Print this Article


මෙත් සිතේ අසිරිය

මෙත් සිතේ අසිරිය

මෛත්‍රිය යනු මිත්‍රත්ව යැයි බොහෝ දෙනා සිතා සිටිති. එහෙත් මිත්‍රත්වයේත්, මෛත්‍රියේත් ලොකු වෙනසක් තිබේ. ඒ බව පුජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණෝ මෙසේ පැහැදිලි කරති.

‘මෙත් සිතේ විමුක්තිය’ නම්වූ කෘතියෙහි දී උන්වහන්සේ මෙසේ සඳහන් කරති.

“මිත්‍රත්වය හා මෛත්‍රිය අතර ඇති පරතරය පහත සඳහන් විග්‍රහය තුළින් පෙන්නුම් කළ හැකිය.

1. මිත්‍රත්වය පෞද්ගලිකයි– මෛත්‍රිය පොදුයි
2. මිත්‍රත්වය අන්‍යෝන්‍යයි– මෛත්‍රිය විශ්ව සාධාරණයි
3. මිත්‍රත්වය පටුයි – මෛත්‍රිය පුළුලයි
4. මිත්‍රත්වය බන්ධනයක් – මෛත්‍රිය විමුක්තියක්
5. මිත්‍රත්වයට ‘දෙන්නෙක්’ අවශ්‍යයි – මෛත්‍රිය හුදෙකලාව වැඩිය හැකියි.
6. මිත්‍රත්වය සීමිතයි – මෛත්‍රිය අසීමිතයි. අපරිමිතයි, විපුලයි, අප්‍රමාණයි”

පූජ්‍ය ඤාණානන්ද හිමිපාණන්ගේ මේ විග්‍රහය වටහා ගැනීමට තවදුරටත් විමර්ශන අනවශ්‍යය. මෛත්‍රිය ගැන බොහෝ අය නො සිතන, වටහා ගෙන නොමැති අංශයක් ඒ හිමිපාණෝ මෙහි දී අවධානයට යොමු කරවති. ඒ අංශය නිවැරදි ව වටහා ගැනීම අත්‍යවශ්‍යය.

මෛත්‍රිය යන වචනයට ආසන්න තේරුම් ඇති වචන කිහිපයක් බෞද්ධයන් මෙන්ම අබෞද්ධයෝ ද භාවිතා කරති. මේ වචනවල එකිනෙකට ඇති වෙනස්කම් වටහා නො ගෙන මෛත්‍රිය හැඳින ගැනීමට නුපුළුවන. මෙසේ භාවිත වන වචන අතර භක්තිය, පේ‍්‍රමය, ආදරය යන වචන තුන ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

භක්තිය යනු විශේෂයෙන් දේව නිර්මාණය පිළිගත් ආගම් දහම්වල යෙදෙන වචනයකි.

මෛත්‍රිය ඇති වන්නේ නො පෙනෙන බලවතකුට හෝ බලවේගයකට බියෙන් නොවේ .එය කිසියම් අණක් ගෞරවයක් පිළිගෙන ක්‍රියාවට නැංවීමද නොවේ. එනිසා මෛත්‍රිය භක්තියට ඉඳුරා වෙනස්ය. එය අවබෝධයෙන් යුක්තව අනුගමනය කරන පිළිවෙතකි.

පේ‍්‍රමය හා ආදරය යන වචන බොහෝ විට සමාන හෝ ඉතා ආසන්න තේරුමින් යොදනු ලැබේ. ‘සැබෑ පේ‍්‍රමය” යනුවෙන් පේ‍්‍රමය සාමාන්‍ය ආදරයෙන් බැහැර කොට හැඳින ගැනීමට දරන උත්සාහයන් ද දක්නට ලැබේ. එහෙත් පේ‍්‍රමයත්,ආදරයත් ප්‍රායෝගික අර්ථයෙන් එතරම් වෙනසක් නැත. පේ‍්‍රම කරනු ලැබූ වස්තුව තමන්ට පිටුපා යන තැන පේ‍්‍රමයට හාත්පසින් වෙනස් සිතිවිල්ලක් ඉදිරිපත් වේ. එනම් තරහව, වෛරය, කෝපය, ක්‍රෝධය පළිගැනීමය ආදී විවිධ මාත්‍රාවන්ගෙන් ප්‍රකට වන ද්වේෂයයි. එහෙත් මෛත්‍රියට භාජනය වූ තැනැත්තා සතුරුකම් කරන විට මෙත්‍රිය වෙනස් නොවේ. මෛත්‍රිය එවිට තව තවත් තහවුරු වේ. විරුද්ධ කම් කරන විට සිත චංචල වේ නම් එයට එරෙහි ප්‍රතිචාර දැක්විය යුතු බව හැඟේ නම් එතැන මෛත්‍රිය නැත. එසේ ප්‍රතිචාර ලැබීමට හේතු විමසා බලා එයට පිළියම් සෙවීමට පෙළඹේ නම් එතැන මෛත්‍රිය ඇත. පේ‍්‍රමය ශෝකයට ද භයටද අවස්ථා සපයන බව ධම්මපද ගාථාවකින් කියැවේ. ශෝකයද, භයද මෛත්‍රියට පටහැනිය.

මෛත්‍රිය යනු සීමා කඩඉම්වලින් කොටු නොවු සිතිවිල්ලකි. මිනිස් සිත පටු කරන මේ සීමා ඉවත් කර ගත් විට අප්‍රමාණ වූ යහපත් සිතිවිලි පහළ වේ. අප්පමඤ්ඤා යනු පාලි වචනය යි. මෛත්‍රිය අප්‍රමාණ සිතිවිල්ලකි. එයට කිසිදු සීමාවක් නැති නිසාය.

මෛත්‍රිය පැතිර විය යුතු ආකාරය සූත්‍ර ධර්මයන්හි විස්තර කර ඇත්තේ මෛත්‍රියේ සැබෑ ස්වරූපය ප්‍රකට වන ආකාරයෙනි. එහිදී පුද්ගලයා ඉදිරිපස, පසු පස, දකුණූ පස, වම් පස, උඩ හා යට යන දිසා කෙරෙහි මෙත් සිත පතුරුවයි. “උද්ධං ,අධෝච , තිරියංච යන්නෙහි ඇතුලත් වන්නේ ඒ අයුරින් දිසා කෙරෙහි අවධානය යොමු කිරිමයි. මෙහිදී තමා හිතවත් අය, මැදහත් අය, අහිතවත් අය, සතුරු අය, සියලු සත්තු යන අයුරින් වෙන් කොට ගැනීමක් නැත. මෙසේ වෙන් කොට ගෙන ඒ ඒ කොටස්වලට මෛත්‍රී සිත පතුරුවා , නැවත ඒ සීමා බිඳ දමමින් මෙත් සිත පැතිරවීමේ ක්‍රමය පසුකල හදා ගන්නා ලද්දකි. එහෙත් එය සූත්‍ර ධර්මයන්ගෙන් හෙළි කෙරෙන ක්‍රමය මෙන් මෛත්‍රිය මැනැවින් ප්‍රකට වීමට හේතු නොවන අතර එය එයට බාධාවක් බවද ඇතැම් විට පෙනේ.

තරහ කරුවන් මතක් වන විට මෛත්‍රිය කිරීමට නො හැකි බව ඇතැම් අය පවසති. මෙය සැබෑවකි. අප අකැමැති දෙයක් මතකයට නැගෙන විට ඒ පිළිබඳ ව සිතේ ගැටුමක් ඇතිවේ. ද්වේශය සපුරා සිතින් උපුටා හළ දිනය දක්වාම මේ තත්ත්වය යම්තරමකින් පවතී. ඒ නිසා ප්‍රායෝගික වශයෙන් ඉතා හොඳ ක්‍රමය අකැමැති දෙය නැවත නැවතත් මතකයට නඟා නො ගැනීමයි. එය අමතක කර තැබීමයි.

මේ නිසා හිතවතුන්, අහිතවතුන්, තරහ කරුවන් වෙන වෙනම සළකා බැලීමට වඩා දිසා වශයෙන් ගෙන මෙත් සිත පැතිරවීම ඵලදායකය .තමන්ට අවශ්‍ය මෛත්‍රිය පැතිර වීමට නම්, එවිට අකමැති අය මතකයට නැඟීමේ බාධාව ඉවත් වේ .බාධා රහිත ව මෙත් සිතිවිලි පැතිර යෑමට මඟ පෑදේ.

මෛත්‍රි සිතිවිලි නිතැතින් ඇති වන්නේ මිනිසාගේ ජීවත් වීමේ හා පැවැත්මේ ස්වභාවය පිළිබඳ නිරවුල් දැකීමක් ඇති වූ පසුවය. මිනිසාගේ ජීවත්වීම කෙසේ සිදු වන්නක්ද? මෙය තේරුම් ගැනීමට මහා ගැඹුරු දාර්ශනික විමර්ශනයක් කිරීමට යා යුතු නැත. සාමාන්‍යයෙන් අප දන්නා කරුණු වටහා ගැනීමට උත්සාහ කරමු. එය ප්‍රමාණවත්ය.

නිදසුනක් ලෙස මෙසේ කිව හැකියි.

මිනිසාට ජීවත්වීම සඳහා අනෙකුත් මිනිසුන් හෙවත් සමාජය ද, අනෙකුත් සතුන්, ශාක හා භෞතික වස්තූන් හෙවත් පරිසරය ද ආරක්ෂා වී තිබිය යුතුය. ඒ නිසා තමන්ගේ ජීවත්වීම අපේක්ෂා කරන මිනිසා අනෙක් මිනිසුන්ද සතුන්ද පරිසරයද ආරක්ෂා කරගත යුතුය. ඒ අතර අනෙකුත් මිනිසුන්ගේ ජීවත්වීම සඳහා ද ඒ දේවල් ඒ අයුරින්ම අවශ්‍යය. මෙසේ සිතන පුද්ගලයා මිනිසුන් ඝාතනයෙන් හෝ හිංසා පීඩනයෙහි නො යෙදෙයි. සතුන් ඝාතනයෙහි හා ඔවුන්ට හිංසා පීඩාවෙහි නො යෙදෙයි. ගස් වැල් හෝ භෞතික පරිසරය අනවශ්‍ය පරිදි විනාශ කිරීමෙහි නො යෙදෙයි.

ඒ වෙනුවට හෙතෙම තමන්ගේද තමන් වැනිම අවශ්‍යතාවන් ගෙන් යුතු අනෙක් මිනිසුන්ගේ ද ආරක්ෂාව යහපත දියුණුව සඳහා ක්‍රියා කරයි. පරිසරයේදී සංවර්ධනය සඳහා ක්‍රියා කරයි. මෛත්‍රි සිතිවිලි යනුවෙන් අදහස් කෙරෙන්නේ මෙයට අමුතුවෙන් යමක් නොවේ. මේ යහපත් සිතිවිලි ක්‍රියාවට නැංවීමය.

මෙය අත්තහිත පරහිත සදාචාර පිළිවෙතයි. එනම් තමන්ටත් යහපත සැලසෙන අනුන්ටත් යහපත සැලසෙන , පරිසරයත් රැකෙන සදාචාර ප්‍රතිපත්තියයි. එය මෛත්‍රිය නම් වූ උදාර සංකල්පයෙන් මෙහෙය වන්නකි.

මෙවැනි උදාර සිතිවිල්ලක් ක්‍රියාවට නැංවීමේදි බුදු දහම පමණක් නොව අනෙකුත් ආගම් දහම්වලින් එය අනුමත වන්නේ කෙසේ දැයි සොයා බැලීම ප්‍රායෝගික වැදගත් කමක් ඇත්තකි. බුදුදහම හැර අනෙකුත් සියලු ආගම් දේව නිර්මාණ පිළිගනියි. නිර්මාතෘවරයා කවර නමින් හැඳින් වුවද මිනිසා දේව නිර්මාණයක් බව පොදුවේ පිළිගනු ලැබේ’. කිතු දහමේ ප්‍රකට ලෙස කියැවෙන පරිදි මිනිසා හැසිරිය යුත්තේ දෙවියන් වහන්සේට මෙන්ම අසල්වැසියාට ද එකසේ පේ‍්‍රම කරමිනි. අනෙකුත් ආගම්වල මෙලෙසට අවධාරණය නො වුණත් සමස්ත මනුෂ්‍ය සන්තතියට සහෝදර දයාවෙන් ක්‍රියා කළ යුතු බව පිළිගැනේ. මේ නිසා මිනිසුන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා හා අන්තර් පරායත්තතා ස්වභාවය අවධාරණයෙන් මතු කිරීම මෙරට සෑම ආගමික චින්තනයකට ම එකඟ විය හැකි තත්ත්වයකි.

ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදි ජාති වශයෙන් හෝ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආදි ආගම් වශයෙන් හෝ ධනවත් ,දුප්පත්, උගත් – නූගත් වැනි සමාජ සාධක ම හෝ කුලය, වර්ණය, පරම්පරාව, ගෝත්‍රය යනුවෙන් හෝ නො සිතන සෑම දෙනාම එක ලෙස පිළිගෙන මෙන් සිතින් කටයුතු කිරීමට අප රට මිනිසුනට බැරි කමක් නැත.

බුදුදහම පෙන්වා දෙන මූලික මිනිස් අවශ්‍යතා කිහිපයකි.

1. සියලු මිනිස්සු ජීවත්වීමට කැමති වෙති.
2. සියලු මිනිස්සු මරණයට අකැමති වෙති.
3. සියලු මිනිස්සු සැප ලැබීමට කැමති වෙති.
4. සියලු මිනිස්සු දුක ලැබීමට අකැමැති වෙති.

ජීවත්වීමට කැමති මිනිසුනට ජීවිත ආරක්ෂාව තිබිය යුතුය. මරණ භය නැති විය යුතුය. මූලික වශයෙන් ආහාරපාන ඇඳුම් නිවාස බෙහෙත් (සෞඛ්‍ය පහසුකම්) අවම වශයෙන් හෝ තිබිය යුතුය. තම තමන් සතු පෞද්ගලික දේපළ මෙන්ම පොදු පරිහරණේ යෙදෙන දේපොළ ද රැකී තිබිය යුතුය. පවුලක් ගොඩ නගා ගෙන ජීවිතය ගත කිරීමට බාධා එල්ල නොවන තරමේ සදාචාර පැවැත්මක් සමාජයෙහි පැවතිය යුතුය. භාෂාව, අසත්‍ය, මුසාව ප්‍රකාශයට නොව සත්‍යය සන්නිවේදනයට යොදා ගත යුතුය. මිනිසුන් ජාති, ආගම්, පක්ෂ, කණ්ඩායම්, භේද කරන ප්‍රකාශ නොව එකමුතු කරන වචන ප්‍රකාශ විය යුතුය. හිත් රිදවන, සිත් බිඳවන අසහනකාරි වචන වෙනුවට සිත් සනසන වචන ප්‍රචලිත විය යුතුය. ප්‍රලාපවලට නොව අර්ථවත් ප්‍රකාශනයනට ඉඩ තිබිය යුතුය අධාර්මික ව හා සැහැසිව නොව ධාර්මික ව හා නො සැහැසි ව ධනය උපයා ගැනීමටද ධනය වියදම් කිරීමටද ඉඩ කඩ සමාජයේ පැතිරිය යුතුය.

මේ තරමින් මිනිසාට පැවතිය හැකි නම් එය මෛත්‍රි සහගත සිතිවිලි ප්‍රචලිත වීමකි.

නායකයන් දැන් මෙසේ සිතීමට පෙළඹී ඇති බව ඇසෙන්නට වීම රට වැසි සාමාන්‍ය ජනතාවට දනවන්නේ ඉමහත් සතුටකි. ඒ සතුට සමාජය පුරා පතුරුවා හැරීමට හැම අංශයකින්ම සැලසිය යුත්තේ ඉහළම දායකත්වයකි.

බුදුහාමුදුරුවන් වදාළේ මවක් තම පුතුට දක්වන සෙනෙහස මෙන් මෛත්‍රි අදහස පතුර වන්නටය. අම්මා දරුවා හදාගැනීමට දරුවාගේ වරද දැක නිහඬ නො වෙයි. ඔහුට ඇවැසි පමණට අවවාද කරයි. බැරි තැන දඬුවම් දෙයි. එහෙත් ඒ පළිගැනීමට වත්, එකට එක කිරීමට වත් නොවේ. දරුවා ද හදාගෙන, දරුවාගේ නරක ආදර්ශය නැති කිරීමට පමණි. රටවැසියන් සම්බන්ධයෙන්ද එලෙස සිතීම ගැටලුව නිරාකරණයකි. සවේ මුනිසා පජා මම. අශෝක අධිරාජයා ගලේ ලියා තැබුවේ. රටවැසියන් දරුවන් මෙන් සැළකීමට බුදු දහම අනුශාසනා කරයි. මෛත්‍රියෙන් විනා වෛරයෙන් කිසිදා සමගි සම්පන්න එකමුතු උතුම් සමාජයෙක් ගොඩ නැංවිය නොහැකිය.