Print this Article


බුදුදහමින් නැඟෙන නිහඬකමේ රහස

බුදුදහමින් නැඟෙන නිහඬකමේ රහස

අදහස්, සිතැඟි හෝ දැනුම් ප්‍රකාශනය කිරීමේ හැකියාව අතින් මිනිසා ලොව සෙසු ජීවීන් පරදවා සිටියි. ඔහුට සවිස්තරව, විචිත්‍ර ව හා සංකීර්ණ ව අදහස් ප්‍රකාශ කළ හැකි ය. එහෙත් යමක් පිළිබඳ ව විමසූ විට, නොවේ නම් යම් ගැටලුවක් උපන් විට කිසිඳු අදහස් නොපැවසීම එනම් නිහඬව සිටීම ද ඇතැමුන්ගේ පිළිවෙත වෙයි. එහෙත් විටෙක එසේ නිහඬවීම ද උපන් ගැටලුව පිළිබඳ ව සුවිශේෂ වූ අදහස් පළ කිරීමකැයි කිව හැකි ය. ඒ ගැඹුරු පිරිපුන් නිහඬකමයි. එක් විදියකින් එය එක්තරා හරබර දාර්ශනික පිළිවෙතකි.

නිහඬ ව සිටීමෙහි තවත් පැත්තක් ද තිබේ. ඒ හිස් බව මුල් කොට ගෙන ය. යම් ගැටලුවක දී දිය යුතු පිළිතුරක් නොදන්නා බැවින් ද කෙනකු නිහඬ විය හැකි ය. සංවර බව, ශික්ෂණය නොවේ නම් හැදියාව තුළින් ද නිහඬ ව සිටීම සිදු වෙයි. එය සදාචාරාත්මක නොවේ නම්, සංස්කෘතික ස්වරූපයක් ගනියි. ඉහත කී දාර්ශනික නිහඬකම මෙන්ම සංස්කෘතික නිහඬකම ද බුදුදහම තුළින් දැකගත හැකිය.

කිසියම් ගැටලුවක දී කිසිදු අදහසක් පළ නොකර (නිහඬව) සිටීම බොහෝ විට හඳුන්වනු ලබන්නේ ‘මුනිවත’ යනුවෙනි. වත නම් පිළිවෙතයි. වෘත්තියයි. මුනිවත යනු මුනිවරයාගේ පිළිවත ය. එය නිහඬකම ලෙස සැලකීම බුදුදහමට අදාළ නොවේ. හුදු නිහඬකම ‘මුනිවත’ නොවේ බුදුරදුන් වදාළ මුනි පිළිවෙත නොවේ. අඥාන බව එනම් මෝඩකම තුළින් ද නිහඬකම උපදනේ ය. එය හිස් නිෂ්ශබ්දතාවයි. කළය හිස් වූ විට ද නිහඬ ය. මුනිවරයකුගේ පිළිවත සවිස්තර ව දක්වන සුත්ත නිපාත මුනි සූත්‍රය කිසි විටෙකත් මුනිවත නම් නිහඬකම යැයි දක්වා නැත. සියලු කෙලෙස් නසා උසස් ශීලාදී සංවරයෙහි පිහිටීම එහි මුනිවරයාගේ පිළිවෙත හෙවත් මුනිවත සේ දැක්වෙයි. මුනිවත කුමක්දැයි පැහැදිලි කරන තවත් අවස්ථාවක් ධම්මපදයෙහි දැකගත හැකිය. තරාදියක් අත දරන්නකු මෙන්, යහපත අයහපත කිරා බලා තේරුම් ගත හැකි බව, එසේ තේරුම් ගෙන අයහපත සලසන පව් දුරු කිරීම මුනිවත වන්නේ යැයි එහි දැක්වෙයි. මේ අනුව මුනිවත (මුනිවරයාගේ පිළිවෙත) යනු නිහඬකම යැයි කීම බුදුදහමට අදාළ නොවන්නකි. කරුණු එසේ වුව ද ජීවිතය පුරා කිසි දිනෙක කිසිවක් නොපවසන ගොළුවකු සේ සිටින, එය ම උතුම් ශීල ව්‍රතයකැයි පිළිගත් ඇතැම් මහණ බමුණෝ බුදුරදුන් දවස විසූහ. කතාබස් නොකිරීම ඔවුන්ගේ එක ම ශීලය වූ අතර එය ඉතා උතුම් ශීලයකැයි සලකා ඔවුන්ට ගරු සත්කාර කළවුන් සිටි බව ද පෙනේ. එහෙත් එය මුනිවරයකුගේ පිළිවෙත නොවන බව ද හුදෙක් නිහඬව සිටීමෙන් ම මුනිවරයකු නොවන බව ද බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ වතක් සේ ගත් නිහඬකම (මොනෙය්‍ය පටිපදාව) වූ කලී භික්ෂූන්ට ද තහනම් කරන ලද්දකි.

එහෙත් ගිහි පැවිදි කිසිවකුත් සමඟ කිසිවක් කතා නොකර හුදෙක් නිහඬවම වස් තුන් මාසය තුළ පිළිවෙත් පිරීමට ගිවිස ගත් ඇතැම් භික්ෂූන් ගැන අටුවාවෙහි ද සඳහන් වෙයි. පෙර ලක්දිව වූ සිදුවීම් ලෙස එය වාර්තා වෙයි. වස් එළඹෙන දවසේ මේ භික්ෂූහු තමන් රහත් වන තෙක් එකිනෙකා සමඟ කතා බහ නොකිරීමේ ගිවිසුමක් ඇති කර ගත්තෝ ය. පිඬු සිඟා ගමට වඩින විට ඔව්හු කතාබහ වළකා ගැන්මට කටෙහි වතුර පුරවා ගෙන ගියෝ ය. යමකු දිනය හෝ වෙනත් යමක් මඟ දී ඇසුවහොත් පමණක් මේ භික්ෂූහු වතුර ටික ගිල ඇසූ දෙයට පමණක් ම පිළිතුරු දුන්හ. මේ පිළිවෙත ගම්වැසියන්ගේ පුදුමයට හේතු විය. මේ භික්ෂූන් එකිනෙකාට සමඟ ද කතාබහ නොකරන බැවින් උන්වහන්සේලා සණ්ඩු දබර ව අමනාප ව සිටිතැයි සිතූ ගැමියෝ කිහිප දෙනෙක් ඔවුන් සමඟි කිරීමට දිනක් ආරාමයට ද ගියෝ ය. භික්ෂූන් දෙනමක් එක තැන නොවසන බව ද ඔවුන් එක්තරා පිළිවෙතක් නිසා ම කතාබහින් වැළකී සිටින නමුදු විහාරය පවා අතුපත ගා හොඳින් පවත්වා ගෙන යන බව ද ගැමියෝ තේරුම් ගත්හ. මෙසේ දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් සභාශීලත්වය හැර දමා පිළිවෙතට ම යොමු වූ ඒ භික්ෂූන් වස් කාලය අවසන් වන විට රහත් වූ බව ද අටුවාව කියයි. මේ අනුව උසස් අරමුණක් ඇති අර්ථවත් නිහඬකම සැබවින් ම ඵලදායක ය.

එහෙත් බුදුරදුන් දවස ඇතැම් භික්ෂූන් එබඳු උසස් අරමුණකින් තොරව අර්ථශූන්‍ය වූ හිස් නිහඬකම වතක් සේ පිළිපැදි අවස්ථාවක් ‘චුල්ලවග්ගපාලියෙහි’ හමුවෙයි. සමකාලීන සමහරුන් මුනිවත සේ සැලකූ එම නිහඬකම බුදුරදුන්ගේ ගර්හාවට ලක් වූවකි. ‘වස් තුන් මස තුළ එකිනෙකා සමඟ කතාබහ නොකරමු’යි ඔව්හු ද ගිවිස ගත්හ. මේ බව සැල වූ පසු ඔවුන් කැඳවූ බුදුරජාණන් වහන්සේ හුදෙක් කතාබහ නොකර සිටීම පිළිවෙතක් නොවන බව ද එය ගොළුවත පමණක් වන බව ද පවසමින් එය විනයෙහිලා තහනම් කළහ. බුදුදහම අනුව ගිහි පැවිද්දන්ගේ ආධ්‍යාත්ම චරිත සංවර්ධනයට හානි කරවූ හිස් කතා දෙතිසකි. රාජ කථා, චෝර කථා, මාලා කථා ආදී වශයෙන් ධර්ම විනයෙහි ඒවා දක්වා තිබේ. එබඳු ප්‍රලාප, හිස් බස් දෙඩීමට වඩා නිහඬ ව සිටීම හොඳ යැයි උගන්වා ඇත. එක්කෝ දැහැමි කතාබහක නිරත විය යුතු ය. නැත්නම් නිහඬ ව සිටීම හොඳ යැයි සිටි ශ්‍රාවකයන්ට උන්වහන්සේ අවවාද කළහ. බුදුරදුන් එවන් හිස් දේ කථා නොකරන අනවශ්‍ය ඝෝෂා පි‍්‍රය නොකරන නිහඬ ශාස්තෘවරයකු ලෙස ද ප්‍රකට ව සිටි බව පෙනේ. දුරදීම සිය අරමට වඩින බුදුරදුන් දුටු පොට්ඨපාද මහ ඝෝෂා නගමින් සිටි සිය පිරිස නිහඬ කළේ ය. ‘භවත්නි, නිහඬ වන්න, හඬ නොනගන්න, නිහඬ බව කැමැති එහි ගුණ කියන බුදුහු මෙහි වඩිති. අපගේ නිහඬ බව දැක උන්වහන්සේ මෙහි වැඩම කළහොත් අපට මහත් ලාභයෙකි’යි හෙතෙම සිය සව්වනට කීවේ ය. ඒ පුවත පොට්ඨපාද සූත්‍රය වාර්තා කරයි. බුද්ධ ශ්‍රාවක භික්ෂූහු ද බුදුරදුන් හමුවෙහි අතිශයින් ම නිහඬ ව සිටියෝ ය. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිස්හි දහම් දෙසන තැන ඒ පිරිස තුළින් කිවිසුම් හඬකුදු, කාරන හඬකුදු නොඇසෙයි. එබඳු විටෙක එක් ශ්‍රාවයකු උගුර පෑදුවේ ය. තවත් භික්ෂුවක් දණින් ඇණ ඔහු නිහඬ කළේ යැයි බුදුරදුන් හමු වූ කොසොල් රජු බලවත් ප්‍රසාදයෙන් පැවසූ හැටි ‘ධම්මචේතිය සූත්‍රය’ කියයි. මෙහි නිහඬ බව යන්නෙන් සැලකෙනුයේ බුදුරදුන් දහම් දෙසද්දී මනා හැදියාවකින් තැන්පත් ව අනවශ්‍ය ඝෝෂා නොකර බණ ඇසීම ය.

කුඩා දිය පහර හඬ නගමින් ගලා යයි. මහා ගංගාවෝ නිහඬව ම ඇදී යති. යම් තැනක නොපිරිපුන් හිස් බවක් වේද එතැනින් හඬ උපදියි. යමක් පිරිපුන් ද, ගැඹුරු ද එය නිහඬ ය. මෝඩයා අඩක් පිරුණු කළය වැනි ය. පණ්ඩිතයා මනා ව පිරුණු විලක් වැනි යැයි දත යුතු බව බුදු හිමියෝ සිය ශ්‍රාවක නාලක හිමියනට වදාළහ. ඒ සුත්ත නිපාත නාලක සූත්‍රයේ ය. කෙටි දුරක සිට ගලා එන කුඩා දිය පහර වූ කලී අවම අත්දැකීම් ඇත්තකි. එය බොළඳ ය. ලාබාල ය. එසේ වුව ද එහි ඝෝෂාව විශාලය. එහෙත් මහ ගඟ එන්නේ ඉතා දුර සිට ය. බොහෝ අතු ගංගාවලින් පෝෂණය ලබමින් වැටෙමින් නැගෙමින් තෙරපෙමින් එන ඒ මහ ගඟට බොහෝ අත්දැකීම් ඇත්තේ ය. මහ ජල කඳ ඇත්තේ ය. ගැඹුරු ය. එහෙත් එය නිහඬ ය. ඒ පැසුණු පිරිපුන් බව නිසා ය. එබැවින් අප අතර ම සිටින කුඩා දොළ පහර වන් මිනිසුන් ආදර්ශයට නොගත යුතු ය. මහ ගංඟාවන් බඳු මිනිසුන් බිහිවනු දැක්ම බුදුදහමෙහි අපේක්ෂාවයි.

බෞද්ධ මූල ග්‍රන්ථයන්හි දැක්වෙන දාර්ශනික නිහඬ බව ගැන ද මෙහි දී යමක් කිව යුතු ය. ඒ වූ කලී සැබවින් ම නිහඬ හඬක් මතු කරන්නකි. එම නිහඬතාව විටෙක බුදුරදුන් විසින් පවා අනුගමනය කර තිබේ. ඒ වූ කලී නිහඬ බව තුළින් ම ඉදිරිපත් වන ඉතා ගැඹුරු නොඇසෙන හඬක් වැන්න. වච්ඡගොත්ත හා බුදුරදුන් හමුව මීට නිදසුනක් වෙයි. වච්ඡගොත්ත තෙමේ බුදුරදුන් හමු වී මෙසේ ඇසී ය.

පින්වත් ගෞතමයෙනි, ආත්මයක් තිබේද?

බුදුරජාණන් වහන්සේ නිහඬ ව හුන් සේක.

කිමෙක්ද පින්වත් ගෞතමයෙනි, ආත්මයක් නැද්ද?

බුදුරජාණන් වහන්සේ නිහඬ ව හුන් සේක. වච්ඡගොත්ත තෙමේ හුනස්නින් නැගිට ගියේ ය. පසුව ආනන්ද හිමියන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ආත්මයක් ඇතැයි කීම මෙන්ම නැතැයි කීම ද තම ස්ථාවරය නොවන බවත් ඒ පිළිතුරු කිසිවකින් සසර දුකින් මිදීම පිණිස ප්‍රයෝජනයක් නොවන බවත් වදාළහ. එක් අතෙකින් බුදුසමය මධ්‍යම චින්තාවකි. පටිච්ච සමුප්පාදයෙන් එය උගන්වන ලදී. අනෙක් අතින් බුදුසමය මධ්‍යම ප්‍රතිපදාවකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එය ඉගැන්වේ. ඉහත කී නිහඬ බව තුළින් පළවන්නේ එම මැදිහත් බව ය. එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් එම මැදිහත් බව බිඳ වැටෙයි. එබැවින් ම නිහඬ බව ම පිළිතුර වන්නේ ය. කරුණු මෙසේ වුව ද හැම විට ම හැම දේක දී ම නිහඬ ව සිටීම බුදුදහමට අභිමත නොවන්නේ ය. එය මොනය්‍ය පතිදාවයි. හඬ නැගිය යුතු, කතා කළ යුතු දේට කතා කළ යුතු ය. හඬ නැගිය යුතු ය. බුද්ධාවවාදය සියලු අයුක්තිය අසාධාරණය නිහඬ ව දරා ගැන්මට මඟ පෙන්වන්නේ නැත. සමකාලීන ව සමාජ අසාධාරණයට ලක් වූ පහත් යැයි සම්මත වූ ජනයාගේ මෙන් ම කාන්තාවන්ගේ ද නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ නැඟූ හඬ පෙළ දහමෙහි වාර්තා වෙයි. එබඳු අවස්ථා බෞද්ධයනට ආදර්ශයක් වේ.