ස්වාර්ථය හා පරාර්ථය
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
ස්වාර්ථය හා පරාර්ථය යන කාරණයන් බුදුදහම අනුව සියුම් ලෙස පරීක්ෂා කළ
යුත්තකි. ස්වාර්ථය යනු තමාගේ අභිවෘද්ධිය සලසා ගැනීමයි.පරාර්ථය යනු
අන්‍යයන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාකිරීමයි. මේ කරුණූ දෙකෙන් වඩා
වැදගත්වන්නේ කුමක්ද? මීට අමතරව තවත් වචනයක් වේ. එම වචනය
‘ආත්මාර්ථකාමිත්වයයි. ස්වාර්ථය හෙවත් ආත්මාර්ථය මේ ආත්මාර්ථකාමිත්වයට
වඩා වෙනස් ගති ලක්ෂණයකි. ආත්මාර්ථකාමී තැනැත්තා යනු අනුන්ගේ අර්ථය
විනාශකොට ස්වකීය අර්ථයම පරමාර්ථය කොට ගත් තැනැත්තාය. ඔහුගේ සිතුම්
පැතුම් සියලු ක්‍රියා කාරකම් තමා කේන්ද්‍රකොට පවතියි.
ආත්මාර්ථකාමියා අපි හිතමු පුස්තකාලයකට ගියා කියා, ඔහු තමාට අවශ්‍ය යැයි
සිතෙන වැදගත් කරුණු ඇතුළත් පොතක පිටුවක් ඉරා ගනියි. ඒ පොත අනුන්ට
හසුවේයයි අදාළ තැනින් සඟවා තබයි. එබඳු පුද්ගලයා කොතැනකට ගියත් තමාගේම
අර්ථය මිස අන්‍යයාට යහපතක් නොපතයි. අනුන්ගෙන් වැඩ ගැනීමට ඔහු ව්‍යාජ
ලෙස ක්‍රියාකරයි. අනුන්ගේ කරපිටින් ගොස් තම අර්ථය සලසා ගනිමින් කළගුණ
අමතක කරයි. අපේ සමහර දෙමාපියෝ තම දරුවන්ට ආත්මාර්ථකාමිත්වයට අනුබල
දෙති. අනුන්ගෙන් යමක් ඉගෙනගෙන අනිකාගෙන් තමා දත් දෙය සඟවා ගෙන සිටීමට
අනුබලය ලබාදෙන දෙමාපියන් තමන් හා තම දරුවාගේ අනාගතය විනාශ කරන බව
නොදනිති. මෙසේ ආත්මාර්ථකාමිත්වය කුඩා කාලයේදීම දෙමාපියන් දැනුවත්ව හෝ
නොදැනුවත්ව සිදු කිරීමෙන් තමන්ටත් දරුවන්ටත් විනාශයක් කරගන්නා බව අමතක
නොකළ යුතුය.
අප සමාජයේ බොහෝ විනාශයන්ට හේතුව වී ඇත්තේ මේ ආත්මාර්ථකාමී බවයි. තම
දරුවන් අතර තම පවුල තුළට ආත්මාර්ථකාමිත්වය නැතිකොට එකිනෙකාට ආදරය
කිරීමට එකිනෙකා අතර බෙදා හදා ගැනීමට දෙමාපියන් දරුවන්ට හුරු කළ යුතුය.
තමා දන්නා දෙය අනෙකුත් යහළුවන්ට කියාදීමට උනන්දු කරවිය යුතුය. එලෙස
අනුන් සමඟ තමා සතු දැනුම හා භෞතික සම්පත් පරිහරණය කිරීමට යම් දරුවෙක්
පුරුදු පුහුණු වූ විට ඔහු තුළ උතුම් ගුණාංග දිනෙන් දින වැඩී යනු ඇත.
වත්මන් සමාජයේ තරගකාරි බව මේ ආත්මාර්ථකාමිබව වර්ධනය වීමට ප්‍රධාන
හේතුවක් වී ඇත. ආත්මාර්ථකාමි මිනිසා හැමවිටම පවට බර කෙනෙකි. ඔහු හැමවිට
අනුන්ට දුක් හිරිහැර කොට සිය අර්ථයම සලසා ගනී. කෙසේ හෝ අනිකා විනාශකොට
අනුන්ගේ අර්ථයන් වළක්වා සිය අර්ථයම සලසා ගනී. එකම පවුලක සහෝදර
සහෝදරියන් මව්පියන් අතර මේ ගති ලක්ෂණයන්ගෙන් යුත් අය සිටිය හැක.
සමහරවිට මෙබඳු ලක්ෂණ පෙර සසර පුරුදු කරගත් එකක් විය හැකි අතර සමහර විට
පරිසරයෙන් හුරුවූ ගතිලක්ෂණයක්ද විය හැක.
ස්වාර්ථය හා ආත්මාර්ථකාමිත්වය අතර ඇත්තේ විශාල වෙනසකි. බුදු දහම අනුව
ස්වාර්ථය සලසා ගැනීම කෙනෙකුගේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. ස්වාර්ථය
සලසා ගැනීම නිර්වාණ අවබෝධය දක්වා සංවර්ධනය වූවකි. ස්වාර්ථය සලසා ගන්න
තැනැත්තා හැමවිටම ධර්මානුකූලව කටයුතු කරයි. ඔහු කිසිකලෙකත් අනුන්ට
අයහපත් දේ නොකරයි. අනුන් තලා පෙළා ක්‍රියා නොකරයි. දැහැමිව තම
අභිවෘද්ධිය සලසා ගනියි.
බුදුදහමේ රහත්වීම හෙවත් ස්වකීය විමුක්තිය සලසාගැනීම ආත්මර්ථකාමී
සංකල්පයක් බවත් බුදුවීම පරාර්ථකාමි උදාර කල්පනාවක් බවත් පවසන මහායාන
බෞද්ධ සම්ප්‍රදාය උගන්වන්නේ හැම කෙනෙක්ම බුදුවීමට උත්සාහ දැරිය යුතු
බවයි. එහිදී ඔවුනට අනුව සෑම සත්වයෙක්ම බෝසතකු වෙයි. නිර්වාණය බුද්ධත්වය
නම් වූ මහායානයෙන් පමණක් ලැබිය යුතු එකක් බැවින් මෙලෙස ඉගැන්වූ අය
මහායාන සම්ප්‍රදාය නම් විය. එහෙත් අපේ ථේරවාදි බෞද්ධ සම්ප්‍රදාය
විමුක්තියට හෙවත් නිවන් අවබෝධ කරගැනීමේ ක්‍රම තුනක් දක්වයි. එනම්
බුදුබව, රහත්බව හා පසේබුදු බව යන ක්‍රම තුනම පිළිගන්නා බැවින්
මහායානිකයෝ ඔවුන් හීනයානිකයන් ලෙස හැඳින්වූහ. හීනයාන මහායාන බෞද්ධ
සම්ප්‍රදා දෙකක් ගොඩ නැඟෙන්නේ මේ ස්වාර්ථය හා පරාර්ථය පිළිබඳ
සංවාදයෙනි.
අප ථෙරවාදී බුදුදහමේ පිළිගැනෙන මෙම රහත්බව හුදෙක් ආත්මාර්ථකාමි
සංකල්පයක්ද ? නැත මෙය ස්වාර්ථය හා පරාර්ථය වන උභය අර්ථයම ඇතුළත්
ඉගැන්වීමෙකි. සැබවින්ම බුදුවීම ඉතාමත් දුර්ලබ වූ ලාභයකි. බුදුවීම සඳහා
අප බෝසතාණන් වහන්සේ සාර අසංක කල්ප ලක්ෂයක් සසර පෙරුම් පිරූ බව
පිළිගැනේ. ථෙරවාදී දහමට අනුව මේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්නෝ ඉතාමත්
සුළු පිරිසකි. බුද්ධත්වය පිළිබඳ අධිෂ්ඨානය අප බෝසතාණන් වහන්සේ
ඇතිකරගත්තේ දීපංකර නම්වූ බුදුරජාණන් වහන්සේ දවස සාර අසංක්‍ය කල්ප
ලක්ෂයකට පෙරදීය. එහිදි උන්වහන්සේට රහත්වීමට හේතුවාසනා තිබුණි. නමුත්
අතට ලැබුණු රහත්බව ප්‍රතික්ෂේප කොට උන්වහන්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ
දුක්විඳින සත්ව වර්ගයා සසරින් මුදාගැනීමේ අති උතුම් පරමාර්ථයෙනි.
එසේනම් රහත්වීම ආත්මාර්ථකාමි ප්‍රාර්ථනාවක්ද? බුදුවීම පමණක් පරාර්ථකාමී
එකක්ද? යන ප්‍රශ්නය කෙනෙකුගේ සිතට හැඟෙනු ඇත.
රහත්බව හා බුදුබව යන ප්‍රාර්ථනාවන් දෙක එකිනෙකට වෙනස්වුවත් එකී අරමුණූ
දෙකෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ නිවනයි. නමුත් බුදු බව ලැබීමෙන් අප්‍රමාණ
සේවාවක් කළ හැකිවන අතර එය අතිශය දුෂ්කර කටයුත්තකි. රහත්බව පසක්
කරගැනීමෙන් තමා විමුක්තිය ලබා අන්‍යයන්ට විමුක්තිය සඳහා කැපකිරීමක් කළ
හැක. රහත්බව ආත්මාර්ථකාමී අදහසින් නොවන බව සනාථ කෙරෙන සූත්‍ර ගණනාවක්
ත්‍රිපිටකයෙන් දැක්විය හැක. ඉන් වැදගත් සූත්‍රයක් වූ මජ්ක්‍ධිම නිකායේ
සල්ලේඛ සූත්‍රයේ දැක්වෙන පහත දැක්වෙන කරුණෙන් බුදුදහමේ රහතන් වහන්සේ
පිළිබඳ සංකල්පය ස්වාර්ථයත් පරාර්ථයත් දෙකම අර්ථවත් වන්නක් බව මනාව
පැහැදිලි වේ. “චුන්දය මඩෙහි එරෙන කෙනෙකුට එබඳුම මඩෙහි එරෙන කෙනෙකුන්
එගොඩට ගැනීමට නොහැක. බුදුරජාණන් වහන්සේ මෙමඟින් පැහැදිලි කරන්නේ පවෙන්
බැහැරවූ, සියලු පව් දුරලූ රහතන්වහන්සේ කෙනෙකුට පවෙහි ගැළුණු අය එයින්
ගලවා ගැනීමට හැකිවන බවයි. රහතන් වහන්සේ දුකින් එතෙරවූ කෙනෙකුන් බැවින්
දුකෙහි ගැලී සිටින අය එයින් මුදාලීමේ සමත්වන බවයි. බුදුරජාණන් වහන්සේ
පිළිබඳව දැක්වන්නේ බුදු වූ උන්වහන්සේ අන්‍යයන්ගේ අවබෝධය සඳහාත් ඉඳුරන්
දමනය කළ උන්වහන්සේ අන්‍යයන්ට ඉඳුරන් දමනය සඳහාත් දුක් සාගරයෙන් එතෙරවූ
උන්වහන්සේ අන්‍යයන් දුකින් එතෙර කිරීමට ධර්මය දේශනා කළහ. එසේම පළමු
සැටනම අර්හත්වය ලබා විමුක්තියට පත්වූ පසු අන්‍යයන් සසර දුකෙන්
මුදාගැනීම සඳහා ජීවිතය කැප කළහ.
බුදුදහමේ පරාර්ථය අර්ථවත් එකක් වූයේ ප්‍රථමයෙන් ස්වකීය අර්ථය සලසා
ගැනීමෙන් බව මින් පැහැදිලි වේ. ඒ නිසා රහත්බව , විමුක්තිය හුදෙක්
ආත්මාර්ථකාමි සංකල්පයක් නොවේ.’
අංගුත්තර නිකායෙහි දැක්වෙන පුද්ගලයන් සතර දෙනා පිළිබද වර්ග කිරීම
ස්වාර්ථය හා පරාර්ථය ගැන කරුණු මනාව පැහැදලි කෙරෙන අවස්ථාවකි. මෙම සතර
දෙනා එදත් අදත් අප සමාජයෙහි වෙසෙති. ඒ මෙසේය.
1.ස්වාර්ථය හා පරාර්ථය දෙකම නොසොයන පුද්ගලයා
2.ස්වාර්ථය නොතකා පරාර්ථයම පමණක් සොයනා පුද්ගලයා
3.පරාර්ථය නොතකා ස්වාර්ථය පමණක් සොයන පුද්ගලයා
4.ස්වාර්ථයත් පරාර්ථයත් දෙකෙහිම හැසිරෙන පුද්ගලයා
මෙහි එන ප්‍රථම තැනැත්තා සතර දෙනාගෙන්ම අසාර්ථකම නිෂ්ඵල තැනැත්තෙක් බව
කවර කෙනෙකුට වුවද පැහැදිලිය. එහෙත් දෙවැන්නා හා තුන්වැන්නා අතර වඩා
වැදගත් පුද්ගලයා කවරෙක්දැයි කෙනෙකුගෙන් විමසුවොත් බොහෝ අයට දෙවෙනි
තැනැත්තා ශ්‍රේෂ්ඨ කෙනෙක් බව පවසනු ඇත. එහෙත් බෞද්ධ මතය වන්නේ
තුන්වැන්නා දෙවෙනියාට වඩා උසස් බවයි. ඒ මක්නිසාද ? දෙවෙනියා
තුන්වෙනියාට වඩා පාර්ථකාමියකු බව බැලු බැල්මට පෙනෙයි. තම අර්ථය පොතක
අනුන් වෙනුවෙන් කැපවෙන්නා පරාර්ථකාමියෙක්ද ? මේ පුද්ගලයන් සතර දෙනා
පිළිබඳව දෙනු ලබන උදාහරණ සතරෙන් මේ කරුණ වඩාත් පැහැදිලි කර ගැනීමට
හැකිවනු ඇත.
1.පළමු තැනැත්තා තමාගේ කුඹුරෙහිත් අනුන්ගේ කුඹුරෙහිත් වල් පැළ උදුරා
නොදමයි.
2.දෙවැනියා තම කුඹුර වල්වැදීමට සලස්වා අනුන්ගේ කුඹුරෙහි වල්පැළ උදුරා
දමයි.
3.තුන්වෙනියා අනුන්ගේ කුඹුරේ වල්පැළ ගලවා ලීමට පෙර තම කුඹුරේ වල් පැළ
උදුරා දමයි.
4.සතරවැනියා තම කුඹුරෙහිද වල් පැළ උදුරා ගනිමින් අනුන්ගේ කුඹූරෙහිද
වල්පැළ උදුරා දැමීමට කටයුතු කරයි. පිහිට වෙයි.
පළමු තැනැත්තාගේ අසාර්ථක චරිතය හැමටම පැහැදිලි වුවත් දෙවැන්නා හා
තුන්වැන්නා අතර වෙනස හා වඩා වැදගත් තැනැත්තා පිළිබඳ සෙවීමේදි මතභේදයක්
ඇතිවිය හැක. එය ගැඹුරින් විමසිය යුත්තකි. ලෝකයෙහි හැම පුහුදුන් කෙනෙක්ම
වඩා ආදරය කරන්නේ තමාටය. ඒ නිසා ලෝකයේ පැවැත්ම සිදුවෙයි. දරුවන්ට ආදරය
කිරීමත් තමන්ට ආදරය කිරීමකි. එය පාර්ථකාමිත්වය ලෙස පෙනුනත් එබඳු ආදරයක්
වක්‍රව තමාට ආදරය කිරීමක් බව පැහැදිලි වෙයි.
ඒ නිසයි මෛත්‍රිය වැඩීමේදි තමාගෙන් පළමුව ආරම්භ වන්නේ, එසේ තමා
ලබන්නාවු සුවය අනුන්ට පැතිරවිය යුතුය.
සතුරාටත් වෙනසක් නොකොට මෛත්‍රිය වැඩිය යුතු ආකාරය බුදුදහම පෙන්වා දෙයි.
ස්වාර්ථය නොතකා පරාර්ථය සඳහා කැපවෙන තැනැත්තා කුමන හෝ යටි අරමුණක්
තිබෙන කෙනෙකි. නැතහොත් ඔහු බුද්ධියෙන් හීන කෙනෙකි. එසේ තම අර්ථය නොසොයා
අනුන්ගේ යහපත සඳහා ක්‍රියාකරන තැනැත්තා අවසානයේ තමන්ට යමක් නොලැබුණු
විට අන්‍යයන්ට චෝදනා කරයි. ඔහු කෝපයෙන් දැවෙයි. නැතිනම් පසු තැවීමට
පත්වෙයි. කරුණා මෛත්‍රියෙන් සැබෑ අවබෝධයෙන් ක්‍රියා කිරීම අනුන්ට උදව්
උපකාර කිරීම මීට අදාළ නොවේ. බස්රියේදි හෝ දුම්රියේදී කෙනෙකුට අසුනක්
පිළිගන්වන අවස්ථාව සියුම්ව නිරීක්ෂණය කළහොත් බොහෝවිට වංචනික අරමුණකින්
එය සිදුකෙරෙන බව පැහැදිලි වේ. එය පරාර්ථකාමි ස්වරූපයෙන් වූ රාගය විය
හැක.
තමා ධර්මයෙහි නොපිහිටා අනුන්ට ධර්මය දේශනා කරමින් අනුන්ගේ විමුක්තිය
සඳහා කැපවෙන කෙනෙක් අයත්වන්නේ මෙම පුද්ගල වර්ගීකරණය දෙවෙනි පුද්ගලයාටය.
ඔහු තම කුඹුරේ වල් උදුරා තම කෙත නොරැක අනුන්ගේ කුඹුරේ වල් උදුරන
තැනැත්තෙකි. අනුන්ට අත හිත දීමට සැබෑලෙස කෙනෙකුට හැකිවන්නේ තමන්
ශක්තිමත් වුවහොත් පමණි. පාරාර්ථ චර්යාව වඩා සාර්ථක එකක් වන්නේ අනුන්ගේ
අර්ථය නොනසා තම අභිවෘද්ධිය සලසා ගැනීමෙන් පමණි. “අත්තානං රක්ඛතො පර
රක්ඛති” තමන් රැකීමෙන් අනුන් රැකේ. කුමක්ද මේ තමන් රැකීම යනුවෙන් අදහස්
කරන්නේ? තමන් රැකිය යනු තමාගේ සිත කය වචනයෙන් සිදුවන වැරදිවලින් ආරක්ෂා
වීමයි. කෙනෙක් තමා ප්‍රාණඝාතය නොකරයි නම් ඔහු අනුන්ගේ ජීවත්වීම ආරක්ෂා
කරයි. කෙනෙක් සොරකම් නොකරයි නම් ඔහු අනුන්ගේ සතු දෑ රකින කෙනෙකි. කාම
මිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය මෙකී අකුසල කර්මයන්ගෙන් රැකෙන
තැනැත්තා තම කුඹුර වල්පැළවලින් සතා සිව්පාවාගෙන් ආරක්ෂා කර රැකගන්නාවිට
ඔහු තමා රැකීමෙන් අනුන් ද නිරායාසයෙන් ආරක්ෂා කරයි. එහි අවසන්
ප්‍රතිඵලය වන්නේ නැවත අන්‍යයන්ගෙන් තමාට ආරක්ෂාව සලසා ගැනීමයි. “පරං
රක්ඛනෙත අත්තානං රක්ඛති” පස් පවෙන් සුරැකුණු තැනැත්තෝ අනුන් රැකීමක්
සිදුකරන අතර එහි ප්‍රතිඵලය වන්නේ අන්‍යයන් රැකීමෙන් තමාගේ ආරක්ෂාව
නිරායාසයෙන්ම සැලසෙන බවයි.
ධර්මයෙහි හැසිරීම තුළින් ධර්මයෙන් ආරක්ෂාව සැලසීමේ දහම් පාඨය මඟින්
අවධාරණය කරන්නේ පළමුකොට අන්‍යයන්ට ධර්මය දේශනා කරන්ට පෙර තමා ධර්මයේ
හැසිරිය යුතු බවයි. එසේනම් ස්වකීය දියුණුව යනු ආධ්‍යාත්මික හා බාහිර යන
අංශ දෙකෙහිම සංවර්ධනය ධර්මානුකූලව සලසාගන්නා පුද්ගලයාට පරාර්ථ චර්යාව
ඉතාමත් සාර්ථකව ඉටුකළ හැකිබව බෞද්ධ මතයයි. ඒනිසා කෙනෙක් සැබෑ ලෙස
ස්වාර්ථය පළමුවෙන් සලසාගත යුතුය. එය ආත්මාර්ථ කාමිත්වයෙන් සපුරා වෙනස්
එකකි. |