බුදුදහම හා මාර සංකල්පය 07
මාරයා දුකට පත් කළ ගෝධික තෙරණුවෝ
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත,
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගිය පසළොස්වක පොහෝ දිනයේ හා අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට
බඳුන් වූයේ මුගලන් මහ තෙරුණුවන්ට කරදර කිරීමට මාරයා පැමිණි අවස්ථාවක්
පිළිබඳ කරුණු ඇතුළත් වන මජ්ක්‍ධිම නිකායට අයත් “මාරතජ්ජනීය’ සූත්‍රය
විමසා බැලීමටයි. සම්බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කිරීමට නොමග යැවීමට මාරයා
බොහෝ අවස්ථාවල උත්සාහගෙන ඇත. එහෙත් ඒ බොහෝ අවස්ථාවන්හි මාරයාට අත්ව
ඇත්තේ පරාජයයි.
සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් ගෝධික සූත්‍රයෙන් ද අපට කියාදෙනු
ලබන්නේ ගෝධික තෙරුන් නොමඟ යැවීමට පැමිණි මාරයා පරාජයට පත්වූ අවස්ථාවකි.
එම අවස්ථාව පෙළදහමට අනුව විස්තරාත්මකව විමසා බලමු.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ “කලන්දකන්වාප” නම්වූ
වේළුවනයෙහි වැඩ වසන කල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි කන්ද පැත්තක
කළුගලෙහි වෙසෙති. එකල ආයුෂ්මත් ශෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් තවන
වීර්යය ඇතිව, නිවන් කරා මෙහෙය
වු සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික
තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් තවන වීර්යය ඇතිව,
නිවන් කරා මෙහෙයවු සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. දෙවෙනිවරද
ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන්
පිරිහුණහ. තුන්වෙනි වරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් තවන
වීර්යය ඇතිව, නිවන් කරා මෙහෙයවූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ.
තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත
විමුක්තියෙන් පිරිහුණහ. සතරවන වරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව
කෙලෙස් තවන වීර්යය අතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික
ධ්‍යාන ලැබූහ. එවරද ආයුෂ්මත් ශෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත්
චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.
පස්වනවරටද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් තවන වීර්යය ඇතිව,
නිවන් කරා මෙහෙයවු සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. පස්වනවරටද
ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන්
පිරිහුණහ. හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් නවන වීර්යය
ඇතිව, නිවන් කරා මෙහෙයවු සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. හයනවරද
ආයුෂ්මන් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් පිරිහුණහ. සත්වනවරද
ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙලෙස් තවන වීර්ය ඇතිව, නිවන් කරා
මෙහෙයවු සිතැතිව වසනුවෝ ලෞකික ධ්‍යාන ලදහ.
ඊටපසු ආයුෂ්මත් ගෝධික තෙරුන්හට මෙසේ සිත්විය. සත්වනවර දක්වාම මම ලෞකිඑක
ධ්‍යානයෙන් පිරිහිණිමි. ආයුධයෙන් දිවි නසාගන්නෙම් නම් යෙහෙක, එවිට
පවිටු මාරතෙම ආයුෂ්මත් ගෝධික තෙරුන්ගේ සිත තම සිතින් දැන භාග්‍යවතුන්
වහන්සේ යම් තැනෙක ද, එතැනට පැමිණියේ ය. පැමිණ ගාථායෙන් මෙසේ කීයේ ය.
මහා වීරයෙනි, මහ පැණැතියෙනි, සෘධියෙන්, යසසින් දිලෙන තැනැත්තෙන්. හැම
වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි. මම ඔබ දෙපා වඳිමි.
මහා විරයාණනි, මාරයා මැඬලු තැනැත්තෙනි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් මැරෙනු
කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්,
තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?
එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේ ය.
එවිටම භාග්‍යවතුන් වහන්සේ මේ පාපී මරුය යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක.
නුවණැතියෝ එසේම කෙරෙත්, දිවි නොබලත්, ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින්
ඇද දමා පිරිනිවියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර, මහණෙනි, යමු ඉසිගිලි කන්ද
පැත්තක ගෝධික කුලපුතු ආයුධයකින් ගෙල සිඳගත් තැනවූ කළුගල වෙත
පැමිණෙන්නෙමු.” යි වදාළසේක.
එසේය, ස්වාමීනි යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා ඉසිගිලිය පැත්තෙහි ඒ
ගෝධික භික්ෂුව ගෙල සිඳගත් කළුගල යම් තැනෙක ද එතැනට පැමිණි සේක.
භාග්‍යවතුන් වහන්සේ දුර දීම පෙරළුණු කඳ ඇතිව ඇඳෙහි හෝනා ආයුෂ්මත් ගෝධික
තෙරුන් දුටුසේක. එකල්හි වනාහි දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු,
දෙයක් නැගෙනහිර දෙසටද යයි, බස්නාහිර දෙසට ද යයි, උතුරු දෙසට ද යයි,
දකුණු දෙසට ද යයි, උඩු අතටද යයි, යට දෙසට ද යයි, අනු දිසාවලටද යයි.
එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර, “මහණෙනි, ඔබලා නැගෙනහිර දෙසට
ද යන, බස්නාහිර දෙසටද යන උතුරු දෙසට ද යන, දකුණු දෙසට ද යන උඩ දෙසට ද
යන යට අතටද යන, දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙය දක්නහු දැයි
ඇසුසේක. එසේය, ස්වාමීනි, යි භික්ෂූහු උත්තරදුන්හ. මහණෙනි, ඒ පාපී
මරුවාය. ඔහු ගෝධික භික්ෂුවගේ විඥානය කොහි පිහිටියේදැයි සොය සොයා යයි.
එහෙත් මහණෙනි, ගෝධික කුලපුතුගේ විඥානය කිසි තැනෙකත් නොපිහිටියේ ය. කිසි
තැනෙක නොපිහිටි විඥානයෙන් ගෝධික භික්ෂුව පිරිනිවීයේය යි වදාළ සේක.
ඉක්බිති පාපී මාරතෙම මේ පුවපණ්ඩු වීණාව ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්
තැනෙක ද එතැනට පැමිණියේ ය. පැමිණ ගාථාවෙන් මෙසේ කීය. මම උඩ ද යටද සසරද
සිව්දිග හා අනුදිසාද සෙව්යෙම් ඔහු නොදක්මි. ඒ ගෝධික තෙම කොහි ගියේද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. දිරිමත්වූ ධ්‍යාන වඩන ගති ඇති හැම
විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙක්හි භාවනාවෙහි යෙදුන
ඒ ගෝධිකතෙම මරහුගේ සේනා බිඳ, නැවත ඉපදීමකට නොපැමිණ, තණ්හාව සහමුලින්
උපුටා දමා පිරිනිවියේ ය. ශෝකයෙන් මැඩුණු ඒ මරහුගේ කිසිල්ලෙන් විණාව
ගිලිහුණේ ය. ඉක්බිති දුකටපත් වූ ඒ පාපී මාරයා එහිම අතුරුදන්විය.
මතු සම්බන්ධයි.
|