දෙවියන්ට වදාළ සම්බුදු බණ 11
භව බන්ධන සිඳ දැම්මේ ඔබ වහන්සේගේ ශාසනය නිසාමයි
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අප මේ ජීවත්වෙන්නේ මහා භද්‍ර කල්පයේ. මේ මහා භද්‍ර කල්පයේ අවුරුදු
20,000 ක් ආයුෂ ඇති මිනිසුන් ජීවත් වූ යුගයේ කාශ්‍යප නම් වූ අරහත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ඒ යුගයේ අපගේ ගෞතම
මහබෝසතාණන් වහන්සේ ජෝතිපාල නමින් බ්‍රාහ්මණ තරුණයෙක් ලෙස ඉපදී සිටියා.
ඒ ජෝතිපාල තරුණයාගේ සමීපම මිත්‍රයා වුණේ ඝටීකාර නම් වූ කුඹල්කරුවෙක්.
මේ ඝටීකාර කියන්නේ කාශ්‍යප බුදු සසුනේ ගිහි ශ්‍රාවකයන් අතරේ අග්‍රම
උපස්ථායකයා. ඔහු අනාගාමි ඵලයට සිත දියුණු කරලයි සිටියේ. තම අන්ධ
දෙමාපියන් හට උපස්ථාන කළ යුතු නිසා ඔහු පැවිදිබවට පත්වුණේ නැහැ. කෙසේ
නමුත් කුල භේදයකින් තොරව ජෝතිපාල බ්‍රාහ්මණ තරුණයාගේත් මේ ඝටීකාර කියන
කුඹල්කාරයාගේත් මිත්‍රත්වය ඉතා හොඳින් පැවතුණා.
මාර්ගඵලලාභී ශ‍්‍රාවකයෙක් නිසා මේ ඝටීකාර තම සමීපම මිතුරාටත් තිසරණයේ
පිහිට සලසාදීමට අපේක්ෂාවෙන් තමා සිටියේ. ඔහු නිතර නිතරම ජෝතිපාල
තරුණයාගෙන් ඉල්ලා සිටියා ‘අපි ඒ භාග්‍යවත් වූ අරහත් වූ කාශ්‍යප
සම්බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යමුද?’ කියා. එහෙත් කුලයෙන් උසස් වූ
ජෝතිපාල තරුණයා “ඔය මුඬු මහණුන් දැකීමෙහි ඇති ඵලය කිම? “කියමින් ඒ
ඇරයුම ප්‍රතික්ෂේප කළා.
දිනක් නාන තොටේදී ඝටීකාර තම මිත්‍රයාගේ කෙස් වැටියෙන් වැරෙන් අල්ලා
ගත්තා. “අප ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට
යමු” කියා තදින්ම කියා සිටියා. එතකොට ජෝතිපාල තරුණයා කල්පනා කළා
‘හැබෑවටම මොහු මාගේ මිත්‍රයා වුවත් කුලයෙන් හීන කෙනෙක්. එසේ තිබියදී
කුලීනයෙකු වූ මාගේ කෙස් වැටියෙන් අල්ලා යමක් පැවසුවා නම් ඒ වැදගත්
දෙයක් නිසාමයි’. ඉතිං ඔහු ඝටීකාරට කිව්වා, ‘හොඳයි අප යමු’.
ඝටීකාර කුඹල්කරුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හට තම සමීපතම මිතුරා වූ
ජෝතිපාල හඳුන්වා දුන්නා. ඔවුන් දෙදෙනාම ධර්ම ශ්‍රවණය කළා. දහම් ඇසූ
ජෝතිපාල තරුණයා ඒ කාශ්‍යප බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලබා සසුන්
පිළිවෙත් පුරමින් දිවි ගත කළා. ඒ අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ වූ
ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අතීත පුවත හෙළිදරව් කළේ මජ්ක්‍ධිම නිකායේ
‘ඝටීකාර’ සූත්‍ර දේශනාවේදීය.
එකල ජෝතිපාල නමින් ඉපිද සිටි අපගේ මහබෝසතාණන් වහන්සේට යහපත් මඟ පෙන්වූ
මිත්‍රයා වුණේ අනාගාමි ශ්‍රාවකයෙක් වූ ඝටීකාර. ඉතින් ඔහු මනුලොවින් චුත
වී සුද්ධාවාස බඹලොව ඝටීකාර නමික් ම බ්‍රහ්මරාන්යකු වී උපත ලැබුවා.
මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 120 ක් වූ යුගයේ මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි
සම්බුදුරජාණන් වහන්සේ ලෙස අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ
වෙද්දීත් මේ ඝටීකාර බ්‍රහ්මරාජයා සුද්ධාවාස බඹලොව සිට ඒ අසිරිය බලා
සිටියා.
දිනක් අපගේ ශාස්තෘන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිද්දී
මුළුමහත් දෙව්රම් විහාරයම ඒකාලෝක කරගෙන මේ ඝටීකාර බ්‍රහ්මරාජයා
භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. වන්දනා කළා. එකත්පසෙක සිටගත්තා.
එකත්පසෙක සිටි ඝටීකාර බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ හට මේ ගාථාව
පවසා සිටියා.
“විමුක්ති සිත් ඇති භික්ෂුන් වහන්සේලා හත් නමක් අවිහ බ්‍රහ්ම ලෝකයේ
ඉපදුණා. රාගයත්, ද්වේෂයත් නැතිකරපු උන්වහන්සේලා ලෝකය ගැන තිබුණු
තණ්හාවෙන් නිදහස් වුණා.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා වදාළා
එතෙර වෙන්න ඉතාමත් අමාරු, මේ මාර රාජධානියෙන් මේ කෙලෙස්වලින්, කවුරු
කවුරුද එතෙර වුණේ? මේ මිනිස් සිරුර අත්හැරියාට පස්සේ දිව්‍ය බන්ධනත්
ඉක්මවා ගියේ කවුද?
ඒ ඝටීකාර බ්‍රහ්මරාජයා අනාගාමි ඵලය ලැබූ ඒ ශ්‍රාවකයින් වහන්සේලාගේ නම්
පවසා සිටියා.
උපත, පලගණ්ඩ, පුක්කුසාති කියන තුන්දෙනාත්, භද්දිය, භද්දදේව, බාහුදන්ති,
පිංගිය යන හතරදෙනාත් තමා මනුෂ්‍ය දේහය අත්හැරලා දිව්‍ය බන්ධනත් ඉක්මවා
ගියේ.
එතකොට බුදුරජාණන් වහන්සේ ඝටීකාර බ්‍රහ්මරාජයාගෙන් මෙසේ විමසා වදාළා.
මාරයාගේ උඟුල සිඳ බිඳගෙන ගිය ඔවුන් ගැන ඔබ ප්‍රශංසා කරනවා වගේ. මේ භව
බන්ධන සිඳගෙන ගියේ ඔවුන් කාගේ ධර්මයක් දැනගෙන ද?
ඒ මොහොත් ඝටීකාර බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පිළිතුරු
දුන්නා.
භාග්‍යවතුන් වහන්සේගෙන් බැහැරව නොවේ. ඔබ වහන්සේගේ ශාසනයෙන් බැහැරව නම්
නොමෙයි. ඔවුන් භව බන්ධන සිඳලා දැම්මේ ඔබවහන්සේගේ ධර්මය දැනගෙනම යි.
යම් තැනක නාමයත් රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවානම්, අන්න ඒ අමා
නිවන නම් වූ ධර්මය දැනගෙන භව බන්ධන සිඳලා දැම්මේ මේ බුද්ධ ශාසනයේම යි.
මේ ලබාදුන් පිළිතුර ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසුවා
අවබෝධයට දුෂ්කර වූ, දැන ගැනීමට දුෂ්කර වූ, ගම්භීර වචන නේද ඔබ ඔය
කියන්නේ? ඔය වගේ වචන පවසන්න ඔබ ඉගෙන ගත්තේ කාගේ ධර්මයක් දැන ගෙනද?
අතීතයේ තිබූ ඒ මිත්‍රත්වය ගැන ඝටීකාර බ්‍රහ්මරාජයා ගාථාවලින්
භාග්‍යවතුන් වහන්සේට මේ ආකාරයට පවසා සිටියා.
ඉස්සර වේහලිංග කියලා ගමක් තිබුණා. මම හිටියේ එහේ. ඒ කාලයේ මම ඝටීකාර
කියලා කුඹල්කරුවෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක්. මම
දෙමව්පියන්ව පෝෂණය කළා.
මම මෛථුනයෙන් වෙන් වුණා. පංච කාමයෙන් තොර ජීවිතයක් ගෙව්වා. ඒ කාලයේ ඔබ
වහන්සේයි මමයි එක ගමේ හිටියේ. ඔබ වහන්සේ මගේ යාළුවෙක් වෙලා හිටියා.
ඉතින් මම දැන් විමුක්ති සිත් තිබෙන භික්ෂුන් වහන්සේලා හත් නම ගැන
දන්නවා. උන්වහන්සේලා රාග, ද්වේශ, නැති කරලයි ඉන්නේ. ලෝකයේ තෘෂ්ණාව තරණය
කරලයි ඉන්නේ.
ඒ ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විදියට පවසා වදාළා.
පින්වත් ගාර්ගව, ඔය කියපු කරුණු ඔය විදිහටමයි වුණේ. ඉස්සර වේහලිංග
කියලා ගමක් තිබුණා තමා. ඝටීකාර කියලා කුඹල්කරුවෙකුත් හිටියා. ඔහු
කාශ්‍යප බුදු සමිඳුන්ගේ ගිහි ශ්‍රාවකයෙක්. ඔහු මව්පියන්ට උපස්ථාන කළා.
මෛථුනයෙන් වැළකී සිටියේ. පංචාකාමයෙන් වෙන්වෙලා බ්‍රහ්චාරීව හිටියේ.
මමයිි ඔහුයි එක ගමේ තමා හිටියේ. ඔහු මගේ යාළුවෙක් තමයි.
ඉතින් මේ සොඳුරු වූ මිතු දහම ගැන ධර්ම සංගායනා කොට වදාළා රහතන්
වහන්සේලා මෙසේ පැවසුවා.
ඔන්න ඔහොමයි පැරණි යාළුවෝ දෙන්නා ආයේ මුණ ගැහුණේ. දෙන්නම දියුණු කරපු
සිත් ඇතිවයි ඉන්නේ. අන්තිම සිරුර දරාගෙනයි ඉන්නේ.ලෝ සතුන් කෙරෙහි පතල
මහා කරුණාවෙන් ලොව පහළවන සම්බුදුරජාණන් වහන්සේලාටද, සෝවාන්, සකදාගාමි,
අනාගාමි, අරහත් යන මාර්ගඵල උපදවාගන ශ්‍රී සද්ධර්මයටද, මගළුලලාභී
ශ්‍රාවක සඟරුවනටද අපගේ නමස්කාරය වේවා!
|