Print this Article


දෙවියන්ට වදාළ සම්බුදු බණ 07 භාවනා ඉරියව්වෙන්ම දෙවියන් අතර උපන් භික්ෂුව

දෙවියන්ට වදාළ සම්බුදු බණ 07

භාවනා ඉරියව්වෙන්ම දෙවියන් අතර උපන් භික්ෂුව

මේ ලෝකයේ තිබෙනවා සිතට පි‍්‍රය උපදවන ඉතාම දැකුම්කළු රූප. ඒ වගේම කන්කළු ලයාන්විත ශබ්ද. ඉතාම මිහිරි සුවඳ ප්‍රණීත වූ රස. සුමුදු පහස. මේවාට කියන්නේ පංච කාමයෝ කියල යි. ඇසට, කනට, නාසයට, දිවට, කයට හසුවන මේ පි‍්‍රයමනාප අරමුණු සත්ත්වයන්ගේ සිත් වසඟ කරනවා අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සාමාන්‍ය දෙව්, මිනිස් ලෝ සතුන් පංචකාමයට වසඟ වෙමින් තෙරක් නො පෙනෙන සසරේ දුක් විඳිමින් යනවා. පංච ලෝකයේ කාමයට ඇති ඇල්ම පහසුවෙන් දුරු කළ හැකි දෙයක් නම් නොවේ.

නමුත් ඒ ආශ්චර්යවත් වූ අසහාය මනුෂ්‍ය රත්නය වන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීමෙන් ආශ්චර්යමත් දේ මේ ලෝකයේ සිදුවෙනවා. ඒ බව භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී වදාළා.

පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයෝ බොහෝ සෙයින්ම අවිද්‍යාවෙන් ඇලිලයි වාසය කරන්නේ. අවිද්‍යාව තුළටම කිඳා බැහැලයි වාසය කරන්නේ. අවිද්‍යාවේ වෙලිලයි වාසය කරන්නේ. නමුත් තථාගතයන් වහන්සේ විසින් අවිද්‍යාව දුරු කරවන ශ්‍රී සද්ධර්ම දේශනා කරද්දී ඔවුන් එය ඇසිය යුතුයි කියා සිතනවා. ඒ ධර්මය අවබෝධ කළ යුතුයි කියා සිතනවා. මේ තථාගතයන් වහන්සේ පහළවීමෙන් සිදුවන සිව්වෙනි ආශ්චර්ය අද්භූත කරුණයි.

සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වූ විට පුණ්‍යවන්ත මිනිසුන්ගේ ජීවිතවල මේ පරිවර්ථනය සිදුවෙනවා. එය බුදුරජුන්ගේම අසිරියක්. ඉතින් අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වූ යුගයේ ජීවත්වුණ බුද්ධිමත් තරුණයෙකුටත් ඒ අවිදු අඳුර දුරු කරවන ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණා. ඔහු මෙසේ නුවණින් කල්පනා කළා.

මේ රැකී රක්ෂා කරගෙන අඹුදරුවන් පෝෂණය කර කර ගත කරන්නට තිබෙන ගිහි ජීවිතය කිසිම අර්ථයක් නැහැ නෙව. පැවිද්ද කොතරම් සුන්දර ද? ගිහිගෙදර කෙලෙස් මතුවන උල්පතක් වගේ තැනක්. මෙහෙම පරිසරයක පිරිසුදු බඹසර දිවියක් ගතකිරීම දුෂ්කරයි. නමුත් පැවිද්ද නම් අහස වගේ සම්භාධක නැහැ. පිවිතුරු බඹසර සුරකිමින් ඒ අමා නිවන අත්දකින්න නම් මාත් පැවිදි වෙන්න ඕන.

අවසානයේ ඔහු ගිහි බන්ධන අත්හැරලා ගෞතම බුදු සසුනේ දුර්ලභ පැවිදි ජීවිතය ලබා ගත්තා. ඉතා හොඳින් ධර්මය ඉගෙන ගත්තා. මේ හිමියන් හරිම වීරියවන්තයි. උන්වහන්සේගේ අපේක්ෂාව වුණේ මේ ජීවිතේදීම නිවන් අවබෝධ කර ගන්නටයි. ඉතින් රෑ දවල් නොබලා වෙහෙසුණා.

ඒත් අප හැමෝගේම ජීවිත තණ අග රැඳි පිණිබිඳුව වගේ කියලනේ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. එදා මේ හිමියන් සක්මන් කරමින් වැඩ සිටියා. සිත බැහැරට යන්නට නොදී භාවනා අරමුණේම හිටියේ. උන්වහන්සේගේ මනුෂ්‍ය ආයුෂ අවසන් වුණා. නිදා පිබිදියා මෙන් අසුරක් ගසන කාලයක් තුළ දෙවියන් අතර ඉපදුණා.

නමුත් භාවනා අරමුණේම සිත තියාගන්ට වෙහෙසමින් සිටි උන්වහන්සේට තමා මිය ගිය බවවත්, උපන් බවවත් තේරුණේ නැහැ. ඉතා තියුණු මාරාන්තික කායික වේදනාවක් පැමිණ දුරුවුනා වගෙයි දැනුණේ. ඒ දෙව්ලොවත් භාවනා අරමුණේම සිත තියාගෙන සක්මන් කරන්නට පටන් ගත්තා.

මනුෂ්‍ය ජීවිතේදී පිරූ පින් බලයෙන් මේ දිව්‍ය පුත්‍රයාට විශාල විමානයක් පහළ වී තිබුණා. එහි උපස්ථායක දිව්‍ය අප්සරාවන් දහසක් සිටියා. ඒ අප්සරාවියෝ දැක්කා තම පි‍්‍රය දිව්‍ය පුත්‍රයා හුදෙකලාවේ සක්මන් කරමින් සිටින අයුරු. ඉතින් ඒ පිරිස කතාවුණා. “දැන් අප මේ දිව්‍ය පුත්‍රයාගේ පැමිණීම සතුටින් පිළිගනිමු‘ කියලා. දහසක් අප්සරාවියෝ මිහිරි සිනා නගමින් දිව්‍ය පුත්‍රයා දෙසට දුවගෙන ආවා. නමුත් තවමත් පැවිදි සංඥා ඇති ඒ දිව්‍ය පුත්‍රයා “හපොයි අද විශාල ලලනාවෝ පිරිසක් විහාර චාරිකාවේ ඇවිල්ලාද කොහෙද? මම දැන් තමයි හොඳින්ම ඉඳුරන් රැකගත යුත්තේ” යැයි සිතමින් දිව්‍ය සළුවෙන් දෙවුර වසා ගත්තා. මුහුණ බිමට හරවාගෙන බිමට යොමු වූ නෙතින් සිටියා. අප්සරාවියන් දෙස බැලුවේවත් නැහැ. ඒ අප්සරාවෝ කල්පනා කළා එකත් එකටම මේ නම් පෙර ජීවිතයේ ශ්‍රමණයන් වහන්සේ නමක්.

මොහුගේ සිහිය උපද්දවන්නට ඕන කියා මෙහෙම කිව්වා.

ආර්ය පුත්‍රය, ආර්ය පුත්‍රය ඔබ දැන් ශ්‍රමණයෙක් නොවේ. දැන් දිව්‍ය පුත්‍රයෙක්. මේ ශ්‍රමණ දහම් කරන තැනක් නොවේ. මේ සතුටු වීමට කාලයයි. ඒ දිව්‍ය පුත්‍රයා ඒ හඬට අවධානය යොමු නොකර ඇහුණේ නැහැ වගේ හිටියා. එවිට ඒ අප්සරාවියෝ දෙවියාගේ සිත දිනාගන්න අදහසන් දිව්‍ය භාණ්ඩ වාදනය කළා. තාලයට නැටුවා. ලස්සන ගීත ගැයුවා.

හරිම පුදුමයි. ඒ ත් මේ දිව්‍ය පුත්‍රයා අවධානය යොමු නොකර භාවනා අරමුණේම සිත තබාගෙන හිටියා.

ඒ අප්සරාවියෝ විශාල කැඩපතක් අරගෙන ආවා. දෙවියාගේ සමීපයට ළං කළා. දැන් ඒ දිව්‍ය පුත්‍රයා කැඩපතෙන් තමාව දකිනවා. අහෝ! මේ කුමක්ද මට සිදුවී ඇත්තේ? චීවරය නැහැ. ගිහියන් අඳින කසීසළු ගත දැවටිලා. මුඩුව තිබූ හිසේ විචිත්‍ර කේස කලාපයක් හැදිලා. ෂට් වර්ණය බබලනවා. මොකක්ද මේ වුණේ? බඹසර රැකීමෙන් මම බලාපොරොත්තු වුණේ මේක නොවෙයිනේ? සිත් මුලා කරන කාමයෝ නේද මේ? ස්ත්‍රීන් රෑනක් මාව වට කරගෙන ඉන්නේ? යැයි සිත සිතා ඒ දෙවියා බලවත්ව කම්පා වුණා.

මේ තමා සම්මා සම්බුදුවරුන්ගේ ශ්‍රාවකයාගේ ස්වභාවය. කාමයට ඇලෙන්නේ නැහැ. ඒ ගැන අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළා.

රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියට පත් වෙන්නේ නැහැ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම පොඩ්ඩයි. නමුත් දුක් නම් ගොඩක් තිබෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා. ඒ නිසා ඔහු දිව්‍ය කාම සම්පත්වලටවත් ඇලීමක් නම් ඇති කර ගන්නේ නැහැ. සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයා තණ්හාව නැති කිරීමෙන් ලබන ඒ අමා නිවනටමයි ඇලෙන්නේ.

ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා ඉක්මණින්ම අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේව හමුවීමට ඒ දෙව්ලොවින් චුත වෙලා දෙව්රම් වෙහෙරට පැමිනුණා. ඔහුත් සමඟම අර පරිවාර දහසක් අප්සරාවියනුත් ආවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේට ඒ දෙවියා මෙහෙම පැවසුවා.

“ස්වාමිනි, මේ අප්සරාවන් හරියට ඝෝෂා කරනවා. පිසාචයෝය ගොඩක් එකතු වුණා වගේ. මේක මෝහයෙන් හැදුණ වනාන්තරයක් වගේ. මෙතැනින් නිදහස් වෙන්නේ කොහොමද? නිවන ගැන බලවත් කැමැත්තක් ඇති මේ දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලෙස වදාළේ ලස්සන ගාථා තුනක්.

ආර්ය මාර්ගය නමැති සෘජු මාර්ගයක් තිබෙනවා.

භය නැති තැන ඒ දිශාවටයි ඒ මාර්ගය වැටිලා තිබෙන්නේ. කිසි සද්දයක් නැති රථයක් තිබෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝදවලින්.

ඒ රථයේ වාඩිවෙන ආසනේ තමයි ලජ්ජා භය දෙක. ඒ රථය සරසවලා තිබෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටුකර ගත් ආධ්‍යාත්මික බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමා ඒ රථයේ රියදුරා.

යම්කිසි ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි ඔය ජාතියේ රථයක් තිබෙනවා නම් ඔහුට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්න පුළුවනි.

ඉතිමේ ගාථා තුන අහනකොට ම ඒ නුවණැති දිව්‍ය පුත්‍රයාට දහම් ඇස පහළවුණා. සසර බිය දුරුවුණා.

නියත වශයෙන්ම නිවන දකින කෙනෙක් බවට පත්වුණා. ඒ දහසක් වූ දිව්‍ය අප්සරාවියනුත් අතිශ්‍යයින්ම සතුටට පත්වුණා. දේවාතිදේව වූ අපගේ ශාස්තෘන් වහන්සේට දිව්‍ය මල් පූජා කොට වන්දනා කළ ඒ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිස සතුටු සිතින් දෙව්රම් වෙහෙරින් චුත වී තව්තිසා දෙව්ලොවට ගියා.

නයනා නිල්මිණි


දෙවියන්ට වදාළ සම්බුදු බණ 06 - සැප පිණිස උපකාර වන සද්පුරුෂයාගේ ඇසුර