Print this Article


බුදුදහම හා මාර සංකල්පය 10

බුදුදහම හා මාර සංකල්පය 10

නාග වෙස් ගත් මාරයා

පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැනුම්, ලොමු ඩැහැගැනුම් ඇතිකරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වේශයක් මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි ඒ පාපීවු මාරයාගේ භයානක ස්වභාවය එහි විස්තර වන්නේ මෙසේය

පසුගිය පසළොස්වක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ ඇතුළත් මාර සංයුත්තයටම අයත් ගොනකුගේ වෙස්ගත් මාරයා පිළිබඳ කරුණූ ඉදිරිපත් වන ‘පත්ත සූත්‍රය’ විමසා බැලීමටයි. අද දින අප විමසා බලන්නේ මාරයා නාගයෙකුගේ වෙස් ගත් සංයුත්ත නිකායේ මාර සංයුත්යටම අයත් සප්ප සූත්‍රය විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වු වෙළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්ධකාරය ඇති රැයෙක එලිමහණෙහි හුදකලාව හුන්සේක. ඒ වෙලෙහි එහි වැහි පොදද එක දෙක වැටෙන්නට විය. එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැනුම්, ලොමු ඩැහැගැනුම් ඇතිකරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වේශයක් මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි ඒ පාපි වු මාරයාගේ භයානක ස්වභාවය එහි විස්තර වන්නේ මෙසේය එනම්,

සෙය්‍යථාපි නාම මහති එකරුක්ඛීකා නාවා, එවමස්ස කායො හොති, සෙය්‍යථාපි නාම මහන්තං සොණ්ඩිකාකිළඤ්ජං ,එවමස්ස ඵණො හොති, සෙය්‍යාථාපි නාම මහති කොසලිකා කංසපාති,එවමස්ස අක්ඛිනි භවන්ති, සෙය්‍යථාපි නාම දෙවෙ ගළගළායන්තෙ විජ්ජුල්ලතා නිච්ඡරන්ති, එවමස්ස මුඛතො ජිව්හා නිච්ඡරති, සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධම්මානාය සද්දො හොති, එවමස්ස අස්සාසපස්සාසානං සද්දො හොති.

(තනි ගහකින් කළ මහ ඔරුව යම් සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන්තලිය යම් පමණද, ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුව තුළින් නික්මෙයි. මයිනහම සුළගින් පිරෙන කළ ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ)

මෙසේ තමන් වහන්සේ වෙත පැමිණි මේ අද්භූත නාගයා වෙන කිසිවෙක් නොව මාරයාම බව දැන තමන් වහන්සේ බුද්ධත්වයත් සමඟ සියලු බිය ප්‍රහීණ කළ බැවින් භයභේරවනම් නම්ලත් බැවිනුත් (මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් භය භෙරව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සිටම බිය ප්‍රහීණ කිරීම සදහා වීර්ය වැඩූ අයුරු සඳහන් වෙයි) කිසිදු බියමුසු ස්වභාවයකින් තොරව තමන් වහන්සේගේ ස්වභාවය ඒ පාපි මාරයාට දේශනා කළහ.

යො සුඤ්ඤාගෙහානි සෙවති,
සෙය්‍යො සො මුනි අත්තසඤ්ඤතො
වොස්සජ්ජ චරෙය්‍ය තත්ථ සො
පතිරූපඤ්හි තථාවිධස්ස තං

චරකා බහු භෙරවා බහු
අථො ඩංඝසරිසපා බහුඞ
ලොමම්පි න තත්ථ ඉඤ්ජයෙ
සුඤ්ඤාගාරගතො මහාමුනි

(යමෙක් හිඳිමාදිය පිණිස මිනිසුන්ගෙන් හිස්වු ගෙවල් සෙව්නේද (ශූන්‍යාගාරවල වසන්නද) ඒ තමා සංවරවු මුනි තෙම තමාගේ ආත්මභාවයෙන් ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳු වු මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද,අරමුණූුද බොහෝය. තවත් වෙනත් මැස්සෝද, සර්පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් (ශූන්‍යාගාරයට වැද ධ්‍යාන වඩන) ඒ මුනි උතුමා ඒ කිසිවක් හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.

නහං එලෙය්‍ය පඨවි චලෙය්‍ය,
සබ්බෙපි පාණා උද සන්තෂෙය්‍යුං
සල්ලම්පි වෙ උරසි සකප්පසෙය්‍යුං
උපධීහු තාණං න කරොන්ති බුද්ධාති

අහස පුපුරතත් පොළොව සෙලවෙතත් සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත් බුදුවරු පඤ්චස්කන්ධයන්හි රැක්මන් නොකෙරෙත්.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි උන්වහන්සේගේ නික්ලේශි බව හා නිර්භය බව හඳුනාගත් මාරයා ඒ පාපි මාරයා, භාග්‍යවත්හු මා දැනගත්හ. සුගතයෝ මා දැනගත්හ”යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්ව ඇත.

මෙයින් පැහැදලි වන්නේ පාපී මාරයා විවිධ වෙස් ගෙන බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ තමන්ගේ වසඟයට ගැනීමට හෙවත් යටත් කර ගැනීමට හැකිද ?යන්න පරික්ෂා කළ බවයි. බුදුරජාණන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක වු භික්ෂුන් වහන්සේලාද පරික්ෂා කළ අයුරු පෙර ලිපි තුළින් අප පෙන්වා දුන්නෙමි. පාපි මාරයා ඇතැම් අවස්ථාවල ගොවියන්ගේ ගොනුන්ගේ ආදී වෙස් ගෙන බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මුලා කිරීමට පැමිණ අවසානයේ පරාජයට පත්වු අවස්ථා අපි විමසා බැලුවෙමු.

මෙහි දීද ඒ පාපී මාරයා බලාපොරෙත්තු වී ඇත්තේ හුදකලාව ශූන්‍යාගාරිකව වැඩහුන් බුදුරජාණන් වහන්සේ බිය ගැන්වීමටය. එහිදි ඔහු මවා ගන්නේ විශාල ප්‍රමාණයේ නාගයෙකුගේ වේශයක්ය. ඔහුගේ ඒ බියකරු ස්වභාවයට දුටු පුහුදුන් යමෙක් මෙලොව වේද ඔහු ඒකාන්තයෙන්ම බියට පත් වන්නේය. ඔහු මවාගත් නාගයාගේ ස්වභාවය එතරම්ම බියකරුය. එහෙත් බුදුරජාණන් වහන්සේ නික්ලේශී උතුමෙකු නිසා ඒ කිසිවකට බිය වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ බිය නැති කළ මේ නික්ලේශී ස්වභාවය ධජග්ග සූත්‍රයේද මෙසේ සඳහන් වෙයි.

”තතාඝතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමොහෝ අහිරුඅච්ඡම්හි අනුත්‍රාසි අපලායීති”

(මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය,රාගයෙන් තොරය. ද්වේශයෙන් තොරය. බියෙන් තොරය, ලොමු දැහැ ගැනීමක් නොමැත. තැති ගැනීමක් නොමැත. පලා යෑමක් නොමැත)

බුදුරජාණන් වහන්සේ තුළ වු බිය, තැති ගැනීම, ලොමු දැහැගැනීම ආදි වු මේ ලාමක ධර්මයන් වූයේ නම් ඒ සියල්ල විජය ශ්‍රී බෝධී මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ නැතිවිය. එබැවින් බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට හා කිසිවකට බිය වන්නේ නැත. ඒ උන්වහන්සේ තුළ බිය උපදවන ලාමක කෙලෙස් ධර්මයන් නොමැති බැවිනි. එබැවින් එවැනි නාගයින් දහයකට විස්සකට නොව සිය දහසකට වුවත් බුදුරජාණන් වහන්සේගේ බියවීමක් දැකිය නොහැක. අවසානයේ මේ බව වටහාගත් මාරය දොම්නස් සිතින් යුක්තව පරාජය බාරගෙන අතුරුදන්ව ඇත.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 09 - ගවයෙකුගේ වෙස් ගත් මාරයා