රහතන් වහන්සේ වැඩි මඟ
කීමට අපහසුය
කොබෙයිගනේ පුබ්බිලිය
ශී‍්‍ර සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි
සත්වයා සසර සැරිසරන්නේ භවයෙන් භවයටය. එක භවයක් අවසන් කොට අලුත් භවයකට
පිවිසෙනු ඇත. එම සැරි සැරීමේදී කාම, රූප ,අරූපාදි ලෝක හසු වීමට පුළුවන.
බහුල වශයෙන් කාම ලෝකවලට අයත් සතර අපාය සදිව්‍ය ලෝකය හා මිනිස් ලෝකය,
තුළ සැරිසරනු ඇත. එයින් ඇතැම් පිරිසක් අභෞවස්‍යස්ථාන වල සැරි සරනු ලබන
අතර තවත් පිරිසක් සුගති වල උපදිනු ඇත.
මෙම සංසාර චක්‍රයෙහි මිනිස් ලෝකය තුළ උපදීමට ලැබීම ඉතා භාග්‍ය සම්පන්න
කටයුත්තක් වනු ඇත. මිනිසෙක් වී ඉපදීම දුර්ලභ කරුණක් වශයෙන් බුදුදහම තුළ
පෙන්වාදී ඇත. උසස් මනසක් ඇතිව ඉපදීම එහි විශේෂත්වයයි. සාමාන්‍ය වශයෙන්
අවුරුදු සීයක් , එකසිය විස්සක් මිනිසාට පරමායුෂ තිබුණද, වර්තමානය වන
විට පරමායුෂ හැටක්, හැත්තෑවක් අනුව ප්‍රමාණයට සීමා වී ඇත.
එවැනි කෙටිකාලයක් තුළ ජීවත් වන මිනිසා, ආයුෂ අවසන් වූ කල මිය යනු ඇත.
ආයුෂ විඥානය පහළ වූ කල දර කැබැල්ලක් සේ මෙම ශරීරය අකි‍්‍රය වනු ඇත. ඊට
පසු ඔහු වෙනත් භවයකට සම්බන්ධකම් කියනු ඇත. ශරීරය පොළවට වැළලූ කළ පස්
බවට පත් වී පොහොර වනු ඇත. නැවත කුමන තැනකට ගියාද? කියන වග නිශ්චිත
වශයෙන් කීමට අපහසුය.
වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයක් පරීක්ෂා කොට ශරීරයට වූ හානියක්, පිළිබඳ
ඒ ඒ ලක්ෂණවලට අනුව කීමට සමත්කමක් දැක්වුවද මිය ගියාට පසු කොතනකට ගියාද,
කොතනක ඉපදුනාද කියා කීමට සමත්නොවනු ඇත. ශරීරය විනාශ වීම සිදුවූයේ බාහිර
බලපෑමකින් හෝ යම් කෙනෙකුගේ පහර දීමකින්, වෙඩි තැබීමකින් නම් ඒ පිළිබඳ
වෛද්‍ය වාර්තාවක් දීමට පුළුවන්කමක් ඇති නමුත් මියගොස් නැවත උපදින තැන
කොතනද කියා සහතිකයක් නොදෙනු ඇත.
නමුදු බුදුරදුන් ජීවමාන දවස සිටි වංගීස නම් බමුණාට මියගොස් ඉපදුන තැන
කීමට තරම් සුවිශේෂී හැකියාවක් තිබූ බව ධම්ම පදය තුළින් කියවේ. බුදුන්
කල සිටි වංගීස බමුණා එය සිදු කළේ මිය ගිය අයගේ හිස් කබල් ගෙන එය නිය
පිටින් ගැසීමෙන්ය. එය සුවිශේෂි හැකියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඔහුගේ හැකියාවට අනුව හිස් කබල් වලට තට්ටු කොට,
මේ හිස නරකයෙහි උපන් කෙනෙකුගේය.
මේ හිස තිරිසන් යෝනියෙහි උපන් කෙනෙකුගේය
මේ හිස පේ‍්‍රත ලෝකයෙහි උපන් කෙනෙකුගේය
මේ හිස මිනිස් ලෝකයෙහි උපන් කෙනෙකුගේය
මේ හිස දෙව්ලොව උපන් කෙනෙකුගේය
ආදී වශයෙන් කියනු ඇත. විවිධ මිනිසුන් තම තමන්ගේ ඥාති සමූහයා, පවුලේ අය
මියගොස් කොහේ උපන්නේද ? කියා දැන ගැනීමට වංගීස බමුණා ළඟට හිස් කබලත්
රැගෙන ඒම සුලභව සිදුවෙන්නට විය. ඔහුට විශාල වශයෙන් මුදල් ද ඒ සම්බන්ධව
ලබා ගැනීමට හැකි විය. නුවර වැසියන් මේ බමුණාගේ දක්ෂතාවය නිසාම
බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නට විය. පසුව බුදුහිමි රහතන් වහන්සේ
කෙනෙකුගේ හිස් කබලක් දී බමුණ, ඔබ කෙනෙකු මිය ගිය පසු උපදින තැන් කීමට
සමර්ථයෙක් බව දැන ගන්නට ලැබුණ බවත්, එසේනම් මේ හිස් කබල පරික්ෂාකොට ඔහු
ගිය මඟ කියන්න යැයි ප්‍රකාශ කළේය. පසුව බමුණා එම හිස් කබල ගෙන තට්ටුකොට
කීමට අපහසුව ලජ්ජාවෙන් මිරිකි මිරිකී සිටියේය.
පසුව බුදුරදුන් මතක් කර සිටින්නේ බමුණ ඔහු ගිය මඟ මා දනිමි යනුවෙනි.
පසුව එම මන්ත්‍රය කුමක්ද? එය මටත් කියා දෙන්නට යනුවෙන් ඉල්ලා සිටියේය.
බුදුරදුන් මතක් කර සිටින්නේ බමුණ, එම මන්ත්‍රය දැන ගැනීමට නම් පැවිදිව
වත් පිළිවෙත් ඉටුකොට බවුන් වැඩීම කළ යුතු බවය. පසුව වංගීස බමුණා
පැවිදිව ප්‍රතිපත්ති පුරමින් විදසුන් වඩා රහත් භාවය ද ලැබීය. පසුව
වංගීස තෙරුණ් යනුවෙන් ප්‍රකට විය.
ඉහත කතාව තුළින් පැහැදිලි වන්නේ රහතුන් වැඩි මග බුදුරදුන්ට හැර
කිසිවෙකුට කීමට අපහසු බවයි. රහතන් වහන්සේ කෙනෙකු යනු දස සංයෝජන ධර්ම
සිඳ බිඳ දා උතුම් නිවන් සුවයට පත්වූ උතුමන්ය.එවැනි උත්තමයෙකුගේ හිස්
කබලක් හෝ ශරීරය ඇට කැබලි සාමාන්‍ය කෙලෙස් බරිත කෙනෙකුට නිරීක්ෂණය,
පරීක්ෂණය කිරීම අපහසු කාර්යයකි. පුහුදුන් බුද්ධියට ඔවුන්ගේ
පිරිනිවීමෙන් පසු ගිය මඟ කීම අපහසුය. එය හරියට කුරුල්ලන් අහසේ යෑමෙන්
පසු ගිය මග කීමට අපහසු වූවාක් මෙනි. ඒ බව ධම්ම පදයේ අරහත්ත වග්ගය
තුළින් පැහැදිලි වේ.
යෙසං සන්නිචයෝ නත්ථි
යෙ පරිඤ්ඤාත භෝජනං
සුඤ්ඤතෝ අනිමිත්තෝච
විමොකේඛෝ යස්ස ගොචොරො
ආකාසේව සකුන්තානං
ගති තෙසං දුරන්නයා
නිවන අරමුණ කොටගත් රහතුන්ගේ ස්වභාවය දැන ගැනීම අපහසුය.අහසේ පක්ෂීන් ගිය
මඟ නොදත හැකිවාක් මෙනි. මේ ආදී වශයෙන් රහතුන් පිළිබඳ ත්‍රිපිටකය තුළ
සඳහන් කරුණු කාරණා අනුව රහතුන්ගේ ගති ස්වභාවය, රහතුන්ගේ ඉපදීම කෙනෙකුට
නොදත හැකිය. එය බුදු කෙනෙකුගේම ඥානයට හසු වන්නකි.
රහතුන්ගේ ගුණ නොදැන රහතුන්ට නින්දා, අපහාස කිරීම හෝ තාඩන පීඩන කිරීම
තුළින් සිදුවන අකුසලය ඉතා බරපතලය. රහතුන් මැරීම ආනන්තරිය පාපකර්ම
වලින්ද එකක් වන්නේය. මහරහතුන්ගේ චරිත කතා සම්බන්ධ කොට ගෙන ප්‍රතිපත්ති
පිරීම සිදු කළ යුතුව ඇත. එතුළින් සතර මඟ, සතර ඵල හා නිවන ක්ෂාත් ක්ෂාත්
කර ගැනීමට පුළුවන් කමක් ඇත. |