UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ගේ ආර්ථික දැක්ම

බුදුරදුන්ගේ ආර්ථික දැක්ම

“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංව නිධාපෙයිය
ආපදා සුභවිස්සති”

සිඟාලෝවාද සූත්‍රය බොහෝදෙනා දන්නා ප්‍රකට සූත්‍රධර්මයක්, බුදුපියාණන් වහන්සේ එම සූත්‍රයෙහි ආර්ථිකය පිළිබඳව, සාමාන්‍ය ජීවිතය පිළිබඳව මනා කොට දේශනා කරනු ලැබ තිබෙනවා. ආර්ථිකය, පරිපාලනය කරගත යුතු ආකාරය, කළමනාකරණය කරගත යුතු ආකාරය, එහි මැනවින් සඳහන් වෙනවා. සිඟාලක සූත්‍රයට අමතරව අප දැනගත යුතු ඉතාම වටිනා සූත්‍ර කිහිපයක්ම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. සාමාන්‍ය ජීවිතය ගත කරද්දී සාමාන්‍යයෙන් මිනිස්සු හම්බකරනවා. උපභෝග පරිභෝග පරිහරණය කරමින් අවසානයේ දී එහි නිසි, අනිසි ඵල නොලබා මිය යනවා. ජීවත්වීමට හම්බකිරීම අවශ්‍යයයි, හම්බ කරල ඉඩම් අරගෙන ගෙවල් හදල විවාහ වෙලා දරුමල්ලන් ලබා දරුමල්ලන්ගේ වැඩ කටයුතු කිරීමෙන් අනතුරුව අපේ ජීවිත කතාව අවසාන බවට බොහෝ දෙනෙක් හිතනවා.

සාමාන්‍යයෙන් දළ වශයෙන් බොහෝ දෙනාගේ ජීවිත අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන්නේ ඉපදෙනවා, ජීවත් වීම සඳහා ඉගෙන ගන්නවා. ඊට පසුව ඒ උත්සාහයෙන් හම්බකරගන්නවා. ජීවත් වීමට ගෙයක් දොරක් හදාගෙන විවාහ වෙනවා. විවාහයේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දරුමල්ලන්න ආදරෙන් හදනවා, ඊට පසුව මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් දිය කරනවා. මිය යනවා. ඔය සාමාන්‍යයෙන් මිනිසුන්ගේ චර්යා රටාවක් ලෙස දැකිය හැකියි. එතනදී ජීවත්වීමට අවශ්‍ය කොහොමද? කුමන ආකාරයෙන් ජීවිතය පෙළගස්වා ගත යුතුද? කුමන ආකාරයෙන්ද ගැටුම් විරහිතව ජීවත් වන්නට අවශ්‍ය වන්නේ? ගැටලුවලින් සමාජ අර්බුදවලින් තොරව ජීවත් වන්නට අවශ්‍යයි. වඩාත් යහපත් ජීවිතය කුමක්ද? කියලා සොයා ගන්නට සිතේ. එය නොතේරුන විට පමණක් කෙනෙකු අහන සිරිතක් තියෙනවා විවිධ පොත පතින් එම තොරතුරු බලා දැනගැනීමේ සිරිතක් තිබෙනවා.

සමහර වෙලාවට මිල මුදල් වියදම් කරල උපදේශකයින් සොයාගෙන යනවා. සමහර අවස්ථාවකදී වැරැදි උපදේශකයකුට හසුවුණෝතින් එතැන් සිට ජීවිතය නැවත වතාවක් ආපසු අර්බුදයකට යනවා. සමහර වෙලාවට ජීවිතයේ අර්බුද ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙසද, ගැටලුව ගැටලුවක් ලෙස ද, හඳුනාගත නොහැකි වුණාම විවිධ අර්බුදයන්ට ලක්වෙනවා. දෙවියන් සරණ යනවා. වෙනත් දේවාල සරණ යනවා. වෙනත් ශාස්ත්‍ර සරණ යමින් ඒවා පසුපස යනවා. සමහර වෙලාවට ඒ තුළින් ජීවිත අර්බුදවලට ලක්වෙනවා. පිළිතුරක් සොයා ගන්නට බැරිවෙනවා. ඒ නිසාම පොත පත කියවන ගමන් බුදුපියාණන් වහන්සේ මේ ජීවිතය අර්බුදයට යන්නේ කොහොමද? ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද? ඒවාට මුහුණ දෙමින් විසඳා ගන්නේ කොහොමද? ජීවිතයේ ප්‍රශ්න යනු මොනවාද? ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නේ කොහොමද? පිළිතුරු සොයාගන්නා මාර්ගය කුමක්ද? කියලා සොයල බලන කරුණ වැදගත් වන නිසා කියවන්න අවශ්‍ය සූත්‍ර කිහිපයක් විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ග පජ්ජ සූත්‍රය, ධම්මික සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි සූත්‍ර සාමාන්‍ය ජීවිතය ජීවත් කරවන්න උපකාර වන සූත්‍ර රාශියකි. කෙනෙකුට මෙම සූත්‍ර කියවල අවශ්‍ය නම් අලුතෙන්ම ජීවිතය සඳහා ජීවත්වීම සඳහා නිරවුල් වීම සඳහා කරුණු වශයෙන් ගොනුකර තබාගැනීමට තරම් වටිනා වැදගත් කරුණු එහි ඇතුළත් වී තිබෙනවා. ඔබගේ මුළුතැන්ගෙට, සාලයට, ඔබගේ වත්ත පිටියට අදාළ කරුණු ඔබගේ රැකියාවට අදාළ කරුණු ඔබගේ ඥාතීන්ට අදාළ කරුණු ඔබගේ ගෙදර ජීවත් වන විට උදයේ සිට හැන්ඳෑවෙනතුරුම කතාබහ වන ආකාරයේ කරුණු හැසිරිය යුතු ආකාරය කෙසේද? යන කරුණු එහි අන්තර්ගත වෙලා තිබෙනවා. මෙම සූත්‍රයන්හි නිවන් මාර්ගය පිළිබඳව ගැඹුරු ධර්ම ප්‍රපංච සඳහන් වන්නේ නැහැ.

“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංව නිධාපෙයිය
ආපදා සුභවිස්සති”

බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ උපයන ධනය කොටස් තුනකට බෙදිය යුතුයි කියලා. පළමු කොටස තියෙන්නේ හතරෙන් එක පංගුවයි. දෙවන කොටසට හතරෙන් දෙකක් අඩංගු වෙනවා.තුන්වන කොටස ඉතිරි හතරෙන් පංගුව අන්තර්ගත වෙනවා. යම්කිසි ආදායමක් තමන්ට ලැබෙන විට එම ලැබෙන ආදායම හතරෙන් එකක් වශයෙන් වෙන් කර එම කොටස භුක්ති විඳිය යුතුයි. ඉතිරි හතරෙන් එක් පංගුවක් ඉතිරි කර ගත යුතුයි. ඉතිරි හතරෙන් දෙක ආයෝජන සඳහා යෙදවිය යුතුයි. රුපියල් දාහක් ගතහොත් රුපියල් දෙසිය පනහක් ඉතිරි කර යුතු වගේම පන්සියයක් ආයෝජන ප්‍රවර්ධන සඳහා යෙදවිය යුතුයි. මේ කියන සරල, ඉතාමත්ම සුමට ආර්ථික සමබරතාව උදෙසා වන දේශනා කරනු ලබන්නේ ආර්ථික විද්‍යාව නමින් අප විසින් හඳුන්වනු ලබන මෙම විද්‍යාව බිහිවන්නට පෙර, වසර දෙදහස් හයසිය හතරකට පමණ පෙර. ඒ කාලය තුළ වෘත්තීන් හැටියට තිබුණු රාජ්‍ය සේවය හා වෙනත් ව්‍යාපාර ඉලක්ක කරගෙන මෙම කරුණු දේශනා කරනු ලැබුවා. මෙම කරුණු කාරණා වර්තමාන සමාජයට ගළපාගත්තේ කොහොමද? ඔබේ නිවසේ දරු පවුල සහ කලත්‍රයන් සමඟ භාර්යාවට ස්වාමිපුරුෂයාද, ස්වාමි පුරුෂයාට භාර්යාවද කලත්‍රයන් බවට පත් වෙනවා. මේ අයත් සමඟ ජීවිතය ගෙවන විට ආර්ථිකය සමබරව පවත්වාගෙන නොගියහොත් එතැන් සිට ආර්ථික ගැටලුවක් සමඟ ආර්ථික ගැටලුවලට අමතරව වෙනත් අතිරේක ගැටලුවලට පෙලඹෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඉඩකඩ තිබෙනවා. මේ ආකාරය බලාගෙන යනවිට අර්බුද රැසක් නිර්මාණය වෙනවා. ආර්ථිකය සමබරතාවය නැතිව ආර්ථිකය විෂමභාවයට පත්වූ විට ආර්ථිකය ඔබට හිතාගන්නට බැරි තැනකට ගිය විට ජීවිතය විනාශ වීමට හැකියාව තිබෙනවා. ඒ අනුව බලාගෙන ගිය විට ජීවිතයේ මුහුණ දෙන අර්බුද සියල්ලම මේ යටතට ගොනුකර ගත හැකියි. ආර්ථිකය සමබරතාවය නැති වී ගිය විට ආර්ථිකයට ආනුසංගික වෙනත් කරුණු කාරණා ද වෙනස් වෙන්න පත්වීමට පුළුවන්. ගෙදරක ආර්ථික ගැටලු, ගෙදරක ආර්ථික ප්‍රශ්න මතු වූ විට එතැන් පටන් ගෙදරක පෝෂණය පිළිබඳව ගැටලු මතුවෙනවා. ඒ පෝෂණය පිළිබඳ ගැටලු සමඟ සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. පෝෂණයයි, සෞඛ්‍යයයි ගැටලු දෙකම අමතරව පරිභෝජනය පිළිබඳ යම් යම් ගැටලු ඇතිවෙන්නට පුළුවනි. සමාජ තත්ත්වය පිළිබඳ ගැටලු ඇතිවෙන්නට පුළුවන් පවුල් ජීවිතයට එය සෘජුවම අයහපත් ආකාරයට බලපාන්නට පුළුවන්. සමහර විට විවාහප්‍රාප්ත යුවළකගේ ස්වාමියා සහ භාර්යාව අතර අඬ දබර පවා ඇතිවෙන්ට පුළුවන්. එය සමහර විට තවදුරටත් ඔඩුදුවමින් වර්ධනයවෙලා විශ්වාසය පිළිබඳ අර්බුදයක් ඇතිවන්නට පුළුවන්. ඒක නිසාම දෙමහල්ලන් තුළ හටගනු ලබන අඬ දබර කතා බස් හා ආර්ථික අර්බුද ගැටුම් නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෘජුවම කඩාකප්පල් විය හැකියි. ඒ නිසාම තවත් අර්බුද රැසක් වර්ධනය විය හැකියි. ඔවුන්ට තියෙන ආදරය පිළිබඳ අර්බුද ඇති වූ විට ඔවුන් වෙනත් ආදරයන් සොයා ගෙන යන්නට යාම නිසා වෙනත් අර්බුද රැසක් නිර්මාණය විය හැකියි. ඒ නිසා සමහර වෙලාවට මුළු නිවසට වඩා ගෙයක් වටා නිවස ආශි‍්‍රතව පවුල් ජීවිතයක් වටා අර්බුද රැසක් ඇතිවෙලා විසඳුම් නැතිවෙලා ප්‍රශ්න රැසක් ඇතිවෙලා උත්තර නැතිවෙන තැනට පැමිණෙන්නේ ආර්ථිකයේ සමබරව පවත්වා නොගත හොත් ආර්ථිකය සමබරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යම සාධකය කුමක්ද? අත්‍යවශ්‍යම සාධකය තමයි සුවබරතාවය. ඔබ සැමදාමත් අහන කරණීය මෙත්ත සූත්‍රය සඳහන්වන සන්තුස්සකෝච සුභරෝච “සුභර” යනු තමාට තමාව පහසුවෙන් නඩත්තු කර ගත හැකි වීමයි. තමන්ට තමාව නඩත්තු කර ගත යුතුයි යන ධර්මතාවයෙහි තමන්ගේ පවුල තමන්ට නඩත්තු කරගත හැකිවීම, තමාගේ වත්තපිටිය තමාට නඩත්තු කරගත හැකි එකක් වීම. තමාගේ වාහනය තමන්ට නඩත්තු කරගත හැකි එකක් වීම, වැනි තමාට තමාව පෝෂණය කරගත හැකිවීම යන කරුණු කාරණා වැදගත් වෙනවා. සමහර කෙනෙකුට තමන්ට තමන්ගේ ශරීරය නඩත්තු කරගැනීමට බැරි නම් සමහර කෙනෙකු තමාගේ ශරීරයේ ගල්වන ආලේපන සුවඳ විලවුන් ආදියෙන්වත් තමාට තමා නඩත්තු කරගත නොහැකි නම්, තමාට තමා නඩත්තු කරගත නොහැකි නම්, තමාට තමාගේ ශරීරයම අදාළ වන්නා වූ ඖෂධවලින් තමාට තමා නඩත්තු කර ගත නොහැකි නම් තමා විසින් තනා ගන්නා ලද තමාගේම නිවස තමාට නඩත්තු කර ගත නොහැකි නම්, තමාගේම සේවක කාරකාදීන්ට පඩිනඩි ගෙවා ගැනීමට නොහැකි තරමට තමාව නඩත්තු කරගත නොහැකි නම්, තමාගේ දරුවන් තමාට නඩත්තු කරගැනීමට නොහැකි නම්, එතැන සිට අර්බුදය ආරම්භ වනවා. සමබරතාවය නැතිවෙලා යනවා. එසේ නම්, තමාට තමා නඩත්තු කරගත හැකි අයුරින් තමා වටා පරිසරය ගොඩනඟා ගත යුත්තේ කෙසේද? සාමාන්‍යයෙන් අපට ගෙයක් අවශ්‍යයයි. එම ගෙය නඩත්තු කරගත හැකි ගෙයක් වෙන්නට අවශ්‍යයයි. එය එම ආකාරයෙන් නොකළහොත් එතැන් සිට ගෙය අර්බුදයක් බවට පත්වෙනවා. ඇඳුම් පැළඳුම් තවත් හුරුවෙලා තියෙන්නේ තමන්ට නඩත්තු කරගත හැකි තරමටම නොවේ නම්, තමාට තමා නඩත්තු කරගත නොහැකි ඇඳුම නිසා අර්බුදය ආරම්භ වෙනවා. තමාට තමා නඩත්තු කරගත නොහැකිවන්නේ කවර හේතුවක් නිසාද? බොහෝ වෙලාවට සංසන්දනය කිරීමට යාම නිසා අසල්වාසියා හා සන්සන්දනය කිරීම නිසා, පුවත්පත් හා වෙනත් මාධ්‍ය ආශ්‍රයෙන් නූතන භාවිතාව මෙය යැයි හඳුන්වාදෙන විට ඇතිවන සංසන්දනය නිසා තමයි තමාට තමා නඩත්තු කරගත නොහැකි තත්ත්වයට පත්වන්නේ.

ඉතිරි කොටස 13වනදා පත්‍රයේ පළවේ.

සටහන හේමමාලා රන්දුණු

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]