Print this Article


පැමිණි මඟ මෙනෙහි කර යා යුතුය පිළිවෙතින්

පැමිණි මඟ මෙනෙහි කර යා යුතුය පිළිවෙතින්

පිළිවෙත් මාර්ගය ආරම්භ කිරීම සහ එහි ගමන් කිරීම පිළිබඳව සූත්‍ර විනය,අභිධර්මය නම් වූ ත්‍රිපිටකයෙන්ම කරුණු රැස් කරගැනීමට හැකිය. නමුත් එය දීර්ඝ වූ ධර්ම කොට්ඨාසයකි. සාමාන්‍ය ජනයාට එය ඉතාමත් දුෂ්කර ක්‍රියාවලියක් ලෙස දැනෙනු ඇත. එමෙන්ම බෞද්ධ සියලු ජනයාම පාහේ හොඳින් දන්නා මංගල සූත්‍රයෙහි අඩංගු මංගල කරුණු 38 (තිස් අට) විමසා බලනවිටද පිළිවෙතින් සකස් වීමක් පිළිබඳ මනා වූ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

නුවණ ඇත්තන්ගේ ආශ්‍රයෙන් ආරම්භ කරන එම පිළිවෙත් මඟ නිර්වාණාවබෝධය දක්වාම පෙළගස්වා ඇත. මේ නිසා විවිධ ආකාරයේ ධර්ම කරුණු අතර, විශේෂයෙන් සාමාන්‍ය ජනයාද,ඇතුළුව වැඩි පිරිසකට තේරුම් ගත හැකි පිළිවෙත් මාර්ගයක් පෙන්වා දීම කාලෝචිතය. දහස් ගණනක් සූත්‍ර දේශනා අතුරින් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ, පඨම, පණ්ණාසකයේ ,ගහපති, වර්ගයේ අඩංගු මහානාම සූත්‍ර දේශනාව මේ සඳහා තෝරා ගතිමි.

එක් සමයෙක්හි අප භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේය. එසේ පැමිණි භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ පැවසීය.

“ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වේද ?” භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුර දෙති.

“යතෝ ඛෝ මහානාම, බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ හෝතීති” “මහානාමය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේවේද, දහම් සරණ ගියේවේද, සංඝයා සරණ ගියේ වේද, මහානාමය මෙපමණකින් උපාසක වේ.”

බුදුරජාණන් වහන්සේට කරන උතුම් වූ ගෞරවය සහ උපස්ථානය වන්නේ පිළිවෙත් මඟ යාම නම් පළමුවෙන්ම කළ යුතුවන්නේ උපාසක සහ උපාසිකා ස්වභාවයේ පිහිටීමය. එසේ උපාසක උපාසිකා ස්වභාවයේ පිහිටීමට නම් බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය,ආර්ය සංඝරත්නය සරණ යා යුතුවන්නේය. බුදුරජාණන් වහන්සේ සරණ යාම නම්, බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ප්‍රසාදයක් ඇතිකර ගැනීමය, (යො බුද්ධෙ අවච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) එමෙන්ම ඉතිපිසෝ භගවා අරහං’ ආදි ලෙසින් නවඅරහාදී බුදුගුණයන් කෙරේ ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීමය. එම ශ්‍රද්ධාව නම් බුදුගුණ කෙරේ දැන අවබෝධයෙන්ම ඇතිකර ගන්නා වූ ප්‍රසාදයයි. ධර්ම රත්නය සරණ යාම නම් පර්යාප්ති ධර්මය සහ නවලෝකෝත්තර ධර්මයයි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලේ වදාළ සුපරිශුද්ධ වූ බුද්ධ වචනයම පර්යාප්ති ධර්මයයි. නවලෝකෝත්තර ධර්මය නම් සෝවාන් මාර්ග සහ ඵල, සදෘකාගාමි මාර්ග සහ ඵල, අනාගාමි මාර්ග සහ ඵල, අර්හත් මාර්ග සහ ඵල සහ නිර්වාණයයි.

මෙම ධර්මය අවබෝධ කරගන්නට දරන්නා වූ උත්සාහය සහ අවබෝධ කරගැනීමම ධර්ම රත්නය සරණ ගියේ වෙයි. ඒ සඳහා අචල ප්‍රසාදයක් ඇතිකර ගැනීම අවශ්‍යයය. (යො ධම්මෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, ආදි ලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට ධර්මය දේශනා කරන ලදී. ඒ ධර්මය සාන්දෘෂ්ඨිකය . එනම් තමා තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත හැකිවන අතර, මෙම ජීවිත යේම එය ලැබිය. හැකිවන්නේය. මේ ලෙස දහම් ගුණ සය කෙරේ දැන අවබෝධයෙන් යුතුවම ප්‍රසාදයක් ඇති කරගත යුතු වන්නේය. කෙසේ නම් සංඝයා සරණ ගියේ වන්නේද ? “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ” ආදි ලෙසින් නමයක් වූ ආර්ය සංඝරත්නයේ ගුණ දැන අවබෝධයෙන් යුතුවම ප්‍රසාදයක් ඇතිකර ගැනීමයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය කෙරේ වගේම ආර්ය සංඝරත්නයෙහි පවත්නා ගුණ තමා කෙරේද ඇතිකර ගන්නට උත්සාහ ගැනීම සහ ඇතිකරගැනීමයි.ඒ සඳහා අචල ප්‍රසාදයක් ඇතිකර ගැනීමයි. (යෝ ධම්මෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

මෙසේ පිළිවෙතින් සකස්වීමේදී තෙරුවන් සරණයාම නියම ආකාරයෙන් සිදුවීමෙන් අනතුරුව, කුමක් කළ යුතු වන්නේද? කෙසේ නම් චරිතය හෙවත් තම ක්‍රියා පටිපාටිය සකස්කර ගත යුතු වන්නේද? මහානාම ශාක්‍ය එම ප්‍රශ්නය, මේ ආකාරයෙන් අසන්නේය.”ස්වාමීනි, කොපමණකින් උපාසක තෙමේ සිල් ඇත්තේවේද, භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දේශනා කරති. “යතෝ කෝ මහානාම, උපාසකෝ පාණාතිපාතා පටිවිරතො හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමෙසුමිචිඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදාපටිවිරතෝ හෝති, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ සීලවා හෝතීති” . “මහානාමය, යම්දිනෙක පටන් උපාසක තෙමේ ප්‍රාණඝාතයෙන් වැළකුනේවේද, සොරකමෙන් වැළකෙªණේ වේද ,කාමමිත්‍යාචාරයෙන් වැළකුණේවේද, බොරුකීමෙන් වැළකුණේවේද මදයට සහ ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකුණේ වේද, මහානාමය, මෙපණකින් උපාසක තෙමේ සිල් ඇත්තේවේ “

පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේද නම් වූ ප්‍රශ්නයට සරල තේරුමකින් , එනමුත් ගැඹුරු ප්‍රතිපදාවකින් යුතු පිළිතුරක් ඉහත ප්‍රකාශනයෙහි අඩංගුව තිබේ. සරල වචන පෙළක් ලෙස දැනුනද ගෘහස්ථ ජීවිතයක් පවත්වා ගැනීමේ මූලික මෙන්ම ගාම්භීර වු පදනම මෙහි ඇතුළත්ව පවතී.

තමා තමාට දක්වන හිතවන්තභාවය, සියලු ප්‍රාණීන් කෙරේ දැක්විය යුතු බව මින් අදහස් කෙරේ. “නිහිත දණ්ඩ නිහිත සත්ථ ලජ්ජී දයාපන්නා සබ්බපාණභූත හිතානුකම්පී” නම් වූ පාලි පෙළ අනුව දඬු මුගුරු,අවි ආයුධ නොදැරිය යුතුය. පාපයට, අකුසලයට ලජ්ජාවක් ඇතිකර ගත යුතුය. සියලු ප්‍රාණීන් කෙරේ දයාවන්තවීම සහ හිතවන්තවීම කළ යුතුය” තමා ජීවත්වීමට කැමැති නම්, නොමැරී සිටීමට කැමැති නම් සැප කැමැති සහ දුකට අකැමැති නම්, එසේම වූ අන් අයෙක් මරන්නේ කෙසේද යනුවෙන් මෙනෙහි කළ යුතු බව වේළුද්වාරෙය්‍ය සූත්‍රයෙහි පැහැදිලි කෙරේ. නුදුන් දෙය නොගත යුතුවන්නේය. “යමෙක් මාගේ නුදුන් දෙය සොරසිතින් ගන්නේ නම් එය මට පි‍්‍රය මනාප නොවන්නේය. මමත් අන්අයගේ නුදුන් දෙය සොරසිතින් ගන්නේ නම් අන් අයට අපි‍්‍රය අමනාප වන්නේය” කාමමිථ්‍යාචාරයෙන් බැහැරවිය යුතුය. මෙහි ඇති අනිටු ආදිනවයෝ බොහෝය. ස්වාමි දියණියක් සහ ස්වාමිපුරුෂයෙක් හැටියට පමණක් නොව, දෙමාපියන් සහ දරුවන් ඇති අවංකභාවය , විශ්වාසය, ගරුකිරීම, පිළිගැනීම සහ සදාචාරත්මකව ගැනෙන සියල්ලම පලුදු වී යනු ඇත. සමස්ත පවුල් පරිසරයම බිඳ වැටෙනවා පමණක්ම නොව මහත් වූ අගාධයකට ඇඳ වැටේ. තමාගේ ස්වාමියා හෝ ස්වාමි දියණිය එසේ පර අඹු හෝ පරපුරුෂ සේවනයෙහි යෙදෙන්නේ නම් තමාගේ මානසිකත්වය කෙබඳුවේදැයි සිතා බලන ලෙස මින් ආරාධනා කෙරේ. දරුවන්ගේ සිත්හි දෙමාපියන් කෙරේ ඇතිවන පිළිකුල කෙබඳුවේද?

මුසාවාද හෙවත් බොරුකීමෙන් වැළකිය යුතුය. මෙයට කේළාම්කීම ,පරුෂ වචන කථා කිරීම සහ හිස්වචන කතා කිරීමද ඇතුළත් කරගැනීම වටී. “කුඨාරි ජායතී මුඛේ මෙම සියලු ආකාරයේ නොහික්මුණූ වාචසික ස්වභාවයන් කටේ හෙවත් මුඛයේ උපදින කෙටේරියක් බඳුය. අභූතවාදී නිරයං උපේති” බොරු කියන්නා, සහ බොරුවෙන් චෝදනා කරන්නා අපායේ උපදී. මේවා මනුෂ්‍ය සංහතියේ විනාශයට හේතුවන දෑය. ඔවුනොවුන් කෙරේ විශ්වාසය බිඳ වැටුන තැන ජීවත්වීම අපහසුවනු ඇත. මදයට සහ ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකිය යුතුවන්නේය. භෝග විනාශ මුඛයක් ලෙස සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වන ලද අතර රහමෙර පානයෙන් වැළකීම මංගල කරුණක් ලෙස මංගල සූත්‍රයෙහි දක්වා ඇත. එමෙන්ම අපාය සංවත්තනික කරුණකි.

තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවෝ පඤ්ච සීල ප්‍රතිපත්තියෙන්ම පිළිවෙත් මාර්ගයට අවතීර්ණවීම අවශ්‍යයය. ඉන්පසුව ඔවුන්ගේ ක්‍රියා මාර්ගය කෙබඳු විය යුතුද? මහානාම ශාක්‍ය ප්‍රශ්න කරයි” කිත්තාවතා පන භන්තේ, උපාසකෝ, අත්තහිතායච පටිපන්නෝ හෝති, පරහිතායචාති” ස්වාමීනි, කොපමණකින් උපාසක තමාට හිත පිණිසත් අනුනට සිත පිණිසත් පිළිපන්නේවේද?” භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දේශනා කරති.

”මහානාමය,යම් දිනෙක පටන් උපාසක තෙමේත් ශ්‍රද්ධාවෙන් යුතු වූයේ අන් අයත් ශ්‍රද්ධා සම්පදාවෙහි සමාදන් කරවාද? තෙමේත් සීලයෙන් යුතු වූයේ, අන් අයත් සීලයෙන් යුතු වූයේ අන් අයත් සීල සම්පත්තියෙහි සමාදන් කරවාද? තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේ අන් අයත් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් භික්ෂූන් වහන්සේ දකිනු කැමැත්තේ අන් අයත් භික්ෂූන් වහන්සේ දැකීමෙහි සමාදන් කරවාද තෙමේත් සදහම් අසනු කැමැත්තේ අන් අයත් සදහම් ඇසීමෙහි සමාදන් කරවාද, තෙමේත් ඇසූ දහම් මතක තබා ගැනීමෙහි යුතු වූයේ අන් අයත් සදහම් මතක තබා ගැනීමෙහි සමාදන් කරවාද? තෙමේත් මතක තබාගත් ධර්මයෙහි අර්ථය පිරික්සන්නේ අන් අයත් එසේ අර්ථය පිරික්සීමට යොමු කරවාද, තෙමේත් අර්ථය දැන, ධර්මය දැන ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මඟෙහි හැසිරෙන්නේ අන් අයත් ධර්මානු ධර්ම පිළිවෙත් මඟෙහි පිහිටුවයිද, මහානාමය, මෙපමණකින්ම උපාසක තෙමේ තමන්ට හිත පිණිසත්,අනුන්ට, හිත පිණිසත් පිළිපන්නේ වෙයි”.

භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරමින් දේශනා කරන ලද ඉහත විස්තරයට අනුව උපාසක උපාසිකාවගේ, එනම් ගිහි බුද්ධ ශ්‍රාවකයෙකු හෝ ශ්‍රාවිකාවකගේ පිළිවෙත් මඟ පැහැදිළිය. ශ්‍රද්ධා , සීල, චාග ,ප්‍රඥා සතරවිධ ගුණ සම්පත්ති දියුණු කරගත යුතු ආකාරය ඉන් පැහැදිලි කෙරේ. උපාසක උපාසිකාවන් විසින් භික්ෂූන් වහන්සේලා ඇසුරු කළ යුතු බව මෙහි අවධාරණය කෙරේ. ඒ පිළිවෙත් මඟ පුරන කල්‍යාණ මිත්‍ර පිරිසක් අවශ්‍ය නිසාය. එමෙන්ම ධර්මය ඇසීම, ඇසූ ධර්මය දැරීම, සිතෙහි දරාගත් ධර්මය නුවණින් පරීක්ෂා කොට බැලීම සහ එම ධර්මයෙහි හැසිරීම මෙහි වඩාත් අවධාරණය කෙරේ.

මෙම ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මඟ කොටස් දෙකක් ඔස්සේ පිළිපැදිය හැකිය. එනම් ලෞකික සහ ලෝකෝත්තර වශයෙනි. ඉතාමත් කෙටියෙන් දක්වන්නේ නම් ලෞකික වු පිළිවෙත් මාර්ගය සඳහා ප්‍රධාන වශයෙන්, මංගල, සිඟාලෝවාද , ව්‍යග්ඝ පජ්ජ, වසල, පරාභව ආදී සූත්‍ර ධර්මයන්හි පෙන්වා දෙන ධර්ම මාර්ගයම අනුගමනය කළ යුතු වන්නේය. එම සූත්‍ර ධර්මවලට අනුව කළ යුතු දෙය කිරීමත් නොකළ යුතු දේ නොකිරීමත් අවශ්‍යය. ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා නවලෝකෝත්තර ධර්ම මාර්ගයටම පිවිසිය යුතු වන්නේය. එනම් දස සංයෝජන එකින් එක සිඳ බිඳ ගලවා දමමින් සෝවාන් මාර්ග සහ ඵල ඔස්සේ ඉදිරියටම ගමන් කිරීමය. මෙහි අවසානය පරම සත්‍ය වූ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ කර ගැනීමය.එනම් දුක්ඛ (ඉපදීම් ආදි දුක්) සමුදය (එම දුකට හේතුව) නිරෝධ (දුකින් නිදහස්වීම) මාර්ග (දුකින් නිදහස් වීමේ මාර්ගය වු ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වශයෙනි.

මේ සඳහා විශාල ප්‍රමාණයක් වූ පරමාර්ථ ධර්මය මුල්කරගත් සූත්‍ර දේශනා අතුරින් මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාව උතුම් කොට සැලකිය හැකි වන්නේය. එහි ආරම්භයේම සඳහන් ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා .....” නම් වූ පාඨයෙන් කියවෙන්නේ සත්වයන්ගේ පිරිසුදුවීම පිණිස, සෝක සංතාප නැතිකිරීම පිණිස දුක් දොම්නස් බැහැර කිරිම පිණිස, නුවණ පහළ කරගැනීම පිණිස, නිවන් අවබෝධය පිණිස, එකම මාර්ගයක් පෙන්වා දෙන බවය. ඒ කායානුපස්සනා,වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා නම් වූ සතර සතිපට්ඨානය වැඩීමය. ඵල ලැබීමය.

සුපින්වත් වූ ඔබද පැමිණි මඟ නැවත නුවණින් මෙනෙහි කොට, දුරුවලකම් වෙත්නම් ඒවා හැකිතාක් දුරට නිවැරැදි කරගෙන , පිළිවෙත් මාර්ගය ඉදිරියටම පවත්වා ගැනීමට අදිටන් කරගැනීම අවශ්‍යය. අප සියලු දෙනාම, මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට, ජීවිත කාලය පුරාම පිළිවෙතින්ම ගරු කරමු.

සැමට ධර්මාවබෝධයම වේවා.!

උතුම් තුණුරුවන් සරණයි.