Print this Article


බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

බක්පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

බුදුරජාණන් වහන්සේ නික්ලේශී උත්තමයෙකු බව වටහා ගැනීමට මාරයාට හැකියාවක් තිබුණේම නැත. මාරයා නිතරම කල්පනා කළේ විවිධ බියවැද්දීම්වලින් උන්වහන්සේ කම්පා කිරීමට තමන්ට හැකිබවය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිචාපයේ වේළුවනාරාමයේ වැඩ සිටින කාලයේ අන්ධකාරයෙත් යුක්ත රාත්‍රියක එළිමහනෙහි වැසි පොද වැටෙන වෙලාවක වැඩ සිටියහ.

එවිට පව්කාර මාරයා භාග්‍යවතුන් වහන්සේට බයක්, තැති ගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති කරවීමට කැමැති වී මහා නා රජෙකුගේ වේශයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහුගේ ශරීරය තනි ගසකින් කළ නැවක් බඳුය. ඔහුගේ පෙණය රා පෙරන්නන්ගේ පෙරණයක් බඳුය.

ඔහුගේ ඇස් කොසොල් රජුගේ විශාල රන් පිඟාන බඳුය. වැසි වසින විට විදුලි කොටගන්නාක් සේ ඔහුගේ කටින් දිව නික්මෙයි. කම්මලේ මයිනහම අදිනකොට වගේ ශබ්දයක් හුස්ම ගන්නා විට ඇසෙයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ තමා පව්කාර මාරයා කියා දැනගෙන මාරයාට ගාථාවලින් මෙසේ දෙසූහ. කවුරු හරි කෙනෙක් නිදාගැනීමට පාළු තැන් සොයාගනී ද,එ මුනිිවරයා ආත්ම සංවරයෙන් යුතු අයෙකි. ඔහු සියලු ආශාවන් දුරු කරලයි කටයුතු කරන්නේ. එබඳු අයට එය ඉතාම සුදුසුයි.

බොහෝ භයානක සත්තු සිටිති, බිහිසුණු අරමුණු ද බොහොමයි. ලේ බොන මැස්සෝ හා සර්පයෝ ද බොහෝ ය. එබඳු පාළු තැනක සිටින මහා මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ අරමුණුවලට බැහැ. අහස පැලිල ගියත්, පොළව පුපුරල ගියත්, ඔක්කොම සතුන් තැතිගත්තත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරු ආශාවන්ගෙන් රැකවරණ නොසොයති. ඉන්පසු පව්කාර මාරයා” භාග්‍යවත් තෙමේ මාව හඳුනාගත්තේය, සුගත තෙමේ මාව හඳුනාගත්තේය,” යි දුකට පත් වී කනගාටු සිතින් යුක්ත ව එතැන ම අතුරුදන් වීය.”

(සංයුක්ත නිකාය, මාරසංයුත්තය, සප්ප සූත්‍රය)

මාරයා ආසාවන්ගෙන් පිරුණු පාපකාරී අයෙකු වුව ද බුදුරජාණන් වහන්සේලාගේ සිත් පවා දැක ගැනීමට සමත් දක්ෂයෙකු වූ බව ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වී ඇත.

“එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටේ හිමාලය ප්‍රදේශයේ ආරණ්‍ය කුටියක වැඩ සිටින සේක. එකල තනිව චිත්ත විවේකයෙන් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේට” නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින්, නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමි ව රාජ්‍යය කරන්න පුළුවන්ද? යන සිතිවිල්ල ඇති විය.

එවිට පව්කාර මාරයා තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන උන්වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේ ය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ නොමරමින්, නොමරවමින්, ධනය රාජසන්තක නොකරමින් නොකරවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින් දැහැමිව රාජ්‍යය කෙරේවා, සුගතයාණෝ රාජ්‍යය කෙරේවා”

(සංයුක්ත නිකාය, මාර සංයුත්තය, රජ්ජ සූත්‍රය)

මෙසේ රාජ්‍යය කිරීමට ආරාධනා කරන්නේ ඇයි දැයි උන්වහන්සේ මරයාගෙන් විමසූ විට මාරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේ සතර සෘද්ධි පාද වඩා ඇති නිසා හිමාලය පර්වතය රන් පව්වක් වේවායි පැතුවත්, එය පවා ඉටුවන නිසා රාජ්‍යය කිරීමට සුදුසු බවය. මෙහිදී කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ එබඳු පර්වත දෙකක් තිබුණත් මිනිසා සෑහීමකට පත් නොවන නිසා සම ව හැසිරෙමින් පස්කම් සැප දුරු කළ යුතු බව මාරයාට පැවසූ සේක. මාරයා බුදුරජාණන් වහන්සේට පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක මහරහත් තෙරණුවන්ට හා තෙරණියන්ට ද විවිධ අවස්ථාවල කරදර කළේ ය.

මාරයා මුගලන් මහ රහතන් වහන්සේට කරදර කළ අවස්ථාවක් මෙසේය. එක් කලක මුගලන් හාමුදුරුවෝ භගු රටේ සුංසුමාරගිරි නුවර භේසකලා වනයේ මිගදායෙහි වැඩ සිටිති. උන්වහන්සේ එළිමහනෙහි සක්මන් කරන විට කුස තුළ විශාල බරක් ඇති විය. ඒ නිසාම උන්වහන්සේ වෙහෙරට වැඩම කොට ආසනයක වැඩ සිටිමින් තමා පිළිබඳ නුවණින් මෙණෙහි කරද්දී දුටුවේ මාරයා තමන්ගේ කුසට රිංගා ගෙන සිටින ආකාරයයි. මුගලන් හාමුදුරුවෝ මාරයාට තමන්ගේ කුසින් නික්ම යන ලෙස කීවත් මාරයා කල්පනා කළේ මුගලන් හිමියන් තමන් ව නොදැක එසේ පිටව යන ලෙස කියන බවයි. ඒ නිසාම මාරයා ආරාමයෙන් පිටත දොරටුව ළඟ සිටගෙන සිටියේ ය. එවිට මුගලන් හිමියන් මාරයාට උපදෙස් දෙමින් වදාළේ පෙර කකුසඳ බුදුරදුන් දවස තමන් දුසී නම් මාරයාව ඉපිද බොහෝ පව් රැස්කරගෙන දුගතියේ උපන් ආකාරයයි.

“කකුසඳ බුදුරදුන් සමඟ ගැටී දුසී මාරයා පව් රැස්කර ගත්තේ ය. පව්කාරය, නුඹ මට කළ දේවල් නිසා පව් නොලැබේ යැයි සිතනවාද?

කරන කෙනාට පව් රැස්වෙයි, දිග කාලයක් සේ වැළපෙයි. පව්කාරය, බුදුරදුන් වෙතින් ඉවත් වී යව, භික්ෂූන් කෙරෙන් ඉවත් වී යව.”

(මජ්ක්‍ධිම නිකාය, චූලයමක වග්ගය, මාරතජ්ජනීය සූත්‍රය)

මෙලෙස බුදුරදුන්ට හා බුදු සව්වන්ට කරදර හා විපත් ඇති කළ මාරයා ඉන් අනතුරුව පසුකාලවලදී ද සිල්වත් භික්ෂූන්ට කරදර කළ ආකාරය පොත් පත්වල සඳහන් වී ඇත.

සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි ඵුස්සදේව නම් වූ ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් කටකන්දර නම් විහාරයේ වැඩ සිටියහ. උන්වහන්සේට කරදර කිරීමට පැමිණි මාරයා අවසානයේ දී පරාජයට පත් වූ ආකාරය සඳහන් කථා ප්‍රවෘත්තියක් සහස්සවත්ථුප්පකරණයේ ඇත.

“කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ වනාහී සද්ධාතිස්ස මහරජතුමාගේ සහෝදරියගේ පුතායි. ඵුස්සදේව නම් ඇමැතියා තම බිරිඳ වූ සුමනදේවි රැජින සමඟ ගිරි නම් වූ ගමට ගොස් වාසය කරන විට හත්ථිකුච්ඡි නම් වූ විහාරය සිත්කළු යැයි අසා, ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් එහි වසන බව ද දැනගෙන එම විහාරයට ගොස් මහ දන් පවත්වා හත්ථිකුච්ඡි මහා විහාරයේ චෛත්‍යයට පූජා සිද්ධ කර, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන, හිඳිනා ලෙන තබා තිබූ ආකාරය දැක සාසනයෙහි පැහැදී ගිහිගෙයින් නික්ම පැවිදි වීමට සිතා, එම විහාරයෙහි ම මහාදේව තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි විය.

ඒහිමියන්ට උපසම්පදාව දී රහත්වීමට පින ඇති බව දැක,

ඔබ,උපසම්පදාව ලැබූ තැන් පටන් කමටහන් වඩා යම් තැනක ආවාසිකයෙකු නැද්ද එහි වසන්නැ”යි කියා යැවීය. ඵුස්සදේව තෙරණුවෝ උපාධ්‍යාය හාමුදුරුවන්ට වැඳ එහි විහාරයෙන් නික්මගොස්, පිළිවෙළින් චාරිකාවේ හැසිරෙමින් කටකන්දර විහාර පිහිටවිය යුතු ස්ථානයට පැමිණ, එක රැයක් කටකන්දර ගංතෙර, කුඩා ගසක් යට වැලිතලාවේ විසූහ. එම ගසට අරක් ගත් වෘක්ෂ දේවතාවා පසු දින තෙරුන් වහන්සේට මුහුණ සේදීමට ජලය හා දැහැටි පිළිගන්වා,”ස්වාමීනි, කටකන්දර ගමේ පිඬු පිණිස වඩින සේක්වා”යි කීවේය. තෙරුන් වහන්සේ ශරීරකෘත්‍ය කටයුතු නිමවා කටකන්දර ගමේ පිඬු පිණිස හැසිරීමට නික්මුණ සේක. එවිට දේව පුත්‍රයා මිනිස් වෙසින් ඉදිරියෙන් ගොස් මෙසේ ශබ්ද නගා කීවේය. “කටකන්දර වාසී ඵුස්සදේව තෙරණුවෝ පිඬු පිණිස හැසිරෙති. තමන්ට හැකි පමණ කැඳ බත් ද පිළියෙළ කරත්වා” ඔහුගේ ශබ්දය අසා මිනිස්සු දැනගෙන තෙරණුවන්ට කැඳ බත් දී තෙරණුවන් සමඟ ගමෙන් පිටතට ගොස් බත් කිස නිම පසු තෙරණුවන් කැමති කරවාගෙන කටකන්දර ගංතෙර වෙහෙරක් කර නැවැත්වූහ.එතැන් පටන් තෙරුන් වහන්සේ පිඬු පිණිස වඩින බව දකින මිනිස්සු බර වැඩ නිසා වෙහෙසට පත් ගවයන් නවතා තෙරුන්වහන්සේට වැන්දාහ. ඒ වෙලාවට තමන්ට නිදහස ලැබෙන නිසා තෙරුන් වහන්සේ දැක සිත පහදාගෙන දිව්‍ය ලෝකයේ උපන් ගවයන් ගව දෙවියෝ නම් වූහ.

මතු සම්බන්ධයි