කළුතර උග්ගල්බඩ මල්අස්නේ රජමහා විහාරය
බෝම්බුවල
බන්දුල පේ‍්‍රමරත්න
කළුතර උග්ගල්බඩ මල්අසනේ රජ මහා විහාරය ඉතාමත් සන්සුන් රමණීය පරිසරයක්
පසුබිම් කොට ගෙන ස්ථාපනය වී ඇත.මෙම විහාරස්ථානයට අනුබද්ධව පවතින
මල්අසනේ මහා දේවාලය තුළ පත්තිනි, ශ්‍රී විෂ්ණු, කතරගම, ඊශ්වර, සමන්,
ගම්භාර ආදී දේවාල වලින් සමන්විත වේ.
උතුර කළුතර නාගස්හන්දියෙන් හැරී හොරණ මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක් පමණ
ගමන් කිරීමෙන් පසුව හමුවන මල් අස්නේ රජමහා විහාර පාරේ මීටර් 50 ක් පමණ
දුරකින් මෙම රමණීය පුණ්‍ය භූමිය හමුවේ. පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ
එතුමා ත්‍රිසිංහලාධීශ්වර වූ පසු බුදු දහමේ මෙන්ම සිරිලක් වැසියන්ගේ
දියුණුවට සිරිලක පුරා ප්‍රතිමා විහාරස්ථාන රුසක් කරවූ බව මහාවංශයේ
සඳහන් වේ. එවකට කරවන ලද විහාරස්ථාන අතුරෙන් මල්අස්නේ රජමහා විහාරයද එක්
විහාරස්ථානයක් බව විශ්වාසයක් පවතී. එසේම ක්‍රිස්තු වර්ෂ 1250 සමයේදී
දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් දඹදෙණිය, කුරුණෑගල,අත්තනගල්ල, බෙන්තොට
ආදී ප්‍රදේශවල විහාර පිරිවෙන් කරවන කල්හි මෙම උග්ගල්බඩ මල්අස්නේ රජමහා
විහාරයද සාදවා හෝ ප්‍රතිසංස්කරණය කර වැඩි දියුණු කරවා ඇති බවටද තොරතුරු
හෙළිවන්නේ රයිගම් හා පස්දුන්කෝරළයන්හි වෙනත් විහාරස්ථාන වල තැන්පත්කොට
ඇති ඓතිහාසික තොරතුරු විශ්ලේෂණය කිරීමෙනි. ඒ සඳහා සමීපතම හේතුව වී
ඇත්තේ මෙම මල් අස්නේ රජමහා විහාරය බෙන්තර සිට ශ්‍රී පාදස්ථානය දක්වා
එකල වන්දනාකරුවන් ගමන් කළ ප්‍රධාන මාර්ගය වූ බෙන්තර, කළුතර, රෙමුණ,
හොරණ ,රත්නපුර හරහා ශ්‍රීපාදය දක්වා වූ මාර්ගයේ පිහිටා තිබීම නිසාය.
පසුව කෝට්ටේ රාජධානි සමයේදී හයවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම
විහාරයට හා දේවාලයට අදාළ දේවාල ගම් ආදිය සඳහා තඹ සන්නසක්ද ප්රදානය කර
තවදුරටත් වැඩිදියුණු කරවා පෝෂණය කොට ඇති බවටද ඉතිහාස ගතව ඇත. එසේම එකල
හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් කෝට්ටේ රජ මාලිගාවේදී පවත්වනු ලැබූ
නෘත්‍ය ගීතාදී උත්සවයකදී මල් අස්නේ මහා දේවාලයේ ප්‍රධාන කපුරාල පදවිය
දැරූ තැනැත්තා විසින් ඉදිරිපත් කළ නර්තන පිළිබඳව පැහැදී විහාරස්ථානයේ
සිට යම් සීමාවක් ඇතුළත යම් යම් ඉඩකඩම්වල අයිතිය භුක්ති විඳීමට හැකිවන
සේ සන්නසක් මගින් බලය පවරා ඇත.
මෙම විහාරස්ථානය පිහිටි උග්ගල්බඩ ගම්මානය ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට නෑකම්
කියන සශ්‍රීක ප්රදේශයකි. ගමේ නැගෙනහිර දෙසින් කළුගඟ ගලා බසී. උතුරෙන්
රන්හුන්ගල බටහිරෙන් ගන්කන්දගොඩ, ඇඳිරි කැලය කපුහේන යන ගම් වලින්ද
දකුණෙන් ජාවත්ත, මල්වත්ත ආදී ගම්වලින්ද මායිම්ව ඇත. රජ දවස මෙම
ප්‍රදේශය සරුසාර කෙත්වතු පොල්වතු බව භෝග වලින්ද වන ලැහැබ වලින්ද
අලංකාරව තිබූ අතර තැනින් තැන පිහිටා තිබූ උස් ගල් ගොඩවල් නිසා ගමේ නම
උස්ගල් ගොඩ වී පසුව උග්ගල්බඩ ලෙස ව්‍යවහාර වී ඇත. සිංහල රජ සමයෙහි
පරදේශීන් සමග යුද වැදුන හෙළයනට ආරක්ෂාව සැලසූ ස්ථානයක් වශයෙන්ද
උග්ගල්බඩ ජනප්රවාදයේ ප්‍රචලිතය. එකල මෙම ප්‍රදේශයේ තිබූ වන ලැහැබ්
මෙන්ම උස් ගල් රාශින් ගැන සලකන කල එය සත්‍යයක් බවට පසක් වේ.
පරගස්තොට රේවත නා හිමි |
මොරොන්තුඩුවේ සෝභිත හිමි |
පෘතුගීසි පාලනය ආරම්භයත් සමඟ ලංකාවේ බොහෝ වෙහෙර විහාරස්ථානවලට සිදුවු
ඛේදජනක විනාශය මෙම මල් අස්නේ රජමහා විහාරයටද අත්විය. ඉතිහාසය සනාථ
කිරීමේ බොහෝ සාධක විනාශ විය. එහෙත් මල්අස්නේ දේවාලය මේ වන විටද ඇති
ඉපැරණි සඳුන් දැවමය පත්තිනි දේව රූපයත් විහාර මන්දිරයේ පවත්නා ඉපැරණි
සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේත්, ශී‍්‍ර විෂ්ණු ප්රතිමාවත්, සහ විවිධ
පුස්කොළ පොත් මගින්ද ඉතිහාසය බොහෝ දුරට අනාවරණය වේ. විහාරස්ථ
පරිහානියත් සමඟ එහි වැඩහුන් භික්ෂූන් වහන්සේලා වෙනත් විහාරස්ථාන වෙත
බැහැරව ගොස් ඇති අතර ස්ථානය වල් බිහිවී ජරාවාස වී ඇති බව කියයි. පසුව
ඕලන්ද පාලන කාලයේදී තවදුරටත් නටබුන් බවට පත්විය. එහෙත් ඕලන්ද පාලන සමය
අගභාගයේදී දෙගම්බොඩ හාමුදුරවෝ නමින් ප්‍රසිද්ධ හිමිනමක් මෙම
විහාරස්ථානයට වැඩමවා ඕලන්ද පාලනයෙන් ලිඛිත අවසර ගෙන භූමිය එලිපෙහෙළි කර
විහාරස්ථානයක් සේ පවත්වාගෙන යමින් ගමේත් දායක දායිකාවන්ගේත් මහත්
ගෞරවයට පත්වූ බව පැරණි පුස්කොළ පොත් වල සඳහන් වේ. දෙගම්බොඩ මහ තෙරුන්
වහන්සේගේ ඇවෑමෙන් එකල බෙන්තර ගලපාත රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ
විසූ පූජ්‍ය වලපොල ගුණරතන මහ තෙරුන් වහන්සේ මල්අස්නේ රජමහා විහාරයේද
විහාරාධිපති වශයෙන් පත්වූහ. ඉන් පසුව ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාගත
සම්ප්රදාය අනුව මල් අස්නේ රජමහා විහාරයට විහාරාධිපතිවරුන් කිහිප නමක්
පත්ව කටයුතු කර ඇති අතර එසේ විහාරාධිපතිත්වයට පත් සියලුම නාහිමිවරුන්
විහාරස්ථානය දියුණුවට ඉමහත්ව කැපවී සේවය කොට ඇත. වර්තමාන විහාරාධිපති
පූජ්‍ය පරගස්තොට රේවත නාහිමියෝද විහාරස්ථ දායක දායිකාවන් සමඟ එක්ව මෙම
රමණීය පුණ්‍ය භුමිය දියුණු කොට ආරක්ෂා කිරීම සඳහා පියවර ගණනාවක්
ඉදිරියට තබා ඇත.
සියලු විහාරාංගයන් ගෙන් පරිපූර්ණ මෙම විහාරස්ථ ප්රවිශ්ඨ මාර්ගයේදී
එක්වරම දිස්වන්නේ දර්ශනීය චෛත්යරාජයාණන්ය. තෘණ මළුව, සලපතල, මළුව,
වැලිමළුව, යන ත්‍රිවිධ චෛත්‍ය මළු වලින් සැදුම්ලත් චෛත්‍යය රාජයාණන්
වෙත පිවිසීම සඳහා තුන් දිශාවකින් ශෛලමය පඩි නිමවා ඇත.
මල්අස්නේ රජමහා විහාරයේ විහාර මන්දිරය දුටු පමණින් පෞරාණිකත්වය
විද්‍යාමාන වන ගෘහ නිර්මාණ ශිල්පයක අභිමානත්වය මතුවී පෙනේ. විහාර
මන්දිරයටද පිවිසුම් දොරටු තුනකි. මැද පිහිටි පිවිසුම් දොරටුවෙන් වට
මාලයට ඇතුලු වන විට මෛත්‍රි බෝසත් පිළිරුවකි.දෙපස සිංහ ප්‍රතිමා දෙක සහ
විශාල ප්‍රමාණයේ දොරටුපාල ප්‍රතිමා දෙක මහත් තේජස් බවක් උසුලයි. විහාර
මන්දිර වටමාලයේ නියත විවරණ ලබාගත් අවස්ථාව සත් සතිය ගත කළ අවස්ථාවත්.
බුද්ධත්වයත්, පිරිනිවන් මංචකයත්, ප්‍රතිමා වලින් නිර්මාණය කර ඇත. ඇතුලු
මාලයෙහි දහඅට රියන් සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ සුදුවැලි සහ
මැටි මිශ්‍රණයකිනි. තාප්ප මැට්ටෙන් විහාර මන්දිරයේ බිත්ති නිමවා ඇති
අතර මේ වන විට උළු සෙවිලි වහලය රජ දවසද පොල් අතු සෙවිලි කොට තිබූ බවටද
ජනප්රවාදයේ පවතී.
මෙම විහාරස්ථානය චෛත්‍ය අසල පිහිටි ගල් පර්වතය මත එකල පත්තිනි දේව
මෑණියන් මල් පූජා කර ඇති බවත්, එම මල් පූජාකළ ගල් තලාව මල් ආසනය වූ
බැවින් මෙම විහාරය මල්ආසනයේ විහාරය වී පසුව මල් අස්නේ විහාරය ලෙස
භාවිතයට යෙදුන බවත් පැරැන්නෝ කියති.
මල් අසනේ රජ මහා විහාරය පිළිබඳව සොයා බලන කල එයට සම්බන්ධ දේවාලයද
එතරම්ම ඉපැරණි බව ලේඛන වලින් සනාථ වී ඇත. පැරණි දේවාලය පැවති භූමියේ
මෑතක් වන තුරුම රිදී කාසි ආදිය හමුවී ඇති බව තතු දත් වැඩිහිටියෝ පවසති.
මෙම ඉපැරණි දේවාලයට ආසන්න වර්තමානයේද දිස්වන “දඩගහනගල “නම් විශාල
ගල්කුල එකල දේවාලය සතු දේවාභරණ සහ පත්තිනි දෙවියන්ගේ සලඹ තැන්පත්ව තිබූ
ස්ථානය බවටද ජනප්රවාදයේ වේ. පුරාණයේ සිට විවිධ භාරහාර ඔප්පු කිරීම
සඳහා විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මාන වලින් මෙන්ම බොහෝ
ප්‍රදේශවල ජනතාවද මහත් විශ්වාසයෙන් හා භක්තියෙන් යුක්තව මල්අසනේ රජමහා
විහාරයට හා මහා දේවාලයට ඇදී එති. සෑම වසරකම අපේ‍්‍රල් මාසයේදී සිංහල
අවුුරුදු හිස තෙල් ගෑමේ උත්සවය දක්වා සති දෙකක පමණ කාලයක් මල්අස්නේ මහා
දේවාලයේ පවත්වන දෙවොල් මඩු පූජා උත්සව කාලයේද මෙම පුද බිම බොදු
ජනතාවගෙන් පිරී පවතී. සිංහල අවුරුදු උදාව ආසන්නයේ පවුල් පිටින් දහස්
සංඛ්‍යාත බැතිමතුන් මෙම ස්ථානයට පැමිණ බුදුන් වැඳ ශී‍්‍ර විෂ්ණු
දෙවියන් අභියස පූජා පවත්වා පත්තිනි දේවාලය ඇතුලු අනෙකුත් දේවාල වලටද
ගොස් පඬුරු දමා භාරහාර ඔප්පු කොට ආශීර්වාද ලබා නව වසරට මුහුණ දීමට
අවශ්‍ය ආගමික විශ්වාසය ගොඩනගා ගැනීම පුරාණයේ සිට පැවත එන චාරිත්රකි.
වර්තමාන විහාරාධිපති පරගස්තොට රේවත නාහිමියෝ බෝධි ප්‍රාකාරය ඉදිකරවීම
ඇතුලු සියලුම විහාරංග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවා මහඟු සේවාවක්
සිදු කොට ඇත. විහාරස්ථානයේ ඉපැරණි සංඝාවාස ගොඩනැගිල්ල එහි පුරා
විද්‍යාත්මක වටිනාකම හා ප්‍රෞඩත්වය ආරක්ෂා වන සේ තවදුරටත්
ප්‍රතිසංස්කරණය කරවීම මාහිමියන්ගේ අනාගත බලාපොරොත්තුවකි. විහාරස්ථානයේ
අනාගත දියුණුවට මහත් පිටිවහලක් වනු පිණිස මේ වන විට මොරොන්තුඩුවේ සෝභිත
හිමියෝ විහාරාධිකාරි ලෙස පදවි ගතව ඇත. නා හිමිපාණන්ගේ මාර්ගෝපදේශකත්වය
මත විහාරස්ථ දියුණුවට කැපවන බව මොරොන්තුඩුවේ සෝභිත හිමියෝ පවසති. උන්
වහන්සේගේ ශාසනික මෙහෙයට ශක්තියක් වීම පිණිස මහඉඳිවැවේ ධම්මින්ද සහ
සම්පත්නුවර විපුලතිස්ස යන හිමිවරුද විහාරවාසීව කටයුතු කරති. බොදු බැති
සිත් ඇති කාගේත් ආත්ම සංයමය සහ මානසික සුවය වඩවන මෙම පින්කෙත කා
තුළවුවද සාමකාමි බව මෙන්ම චිත්ත සමාදානය ඇති කිරීමට සමත්වී ඇත. |