ආර්ථික සංවිධානයයි
බෞද්ධ ආකල්පයයි
ඓතිහාසික පිළිකුත්තුව
රාජමහා විහාරය,
පහළයාගොඩ
ශ්‍රී සුගත නන්දනාරාමය
උභය විහාරාධිපති,
යක්කඩුවේ රාහුල හිමි
බුදුදහම පුද්ගල ආර්ථික සංවිධානය මෙන්ම රාජ්‍ය ආර්ථික සංවිධානය පිළිබඳවද
අවධානය යොමු කරයි. දානය හෙවත් පරිත්‍යාගය බුදුදහමේ ප්‍රමුඛ සංකල්පයක්
වන්නේ එබැවිනි. දස රාජ ධර්ම අතරත දානය නමින් දැක්වෙන්නේ මෙසේ ජනතාවගේ
ආර්ථිකය නඟා සිටුවීම සඳහා කෙරෙන කැප කිරීම් ය. දස සක්විතිවත් අතරතද ධනය
නැත්තවුන්ට ධනය පරිත්‍යාග කිරීම කළයුතු බව දක්වා තිබේ. මෙහිදී බුදුදහම
පෙන්වා දෙන ධනය පරිත්‍යාග කිරීම යනු හුදු සහනාධාර වැඩපිළිවෙලක් නම්
නොවන්නේමය. සහනාධාර ලෙස ධන ධාන්‍ය බඩු මුට්ටු ආදිය පරිත්‍යාග කිරීමෙන්
මිනිසාගේ ශ්‍රම අභිමානය නැතිවේ. ස්වයං පෝෂණයකට ඉඩ ඇහිරේ.
බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථික ස්ථාවර භාවය සැළසුම් කොට සිදු කෙරෙන
ප්‍රදානයන්ය. මේ බව තේරුම් ගැනීමේ දී සූත්‍ර පිටකයෙහි දීඝ නිකායෙහි එන
චක්කවත්ති සීහනාද සූත්‍රය හා කූට දත්ත යන සූත්‍ර දේශනාවන් ප්‍රධාන
මූලාශ්‍ර කොට ගත හැකිය. චක්කවත්ති සීහනාද සූත්‍රයේ එන චක්‍රවර්ති
රාජ්‍ය පරම්පරා ප්‍රවෘත්තිය මඟින් මෙය තේරුම් ගත හැකිය. පෙර දළ්හනෙවී
නම් සක්විති රජෙක් විසීය. සත් රුවනින් යුතුව දැහැමින් රට පාලනය කළ මේ
රජු චක්‍රරත්නය තිබූ තැනින් පහව ගිය අවස්ථාවේ තම පුත් කුමරුට රාජ්‍යය
භාර දී තපසට ගියේ ය. පුත් කුමරු රජ වී දින සතකින් නැවත චක්‍රරත්නය
අතුරුදන් විය. රාජ පුරුෂයෝ ඒ බව රජුට දැන්වූහ. රජු ඉන් දොම්නසට පැමිණ
රාජ සෘෂිවරයා හමු වී ඒ බව දන්වා සිටියේ ය. මෙහිදී නුවණැති සෘෂිවරයා
ප්‍රකාශ කරන්නේ රජතුමනි කනගාටු නොවන්න චක්‍රරත්නය පිය උරුමයක් නොවේ.
එබැවින් සක්විතිවත් පිළිපදින්න පෙහෙවස් සමාදන් වී මතු මහලෙහි සිටින විට
චක්‍රරත්නය පහළ වන්නේය” යනුවෙනි. ඒ අනුව එම රජු සක්විති වත් විචාරා දැන
උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් නැවත චක්‍රරත්නය පහළ විය. මේ චක්‍ර රත්නය
නම් රජුගේ ආඥා චක්‍රය පිළිබඳ සංකේත යයි රජුගේ අණ ජනතාව නොපිළිපැදීම
චක්‍රරත්නය අතුරුදන් වීමයි. ඒ රජු අදහැමි වූ විට ය. (රාජා භවතු
ධම්මිකො) මේ අයුරින් පිළිවෙළින් රජවරුන් සත් දෙනෙකුගේ ඇවෑමෙන් අටවැනි
සක්විති රජු රජ වී සතියකින් චක්‍රරත්නය අතුරුදන් විය. එහිදී රජු නො
සතුටුව රාජ සෘෂිවරුන්ගෙන් චක්‍රවර්ති වත් නො විචාරා ස්වමතයට රට පාලනය
කළේ ය. රාජ්‍යය සහමුලින්ම පිරිහීමට පත් විය.
මෙහිදී රාජ තන්ත්‍රයට අයත් සියලු දෙනා කතිකාර කර ගත්තේ ය. සක්විතිවත්
විචාරා දැන ඒ අනුව ක්‍රියා කරන්නට විය. නමුත් රජතුමා සක්විත්වත් අසා
රාජ්‍යයේ සියලු ආරක්ෂා රැකවරණ සැලසුවද නිර්ධනයින්ට ධනය දීම නොකළේ ය.
එහි ප්‍රතිඵලය වූයේ දිළිඳු බව ව්‍යාප්ත වී සොරකම ඇතිවීමය. සොරුන් අල්ලා
සොරකම් කළේ ඇයිදැයි විමසූ විට සොරකු ස්වාමීනි, දිවි පැවැත්මට නොහැකි
හෙයිනැයි කීහ. මෙහිදී රජු එම පුරුෂයන්ට, “මේ ධනයෙන් නුඹලා ද ජීවත්
වන්න.මව්පියන් ද අඹු දරුවන් ද පෝෂණය කරන්න. කර්මාන්ත වලද යොදන්න. මහණ
බමුණන්ට ද සුගති ගාමී සැප විපාක දෙන දක්ෂිණා පිරිනමන්නැයි කියා ධනය
දෙන්නට විය. මෙහිදී සිදු වූයේ වෙනකකි. එනම් සොරකම් කරන අයට ධනය දෙතියි.
රජුගෙන් ධනය ලබා ගැනීම සඳහා ම සොරකම් කොට රාජ පුරුෂයන්ගේ අත් අඩංගුව
පත් වීමට පෙළඹුණහ. නිකම්ම ධනය පරිත්‍යාග කරන්නට යාමෙන් මනුෂ්‍යයා
සොරකමට පොළඹවන කරුණක් වූ ආකාරය මෙයින් තහවුරු වේ.
මෙහිදී තව දෙයක්ද සිදු විය. එනම් මනුෂ්‍යයා සොරකම් කරන්නේ ධනය
ලබාගැනීමට බව දැනගත් රජු සොරුන්ගේ හිස ගසා දැමීමට රාජ පුරුෂයන්ට අණ
කිරීමයි. රජුගේ මේ ක්‍රියාව නිසා සිවිල් පුද්ගලයෝ ද “අපිත් අවි තනා
හිස් පැළඳ සොරකම් කරමු” යි කල්පනා කර අවි තැනූහ. අනුන් නසමින් ගම්
නියම් ගම් වනසමින් මං පැහැරීම් කරන්නට වූහ. මේ අනුව යමින් සමාජයේ
සියලු, අක්‍රමිකතා පිරිහීම් ඇති වූ ආකාරය චක්කවත්ති සූත්‍රය දේශනාව
විග්‍රහ වෙයි.
චක්කවත්ති සූත්‍රයෙහි වන මෙම පුවතින් රටක ආර්ථික ක්ෂේත්‍රය කෙරෙහි
විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවීම තුළ සමාජයේ හැම ක්ෂේත්‍රයක්
තුළම සිදුවන පිරිහීම ප්‍රකට වේ. ඒ අනුව මෙම පුවතින් ගත හැකි නිගමන
කිහිපයක් වෙයි.
අසංවිධානාත්මක ධන පරිත්‍යාගය (සහනාධාර) මනුෂ්‍යයා තව තවත් අලසකමට
කම්මැලිකමට සොරකමට යොමු කිරීම.
දඬුවම් කිරීමෙන් මිනිසා වැරදි අත් හැරීම වෙනුවට අවි ආයුධ තනාගෙන වඩාත්
වැරදි කිරීමට පෙළඹීම.
රජු වැරදි කරන්නවුන්ට එරෙහිව අවි භාවිතයට යොමු වීම තුළ රට අභ්‍යන්තරය
තුළ නීති විරෝධි අවි නිපදවීම භාවිතය ආදි අනේක විධ සමාජ විරෝධි
ක්‍රියාවන් ඇති වීම ඉහත චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි එන කරුණු පසුබිම්
කරගෙන දි.නි. එන කූටදන්ත සූත්‍රයද විමසා බැලීම මෙහිදී වැදගත් වේ.
කූටදන්ත සූත්‍රයෙහි එන පරිදි කූටදන්ත නම් බමුණා මහායාගයකට සූදානම්
වෙමින් සිටියදී දිනක් බුදුරජාණන් වහන්සේ හමුවෙයි. මේ හමුවන්නේ එම
මහයාගයට අවශ්‍ය කරන ත්‍රිවිධ යාග සම්පත් හා සොළොස් යාග පිරිකර කවරේදැයි
විමසා දැන ගැනීමටය. මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙර විසූ මහා විජිත නම්
රජු දවස සිදු වූ පුවතක් ගෙනහැර දැක්වීය.
මෙම මහාවිජිත රජුට ද රට අභ්‍යන්තරයේ ඇතිවී ඇති අර්බුද කාරී තත්ත්වයෙන්
මිදී දිගු කලක් හිත සුව පිණිස පවතින යාගයක් කිරීමට සිත් විය. රජු
පුරෝහිතයා අමතා තම අදහස දැක්වීය. මෙහිදී පුරෝහිතයා පවසන්නේ රට සොර
උවදුරුවලින් පීඩිතව ගම් නියම්ගම් මං පැහැරීම් ආදියෙන් බහුල වූ අවස්ථාවක
යාගයක් කිරීමට රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් විශාල වශයෙන් යෙදවීම නොසුදුසු
බවත් රට අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ඉහත උවදුරු දුරලීමට නුවණින් කටයුතු
කළ යුතු බවත් ය.
සූත්‍රයේ ඉහත රට තුළ පැන නැගුණ අරගලය නම් කොට ඇත්තේ ‘දස්සුඛීලය’ නමිනි.
මෙම දස්සුඛීලය යනු කුමක් ද? යන්න වෙසෙසින් හඳුනාගැනීම වැදගත් වේ. මෙය
තේරුම් ගැනීමේ දී ප්‍රාග් බෞද්ධ භාරතීය සමාජ පසුබිම ගැන ද තරමක
වැටහීමක් අවශ්‍ය ය. භාරතයේ ඉන්දු නිම්න සභ්‍යත්වය ආර්ය ජනතාව අතින්
ආක්‍රමණය වූ පසු දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගා ගෙන සිටි, පරාජයට පත්
ස්වදේශීය මනුෂ්‍යයෝ දස්‍ය නමින් ආර්යයන් විසින් හඳුන්වනු ලැබූහ. ඔවුන්
ඒ නමින් හැඳින්වූයේ රටේ නිෂ්පාදනයෙහි ශ්‍රම ශක්තිය වූ බැවිනි. ‘ඛීල’
යනු හුල කණුව යන අරුත් ඇති වචනයකි. එහි ක්‍රියාත්මක නොවන යන අරුත ඇත. ඒ
අනුව රටේ නිෂ්පාදන කාර්යය සඳහා ශ්‍රම ශක්තිය ක්‍රියාත්මක නොවීම යන
වාචික අර්ථය ‘දස්සුඛීල’ යන්නෙහි ඇත. එනම් සමාජ අරගලයෙහි ආරම්භයයි.
මේ අනුව රටක සමාජ අරගල බිහිවන්නේ ආර්ථික සැලසුම් සාර්ථක නොවන විට ජනතා
පීඩනය වැඩිවීම නිසා බව කිව හැකිය. ඒ නිසා රාජ්‍යයන් ආර්ථික අංශයෙන් ශුභ
සාධක රාජ්‍යයක් විය යුතු ය. මෙහි ශුභ සාධනය ‘සහනාධාර’ යන්න සමඟ පටලවා
ගත යුතු නැත. ‘ශුභ සාධනය’ නම් ආර්ථීක ස්ථාවර භාවය සැලසීමයි. සහනාධාර
ක්‍රමයට හුරු වූ මනුෂ්‍යයන් ස්වයං පෝෂණයට යොමු කිරීම අසීරුය.
කූටදන්ත සූත්‍රයට අනුව මහා විජිත රජුගේ පුරෝහිත බමුණා ඉදිරිපත් කරන්නේ
මනුෂ්‍යයා ස්වයං පෝෂණයට යොමු කරන ආර්ථික වැඩපිළිවෙළකි. එය සංවිධාන වචන
භාවිතාකර තිබේ. මැනවින් දස්සුඛීලය මුලිනුපුටා දැමිය හැක්කේ එම
සංවිධානයෙනි. නිශ්ක්‍රිය ශ්‍රම ශක්තිය සක්‍රීය කිරීමෙනි. ඒ අනුව එහි
කළයුතු කාර්යයන් මෙසේ දක්වා ඇත.
රාජ්‍යයෙහි යමෙක් කෘෂිකර්මය, ගව පාලනය ආදී කටයුතුවල උත්සුක වන්නේ නම්
ඔවුනට බීජ හා ආහාර දිය යුතු ය.
යමෙක් වාණිජ කටයුතු කෙරෙහි උත්සුක වන්නේ නම් ඔවුනට ප්‍රාග්ධනය සම්පාදනය
කළ යුතු ය.
යමෙක් රාජ්‍ය සේවයෙහි උත්සුක වන්නේ නම් ඔවුනට ආහාර හා වැටුප් පිහිටුවීම
කළ යුතු ය.
මේ අයුරින් ආර්ථික ක්‍රියාමාර්ග සංවිධානය කොට ක්‍රියා කිරීමෙන් සිය
කටයුතුවල නියුක්ත මනුෂ්‍යයෝ රාජ්‍යය නොපෙළති රටේ සම්පත් ද වැඩෙන්නේ ය.
රජය නිරුපද්‍රිත භාවයෙහි පිහිටයි. ජනපදය සොර හුලින් පීඩාවට ලක් නොවෙයි.
නිෂ්පාදනයෙන් මිදී අරගලයට ගිය අය පෙරළා නිෂ්පාදනයට යොමු වන අයුරුයි. ඒ
මෙසේ දස්සුවේදය සංසිඳුවන කල්හි මනුෂ්‍යයෙන් සතුටින් දරුවන් උරෙහි හොවා
නළවමින් ගෙවල දොර නොවැසුවත්ම වාසය කරත් මේ සමෘද්ධිමත් සමාජයයි.
යාගය වෙනුවට රටේ සමෘද්ධිය උදෙසා රාජ්‍ය තන්ත්‍රයේ කාර්යභාරය නුවණැති
පුරෝහිත බමුණා මහා විජිත රජුට ඉදිරිපත් කළ ආකාරයයි.
මේ ආර්ථික සංවිධානය පිළිබඳ බෞද්ධ ආකල්පයයි. මේ අනුව විධිමත් ආර්ථික
සංවිධානයක් ක්‍රියාත්මක කිරීම රටක අභ්‍යන්තර වියවුල් සංසිඳවීමට මාර්ගය
වෙයි. මේ කෙරෙහි අවධානය යොමු කිරීම මූලික වගකීමකි. |