Print this Article


පින් කිරීමට ඉක්මන් විය යුතු

පින් කිරීමට ඉක්මන් විය යුතු

අද මා ඔබට විස්තර කර දෙන්නේ පින් කිරීම සම්බන්ධ බුද්ධ දේශනාව ඇසුරින් කරුණු කීපයක්. බුදුරජාණන් වහන්සේ “මා පුඤ්ඤභාය” නම් සූත්‍රය දේශනා කර තිබෙන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ දි උන්වහන්සේ පැහැදිලි කරනවා පින් කරන්නෝ කවරම දාකවත් පින් වැඩෙන වැඩවල යෙදෙන්නට බිය වන්නේ නැහැ කියා. හැබැයි එයින්ම කියවෙනවා පව් වැඩ කරන්නට නම් බිය වෙන්නට ඕන බව, මොකද? පිනේ ප්‍රතිවිරුද්ධ වචනය තමා පව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.

මහණෙනි, බොහෝ කාලයක් පින්කම් කරන විට බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙනවා කියලා. එහෙම නම් එයින්ම කියවෙනවා නේද? ටික කලක් පින්කම් කළොත් එයින් ලැබෙන විපාකයන් ටික කලකට පමණක් සීමා වෙන බව. ඒ නිසා පින්කම් කරන විට නිතර නිතර පින්කම් කළ යුතු වෙනවා. නැතිනම් පින විඳලා අවසාන වුණහම ඒ අපගේ පින හිඳිලා යනවා. එවිට ඔහුට හෝ ඇයට එතෙක් දැනුණ සැප විපාක අහිමි වෙනවා.

මහබෝසතුන් පිනේ විපාකය අත්වින් ද අයුරු ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම “මා පුඤ්ඤභාය” සූත්‍රයේදී ප්‍රකාශ කරනවා. පින කියන එකේ අදහස සැප කියන අර්ථය බව . උන්වහන්සේගේ විශිෂ්ටත්වය තමා උන්වහන්සේ මේ කියන දේ අපට කියා දෙන්නේ තමන්වහන්සේ එයින් අත්දැකල වීම, ඒක ශාස්තෘවරයෙකු තුළ පැවැති අනන්‍ය ලක්ෂණයක්, උන්වහන්සේ තවත් ප්‍රකාශ කරනවා. බොහෝ කාලයක් පින්දහම්වල යෙදුණ උන්වහන්සේ බොහොම සැප ගෙන දෙන පි‍්‍රය මනාප බව උපදවන සිත් කාවදින නොයෙක් සැප විපාක නැවත නැවත වින්ද බව, එමෙන්ම මේ දීර්ඝ කාලයක් පින්දහම්වල යෙදුණ උන්වහන්සේ බොහොම සැප ගෙන දෙන පි‍්‍රය මනාප බව උපදවන සිත් කාවදින නොයෙක් සැප විපාක නැවත නැවත වින්ද බව .එමෙන්ම මේ දීර්ඝ කාලය සත්වසක් පමණ බෝධිසත්වයන් වහන්සේ මෙත් සිත වඩමින් එය වැඩි දියුණු කරමින් මෙම අප්‍රමාණ පුණ්‍ය විපාක වින්ද බව, එහිදී උන්වහන්සේ අනුගමනය කර ඇති පිළිවෙළක් තිබෙනවා. එය තමා තමන්වහන්සේගේ සිත එකඟ කර සිත තැන්පත් භාවයෙන් මෙන්ම මෛත්‍රී සහගත බවින් පවත්වා ගැනීමට මෛත්‍රි භාවනාවේ යෙදීම, ඒ උන්වහන්සේ එහිද විපාක ලෙස ලෞකික ධ්‍යාන උපදවා කල්ප හතක් ඉක්ම යන තුරු සුවසේ ආභස්සර නම් බ්‍රහ්ම ලොවෙහි උපත ලබා ගැනීමට හැකි වීම යි . එමෙන්ම මේ කල්ප හත තුළ උන්වහන්සේ සිය දෙනෙතින් ලෝක විනාශය සිදුවන කල්හි පවා එය නො දැක ඒ විනාශයට ගොදුරු නොවී සුවසේ පි‍්‍රය මනාප සිතින් ජීවත්වීමේ හැකියාව ලැබීම, එපමණකුත් නො වෙයි. උන්වහන්සේගේ හැකියාව තිබුණා එම බ්‍රහ්ම ලෝකයන්හි උප්පත්තිය ලබා සිටිය වෙනත් බඹුන්ට වඩා ඉහළ තලයක සියලු සැප සම්පත් පහසුකම් විඳීමට හැකියාව. තවද කරන ලද පින්වල මහත් බව නිසාම තිස්හය වතාවක්ම තව්තිසා දිව්‍ය ලෝකයෙහි ශක්‍රයා වී පහළ වීමේ විපාකය ද ලැබුණා. එම ශක්‍රපදවි ලාභය අත්විඳීමට හැකියාව ලැබුණා. සයවතාවකට වඩා සක්විති රාජ තනතුර භුක්ති විඳීමට අවස්ථාව සැලසුණා. ඒ අවස්ථාවලදී චක්‍රරත්න , හස්තිරත්න, අශ්වරත්න, මණිරත්න, ස්ත්‍රිරත්න, ගහපතිරත්න, පරිනායකරත්න යන සප්තරත්නයට ලැබීමේ භාග්‍යයක් මම ලැබුවා. මහසයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවිය මගේ පාලනයට යටත් වූවා. මෙසේ රාජ්‍ය කරන ආකාරයේ අපූරු වෙනසක් තිබුනා. ඒක තමා පින්වත, මෙහි ඇති වැදගත්කම වන්නේ, මෙය ධාර්මික වූවක්ම වුණා. ඒ වගේම ධර්මරාජ වුණා. එය කාමභෝගි සසර දිග් කිරීමට හේතු කර ගත්තේ නැහැ කියන එකයි .මෙයින් කියන සරල අදහස වන්නේ, සැප සම්පත් අනිසි ලෙස පරිහරණය නො කර හැමවිටම යහපත කුමක් දැයි හඳුනා ගෙන ඊට අනුගතව ක්‍රියා කිරිමයි.

එම සම්පත් අසරණයන්ට පිහිට වීම ,අසරණ සත්වයන් දුකින් මුදවාලීමටත්, හේතුවන ක්‍රියාවන්හි මෙම සක්විති පදවිය යොදා ගත්තා. ඒ නිසාම ධර්මරාජ තත්වයට පත් වීමට මෙම රජ පදවිය භාවිත කළේ, කෙටියෙන්ම කියනවා නම් දසකුසල ධර්මයන් හි ම යෙදී කටයුතු කළා. එම රාජ පදවිය ධර්මරාජ පදවියන් ම වූවා. එය කොපමණ දුරකට ධාර්මික වූවා ද කියනවා නම් ජනතාවගෙන් මුදල් අය කර අසහනයට පත් කර දඩගැසීම් ආදි කිසිවක් කළේ නැහැ. ජනතාව පෙළා අයබදු අය කළේ නැහැ. එමෙන්ම විවිධ හිංසා සහිත දඬුවම් දෙමින් ජනතාවට හිරිහැර ලෙසට ක්‍රියා කිරීමක් කළේ නැහැ. කොතනකවත් අවි ආයුධ භාවිත කිරීමක් මේ රජතුමා විසින් සිදු කෙරුණේ නැහැ. එමෙන්ම ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන්ට සැපත ගෙන දෙන ආකාරයෙන්ම අවශ්‍ය රාජ්‍ය පාලනය සිදු කෙරුවා. මේ නිසාම රටේ කොතනකවත් සාහසික ක්‍රියාවක් සිදු වුණෙත් නැහැ. මෙය ධාර්මික රාජ්‍ය පාලනයක ස්වභාවයයි.

පින් කිරීමට ඇති බාධා

මෙහිදී අපේ අවධානය යොමු විය යුතු කරුණ තමා අද රජවරු එහෙම නැතිනම් පාලකයෝ ලෝකය පාලනය කරන විදියට මෙම ධාර්මික රාජ්‍ය පාලනය අපට දකින්නට පුළුවන්ද? යන්න. අපට දක්නට ලැබෙන විදියට අද රජවරුන්ගේ එහෙම නැත්නම් රාජ්‍ය පාලනයට විරුද්ධ හැම රටකම වගේ නොයෙක් ගැටලු ඇති වී තිබෙනවා. හොඳ කල්පනාවෙන් විමසා බැලුවොත් මේකට ප්‍රධාන හේතුව තමා ජනතාවට විඳින්ට සිදුවෙලා තිබෙන නොයෙකුත් බදු ගෙවීම්,අවි ආයුධ සන්නද්ධව ක්‍රියා කිරීම, සමහර විට ජනතාව එයින් පීඩනයට පත් වෙනවා. එවිට ජනතාව රජයන්ට විරුද්ධ කැරලි කෝලාහල ඇති කරනවා.

මෙහි මේ විදියට කවරදාකවත් අවසානයක් ඇති වන්නේ නැහැ. ඒ වුණත් ධාර්මික රාජ්‍ය පාලනයේදී ජනතාව රජු කෙරෙහි තබන විශ්වාසය නිසා රාජ්‍ය පාලනය පහසු වෙනවා. මේ නිසා රජවරුන් හැමවිටම තම සම්පත් වැඩි වෙනකොට මෙත් සිතින් තමන්ට ලැබෙන සැප සම්පත් තනියම ප්‍රයෝජනයට නො ගෙන ජනතාව සමඟ බෙදා හදාගෙන පරිභෝග කිරීමේ පුරුද්ද ඇති කර ගන්නට යොමු වෙනවා.පින්කම් කරලා පසුව සැප විඳින අය මේ ආකාරයෙන් ක්‍රියා කළහම නැවතත් නැවතත් සැප ඇති ස්ථානවල උත්පත්තිය ලබනවා. කවරම දාකවත් දුකට පත් වන්නේ නැහැ.

ඒ නිසා තමන්වහන්සේ බෝසත් පාරමි පුරන අවදිවල පින්කම් කිරීමෙන් ලද සම්පත්තිය පිළිබඳව මා පුඤ්ඤභාසි සූත්‍ර දේශනාවේදී මේ ආකාරයෙන් අවධාරණ කර ප්‍රකාශ කර තිබෙනවා“ “යම් කෙනෙක් සැප කැමැතිද? ඒ අය මේ ජීවිතය ගත කළ යුතු වන්නේ මේ විදියටයි කියා.

උන්වහන්සේ ප්‍රකාශ කරනවා. සැමවිටම තමන් සැප සම්පත් ධාර්මිකව ලබලා එහි විපාක විඳින කොට තමන් ධාර්මික වෙලා ජනතාව දෙස මෙත් සිතුවිලි වඩා ජනතාවටත් ඒවා බෙදා හදා දීල ප්‍රයෝජනයට ගන්නට පුරුදු වෙන්නට ඕන. මොකද? ඒක පින්කමක්, එහි විපාක ලැබෙනවා.

සංසාරයෙහි එවැනි පින්කම් කිරීමෙන් දුක් සහිත ලෝකවල නැවත උත්පත්තිය ලැබීම අඩු වෙනවා. මේ මිනිස් ලෝකයෙහි දුක් සහිත කාලයන් ඇති වන විට වෙනත් ආභස්සර වැනි ලෝකවල උත්පත්තිය ලබනවා. කිසිවිටෙක තම දෙනෙතින් වත් සාමාන්‍ය මේ මිනිස් ලෝකයේ සිදුවන ස්වභාවික විපත් ආදි කිසිදු ආපදාවක් නො දැක අප්‍රමාණ සතුටකින් ජීවත් වීමේ භාග්‍යය එම බ්‍රහ්ම ලෝකවල තිබෙන නිසා. එහෙන්ම මේ මිනිස් ලෝකය සුවදායක වී ලෝකයෙහි ඇති තත්වය කියා දෙන බුදුවරු පහළ වෙන කාලයන්හි මේ මිනිස් ලොව ඉපදී සසර කෙටි කර ගැනීමේ ශක්තිය උදා කර ගන්නවා.

පිනේ විපාකය සතුට යි සැපතයි

මේ විදියට පින් කරන උතුමෝ පින් කරන අවස්ථාවේ දීත්, එම භවයේ දීත්, පින්කම් කර සතුටක් ලබනවා වගේ ම නැවත උපදින භවයේදී පිනෙන් අඩුවක් නැති සුවදායක ජීවිත ගත කිරීමේ වාසනාව ද උදා කරගන්නවා. මේ පින කියා ධර්මයෙහි උගන්වන්නේත් සතුට කියන තේරුමෙනුයි. අපි අද කථා කරන එක් එක් පුද්ගලයාගේ වාසනාව කියලා කියන්නේත් මෙයටම තමා. ධම්මපදයේ මේ කරුණ පැහැදිලි කරනවා. පින් කරන අය මෙලොවත් සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා කියලා.

“ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤ්ඤෝ උභයත්ථ මොදති
පුඤ්ඤං මේ කතන්ති මොදති
හිය්‍යො මොදති සුග්ගතිං ගතො”

එමෙන්ම උන්වහන්සේ ප්‍රකාශ කරනවා පින් විපාකය සැප බව තේරුම් ගත් පුද්ගලයා පින්කම් නිතර නිතර සිදු කරන බව, මොකද? පින්කමක් කරලා එහිත් සැප විපාක විඳිනවා වගේම ඒ සැප විපාක විඳලා පිනේ ශක්තිය අඩු වුණහම නැවතත් මුල් තත්වයට වැටෙනවා විඳින සැපත් අවසන් වෙනවා. ඒනිසා පිනේ විපාකය සැප බව තේරුම් ගත් නුවණැති අය නැවත නැවතත් පින්කම් කිරීමෙන් නැවත නැවතත් දිගටම සැප විපාකම ලබනවා. ඒ බවත් පැහැදිලි කරනවා. ධම්මපදයේ එන මේ ගාථාවෙන්.

පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා කයිරාතෙතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස වුච්චයො”

බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දෙන වැදගත්ම අරුත තමා පින්කම් කරන්නේ කාමභෝගි සැප ප්‍රාර්ථනා කරමින් නොවන බව, එහෙම වුණොත් සිදු වන්නේ සසර දිගු වීමයි. අපි පින්කම් කරන විට සිතිය යුත්තේ පිනෙන් ලැබෙන ලෞකික සැපයත් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මය තුළ පමණක්ම අප හිර වී නො සිටිය යුතු බව, ඒ නිසා පිනේ විපාකයෙන් සුවසේ ජීවත් වන පින් සිතිවිලි වඩමින් වඩවඩාත් අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් සිත දියුණු කරගැනීමට උනන්දු විය යුතු බව, බෝධි සත්වයන් වහන්සේ ධර්මරාජ තත්වයට පත් වූයේ මේ නිසා බව. අප සිහියට ගත යුතු වෙනවා. බෝසතුන් කළේ නිතර නිතර පින්කම්වල යෙදී සසර කෙටි කරගත් එකයි.