Print this Article


පුද්ගල විශේෂතා

පුද්ගල විශේෂතා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කත මෙ තයො
අරුකුපමචිත්තො පුග්ගලො ,විජ්ජුපමචිත්තො පුග්ගලො, වජිරුපමචිත්තො පුග්ගලොති

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අද මැදින්පුර පොහෝ දිනයයි. බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව තමන් වහන්සේගේ පියතුමා ඇතුළු ඤාතීන් හමුවීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම මෙන්ම නන්ද හා රාහුල යන ශාක්‍ය කුමාරවරුන්ට ශාසනික දායාදය ලබාදීම හෙවත් උතුම් ප්‍රවාජ්‍යාවට පත් කිරීම ආදි කටයුතු මේ මැදින් පුන් පොහෝ දිනයේදී සිදුවී ඇති නිසා ශාසනික වශයෙන් අප කාටත් වැදගත් වෙයි.

අද දින සදහම් කැමති ඔබට දේශනා කරනු ලබන්නේ පුද්ගල විශේෂයෙන් ත්‍රිත්වයක් පිළිබඳ කරුණු ඇතුළත් අංගුත්තර නිකායේ තික නිපාතයේ එන වජිරූපම සූත්‍රයේ ඇතුළත් ධර්ම විභාගයයි. වරක් බුදුරජාණන් වහන්සේ පුද්ගලයින් හා ඔවුන්ගේ චිත්ත චෛතසිකයන් ක්‍රියා කාරිත්වය අනුව වර්ග තුනක් යටතේ විග්‍රහ කොට දේශනා කළහ. එනම්, පරණ වණයකට (තුවාලයකට) සමාන සිත් ඇති පුද්ගලයා විදුලි එළියකට සමාන සිත් ඇති පුද්ගලයා හා වජ්‍රයකට (දියමන්තියකට) සමාන සිත් ඇති පුද්ගලයා යනුවෙනි. ඒ අනුව පුද්ගලයන්ගේ චිත්ත චෛතසික ක්‍රියාකාරිත්වය පිළිබඳව පුද්ගල විභේදනයන් විස්තර වශයෙන් හදුනාගනිමු.

පරණ වණයකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙසේය.මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රෝධ කරයිද, ක්‍රෝධය බහුල කොට ඇත්තේද ස්වල්ප දෙයක් කියන ලද නමුත් ගැටෙයි ද, කිපෙයි ද, ප්‍රකෘතිය අත්හරි ද, තද බවට පැමිණෙයිද,කෝපයක්, ද්වේෂයත්,නොසතුටු බවත් පහළ කරයිද, උදාහරණයක් ලෙස පරණ වණයක් (තුවාලයක්) දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද කල්හි, බොහෝ සෙයින් ලේ වගුරුවයි ද, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේද ස්වල්පයක් කියන ලද නමුත් එහි ලගියි ද ,කිපෙයිද, ස්වභාවය අත්හරි ද, තද බවට පැමිණෙයිද, කෝපය ද ද්වේෂයද නොසතුටු ස්වභාවයද පහළ කරයිද, මේ පරණ වණයනට සමාන සිත් ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.

කතමො ච, භික්ඛවෙ, අතුරුපමචිත්තො, පුග්ගලො ඉධ, භික්ඛවෙ, එකච්චො, පුග්ගලො, කොධනො හොති උපායසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති,සෙය්‍යථාපි, භික්ඛවෙ,දුට්ඨාරුකො, කට්ඨෙන වා කඨලාය වා සට්ටිතො භීය්‍යෙසොමත්තාය ආසවං දෙති එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්ඡො පුග්ගලො කොධනො හොති උපායාපබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්්ච අප්පච්චයඤ්ච පාතුකරොති,අයං වුච්චති, භික්ඛවෙ,අරුකුපමවිත්තොපුග්ගලො

විදුලියට සමාන සිත් ඇති පුද්ගලයා

විදුලියකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙසේය. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මේ දුක යැයි තත් වූ පරිද්දෙන් දනියි ද, මේ දුක් ඉපදීමට හේතුව යැයි තත් වූ පරිද්දෙන් දනියි ද, මේදුක් වැළකීම් යැයි තත් වූ පරිද්දෙන් දනීද,මේ දුක් වැළැක්මට යන ප්‍රතිපදාව යැයි තත් වූ පරිද්දෙන් දනියිද, යම්සේ ඇස් ඇත්තා වූ පුරුෂයෙක් අන්ධකාර රාත්‍රියෙහි විදුලි එළියක් ආධාරයෙන් රූපයන් දක්නේ වෙයිද, එසේම මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් මේ දුක යැයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක් ඉපදීමට හේතුව යැයි තත් වූ පරිද්දෙන් දනියිද, මේ දුක් වැළකීම යැයි තත් වූ පරිද්දෙන් දනියිද, වේ දුක් නිරෝධයට ප්‍රතිපදාව යැයි තත් වූ පරිද්දෙන් දනියිද,මේ විදුලියට සමාන සිත් ඇත්තා වූ පුද්ගලයා යැයි කියනු ලැබේ. කතමො ච, භික්ඛවෙ, විජ්ජූපමචිත්තො, පුග්ගලො, ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ‘ඉදං දුක්ඛ ‘න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයෝති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරෝධො ‘ති යතාභූතං පජානාති,’ ‘අයං දුක්ඛනිරොධගාමිනි පටිපදා’ති යථාභූතං පජානාති, සෙය්‍යථාපි භික්ඛවෙ, චක්ඛුවා, පුරිසො රක්තන්ධකාරතිමිසායං විජ්ජන්තරිකාය රූපානි පස්සෙය්‍ය එවමෙවං ඛො භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො, ‘ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, පෙ. ‘අයං දුක්ඛනිරෝධගාමිනි පටිපදාති යථාභූතං ජපානාති,අයං වුච්චති, භික්ඛවෙ,විජ්ජුපමචිත්තො පුග්ගලො

දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයා දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙසේය. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාව ද මේ ආත්මයෙහිම ඔහුගේ විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරයිද,වජ්‍රයට බිඳිය නොහැකි වූ කිසි මැණිකක් හෝ ගලක් හෝ නැත්තේ වේද,එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කෙලෙසුන්ගේ ක්ෂය වීමෙන්,ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාව ද මේ ආත්ම භාවයෙහිම ඔහුගේ විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරයිද, දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.

කතමොව, භික්ඛවෙ, වජිරූපමචිත්තො පුග්ගලො, ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං වෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, සෙය්‍යාථාපි භික්ඛවෙ, වජිරස්ස නත්ථි කිඤ්චි අහෙජ්ජං මණී වා පාසාණො වා, එවමෙවං ඛො, භික්ඛවෙ,ඉධෙකච්චො පුග්ගලො ආසවානං ඛයා..පෙ...උපසම්පජ්ජ විහරති අයං වුච්චති,භික්ඛවෙ, වජිරූපමචිත්තො, පුග්ගලො, ‘ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති මේ පුද්ගලයන් තුන්දෙනා ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්, යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ මෙම දම්දෙසුම නිම කළසේක. භික්ෂූන් වහන්සේලා එය සතුටින් පිළිගත්හ.මේ පුද්ගල උපමාවන් මෙසේ විස්තර කළ හැක. 1.පරණ වණයකට සමාන සිත් ඇති පුද්ගලයා – සුළු වරදකින් වුව නිතර කිපෙන ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයා 2.විදුලියකට සමාන සිත් ඇති පුද්ගලයා –චතුරාර්ය සත්‍ය මිශි‍්‍රත සද්ධර්මය විශ්වාස කරන, අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයා 3.දියමන්තියකට සමාන සිත් ඇති පුද්ගලයා – සියලු කෙලෙසුන් නසා අර්හත් තත්ත්වයට පත් වූ රහතන් වහන්සේ අප සිතේ පවතින කෙලෙස් නිසා අපට විවිධ අවස්ථාවන්හි තරහ,ක්‍රෝධය වෛරය පළිගැනීම ආදී මානසික තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ඒ අපව කෙලෙස් වලට යටත්ව සිටින නිසාය.මෙම පහත් මානසික තත්ත්වයන්ට අප නිතර නිතර මුහුණ දෙන්නේ නම් ඒ අය සතුව ඇත්තේ ලාමක සිතකි. ඒ තුළින් නිතර තමා සමඟ මෙන්ම අන්‍යයන් සමඟද ගැටුම් ඇතිකර ගැනීමට පෙළඹෙයි. එබඳු ලාමක සිතක ස්වභාවය, ධර්මයේදී උපමා කරන්නේ පැරණි වණයකටය.

අපේ සිතේ ඇතිවන මෙම ලාමක සිතුවිලි දැන හැඳිනගෙන ඒවා නැවත නොඉපදවීම සඳහා යමෙක් උත්සාහ කරන්නේ නම් එම පුද්ගලයා සම්බුදුදහම පිළිපදින තැනැත්තෙකි. සම්බුදු දහම අනුගමනය කරන්නෙකි. කෙලෙස් යටපත් කිරීම, සඳහා උත්සාහ කරන්නෙකි.

කෙලෙස් ප්‍රහීණය සඳහා උත්සාහ කරන්නෙකි. එම පුද්ගලයා උපමා කරන්නේ විදුලියකටය. එනම් අන්ධකාරය තුළින් ආලෝකය කරා ලඟාවන උතුම් පුද්ගලයෙකු නිසාය.

නිකෙලෙස් සිත දියමන්තියකට සමානය. එනම් සියලු කෙලෙස් නසා කෙලෙස්වලට යටත්වීමක් නැති උතුම් අර්හත් තත්වයට පත්වූ රහතන් වහන්සේ මින් අවධාරණය කරයි. එබදු උතුමන් ලෝක ස්වභාවය මනාව අවබෝධ කොට ඇති හෙයින්, කිසිවක් සමඟත් කිසිවෙකු සමඟත් ගැටුම් ඇති නොකරගනී. එය දියමන්තියක වෙනත් කිසියම් කහටක් නොරැදෙන්නාක් මෙනි. හුදෙක් අන්‍යයන්ට පි‍්‍රය උපදවමින් ආලෝකයක්ම ලබාදෙන හෙයිනි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.