UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධන පරිහරණය පිළිබඳ බුද්ධානුශාසනය

ධන පරිහරණය පිළිබඳ බුද්ධානුශාසනය

පුද්ගලයෙකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර හැටියෙකින්වත් පිටුදකින්නේ නැත. ඒ වූ කලී මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය ප්‍රමාණවත් සංවර්ධනයක් නැති වීම දිළිඳුකමයි. එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහ දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මගපෙන්වීම්ද බුදුදහමේ ඇතුළත්ය. මිනිසාට නිබඳවම වැළදෙන මහා රෝගය නම් කුසගින්නය. ලොව සියලු සත්වයෝ අහරින්ම යැපෙති. මෙකී මහා රෝගය සුව කරගැන්මටය,ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවයන්ද සපුරා ගැන්මට නොයෙක් නයින් සැපයෙන අතිශයින් මැ ප්‍රායෝගික වූ සදුප දේශයන්ගෙන් බුදුදහම පොහොසත්ය. මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවූ, මෙලොව වශයෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයෙකුට ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුව ද පරලොව සුගතියද නිර්වාණ සංඛ්‍යාත විමුක්ති ලාභයද උදාකර ගත හැකි යැයි බුදුසමය පිළිගන්නේ නැත. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයෙකින් තොරව ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ලඟා විය නොහැකි බව බුදුසමය පෙන්වාදෙයි. එම සංවර්ධනය වූ කලී අවශ්‍යයෙන්ම ලෞකික වශයෙන් සැපවත් දිවි පැවැත්මක් උදෙසාය. බුදුන් වදාළ පරිදි තමාට ප්‍රමාණවත් තරම් ධනය ඇතැයි තෘප්තිමත් වීම සැපයෙකි.

උත්සාහයෙන් උපයාගත් , විවිධ උවදුරුවලින් රැකගත් කළණ මිතුරු ඇසුරින් වඩා වවාගත් ධනය තමාගේ මෙන් ම මා පිය අඹුදරු ආදීන්ගේ ද පරිහරණය පිණිසම වන්නේය. එසේ විධිමත්ව මනා කළමනාකාරිත්වයෙකින් ධනය පරිහරණය කිරීමද ගිහි බෞද්ධයාගේ දෙලොව පිරිහීම වළකාලයි. අභිවෘද්ධියද ඇති කරයි. එහිලා කෙසේ ක්‍රියාකළ යුතු දැයි පෙන්වා දෙන අවස්ථා රාශියක්ද බුද්ධ ධර්මය තුළ දැකගත හැකිය.

දෙලොව අභිවෘද්ධිය සලසා ගන්නා ගිහියෙකු විසින් කෙලෙස කිය‍්‍රා කළ යුතු දැයි උගන්වා වදාළ සුප්‍රකට බුද්ධ දේශනාවට අනුව ධනය පරිහරණය කළ යුත්තේ සමජීවිකතාවයෙනි. එනම් සිය අය හා වැය පිළිබඳ නිසි අවදිකමින් යුක්තවයි. එසේ ක්‍රියා කිරීම මෙලොව දියුණුවට හේතු වන්නේය. අය ඉක්මවා වැය නොකළ යුතුය. අය වැය සමව පවත්වා ගත යුතුය. අය ඉක්මවා වැය කරන්නාට දියුණුවිය නොහැකිය. ඔහුට ණය වීමටද සිදුවෙයි. ණය බරින් තොර වීම සැපයකි. මා කිසිවෙකුට ණය නැතැයි සතුටට පත්වීම සාර්ථක ගිහි ජීවිතයක ලක්ෂණයක් වේ. තරාදියක් භාවිත කරන්නෙකු එය ඔසවා මෙපමණකින් අඩුය. පහළය. මෙපමණකින් වැඩිය. ඉහළ යැයි දන්නාක් මෙන් අය වැය සලකා බැලිය යුතුය. අවම අය ඇතිව උපරිම වැය කිරීමද උපරිම අය ඇතිව අවමව වැය කිරීමද එහිලා නොකළ යුතු යැයි ඉගැන්වේ. පළමු කී පරිදි කරන්නා දිඹුල් කන්නෙකු වැනිය. දෙවැන්නා අනාථව මිය යන්නෙකු වැනිය.

ධන පරිහරණය පිළිබඳ බුදු දහමෙහි හමුවන අනෙක් ප්‍රකට උපදේශය දක්නා ලැබෙන්නේ සිඟාලක ගෘහපති පුත්‍රයාට දුන් අවවාදයෙහිය. ඒ අනුව උපයාගත් ධනය කොටස් සතරකට බෙදා එක් කොටසක් එදිනෙදා අවශ්‍යතා සඳහා ගත යුතුය. එනම් අවශ්‍ය ආහාරපානාදිය සපයා ගැනීම, පින් දහම් කිරීම ආදිය පිණිසය. දෙකොටසක් ආයෝජනය කළ යුතුය. එනම් කර්මාන්තවල යෙද විය යුතුය. ඉතිරි කොටස ඉතිරිකර තැබිය යුතුය. එය ආපදාවකදී ගැනීම පිණිසය. මෙහිදී පරිභෝජනයට යොදා ගත යුත්තේ උපයන ධනයෙන් සතරෙන් එකක් පමණකැයි කියා තිබීම ඉතා වැදගත්ය. එයින්ද අවම පරිභෝජනය අර්ථවත් වේ. උපරිම පරිභෝජනයට යොමුවෙමින් සිටින නුතන ලෝකයටද මෙය අගනා උපදේශයකි. එසේම දෙකොටසක්ම ආයෝජනය කෙරේ. එය තිරසර ආර්ථිකයක් පවත්වාගෙන යාමට පුද්ගලයාට උපකාරි වෙයි. ඉතිරිකිරීම් අවම වීමද නූතනයෙහි පවත්නා ගැටලුවකි.මෙහිදී එක් කොටසක් ඉතිරි කිරීමට උපදෙස් දී තිබීම ද සැලකිය යුත්තකි.

අනාථ පිණ්ඩික මහ සිටුතුමන් අමතා බුදුරදුන් වදාළ තවත් දේශනාවකට අනුව බෞද්ධයෙකු විසින් තම උත්සාහයෙන් බාහුබලයෙන් දහඩිය වගුරුවා දැහැමින් උපයාගන්නා ලද භෝග කරුණු (ධනය) සතරක් සළකා වැය කළ යුතුය.

1.තමා සැපවත් වෙයි. බලවත් වෙයි. එසේම මව්පියන්ද,අඹුදරුවන්ද, සේවක සේවිකාවන්ද, හිතමිතුරන්ද සැපවත් කරයි. බලවත් කරයි.

2.ගින්නෙන්,ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, නොකැමැති දායාදියෙන් සිදුවන විපතින් රැකගනියි.

3.පඤ්ච බලි (යුතුකම්) කරන්නේ වෙයි. ඥාතීන්ට ,ආගන්තුකයන්ට , මලගිය වුන්ට, රජුන්ට හා දෙවියන්ට ද යුතුකම් ඉටුකරයි.

4.මහණ බමුණන්ට දන් දෙයි. ආත්ම දමනයෙන් යුත්, කෙලෙස් සමනය කරන, කෙලෙස් නිවා පිරිනිවනට පත්වන ආගමික උතුමන්ට පූජාවන් පවත්වයි.

මෙසේ විධිමත් සැලැස්මක්, මනා කළමනාකරණයක් ඇතිව ධනය පරිභෝග කිරීමට බුදුරදුන් විසින් උපදෙස් දෙන ලද අවස්ථා රැසෙකි. මෙහිදී තම සුවපත් බව පිණිස වැය කිරීම පළමුවැන්නය. ආරක්ෂා කර ගත් ධනය ආත්මාර්ථකාමිත්වයෙන්ම පරිභෝග නොකොට තමා හා බැඳුණු අන් අයගේද ආගමික උතුමන්ගේ ද සැපවත් බව උදෙසා වැය කළ යුතු යැයිද ඉගැන්වෙයි. සැකෙවින් කිවහොත් ආත්මාර්ථය උදෙසා මෙන්ම පරාර්ථය උදෙසා ද වැය කළ යුතුය. බුදුරදුන් විසින් රාසිය ගාමිණි නමැත්තෙකුට වදාළ තවත් උපදේශයකට අනුව මෙලොව කාමභෝගී ගෘහස්ථයේ විවිධාකාරයෙන් භෝග වළදන්නෝය. එහිලා බුදුරදුන් පැසසුමට ලක්වන්නේ පහත දැක්වෙන සතර ආකාරයෙන් කාමභෝගි ගිහියාය.

1.ධනය වැය කරන සැහැසිකම් නොකොට දැහැමින් ධනය උපයයි(භෝග සොයයි)

2.උපයාගත් ධනයෙන් තමා සැපවත් කෙරෙයි පිනවයි. (භෝග වළඳයි)

3.පරිත්‍යාග කරයි. (බෙදා දෙයි පින් කරයි)

4. ඉපැයූ ධනයෙහිම ගිජුකමින් නොඇලෙයි. මුසපත් නොවෙයි. එසේ විමෙහි ආදීනව දකිමින් නිස්සරණ දැක්මෙන් පරිභෝග කරයි.

ආචාරධර්ම පිළිබඳ අනිවාර්ය අවධානයක් ඇති ධර්ම මාර්ගයක් වශයෙන් බුදු දහම ප්‍රකටව තිබේ. එහිලා ලෞකික ලොකෝත්තර යන උභය පක්ෂයෙන්ම,ආධ්‍යාත්මික බාහිර යන දෙයාකාරයෙන්ම පුද්ගලයාගේ හා සමාජයේද පිරිහීම අහිත අවැඩ පිණිස පවත්නා කායික වාචසික . හා මානසික චර්යාවන්ගෙන් වැළකීමටද, දියුණුව සිත සුව වැඩ පිණිස පවත්නා චර්යාවන් අනුගමනය කිරීමටද බුදු සමය මඟපෙන්වයි. ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතිකාදී කවර ක්‍රියාදාමයෙක දී වුවද අධර්මය, දුසිරිත බැහැර කළ යුතුය. ධර්මය සුසිරිත අනුගමනය කළ යුතු යැයි බෞද්ධ ඉගැන්වීම් මගින් පෙන්වා දී තිබේ. ධනෝපායනයේදී මෙන්ම පරිහරණයේදීද පිරිහීම වළක්වාගත හැක්කේ එසේ ක්‍රියා කිරීමෙනි. උපයාගන්නා ලද භෝග විනාශ මුඛයට යොමු කරන මානව චර්යාවන් සය ආකාර වේ යැයි සිඟාලක ගෘහපති පුත්‍රයාට පෙන්වා දෙන ලද්දේය.

මත් ජලය, මත් ද්‍රව්‍යාදිය භාවිතය, දුකෙලිය,අකාල වීදි සංචාරය, ගී නැටුම් ආදියෙහි ලොල්වීම, පාපමිත්‍ර සේවනය හා අලසකම යනුවෙනි. තවත් එබඳුම ප්‍රකට දේශනාවකට අනුව අදැහැමිබව, විවිධ දුසිරිත් හා චර්යාමය දුබලකම්ද නිසා උපයාගන්නා ධනයද වැනසෙයි. නොයෙක් අයුරින් පිරිහීම ළඟා වෙයි. මෙසේ සදාචාරය පිරිහීමෙන් ධන සම්පත් පිරිහෙයි. ඉහත දීද සඳහන් කළ සක්විති වත් පිළිබඳ දේශනාව එහි අනෙක් පැත්ත හෙළිදරව් කරන්නේය. එනම් ධන සම්පත් පිරිහීමෙන් සදාචාරය ද පිරිහෙන බවය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]