UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණදම් වඩන්න සීමිත අවස්ථාවක්

ගුණදම් වඩන්න සීමිත අවස්ථාවක්

විශේෂයෙන් ධර්මය ඉගෙන ගන්න කලින් අප කල්පනා කළ යුතුයි අප දැන් පසුවන තත්ත්වය ගැන. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ මොන වගේ අවධියකද අප ඉන්නේ. මීට අවුරුදු දෙදහස් පන්සියකට කලින් හිටිය මිනිසුන්ට දේශනා කළ ධර්මයක් තමා අද අප අහන්නේ. ඒ කාලයේ මිනිස්සු මේ ධර්මය ස්පර්ශ කරන්න දක්වපු කුසලතාවය දැන් මිනිසුන්ට නැහැ. දැන් කාලේ අපට, ඒ මිනිසුන් ධර්මය අවබෝධ කරන්න දක්වපු කුසලතාවය නැත්නම් ඒ ධර්මයේ හැසිරෙන්න අපට තිබෙන ඉඩකඩ බොහොම සිමීතයි.

අපට පැහැදිලි වෙනවා ධර්මය තේරුම් ගන්න තිබෙන අවස්ථාව තව තව වේගයෙන් ඇහිරීගෙන යන බව. අප වර්තමානයේ මූණ දී තිබෙන තත්ත්වය මත අප බුද්ධිමත්ව මේ මනුෂ්‍ය ජීවිතය පරිහරණය කරන්නේ කොහොමද?කියන එක ගැන අප තේරුම් ගන්න ඕන. මොකද ඒක දන්නේ නැත්නම් ඒ මනුෂ්‍ය ජීවිතේ නැති වුණාට පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ

ඒ කියන්නේ දැන් අපට ලැබුණ මනුෂ්‍ය ජීවිතේ නැති වුණාට පස්සේ අප මැරිලා ගියාට පස්සේ අපේ මනුෂ්‍ය ජීවිතේ ගැන කවුරු කෙතරම් වර්ණනා කළත්, ඒකේ කිසිම වැදගත්කමක් නැහැ. දැන් මනුස්ස ලෝකයේ ඉඳලා අප කළයුතු කතාවල් මනුස්ස ලෝකෙන් පස්සේ මොකුත් නැහැ. ඒ නිසා මේ මනුස්ස ලෝකයේදී අප ජීවත් වෙද්දී තෝරගන්න ඕන මොකක්ද කිියා මේ ධර්මයෙන් අපට කියා දෙනවා. ඒ කියා දෙන දේ තෝරගන්න දක්ෂ වුණොත් මම හිතන්නේ සියල්ලටම නොවෙයි යම්කිසි පිරිසකට උපකාර වෙයි.

අපේ පරලොව ජීවිතය අප හිතන්නේ නැති ඉරණමක් කරා ගන්න පුළුවන්. මනුෂ්‍යයාගේ මේ වේගවත් පරිහානිය බලද්දී, මේ මනුෂ්‍යයාට සුගතියේ යන්න තිබෙන අවස්ථාවත් වැහීගෙන යන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය කෙසේ වෙතත්, මේ සුගතියේ යන්න තිබෙන අවස්ථාවත් වැහෙන තත්ත්වයක් මේ පෘථිවියේ වාසය කරන මනුෂ්‍යයාට ඉරණම ලෙස හැදීගෙන යනවා. ඒක අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කරපු එකක්.

උන්වහන්සේ ඒ පිළිබඳව අනතුරු ඇඟවීම කරලා තිබෙනවා. අනාගතයේ දී අප මනුෂ්‍ය ලෝකයට ආවොත් අපට පාඩු වෙන්න පුළුවන් මේ ලෝකයේම ඊළඟ ආත්මෙත් අප උපන්නොත් කුමක් වේවිද? වර්තමාන සමාජය මහ පරිහානියක්. ගුණධර්ම සමාජ ආචාර ධර්ම නැහැ. සමාජ සම්මත නැහැ. මේ ස්වභාවය මත අප අපේ ජීවිතය දිහා බලන්න ඕන

අපට මොකක් හරි පිනකට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. මේ මනුෂ්‍ය ජීවිතේට අප කියමු' කළයක්' කියලා. මේ කළයට අපට ඕනනම් බිංදුව බිංදුව හරි වතුර පුරවාගන්න ලැබුණ අවස්ථාවක් නිසා කළය බිඳ ගන්නේ නැතුව ඒ කිව්වේ මනුස්ස ධර්මවලට හානි කරගන්නේ නැතුව අප බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ. ධර්මය සරණ යන්නේ. ශ්‍රාවක සංඝයා සරණ යන්නේ.

මේ සරණ තමා මේ මනුෂ්‍ය ධර්ම පිහිටන්න පටන් ගන්නේ. අප මේ සමාජය තුළ සීලය ගැන විශාල ලෙස කතාකළා. කතා කළාට ඒ සීලය රැඳෙන්නේ නැහැ. ඇයි හේතුව? බාහිර ලෝකයේ ඒ සරණ නැහැ. සරු දේ සරු ලෙස දකින්නත්, නිසරු දේ නිසරු ලෙස දකින්නත් හැකියාව නැත්නම්, මිසදිටුව මිසදිටුව ලෙස සමිදිටුව සමිදිටුව ලෙස දකින්න හැකියාව නැත්නම් මේ අපට ලැබුණ සරණනම් පිළිසරණ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අප මුලින්ම කළ යුත්තේ බුදුරජාණන් වහන්සේම සරණ යාමයි. අනෙකුත් මිත්‍යා දෘෂ්ටි සරණ යමින් මිත්‍යා දෘෂ්ඨිවල පිහිට පතමින් බුදු කෙනෙකුගේ ධර්මය කොහොමද අප අපේ ජීවිතයට ගලපා ගන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයක් ගලපන්න විදිහක් නම් නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් ගලපන්න නම් එයා පිළිගන්න ඕන කර්ම කර්මඵලයි. ඇයි සංසාරේ කෙළවරක් නැතුව යනවා.කෙළවරක් නැති කර්ම රැස්වූ අය. පිනුත් කරපු අය. පවුත් කරපු අය. ගුණධර්ම පිහිටන්න නම් ගුණධර්ම ගැන කතාවක් නැත්නම් ගුණධර්ම පිහිටන්නේ නැහැ. දැන් හැමදේම විසඳන්න හදන්නේ හරි ලාභ ක්‍රම වලින්. මිනිස්සු තුළ මිසදිටුව හොඳට පැතිරෙනකම් මිිසදිටුවම ජය ගන්නවා.

බුද්ධ දේශනාවේ තමා මේ කර්මය කර්මඵලය විස්තර කරන්නේ. පෙර ආත්මේ ඊළඟ ආත්මේ ගැන විස්තර කරන්නේ. එතකොට මේවා ගැන මොකක්වත් දන්නේ නැති ලෝකයක මිසදිටුවට පවතින්න බොහොම ලේසියි.

දැන් මේ වගේ පරිසරයක් තුළ අපට කල්පනා කරන්න තිබෙන අවස්ථාව සියල්ලම පටු වෙනවා නම් හිරවෙනවා නම් හිතන්න පුළුවන් අවස්ථාව නැත්නම් එතැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඉඩක් නැහැ.

ඊළඟට අප තේරුම් ගත යුතුයි මේ ලැබිලා තිබෙන මනුස්ස ජීවිතේ මේ වෙද්දී අප නිදහසේ කල්පනා කරන මිනිස්සු. නමුත් හිතන්න නිදහස කතා කරන්න නිදහස, යමක් කරන්න නිදහස තිබෙනවා. මේ දෙකින් වටින්නේ කුමක්ද? දෙවෙනි එක. ඇයි ඒ හේතුව අප ඒ නිදහස විඳින නිසා අප ඒ නිදහස ගැන දන්නවා. නිදහස විඳින්නේ නැති පවුලක උපන්නොත්? පුංචි කාලේ සිටම ඔහු නිදහස කියන්නේ මොකක්ද කියා දන්නේ නැහැ. ඔහු ලොකු වුණාම කියනවා හිතන්න නිදහසක් ඕන නැහැ කියන්නේ නිදහසක් ඇතුව ජීවත් වූ කෙනෙක් නොවේ නිසා. කතා කරන්න නිදහසක්, වචන වලට නිදහසක් හිතන්න නිදහසක් ඕන නැහැ. අප දැන් ඉන්නේ මනුස්ස ලෝකයේ. අප බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අපට මනුස්ස ලෝකය තුළ ගුණධර්ම රකින්න තිබෙන අවස්ථාව අඩුයි කියා ඔබටම තේරෙනවා.

ඇයි තමන්ම මේ ගුණධර්ම දියුණු කරන්න හදනකොට ඒකට ඉඩක් නැහැ. ඒකට බාධාව තමා තිබෙන්නේ. බලාපොරොත්තු නැතිව අසාධාරණකම් සිදු වෙනවා. එවිට හිත ගැටෙනවා. එහෙනම් අපට සිදු වෙනවා වඩාත් බුද්ධිමත් වෙන්න.

වඩාත් බුද්ධිමත් වෙන්න මම ඔබට පොඩි උපමාවක් කිව්වා තමන්ගේ ජීවිතේ ගැන මැටි කළයක් වගේ තේරුම් ගන්න.

මේ කළයට වතුර බිංදුව බිංදුව හරි දාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. එහෙම කරලා මනුස්ස ලෝකයේ ඉඩක් නැත්නම්, ඊළඟට අපට ඉඩ තිබෙන්නේ දෙවියන් අතර. නමුත් අප හිතනතරම් ලේසියෙන් දෙවියන් අතරට යන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඔබ අවංක වෙන්න ඕන තමන්ට යි. තමන්ගේ ගමන ගැන අවංකකම තමන්ට තියෙන්න ඕන. තමන්ට මේ අනතුර තේරෙන්න ඕන. මේ මනුස්ස ලෝකයේ පිහිටක් නැහැ. අනාගතයේ මනුස්සයන්ටත් ඉතාම අනතුරුදායක යි. ගුණධර්ම පරිහානියට පත්වෙවී යන ලෝකයක් කියා මේ ස්වභාවය තමන්ට තේරෙන්න ඕන.

අප හිතුවොත් අසවලා අසවලා උදව්කරාවි කියලා. එය වැරැදියි. උදව් කරන දේ තිබෙන්නේ තමන් ළඟ. තමන්ට උදව් කරන දේ තමා යෝනිසෝමනසිකාරය. තමන් ළඟමයි තමන් වනසන දේ තිබෙන්නේ. මොකක්ද ඒ? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න පටන් ගත් විට නූපන් රාගය උපදිනවා. නූපන් ද්වේෂය, නූපන් මෝහය උපදිනවා. නූපන් භව උපදිනවා. නූපන් මාන්නය උපදිනවා. මේ වගේ මහ කෙලෙස් ගොඩක ඔහු පැටලුණාට පස්සේ කෙලෙසුන් නිසා වෙන්න තිබෙන හානිය සියල්ලම ඔහුට වෙනවා. යෝනිසෝමනසිකාරයට ආපු එක්කෙනාට යෝනිසෝමනසිකාරය තුළට ඔහු කුසල් නම් දියුණු කරන්නේ, කුසල් නිසා ලැබෙන්න තිබෙන වාසි සියල්ලම ලැබෙනවා. අපට තිබෙන්නේ ගුණධර්ම වඩන්න සීමිත අවස්ථාවක්. ඒ කියන්නේ පරිසරයෙන් උදව්වක් නැහැ. එතකොට පරිසරයෙන් ලොකු උූදව්වක් නැත්නම් අපට ගන්න තිබෙන විරිය සුළු එකක් ද? වැඩි එකක් ද?

අපි හිතමු ලොවුතුරු බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා.

රහතන් වහන්සේලාගෙන් නිර්මල ධර්මයත් ඇහෙනවා. තමන් දුප්පත් පවුලක වාසය කරනවා හොඳට යෝනිසෝමනසිකාරය පිහිටන හිතක් ඇතුව. එවිට පරිසරයෙනුත් තමන්ගෙනුයි දෙකේම වාසියක් තිබෙනවා. මේ වෙද්දී පරිසරයෙනුත් වාසියක් නැහැ. තමන්ගෙනුත් වාසියක් නැහැ. පරිසරයෙන් වාසියකුත් නැත්නම් තමන්ගෙන් වාසියකුත් නැත්නම් එවිට පිහිටන්නේ අකුසලයි.

අකුසලය හිතේ පිහිටියට පස්සේ ඇතුලෙන් වාසියක් නැත්නම් අකුසලය ප්‍රහාණය කිරීමක් නැහැ. ඇයි අකුසලය ප්‍රහාණය කරන්න නම් යෝනිසෝමනසිකාරයෙන් උදව්ව ලැබෙන්න ඕන. යෝනිසෝමනසිකාරයෙන් උදව්වක් ලැබෙන්නේ නැත්නම් කොහොමද ඔහු අකුසලය ප්‍රහාණය කරන්නේ. ටික ටික අකුසලයට ඇදෙනවා.

එසේ තේරුම් ගෙන අපට මේ ඉඩ ලැබෙන වෙලාවේ පින් කරගෙන යෝනිසෝමනසිකාරය තුළින් කුසල් දියුණු කර ඊළඟ ජීවිතේ දෙවියන් අතරට යන්න අප සැමට වාසනාව ලැබේවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]