Print this Article


බුදු දහමයි ගිහි දිවියයි 07 පාපයෙන් වළක්වා යහපතෙහි පිහිටුවිය යුතුය

බුදු දහමයි ගිහි දිවියයි 07

පාපයෙන් වළක්වා යහපතෙහි පිහිටුවිය යුතුය

“ආපදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සෙතාරො” යන පදනම මත දරුවා ඇති දැඩි කළ යුතුය. ළමයාගේ පාසල් ඉගෙනුම ආරම්භ වන්නේ එයින් අනතුරුවය.ළමයාට ළමා අවස්ථාවෙහි ළමයෙකු හැටියට සිටින්නට ඉඩ හළ යුතු ය. ළදරු වියේ සිටම විවිධ අත්දැකීම් ග්‍රහණය කර ගැනීම යනු දරුවා ලෝකය හඳුනාගැනීමයි. දරුවාට උචිත අත්දැකීම් ලබා දීම ගැන මව්පියවරුන් කටයුතු කළ යුත්තේ මේ කරුණු පිළිබඳව වැටහීමක් ඇතිවයි. මව්පියවරුන් පූර්වාචාර්යවරුන් හැටියට හඳුන්වන්නේ ඒ නිසයි. පූර්වාචාර්යවරුන් සහිත පවුල දරුවාට පෙර පාසලක් වෙයි.

අනුකරණයෙහි සමත් දරුවාට හොඳ අත්දැකීම් ලබා දීම ගැන අප සැලකිලිමත් විය යුතුය. දෙමාපිය ජීවන චර්යාවන් දරුවාට බලපාන බව අමතක නොකළ යුතුය.

දාරක සංරක්ෂණයේදී මාතෘත්වයට ලැබෙන්නේ අගනා ස්ථානයකි. මන්ද යත් ඇය දරුවා සමීපයේ සිටම කටයුතු කරන බැවිනි, එබැවින් මව සැම විට ම දරුවා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන අතර දරුවාද මව කෙරෙහි නිරන්තර සැලකිල්ලෙන් පසුවෙයි. මේ අනුව මව එහිදී ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳ දැනගැනීමට සෝනන්ද ජාතකය ඉතා වැදගත් වෙයි. එහි දී මව සුභද්‍ර, ජනෙත්ති, තෝසෙන්ති, පෝසෙන්ති යන වචන සතරෙන් හඳුන්වා ඇත.

1. සුභද්‍ර – දරුවා කෙරෙහි ආදරය දක්වන බැවින් මව එනමින් හැඳින්වේ. මවක් තුළ දරුවා කෙරෙහි ආදරයක් ඇති වන්නට පටන්ගන්නේ දොළදුක ඇතිවන අවස්ථාෙවි පටන්මය. දරුවෙකුට ආදරය,සෙනෙහස අත්‍යවශ්‍යය. සත් අවුරුදු වියේදි පැවිදි වූ කුමාර කාශ්‍යප හිමියන්ට බුදුරජාණන් වහන්සේ රස මිහිරි දෑ ඇති විට මෙය කාශ්‍යපට දෙන්නැයි හිමි නමක් අත යවන සිරිතක් තිබුණි. චුල්ලපන්ථක හිමියන්ගේ කථාව ද එවැන්නකි.

2. ජනෙත්ති – කුස පිළිසිඳ ගත් දරුවාට නිරෝගී උපතක් ලබා දෙන බැවින් අම්මා මේ නමින් හැඳින්වේ.

3. තෝසෙන්ති – තන කිරි දී ගී ගයා නළවා ශරිර ස්පර්ශය ලබා දෙමින් හඬන්නා වූ දරුවා සතුටු කරන බැවින් අම්මා තෝසෙන්ති යන නාමයෙන් හැඳින්වේ. “ථන ඛිරෙන ගිතේන –අංග පාපුරෙණ ච රෝදන්තං පුත්තං තොසෙන්ති – තොසෙන්තී ති තෙන වුච්චති

4. පොසෙන්ති – දරුවාට නිසි කායික මානසික පෝෂණය ලබා දෙන බැවින් මෙනමි.

දරුවන් ඇති දැඩිකිරීමේදී සෙල්ලම් කිරීමේ අවශ්‍යතාවය ගැනද අප හඳුනාගත යුතුය. ළමයා ශරීරයෙන් වැඩෙන විට ක්‍රීඩා සමයට පිවිසෙයි. මේ බව මහා තණ්හා සංඛ සූත්‍රයෙහි මනාව පෙන්වා දී ඇත. “සඛො සො භික්ඛවේ කුමාරෝ වුද්ධමන්වාය ඉන්ධියානං පරිපාකමත්වාය යානි තානි කුමාරකානං කීළාපන්කානි තෙහී කීළෙති. වංකකං , ඝටිකං ,මොක්ඛිචිකං , චිංගුලකං ,පක්කළ්හකං,රථකං, ධනුකං”.

(මහණෙනි ළමයා ශරීරයෙන් වැඩෙන විට, ඉන්ද්‍රියන් මුහුකුරා යන විට නඟුලෙන් සෙල්ලම් කිරීම , දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාව, (ගුඩු ගැසීම) කරනම් ගැසීම, හුලං පෙත්ත කැරකැවීම, කොළවලින් සාදාගත් නැලියෙන් වැලි මැනීම සෙල්ලම් රථයෙන් ක්‍රීඩා කිරීම, සෙල්ලම් දුන්නෙන් විද ක්‍රීඩා කිරීම ආදී යම් කුමාර ක්‍රීඩා සමූහයක් වෙයි නම්, එම ක්‍රීඩාවන් කරයි.

මේ සෑම ක්‍රීඩාවක්ම දරුවා විවිධ ඉගෙනුම් වලට යොමුකරන බව දත යුතුයි. මේ තුළින් දරුවා අත්දැකීම් වලින් පෝෂණය වෙයි. ජීවිතය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට ශක්තිය ලැබෙන්නේ ඒ අත්දැකීම් තුළින්ය. ප්‍රාථමික පාසලේ පළමු වසරේ සිටින අවස්ථාවේ පටන්ම උදේ පාසලේ සිටීමත්, සවස ටියුටරියේ සිටීමටත් බලකරනු ලැබීම දරුවාට ඔරොත්තු දේද යන්න අද යුගයේ සිතා බැලිය යුත්තකි.

මේ අනුව මව්පිය කාර්යභාරය ඉතාම වැදගත් වූවකි. මන්ද දරුවා සමාජගත වීමේදී අවශ්‍ය කරන විවිධ අත්දැකීම් ඔහු වෙත සම්පේ‍්‍රෂණය කිරීම මව්පියන්ගේ මූලිකම කාර්ය වන නිසාවෙනි. දරුවා කෙරෙහි මව්පිය අවධානය පහත කරුණු යටතේ හඳුනාගත යුතුය. දරුවන් පාපයෙන් වලක්වාගැනීමත් (පාපා නිවාරෙන්ති) යහපතෙහි පිහිටුවීමත් (කළ්‍යාණෝ නිවේසෙන්ති) යන අංග දෙක දරුවා සදාචාරවත් කිරීම මූලික වශයෙන් දෙගුරුන්ගේ කාර්යයක් බව දැක්වේ. ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිදි ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කිරීම ඊළඟ කාර්යයි. (සිප්පං සික්ඛාපෙන්ති)

සමාජ ජීවිතයේදි විවාහයට වැදගත් තැනක් හිමිවේ. ඒ අනුව සුදුසු පරිදි විවාහ ජීවිතයට අවකාශ සලසා දීම මව්පිය වගකීමකි. (පතිරූපනෙ දාරෙන සංයෝජෙන්ති) ඒ අයුරින් සමාජ ජීවිතය ඇරඹු දරුවාගේ ආර්ථික ස්ථාවරත්වය සලසා දීම අවසාන කාර්යයි. (සමයේ දයාජ්ජං නියාදෙන්ති) මේ අනුව සදාචාරය ,අධ්‍යාපනය, විවාහය,ආර්ථික සුරක්ෂිත බව දරුවා සම්බන්ධයෙන් සලසා දීම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනුමත කරන බව දත යුතුය.

පවුලේ දී ඉතා වැදගත් අංශය වන්නේ බිරිඳ හා සැමියා අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසයයි. පවුලේ ප්‍රධානීන් වන මේ දෙදෙනාගේ සමගිය සතුට අන් සියලුම සාමාජිකයන්ගේ සුබ සිද්ධියට හේතුවේ. ස්වාමියෙකු විසින් බිරිඳටත් බිරිඳක විසින් ස්වාමියාටත් ඉටු විය යුතු යුතුකම් සම්බන්ධව මුලදී අප සාකච්ඡා කළෙමු.

බුදුදහම හුදෙක් නිර්වානයම පදනම් කරගත් දර්ශනයක් නොවන අතර එහි සමාජ මනෝ විද්‍යාත්මක අගයන් වර්තමාන සමාජයට මනාව ගැළපෙන අතර එම සංකල්ප ප්‍රායෝගිකව යොදාගෙන පවුල් ජීවිතය සකසා ගත යුතුය. පවුල් ජීවිතය සුහදව පවත්වාගෙන යාමට විවිධ සූත්‍රවලින් උපදෙස් මාලාවක් සපයා ඇත. විශාඛාවගේ විවාහයට පෙර පියා විසින් දෙන ලද උපදෙස් මාලාව බුදුන්වහන්සේගේ ප්‍රශංසාවට භාජනය විය.

ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය (නිවසේ සිදුවන පෞද්ගලික දෑ බාහිර හෙවත් පිටස්තර පුද්ගලයන් අතරට යාම වළක්වා ගත යුතුය)

පිටත ගිනි ඇතුළට නොගත යුතුය. (තම පවුලෙන් පිටත සිදුවන තම පවුලට අදාළ නොවන කිසිත් වැද්දා නොගත යුතුය)

දෙන්නවුන්ටම දිය යුතුය. (එනම් ණය දීම් ආදියෙහි ඒවා ආපසු ලබාදෙන අයට පමණක් ලබා දිය යුතු ය)

දෙන්නවුන්ටත්,නොදෙන්නවුන්ටත් දිය යුතුය. (ආපසු ලබාගැනීමේ අපේක්ෂාවෙන් තොරව අසරණව සිටින ඥාතීන්ට හිතවතුන්ට තමාට හැකි පමණ ලබාදීම සිදුකළ යුතුය)

වැඩිහිටියන් පැමිණෙන විට නැගී සිටීමට පහසු වන ආකාරයට සුදුසු අසුනක වාඩිවිය යුතුය.

සුවසේ අනුභව කළ යුතුය.

සුවසේ සැතපිය යුතුය.

සැමියාගේ සියලුම කටයුතු වලදී හොඳින් සහයෝගය දැක්විය යුතුය.

සැමියාගේ මව්පියන්ට සැලකිල්ල දැක්විය යුතුය.


බුදු දහමයි ගිහි දිවියයි 06 - බුදුදහම හා දාරක සංරක්ෂණය