Print this Article


බෞද්ධයාගේ ඥාන මාර්ගය

බෞද්ධයාගේ ඥාන මාර්ගය

මිනිසා අකුසල් නොකළ යුත්තේ ඒවා මිනිස්කමට නුසුදුසු නිසාම පමණක් නොව ප්‍රති විපාක කටුක වන බැවිනි. කුසල් කළ යුත්තේ මානව ධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගතය සුවදායක වනු පිණිසයි

ධාර්මික ජීවිතයක් ගත කිරීම යනු හිතට එකඟව ජීවත් වීමයි. පාප කර්ම ලෙස හඳුන්වා ඇති ක්‍රියාවන් එකක්වත් හිතට එකඟව කළ නොහැකිය. මනස සියල්ලටම ප්‍රධාන වන බැවින් කුමන හෝ කරුණක් කෙරෙහි සිත යොමුකරන විටම ඒ සඳහා ගැළපෙන ආකාරයට මනස සකස් වීම ස්වාභාවිකව සිදුවේ.

“චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” යන ධර්ම පාඨයට අනුව කර්මය යනු චේතනාව මුල් කරගෙන සිදුවන්නක් බව පැහැදිලියි. කය, වචන, මනස යන තිදොර සංවරව පවත්වා ගත යුතු බවට සම්මතයක් බුදු දහමේ පවතින්නේ ඒ නිසා ය. ඉහත කී තුන්දොර සත්වයා භාවිතා කරන්නේ තමා මුහුණ දෙන අත්දැකීම් මගින් ලබාගත් අවබෝධයන්ට අනුව සිය ප්‍රතිචාරය දැක්වීමටයි. කායකර්ම, වචීකර්ම, මනෝ කර්ම ලෙස දක්වා ඇති මෙම ක්‍රියා පද්ධතිය පුද්ගලයාගේ ගුණාගුණ පිළිබඳ මිණුම්දඬු නිර්මාණය කරනවා.

අපට මෙහිදී වැදගත් වන්නේ ගුණාත්මක බවින් පිරිපුන් යහපත් පෞරුෂයකින් යුක්ත මානවයෙකු නිර්මාණය කිරීමට බුදුදහම තුළින් ලැබෙන අවස්ථාවන් විමසා බැලීමයි.

මිනිසා අකුසල් නොකළ යුත්තේ ඒවා මිනිස්කමට නුසුදුසු නිසාම පමණක් නොව ප්‍රති විපාක කටුක වන බැවිනි. කුසල් කළ යුත්තේ මානව ධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගතය සුවදායක වනු පිණිසයි.

ධම්මපදයට අනුව “උපන් මිනිසාගේ වගකීම” මෙසේ දැක්විය හැකිය. යම් සේ විවිධ මල්වර්ග එක්රැස්කොට මාලාකරුවා විසින් මල් මාලා ගොතන්නේ ද, එසේම උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් කළ යුතුය යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඉතා මැනවින් පැහැදිලි කර වදාළේ මානව චර්යාවන්හි පැවැතිය යුතු ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කර දෙමිනි.

පසිඳුරන් මඟින් සිතට ගලා එන විවිධ කාමී සංකල්ප වලට හිස නවා හදවතින් වැළඳගෙන ඒවාට අවනතව ලබාගන්නා තෘප්තිමත් බව, පෙරළා ආපසු ලබා දෙන කටුක දුක් වේදනා වලින් නිමාවක් දකින්නේ නැත.

කාම තුලාවන්හි ඇලී ගැලී විඳින තාවකාලික සුඛ වේදනා පසුව දුක්ඛ වේදනා බවට පත්වන බැවින් එවන් අසරණ තත්ත්වයකට ඇද වැටුණු අවස්ථාවක පිහිටවීමට සරණ වීමට ඇති එකම බලවේගය කළ කුසල් පමණි.

එහිදී පුද්ගලයා කුසල හීනයකු නම් අපා දුක් හැර කවර පිහිටක් ද?

මුලින් දැක් වූ මාලා කරුවා බුදුන් දවස විසූ දක්ෂ නිර්මාණ කරුවෙකි. ඔහු ගස් වල අතු අග පිපි සුවඳවත් මල් බොහෝ ප්‍රවේශමෙන් නෙළා ගනී.

කටු අකුල්වල සුපිපි පිවිතුරු පුෂ්පයන් ඔහු නෙළාගනී. ගඟට, වැවට හෝ විලට බැස දිවි පරදුවට තබා උපක්‍රමශීලීව දිය මත සුපිපි විකසිත පද්මයෝ නෙළා ගනී. මේ සියල්ල විවිධ වර්ණයෙන් හා විවිධ සුගන්ධයෙන් පිරිපුන්ය. පාට අනුව, හැඩය හා ප්‍රමාණය අනුව තැනට සුදුසු ලෙස මල් තබා ඔහු ගොතන මල්දාමය රජවරුන් කුමර කුමරියන් සිටුවරුන් සිටුදේවි වරුන් මිළට ගෙන පැළඳගෙන විරාජමානව සතුටු වෙති.

මේ නිර්මාණශීලී කලාකරුවා ආදර්ශයට ගත් විට උපන් සත්වයා හෙවත් මිනිසා සිය වගකීමක් ලෙස සලකා කුසල් දාමයන් ගෙතිය යුතු බව පැහැදිලිය.

අකුසලයන්ගෙන් අත් මිදී කුසලයන්හි යෙදී වාසය කිරීම මේ අනුව ධාර්මික ජීවිතයක් ගත කිරීම ලෙස අර්ථවත් වේ. ධාර්මික මිනිසා මෙලොවත් පරලොවත් සංරක්ෂිත සත්වයෙකි. නිවන් මඟට බැස සසර දුකින් අත මිදෙන තුරු (යාව නිබ්බාන පත්තියා) දුගතිගාමී නොවී සිටීමට වග බලා ගත යුතු ය. මේ බව බුදු දහම සංක්ෂිප්ත කළ මේ ගාථා ධර්මයෙන් මැනවින් පැහැදිලි කරයි.

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං”

මුල් දෙපදයෙන් කියැවෙන්නේ පාපයන් නොකොට කුසල් රැස් කළ යුතු බවයි. තුන්වෙනි පදයද ගැඹුරු අරුතක් ළිහිල් කොට දක්වයි. “සචිත්ත” යනුවෙන් අවධාරණය වන්නේ ස්වකීය චින්තනයයි. තමන්ගේ සිත, සිය මනස, ආදී අරුත එහි ගැබ් වී තිබේ. පරියෝදපනය යනු මනාව හික්මවා ගැනීමයි. සිත නිසා උපන් අපි සිත නිසා ජීවත්වන අපි සිතට යටත්ව විසීම සාධාරණ යැයි ඇතැම්විට සිතෙන්නට පිළිවන. එහෙත් සිතට වහල් වීම හෝ යටත්වීම යනු පසිඳුරන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට වහළෙකු සේ වැඩ කිරීමයි. බුද්ධි වර්ධනයට හෝ ප්‍රඥාවේ දියුණුවකට ඉන් ඉඩක් නොමැත.

සිත උපදින්නේ පසිඳුරන් අරමුණු හා ගැටීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව අපි දනිමු.

ඒ සිත් වැල යදම් වැලක් සේ අප වෙලාගෙන යටත් කරගෙන අපේ ආත්මීය නිදහසට බාධා කරන නිසයි. එය දමනය කර ගත යුතු බව දහමින් කියන්නේ, දමනය කරගත් සිත සැප ගෙන දෙන බව (චිත්තං දන්තං සුඛාවහං) මේ අනුව පැහැදිලි වේ.

ජීවිතයකට අගය හා අභිමානය සදාතනිකව ආරක්ෂා කර ගැනීමට මේ දැහැමි මඟ වගකීමෙන් යුතුව ගමන් කිරීම උපන්නා වූ සත්වයාගේ යුතුකමයි. එසේම එය මිනිසාගේ උරුමයයි.

“පභස්සරමිදං භික්ඛවේ චිත්තං” යන ඉගැන්වීම මගින් සනාථ කරන්නේ අපේ සිත උපතින්ම ප්‍රභාශ්වර වූ පිරිසුදු වූ වස්තුවක් බවයි.

ආගන්තුකව පැමිණෙන ක්ලේස ධර්ම මගින් එය අපිරිසුදු වන අතර එමගින් සත්වයා දුකට පමුණුවන බවයි. උත්තම මිනිසුන් ප්‍රඥාවෙන් සත්‍යය දැක කාමභෝගී දිවි මඟ අත්හැර අපිස් දිවියකට අවතීර්ණ වන්නේ මේ අහිමි වී ගිය ප්‍රභාශ්වර උරුමය යළි උදා කර ගැනීමටයි. ඒ සඳහා ද මූලික පියවර වන්නේ පස් පව් දස අකුසල් ආදියෙන් අත මිදී සිල්වත් වීමයි.

ඒ සීලය නිසා පහළ වන සමාධිය සිතට එකඟ බවක් උදාකරයි. එය චිත්තේකාග්‍රතාවය ලෙස දහමින් කියයි. සීලය නිසා සමාධියත්, සමාධිය නිසා ප්‍රඥාවත් මිනිස් සිතට උරුම කර ගන්නට හැකියාව තිබේ.

මේ ත්‍රිවිධ ශික්ෂණය බෞද්ධයා නිවැරදි මඟට ගෙන යන සනාතනික මාවතයි.