
ඉතිරිය නාලන්දාවේ සාරිපුත්ත ස්ථූපයේ හා සාංචියේ නිධන් කරවු බව කියවේ.
සාරිපුත්ත ස්ථූපය ළඟ එයට නැගෙනහිර දෙසින් වන්නට තවත් ස්ථූපයක පදනමක්
ඇත.
සීවලී මහරහතන් වහන්සේ
වැඩසිටි කුටිය
සීවලී මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය |
කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේ දවස “හංසවතී”
රාජධානියෙහි ක්ෂත්‍රිය රජ කෙනෙක් උපත ලැබීය. මෙතුමා ධර්ම ශ්‍රවණය පිණිස
විහාරයට ගිය අවස්ථාවෙහි “සුදර්ශන” නම් රහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන්
අතරින් අග තනතුර පියුමතුරා බුදුරජාණන් වහන්සේ විසින් පිළිගන්වන අයුරු
දැක මෙතුමා “මමත් යම් දවසක ඒ තනතුර ලබාගන්න යැයි අදිටන් කර ගත්තේය.මේ
අදිටනින් බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහරහතුන්ට දන් පිරිනමා තමාට
යම් දිනක ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග තනතුර ලැබේවායි ප්‍රාර්ථනා
කළේය. ඉන් අනතුරුව විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉපදී එක් ධනවතෙකු
ළඟ සේවය කරමින් සිටින අතර මොහු මීකිරි සහ මී පැණි රැගෙන යන විට නගර
වැසියන් විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාටද දන් පිරිනමමින්
සිටිනු දුටුවේය. මේ තරුණයාද බුදුරජාණන් වහන්සේට දන් පූජාකර තමන්ගේ
ප්‍රාර්ථනා ඉටුකර ගන්නට උන්වහන්සේගෙන් විවරණ ලබා ගත්තේය. අනතුරුව
විපස්සි බුදුරජාණන් වහන්සේ විසින් “තරුණය, ඔබගේ ප්‍රාර්ථනාව දෙව්
මිනිස් ලොව ඉපිද කල්ප ගණනක් සැරිසරා ගෞතම බුද්ධ ශාසනය තුළ ඔබ හට එම
තනතුර ලැබෙයි” වදාළහ. ගෞතම බුදුන් දවස බුදුරජාණන් වහන්සේගේ මව් පස
ඥාතියෙකු වන කෝලිය රජතුමාගේ දියණියක වන සුප්පාවාසා කුමරියගේ කුස
පිළිසිඳ ගත්තේය. සුප්පාවාසා කුමරියගේ ස්වාමියා වූයේ මහා ලිච්ඡවී
රජතුමායි. අනේක විධ සැප සම්පත් මැද මේ දෙදෙනා ජීවිතය ඉතා සතුටින් ගත
කළහ. සුප්පාවාසා දේවිය ගැබ් ගත්තත් මාස 09 ක් ඉකුත්ව ගියද දරුවා බිහි
වූයේ නැත. අවසානයේදී ඇගේ ඉල්ලීම මත රජු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ
භික්ෂූ සංඝයාට දන් දෙන්නට මාලිගාවට ආරාධනා කරන ලදී. අවුරුදු 07 ක්, මාස
07 ක් හා දින 07 ක් මව්කුස තුළ මව හා පුතු කරන ලද අකුසලය නිසා දෙදෙනාටම
දුක් විඳීමට සිදු විය. නමුත් බුදුරදුන්ගේ මහා කරුණා බල මහිමය තුළින්
වලාකුළු තුළින් මෑත් වන පූර්ණ චන්ද්‍රයා මෙන් පුන් සඳක් බඳු පින්වත්
කුමරෙකු උපන්නේය. වසර හතක් මව් කුස තුළ කුමරු වැඩුණු හෙයින් ඉතා ශෝභා
සම්පන්නව බිහිවු කුමරුට”සීවලී” යන නම තබන ලදී. කුමරු බිහිවූ මොහොතේ කතා
කිරීමට හැකි විය.
අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩසිටි කුටිය |
අනතුරුව මහණ වීමට කැමැත්ත දැක්වූ සීවලී කුමරු සැරියුත් හා මුගලන්
මහරහතන් වහන්සේලා පැවිදි කළහ.පැවිදි වූ දින පටන්ම ප්‍රත්‍යලාභ අඩුවක්
නැතිව ලැබුණූ නිසා කෙස්ස බා අවසන් කරන විටම රහත් භාවය ලබන්නට පවා
පින්කර තිබූ සීවලී මහරහතන් වහන්සේට තමන් සසර ප්‍රාර්ථනා කරන ලද
ප්‍රාර්ථනාවද ඉටු විය.උන්වහන්සේ ප්‍රත්‍යාලාභි භික්ෂූන් අතර අග තනතුරට
පත් විය. සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණ සියලු සැදැහවතුන් සොයන කුටිය
නම් සීවලී කුටියයි. ඒ උන්වහන්සේට තිබූ ආදරය ගෞරවය නිසාම විය
හැකිය.සීවලී කුටිය අටකොන් ළිඳට උතුරු දෙසින් රන් ආලේප කරන ලද කුටිය
නැගෙනහිරට මුහුණලා ඇත. මෙම ස්ථානයේදී ප්‍රාර්ථනා කළ යුත්තේ තණ්හාව
දුරුව දන්දීම සඳහා සිත් ඇති කර ගැනීමටයි.
අංගුලිමාල මහ රහතන් වහන්සේ
වැඩ සිටි කුටිය
සීවලි කුටියට මඳක් නුදුරින් පිහිටා ඇති මේ කුටියේ දොරටුව උතුරට මුහුණ
ලා ඇත. මේ අංගුලිමාල මහ රහතන් වහන්සේ හා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ
වැඩ සිටි බවට කතා පුවත්වල සදහන් වේ. අහිංසක නමැති දරුවා සැවැත්නුවර
මාර්ගව බමුණාගේ හා මන්තානි බැමිණියගේ පුතණුවන්ය. තම අධ්‍යාපනය සඳහා
තක්සලාවේ දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ගොස් ශිල්පය ඉගෙන ගත් අතර
අධ්‍යාපනයට දක්ෂ වු අහිංසක හා ගුරුවරයා අතර ගැටුමක් නිර්මාණය කිරීම
සඳහා අනික් සිසුන් ගුරුවරයාට මුසා බස් කියා අහිංසකව වැරැදිකාරයකු බවට
පත් කළහ. ගුරුවරයා ද මේ බස් පිළිගනිමින් ඔහුට දුන් ශිල්පය අවසන් බවත්,
ගුරු පඬුරු පිණිස ඇඟිළි දහසක් ගෙනැවිත් දෙන ලෙසත් කීවේය. නමුත්
අප්‍රමාණ ගුරු භක්තිය නිසා අහිංසක අවසානයේදී අංගුලිමාලයෙකු විය.ඇඟිලි
දහස සඳහා අම්මා මරා හෝ ඇඟිල්ලක් ලබා ගැනීමට උත්සාහයක් ගත් අංගුලිමාලට
එම අවස්ථාව මග හැරී තිබුණේ ඔහු සසර කරන ලද පින් මහිමය නිසාය.
බුදුරජාණන් වහන්සේ අංගුලිමාල හමුවට ගොස් ඔහු දමනය කර ඔහුට දහම් දේශනා
කරමින් මහ රහතන් වහන්සේ නමක් බවට පත් කළ සේක. අදටත් අංගුලිමාල රහතන්
වහන්සේ සිහිපත් කරමින් ගර්භණී මාතාවන්ට හත් මාසයෙන් හෝ නව මාසයෙන්
අංගුලිමාල පිරිත දේශනා කර ගනිමින් ආශිර්වාදය ලබා ගනී. එම පිරිතේ
ආශිර්වාදය අදටත් මේ විශ්ව තලය තුළ පවතියි.
තවත් කොටසක්
වෙසක් පුර අටවක පොහෝදා
අප්‍රේල් 25 වනදා පත්‍රයේ
|