Print this Article


ජීවන ගමනේ බොදු පිළිවෙත

ජීවන ගමනේ බොදු පිළිවෙත

බුදුදහම වනාහි පාර ලෞකික ආගමක් ලෙසින් හඳුන්වාදීමට ඇතැම්හු උත්සාහ දරන මුත් ලෞකිකත්වයෙන් තොරවූ පාරලෞකිකත්වයක් බුද්ධාගමින් අවධාරණය නොකෙරෙන බව පැහැදිලි කරුණකි. පුද්ගලයාගේ මෙලොව සුබසිද්ධියට හේතු වන කරුණුූ බුදුරජාණන් වහන්සේ විසින් සෑම විටකම පාහේ දේශනා කර තිබේ.

සමාජයේ යහ පැවැත්ම සඳහා අත්‍යන්තරයෙන්ම ඉවහල් වනු ලබන සමාජානුගත වූ ආයතනයක් වන රාජ්‍යය පිළිබඳව හෝ රාජත්වය ගැන කෙලින්ම කරුණු පෙන්වා දී නැති මුත් යහපත් රාජ්‍යයක පැවැත්ම හා යහපත් පාලකයෙකු තුළ අන්තර්ගත විය යුතු ගුණ සමුදායන් කවරේද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර දී තිබේ. බුදුරදුන් විසින් දේශනා කරනු ලැබූ ධර්ම කොට්ඨාස බුද්ධාගමේ අනුගාමික පිරිස වූ සිවුවනක් පිරිස කෙරෙහිම දැඩි බලපෑමක් ඇති කර තිබේ.

පාලකයාගේ හා රාජ්‍ය සංවිධානයේ දැහැමි බව රටේ මෙන්ම රටවැසියාගේ ද සෞභාග්‍යය සඳහා ඉවහල් වන බවත් ඊට අනුගතව මිනිසුන්ගේ චින්තනයද සැකසෙන බවත් පාලකයන්ද තමන් දැහැමි පාලකයන්ය යන අදහස ඉස්මතු කිරීමට උනන්දු වූ බවත් පැහැදිලි කරුණකි. මෙම පදනමින් බුද්ධාගම පැතිර ගිය ඒ ඒ ප්‍රදේශවල විසූ පාලක පක්ෂය කෙරෙහි මෙන්ම පාලන පිළිවෙත සංවිධානය කෙරෙහිද එමඟින් ඍජු හා වක්‍ර බලපෑමක් කර ඇත.

බුද්ධාගමෙහි පෙන්වාදී තිබෙන පරමාදර්ශී රාජ්‍යයක්  (Ideal state) බිහි කිරීමෙහි ලා පූර්ණ වගකීම හා කාර්යභාරය පවරා තිබෙනුයේ පුද්ගලයෙකුගේ කාය ශක්තියට නොව ධර්මයටය. රාජාණ්ඩු ක්‍රමයක් පවතින රටක යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනැඟිය හැක්කේ ඒ රටේ පාලකයා ධර්මයට අනුව පාලන කටයුතු ගෙන යාමෙන් බවත් විශේෂයෙන් බෞද්ධ රාජ්‍යයක් ධර්මය පාලකයාට වඩා උත්තරීතරව සිටින්නේ යැයි දක්වන අදහස බෞද්ධ රාජ්‍යයක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශනයකි. බෞද්ධ රාජ්‍යයක නීතිය (ධර්මය) රටේ සාමාන්‍ය වැසියා කෙරෙහි මෙන්ම පාලකයා කෙරෙහිද එක ලෙසින්ම බලපැවැත්වීම ඉතා සුවිශේෂ ලක්ෂණයක් යැයි යූ.එන්. ඝෝෂාල් දක්වන අදහස දැහැමි සංකල්පය බෞද්ධ රාජ්‍යයක් තුළ කෙතෙක් දුරට ක්‍රියාත්මක වන්නේද යන්න තීරණය කිරීම සඳහා වැදගත් වේ.

පාලකයෙකුගේ දැහැමි බව රටක පැවැත්මට කෙතරම් තීරණාත්මකව බලපාන්නේ ද යන්න බුදුරදුන් විසින් ධම්මික හා අධම්මික සූත්‍රවලදී මනාව පැහැදිලි කර තිබේ. රජු දැහැමි වන විට රාජ පුරුෂයෝ, රටවැසියෝ, බ්‍රාහ්මණ හා ගෘහපතියන් මෙන්ම ජනපද වැසියන්ද දැහැමි වන බවත් ඍතු සංවරාදියද සමව පවත්නා බැවින් අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සමව හමනා බවත් සමව වාතයෝ හමනා කල්හි දේවතාවෝද ප්‍රකුපිත නොවන බවත් ඒ තුළින් වර්ෂාධාරාවෝ සමව වස්නා බවත් සම වර්ෂාධාරාවෝ ඇති කල්හි සශ්‍යඵලයෝ සාර්ථක වන බවත් ඒ මඟින් ජනයා ආයු වර්ණ සැප බලයන්ගෙන් යුක්ත වන බවත් දේශනා කොට තිබේ. පාලකයා අදැහැමි වන විට මුළු රටම දුක්ඛිත වන බව අධම්මික සූත්‍රයේ තවදුරටත් සඳහන්ව ඇත. බුද්ධාගමින් ඉස්මතු කර ඇති බෞද්ධ රාජ්‍යයක පාලකයෙකු තුළ අන්තර්ගත විය යුතු ගුණාංග පිළිබඳ භික්ෂූන් තුළ මෙන්ම මහජනතාව ද දැන සිටිය බැවින් තම රටේ අභිවෘද්ධිය පතා පාලකයාගේ දැහැමි බව ඔවුන් අගය කළ අතර එබඳු පාලකයන් විෂයෙහි තම පූර්ණ සහාය ලබාදීමට ද පසුබට නොවීය.

බුදුන් වහන්සේ විසින් විනය පිටකයේදී පාලකයනට භික්ෂූන් අවනත විය යුතු යැයි ප්‍රඥප්තියක් පනවා ඇත. මෙලෙසින් භික්ෂූන්ගේ පක්ෂපාතිත්වය හිමිකර ගත හැකි වනුයේ කිනම් පාලකයනට ද යන්න පිළිබඳව බුද්ධඝෝෂාචාරින් විසින් විවරණය කර තිබේ. එනම් ධර්මිෂ්ට ක්‍රියාවල දී පාලකයාට අවනත විය හැකිය. එහෙත් අධර්මිෂ්ඨ ක්‍රියාවලදී කිසිකෙනෙකුට ඔහු කවරෙකු වුවද අවනත නොවිය යුතුය යන්නයි. වංසත්ථප්පකාසිනීයේ මේ කරුණ ඉතා පැහැදිලි ව සඳහන් කරයි. එයින් ද පැහැදිලි වනුයේ දැහැමි පාලකයෙකුට බුද්ධාගමෙන් හිමිකර දී ඇති ස්ථානයයි. පාලකයෙකු හා පාලන සංවිධානයක මෙම ගුණාංගය පිහිටීම පාලන තන්ත්‍රයකින් අපේක්ෂිත යහපාලනයට හොඳ පදනමක් ඇති කර ගැනීමට හේතුවක් වේ. එමෙන්ම දැහැමි ආකල්පයක් වැසියන් තුළ ඇතිවීම පාලකයා හා පාලන සංවිධානය ගැන ඇගයීමට මිණුම් දණ්ඩක් ද වේ.

අදැහැමි ක්‍රියාවල හෝ සමාජ විරෝධි ක්‍රියාවල නිරත විමට පාලකයනට ඇති ඉඩ එමඟින් එක්තරා ආකාරයකට සීමා වීමක්ද වෙයි. පාලන සංවිධානයක කටයුතු කරන ලද පාලන නිලධාරින් ගැන ඇගයීමටද මේ මිනුම් දඬුවම ම යොදාගත් බව පැහැදිලි කරුණකි. එබැවින් පාලකයන්ටද හා නිලධාරින්ට අත්තමෝමතිකව ක්‍රියා කිරීමට ඇති ඉඩ සීමා විය. යහපාලනයකට අවශ්‍ය පසුතලය එමඟින් සැකසීමක්ද වේ.

පාලකයන් කෙරෙහි මෙන්ම රටක යහපාලනයක් ඇතිවිට පාලන තන්ත්‍රය විධිමත්ව සකස්වීම කෙරෙහි බලපෑ එක් බෞද්ධ සංකල්පයක් ලෙසින් දසරාජ ධර්මය පෙන්විය හැකිය.

සමාජ ක්‍රමයේ ස්ථාවර බවද සකල විශ්වයේ ක්‍රියාකාරිත්වය රැඳී පවතිනුයේ පාලකයාගේ දැහැමි චරියාව මත බව බුදුරදුන් විසින් අංගුත්තර නිකායේදී දේශනා කර තිබේ. පරමාදර්ශි බෞද්ධ රජු වූ චක්‍රවර්ති රජුගේ අවමංගල්‍යයේ දී ද භෂ්මාවශේෂ තැම්පත් කිරීමේදී අනුගමනය කළ යුතු වන්නේ එකම පිළිවෙතක් බව සූත්‍රගත (ථූපාරාහ සූත්‍රය) තොරතුරුවලින් පැහැදිලි වේ.

ස්තූප බැඳ බුදුරදුන්ට මෙන්ම හරසර දැක්විය යුතු පුද්ගලයෙකු බවට චක්‍රවර්ති රජු පත් වීමෙන් පෙනීයනුයේ බෞද්ධ රාජ්‍යයක පාලකයෙකුගේ චරියා පද්ධතිය කෙලෙසින් කිනම් ආකාරයකට සකස් විය යුතු ද යන්නයි.චක්‍රවර්ති රජුගේ මෙන්ම සියලුම පාලකයන්ගේ චරිතය සකස් කර ගැනීමෙහිලා ප්‍රයෝජනවත් චරියා පද්ධතියක් ලෙසින් දසරාජ ධර්ම වත් පෙන්වීමට පුළුවන. ජාතක කථා සාහිත්‍යයට අනුව සදාචාරාත්මක හා ආදර්ශවත් චරිත ගොඩනගා ගත් පාලක පිරිස් දසරාජ ධර්ම ගුණාංග මගින් වර්ධනය කර ගනිමින් වඩාත් සාධාරණ හා විධිමත් පාලන තන්ත්‍රයක් ගෙන යනු ලැබූ බවත් ඒ මඟින් පාලකයන්ට සෙතක් සැලසුන අයුරුත් නිදසුන් සහිතව බෞද්ධ සාහිත්‍යය පෙන්වා දී තිබේ.

පුරාතනයේ පටන් වඩාත් පොදු ජනතාවගේ හදවත්වලට සමීප වූ බෞද්ධ සාහිත්‍ය වූයේ ජාතක පාලියයි. එබැවින් නිරතුරුව තමන් ඇසූ ජාතක කථාවල දැහැමි හා අදැහැමි පාලකයන් පිළිබඳව හා ඔවුන්ගේ පාලන කාර්යයයේ සාර්ථක අසාර්ථක බව ගැන වැටහීමක් වැසියන්ට ලැබෙන්නට ඇත. භික්ෂූන් විසින් දැහැමි පාලකයන් පිළිබඳව නිරතුරුව කථාබස් කිරීම මෙන්ම එවැනි තොරතුරු අළලා ධර්ම දේශනා කිරීම නිසාද එම අදහස් ජනතා හදවත්වල තැම්පත් වූ කරුණූ බවට පත්විය.

රටක පාලනය සාමකාමීව ගෙන යාමටත් සදාචාරාත්මක පාර්ශ්වය තුළ වර්ධනයක් ඇතිවීම කෙරෙහි ඍජු වශයෙන් බලපානු ලබන එසේම පාලකයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ගුණාංග හතක් පිළිබඳව බුදුරදුන් විසින් වජ්ජි රාජ්‍ය අරබයා දේශනා කර තිබේ. අපරාජිත පිරිසක් ලෙසින් වැජඹීම සඳහා වජ්ජීන් අපරිහානීය ධර්ම ආරක්ෂා කළ බව බුදුන් වහන්සේ විසින් සුනීධ වස්සකාර ඇමැතියාට දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේදී පැහැදිලි කරන ලදී. පාලකයනට හා මුළු රාජ්‍යයටම හිතකර වූ අපරිහානිය ධර්ම කොට්ඨාස හතක් ඇති බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එනම් නිතර රැස්වීම සමඟිව එක් වී සමඟිව කටයුතු කොට සමඟිව විසිර යෑම ආදී සප්ත අපරිහානීය ධර්ම එක් අතකින් සාමුහික පාලන ක්‍රියාකාරිත්වයකට හොඳ නිදසුනක් වනවා පමණක් නොව සාමය, සමඟිය,සමාදානය සංහිඳියාව මෙන්ම පාලනයේ විනිවිදභාවයත් දූෂණ හා අක්‍රමිකතා අවම කොට යහපැවැත්ම වඩාත් සමාජය තුළ තහවුරු කරලීමටද හේතුවක් වන බව පැහැදිලිය.

දානය, පි‍්‍රයවචනය, අර්ථචරියාව හා සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන්ද ජනතාවට සැලකීමද රටක යහපැවැත්ම ස්ථාපිත කරලීම පිණිස පාලකයෙකු විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙසින් බුදුදහමින් අවධාරණය කොට තිබේ. එමෙන්ම පාලිතයන් අතර සංවරත්වය ඇති කරලීමටත් අවිහිංසාව මතුකරලීමටත් සාමුහික බව හා සමගිය තහවුරුකරලීම පිණිසද ප්‍රායෝගිකව මෙම චර්යා පද්ධතිය ක්‍රියාවට නැඟීම ඔස්සේ ලඟාකර ගැනීමට අවකාශ සැලසෙන බව බුදුදහමින් අවධාරිතය.

ආත්මාර්ථයට වඩා පරාර්ථය මුල්තැන්හිලා සලකමින් රටවැසියන් සිය දරුවන් ලෙසින් සලකා ඔවුන්ගේ අභිලාෂයන් නිවැරැදිව තේරුම් ගනිමින් පාලකයෙකු පාලනයට ප්‍රවේශවන්නේ නම් එමඟින් පාලක පාලිත දෙපාර්ශ්වයටම අර්ථයක් සිදුවන අන්දමත් සාමය සෞභාග්‍ය හා මෙන්ම සංවරත්වයක්ද ඇති වෙමින් යහපැවැත්මට අදාළවන යහපාලනයක් ගොඩනැඟිය හැකි බව බුදුදහමින් පෙන්වා දෙන වැදගත් කරුණක් බව කිව යුතුය.