සීල සුගන්ධය
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
මංගල සූත්‍රයේ සඳහන් නමවෙනි මංගල කරුණ වන්නේ මනාකොට හික්මවන ලද විනයයි.
විනය පවතින තැන සීලය මැනවින් ආරක්ෂා වෙයි. එහි සංවරය පවතියි. මෙම සංවරය
කායික, වාචසික සහ මානසික සංවරය ලෙස විස්තර කළ හැකිය. විනයක් ඇති කර
ගැනීමේ දී දස අකුසල කර්මයන්ගෙන්ම වෙන්වීම වඩා ඵලදායකය. දස අකුසල කර්ම
නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම,
පරුෂ වචන කීම, හිස් වචන කීම, අභිද්‍යාව නම් වූ විෂම ලෝභය, ව්‍යාපාදය
හෙවත් තරහව හා මිථ්‍යා දෘෂ්ඨියයි. නිවසක වුවද, පාසලක වුවද විනය ඇති හෝ
නැති බව තීරණය වන්නේ මෙම කරුණු ද ප්‍රධාන වශයෙන් මූලික කරගෙන නොවේදැයි
ඔබම සිතා බලන්න.
ප්‍රාණඝාතය නම් වූ අකුසලයේදී එයට සම්බන්ධ වන අනුන්ට හිරිහැර කිරීම,
පහරදීම, කිසියම් හෝ කායික පීඩාවන් ඇති කිරීම ද මෙහි විශේෂයෙන් සඳහන් කළ
යුතුය. නිවසක ස්වාමිපුරුෂයා සහ බිරිඳ නිතර සණ්ඩු දබර කරගන්නේ නම්,
එකිනෙකාට පහරදී ගන්නේ නම් එම නිවහනෙහි සංවරයක් හෝ විනයක් කොයින්ද?
හැදෙන වැඩෙන දරුවන් දකින්නේ ද, එම දරුවන්ට ඇසෙන්නේ ද සණ්ඩු දබර සහ පරුෂ
වචනය. එමෙන්ම ඔවුනොවුන්ට කරගන්නා වූ චෝදනාවන්ය. අවමානයන්ය. එම නිවසෙහි
සාමකාමී පරිසරයක් කිසිවිටෙකත් නොපවතිනු ඇත. සමහර තරුණ වියට පා තබන
දරුවන් පවසන්නේ “අපේ ගෙදර මව්පියන් හොඳින් සිටිය දවසක් නම් මතක නෑ”
කියායි. දෙමාපියන්ගේ ජීවිතවල විනයක්, හැදියාවක් නැතිකල දරුවන්ගෙන්
කුමක් බලාපොරොත්තු වෙන්නද? එනමුත් යම් නුවණැති හා පින්වත් දරුවෝ
දෙමාපියන්ගේ එම නොහැදියාව නොසලකා සංවරව හා ගුණවත්ව හැදෙති. මත්වතුර
පානය කොට අවිනීතව සහ අසංවරව හැසිරෙන පියෙක් හෝ පිරිමියෙක් සිටින පවුලක්
පිළිබඳව ඔබට සිතාගත හැකිද? කුඩා දරුවන්ට හොඳ නරක කියාදෙන්නට නම්
දෙමාපියන් සහ වැඩිහිටියන් ආදර්ශමත් විය යුතු ය. එවැනි අසංවර පියෙකුට හෝ
වැඩිහිටියෙකුට ආත්ම විශ්වාසයෙන් තවත් කෙනෙකුට අවවාදයක් දිය හැකිද?
සැබවින්ම නොහැකිය.
බොහෝ අපරාධවලට සහ අපචාරයන්ට සම්බන්ධ දරුවන්ගේ හෝ තරුණ පිරිස්වල පසුබිම
සොයා බලන විට පැහැදිලි වන්නේ මූලිකවම නිවසින් යහපත් ආදර්ශයන් නොලැබුණු
බවය.
ව්‍යාපාදය හෙවත් තරහව නිවසක හෝ ආයතනයක සාමය සහ සමගිය නැතිකරන බරපතළ
විෂබීජයකි. තරහව සමඟ ගමන් කරන තවත් උප ක්ලේශයෝ පවතිත්. එනම් වෛරය,
ඊර්ෂ්‍යාව, පළිගැනීම, ගුණමකුකම ආදී වශයෙනි. නිතර තරහ ගන්නා හෝ තරහෙන්,
අමනාපයෙන්, කේන්තියෙන්, නොරුස්සනා බවෙන් සිටිනා පිරිස් අසංවරව
හැසිරෙති. මත්වතුර පානය කොට සිහිවිකල් කරගෙන අසංවරව හැසිරෙන අය වගේම
අධික කෝපයට පත් අයත් මනස අවුල්කරගෙන ඉතාම අවනීතව හැසිරෙති. සමහර අයගේ
හැබෑ ස්වභාවය මතු වී පෙනෙන්නේ එම අවස්ථාවලදී ය. කෝපය හෝ තරහව සංසිඳුණු
අවස්ථාවක ඔවුන් පවසන්නේ “මට මොනවා වුණාදැයි මමවත් දන්නේ නැහැ. මටම
හිතාගන්න බැහැ මම ද එහෙම හැසිරුණේ කියලා. මටම හරි ලජ්ජාවක් ඇතිවෙනවා.”
යනුවෙනි. ඕනෑම අයෙක් කෙරේ හෝ ඕනෑම නිවසක හෝ ආයතනයක විනයක් පවත්වා
ගැනීමේ වැදගත්කම මේ අනුව පැහැදිලිය. ගිහි සමාජයේ පමණක් නොව පැවිදි
සමාජයේ ද උතුම් බව රඳා පවතින්නේ විනය හා සමගිනි. “විනයෝ නාම සාසනස්ස
ආයු” ශාසනයෙහි ආයුෂ විනය බව සංගීතිකාරක රහතන් වහන්සේලා පැවසුවේ
එබැවිනි. මෙම විනය, ශාසනයෙහි විනය ශික්ෂාපද නමින් හඳුන්වා දී තිබේ.
බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේලාට දෙසූ වදන් සාමාන්‍ය ජනයාට
ද එකසේ ගැළපේ. එනම් “අප්සන්නානංවා පසාදාය, පසන්නානංවා භීවෝභාවාය”
යනුවෙනි. එහි තේරුම වන්නේ අපැහැදුනු අයගේ පැහැදීම පිණිසත් පැහැදුනු
අයගේ වැඩි පැහැදීම පිණිසත් හැසිරෙන්න ආදී වශයෙනි. නිවසක ස්වාමිදියණියක්
හෙවත් බිරිඳකගේ විනීතකම හා ආචාරශීලී බව නිසා ස්වාමිපුරුෂයා වඩාත්
සොම්නසට පත්වනු ඇත. මේ නිසා ඇයට වඩාත් ගරුකරනු ඇත. ස්වාමිපුරුෂයාගේ
විනීත බව සහ හැඳුනුකමට ශිෂ්ඨ සම්පන්න සෑම බිරිඳක්ම ගරුකරනු ඇත. “මට
හමුවී තිබෙන්නේ මනුෂ්‍යයෙක් නොව දෙවියෙක්” යැයි පවසන්නේ එවැනි
ස්වාමිපුරුෂයන් ගැනය.
මෙම මනාකොට හික්මවන ලද විනයම, තවත් ආකාරයකින් සීලය ලෙසද විස්තර කළ
හැකිය. සීලය යනු කය වචන දෙකේ ඇති සංවරකමයි. බොහෝ අවස්ථාවල පුද්ගලයන්
වෙතින් අවිනීත, අසංවර හා අශීලාචාරබව මතු වී පෙනෙන්නේ කායික ක්‍රියාවන්
හා වචන පිටකිරීම් ඇසුරුකරගෙනය. සීලයෙන් කායික හා වාචසික සංවරය ඇතිකරන
විට නිතැතින්ම ඕනෑම පුද්ගලයෙක් කෙරේ හෝ ආයතනයක විනයක් ඇතිවෙයි.
මනුෂ්‍යයන්ට මනසෙහිත්, පරිබාහිරවත් ඇතිවන ගැටලුවලට විසඳුම් සොයන්නට නම්
පළමුව සීලයෙහි පිහිටා සිටිය යුතු බව සංයුත්ත නිකායේ ජටා සූත්‍රයෙහි
මෙසේ පැහැදිලි කරයි. “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ, චිත්තං පඤ්ඤං ච භාවයං”
ආදී වශයෙනි.
එහි තේරුම වන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා විසින් පළමුව සීලයෙහි පිහිටාම
සිතත් ප්‍රඥාවත් වඩන බවයි. එනම් ලෝභ, ද්වේෂ හා මෝහ (මුලාව) නිසා සිතේ
ඇතිවන අවුල් සහ ගැටලු විසඳීමට උත්සාහ කරන බවයි. “පමාදවිහාරී”
සූත්‍රයෙහි පැහැදිලි කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස
සංවරකරගැනීමෙන් සිතේ ප්‍රමෝදය ඇතිවන බවය. ප්‍රමෝදය නිසා සිතේ සතුට ද
සිතේ සතුට තිබෙන විට සිතේ එකඟබවද පවතියි. සිත එකඟ වීම හෙවත් සිත
නිරවුල්ව සහ සංවරව පවතින විට සිත සුවයට හෙවත් සැහැල්ලුවට පත්වෙයි. එනම්
නිවීමට පත්වෙයි. නිවුණු සිතේ ධර්ම පහළවෙයි. එනම් කුසල් සිත වැඩෙයි. සමථ
විදර්ශනා භාවනා වැඩෙයි.
ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස නම් වූ ඉන්ද්‍රියන්ගේ අසංවරවීම යනු
සිතේ දැඩි වූ රාග, තරහව, මෝහය ආදී ක්ලේශ වැඩෙන්නට පටන් ගැනීමය. ඒ ඇස්
දෙක ලෝභකමෙන් පිරිලා, ඒ ඇස් රාගයෙන් පිරිලා, ඒ ඇස් තරහවෙන් පිරිලා ගිනි
පුළිඟු වගෙයි. ලෙසින් පවසන්නේ සිතේ වැඩෙන කෙලෙස් ඇස ආදී
ඉන්ද්‍රියන්ගෙන් මතුවන්නට පටන්ගන්නා අවස්ථාවේදීය. මේ නිසා කය, වචන දෙකේ
ඇතිවන සංවර බව හෙවත් විනීත බව සීලය බවට පත් වේ. එම සීලය, ගුණ සුවඳක්
ලෙස හැමදෙනා අතර පැතිරී යන බව ධම්මපදයෙහි සඳහන් වෙයි.
“චන්දනං තඝරංවාපී
උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධ ඡානානං
සීල ගන්ධෝ අනුත්තරෝ”
“සුවඳ සඳුන්, තුවරලා, උත්පල ආදී සුවඳට වඩා සිල් සුවඳම උතුම්” බව මෙහි
පැහැදිලි කෙරේ. මේ ලෝකයේ ඇති එම මල්වල හෝ කෘත්‍රිම සියලුම සුවඳ
හමායන්නේ ටික වේලාවකටය. සීමිත පෙදෙසකටය. නමුත් පුද්ගලයකුගේ සිල් සුවඳ
හෙවත් ගුණ සුවඳ ජීවත්ව සිටිනතාක් ද මරණින් මතු ද හමාගෙන යයි. මෙම ලෝකයේ
පමණක් නොව දෙව් ලොව බඹලොව දක්වාම හමායන බව ධර්මයෙහි පැහැදිලි කෙරේ.
“විද්‍යා දදාති විනයං” යනුවෙන් පැරැණි පඬිවරු පැවසූහ. එමගින් අදහස් කළේ
උගත්කම, ශිල්ප ශාස්ත්‍ර දැනුම සහ අධ්‍යාපනයෙන් ලබන පරිණත බව යමෙක්
විනයගරුක බවට පත්කරන බවය. කුමන ආකාරයේ ඉහළ අධ්‍යාපනයක් ලැබුවද විනයක්
නොමැති තැන පවතින්නේ පරිහානියකි. සත්ව ලෝකයේ විනයක් නැත. සමහර සතුන්ට
යම් යම් දෑ පුරුදු කිරීමෙන් හීලෑ බවක් ඇතිකරගත හැකිය. නමුත් එය
ධර්මයෙහි උගන්වන විනය නොවේ. විනය, සීලය, සංවරය, හික්මීම හෝ සදාචාරය
ඇතිවිය යුත්තේ හෝ ඇති කරගත යුතු වන්නේ ස්වයං අවබෝධයෙනි. දස අකුසල
කර්මයන්ගෙන් වැළකී දස කුසල් කර්ම මාර්ගයට පත්වන බැවින් උතුම් මංගල
කරුණකි. සැමට සියලු යහපත උදාවේවා. උතුම් තුණුරුවන් සරණයි. |