එක් වී කළ පින් බලයෙන් සැප සම්පත් එක්වම වින්දහ
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
අතීතයෙහි පියුමතුරා බුදුන් සමයෙහි බරණැස සමීපයෙහි සන්නාලි ගමක
සන්නාලියන් අතරෙහි සියල්ලන්ටම දෙටු වු සන්නාලි නායකයෙක් වෙසෙයි. මෙකල
හිමාලයෙහි වසන්නා වූ පසේබුදුවරයන් වහන්සේලා වැසි සාරමසෙහි හිමවතෙන් බැස
නගර කරා පැමිණ අරම් තනා ගනිමින් වසන්නට පුරුද්දක් ඇති කර ගෙන තිබුණහ.
එසේ පසේ බුදුවරු දහසක් හිමවතෙන් බැස බරණැසට පැමිණි කල සන්නාලි දෙටුවා
හමුව තමන්ට සෙනසුන් ඉදිකර ගැනීමට උපකාර කරන්නැයි ඉල්ලූහ. එහෙත් ඔහු එසේ
පිළිනොගෙන තමන්ට හෙට දිනයෙහි වප් මගුල් යෙදී ඇති බවත් එම කටයුතු අවසන්ව
සෙනසුන් සැකසිය හැකි බවත් කියා සිටියේය.
පසේ බුදුවරු ඔහුගෙන් වෙන්ව වෙනත් ගමකට පැමිණියහ. එවේලේ දෙටු
සන්නාලියාගේ බිරිඳ කිසියම් කාර්යයක් සඳහා එගමට පැමිණි අතර එහිදී පසේ
බුදුවරයන් වහන්සේලා හමු වූහ.ඇය උන්වහන්සේලාට වැඳ එකත්පස්ව හිඳ
උන්වහන්සේලාගේ තොරතුරු විචාළාය. පසේ බුදුවරයන් වහන්සේලා වැසි සාරමස ගත
කරන්නට පැමිණි බවත් සෙනසුන් පිළියෙල කර දිම දෙටු සන්නාලියා
ප්‍රතික්ෂේපද කළ බවද කීහ. ඇය ඉතා සැදැහැවත් හා නුවණැති ස්ත්‍රියක
බැවින් හෙට දින තම ගමේදි දහසක් දෙනා වහන්සේටම දානය සඳහා වඩින්නැයි
ආරාධනා කළාය. එපමණක් නොව උන්වහන්සේලා සඳහා සෙනසුන් සකසා දීමටද පොරොන්දු
වූවාය.
ඇය ගමට ගොස් දහසක් පසේ බුදුවරයන්ට දනට ආරාධනා කළ බැව් සියලු ගම්වැසින්ට
දන්වා දානය සඳහා සියලු කටයුතු සූදානම් කරන්නැයි සියලු නිවැසියන්ට
පැවරුවාය. එපමණක් නොව දහසක් බුදුන්ට දන් වැළඳීම පිණිස්ස ගම මධ්‍යයෙහි
මණ්ඩපයක් ද ඉදි කරවූහ. දෙවන දිනයෙහි පසේ බුදුවරයන් වඩමවා වඩාහිඳුවා
ප්‍රණීත දානය පිළිගන්වා වළඳවා අවසානයෙහි ගමෙහි සියලු ස්ත්‍රින් කැඳවා
පසේ බුදුවරයන් වහන්සේලාට තෙමසක් මෙහි වැඩ සිටින්නැයි ආරාධනා කළහ.
අනතුරුව ඇය ගමෙහි සියලු නිවෙස්වලට ගොස් එක් එක් පුරුෂයා බැගින් ගෙන්වා
වෑ, පොරෝ ආදියද ගෙන්වා කැලෑවට යවා ලී දඬු කප්පවා ආරාම දහසක් පිළියෙල
කරවා පසේ බුදුවරයන්ට වැඩ සිටීමට අවශ්‍ය සියලු පහසුකම් ඇති කළහ. තම
තමන්ගේ පන්සල්වල වැඩසිටි පසේබුදුන්ට ඒ ඒ නිවැසියන් ලවා තෙමස පුරාම ඇප
උපස්ථාන කරවා තුන්සිවුරු ආදියද පිදූහ. වැසි සමය අවසානයෙහි පසේ
බුදුවරුන් පුණ්‍යානුමෝදනා කොට නැවත හිමවතටම වැඩියහ.
සියලු ගම්වැසියෝ මේ කළ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපිද
ගණදේවපුත්‍ර යන නාමයෙන් නම් ලදහ. දිව සැප කෙළවර කාශ්‍යප බුදුන් සමයෙහි
එක්තරා ගමක සියලු දෙනා එකිනෙකා ඥාතීව ඉපදුණාහ. එහිදී දෙටු සන්නාලියා
මෙහිදි දෙටු කෙලෙඹි පුත්‍රගාම ඉපිද ඔහුගේ බිරිඳ දියණියකව ඉපදුනාය. එක්
දිනෙක මේ සියලු නෑයෝ කාශ්‍යප බුදුන්ගෙන් බණ අසන්නට විහාරයට ගියහ.
විහාරය මැද බණ අසන අතර මහා වර්ෂාවක් වැටී එයින් තෙමෙන්නට වීය. එයින්
ලැජ්ජාවට පත් කෙළෙඹි පුත්‍ර පෙර පසේබුදුන්ට සෙනෙසුන් සෑදීමට පමා කිරීමේ
පාපය මෙසේ විඳින්නට වූ බව කල්පනා කොට සියලු දෙනා එක්ව මහා විහාරයක්
කරවා කාශ්‍යප බුදුරදුන්ට පූජා කළහ.
අනතුරුව විහාර පූජාව සමඟ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සත්දිනක් දන් පිදූහ.
ඒ අතරෙහි කෙළෙඹියාගේ බිරිඳ බුදුන්ට අනෝජා නමැති මල් පුජාවක් කොට සසර
පුරා ඒ මලේ පැහැය ද ඒ නමද තමාට ලැබේවායි ප්‍රාර්ථනා කළාය. බුදුරදහු ද
එම ප්‍රාර්ථනාව ඉටු වේවායි පැතූහ. මේ සියලුදෙනා මරණින් මතු දෙව්ලොව
අපමණ දෙව් සැප විඳ ගෞතම බුද්ධ කාලයෙහි” කුක්කුටවතී” නම් නගරයෙහි
ඉපදුනහ. කෙළෙඹි පුත්‍රයා රාජකුලයක ඉපිද මහාකප්පින යන නමින් ප්‍රසිද්ධ
විය. සෙස්සෝ අමාත්‍යවරු ලෙස ඒ කුලවල උපන්හ.
දෙටු කෙළෙඹියාගේ බිරිඳ මදුරට සාගල නුවර රාජ දියණියකව ඉපිද අනෝජා නමින්
ප්‍රසිද්ධව අනෝජා වර්ණයෙන්ද යුතු වූවාය.අනෙක් කාන්තාවෝ ඇමති කුලවල
කතුන්ව ඉපදුණහ. මේ සියල්ලෝම එකතුව කළ පිනෙන් රාජ සම්පත් අනුභව කළහ.
මහාකප්පින රජුට වාල, වාලවාහන, පුෂ්ප, පුෂ්පවාහන, සුපත්ත යයි අශ්වයෝ පස්
දෙනෙක් සිටියහ. රජතුමා මේ අශ්වයන් කවා පොවා සැම දිනෙකම පාහේ රාජ
පුරුෂයන් දසත පිටත් කර යවන්නේ බුදුන්, දහම්, සඟුන් උපන් බවක් සොයා එන
ලෙසයි. බොහෝ දෙනා ආරංචියක් නොලැබ ආපසු එයි. දිනක් සැවැත්නුවර සිට එන
වෙළෙඳ කණ්ඩායමක් හමුව ඔවුන්ගෙන් සම්බුදු සසුන එහි පිහිටා ඇති බව
දැනගත්තේය. වැඩිදුරටත් ඔවුන්ගෙන් විස්තර විමසූ රජතුමා බුද්ධ, ධම්ම, සංඝ
යන ත්‍රිවිධ සාසනය පිහිටි බව දැන ඒ ආරංචිය දීමේ සතුට වෙනුවෙන් තුන්
ලක්ෂයක ත්‍යාග ප්‍රදානය කළේය. රජු සහ සියලු ඇමැතිවරු වහා ඒ බුදුන් හමුව
පැවිදිවීමට සිතා අනෝජා දේවියට රාජ්‍යය බාරදී රජු සැවැත්නුවර බලා පිටත්
විය.
බුදුනැණින් මේ සියල්ල දුටු බුදු පියාණෝ පෙර පිනෙන් පැවිදිව රහත්වන
මහාකප්පින රජු හා පිරිවර දහස වෙනුවෙන් පෙරගමන් කළහ. රජුද පිරිවර සමග
එන්නේ අතර මග ගංගා තුනකින් එතෙර වන්නට සිදුවිය. බුද්ධරත්නය සිහිකර පළමු
ගංගාවද ධර්මරත්නය සිහිකර දෙවන ගංගාවද සංඝ රත්නය සිහිකර තෙවෙනි ගංගාවද
තරණය කළ රජපිරිස බුදුහිමියන් වෙත ළඟාවූහ. බුදුහිමියෝ ඔවුනට දහම් දෙසූහ.
ධර්මාවබෝධය ලද පිරිස පැවිදි බව ඉල්ලා සිටියෙන් පෙර පසේබුදුවරයන්ට
සිවුරු පිදීමේ අනුහසින් පාත්‍රා සිවුරු ලැබි පැවිද්ද ලැබිණි. අනෝජා
දේවියද රජ සැප පිළිකෙව් කොට අනෙක් පිරිවර ඥාති කතුන්ද සමඟ බුදුරදුන්
හමුවට පැමිණ දහම් අසා පැවිදිව සියලු කෙලෙස් දුරැලා රහත් බව ලදහ.
මහා කප්පින තෙරණුවෝ දිවා රෑ අහෝ සුඛං අහෝ සුඛං යනුවෙන් ලද සුවය පිළිබඳ
උදම් අනන්නට වූහ. මේ තෙරුන් පෙර රජ සැප සිහිපත්ව මෙසේ ප්‍රකාශ කරති’යි
සිතු අනෙකුත් භික්ෂූහු ඒ බව බුදුරදුන්ට සැල කළහ.
බුදුරදුන් ඒ රජ සුව සඳහා නොව තමන් ලත් නිවන් සුව නිසාම බව වදාරා දහම්
රස වළඳන තැනැත්තා හැම කල්හිම සුවසේ ම වසන බවත් එබැවින් ඥානවන්තයා හැම
විටහිම ධම්මරසයෙහි ඇලි එහි පී‍්‍රතිය විඳින බවත් මහාකප්පින තෙරුන් ලද
නිවන් සුවය පිළිබඳ මෙසේ උදම් අනන බවත් දේශනා කොට වදාළහ.
බුද්ධාන්තර ගණනාවකට පෙර ගමක් එකතුව කළ පිනක් සසර පුරා එකතුවම සැප
සම්පත් විඳින්නට හේතු වූ අයුරුත් අවසන නිවනේ සුව විඳි අයුරුත්
මහාකප්පින තෙරුන්ගේ කථාව අපට කියා දෙන පාඩමයි. |