Print this Article


ආහාරයෙහි පමණ දැනීම

ආහාරයෙහි පමණ දැනීම

සියලු සත්වයෝ ආහාරය නිසා ජීවත් වෙති. ආහාරයෙන් තොරව කිසිදු ජීවියෙකුගේ පැවැත්මක් සිදු නොවේ. ආහාරය යනුවෙන් බුදුසමය අදහස් කරන්නේ අප දෛනිකව ගන්නා විවිධ ආහාර පාන පමණක් නොව පුද්ගලයෙකුගේ මානසික සංවර්ධනය පිණිස අවශ්‍ය සාධක ද එයින් අදහස් කොට ඇත. පුද්ගලයෙකුගේ කායික හා මානසික පැවැත්ම පිණිස අවශ්‍ය ආහාර වර්ග හතරක් බුදුසමයේ දැක්වේ. කබලිංකාර ආහාර, ඵස්සාහාර, මනෝසඤ්චෙතනාහාර, විඤ්ඤාණාහාර යනු එම ආහාර වර්ග හතරයි.

එයින් පළමු ආහාරය භෞතික වන අතර සෙසු ආහාර වර්ග තුන සෘජුවම මනස හා එහි ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධවන හෙයින් මනෝවිද්‍යාත්මක වේ. එයින් පළමු කබලිංකාර ආහාර යන්නෙන් අදහස් වන්නේ අප සාමාන්‍ය වශයෙන් ගනු ලබන විවිධ ආහාර පාන වර්ගය. පුද්ගලයෙක් මෙලොවට බිහිවූ අවස්ථාවේ සිට ගන්නා මව්කිරි පටන් ගොරෝසු ආහාර දක්වා සියල්ල මේ ගණයට අයත් වේ. මෙම ආහාර මඟින් ලැබෙන පෝෂණයෙන් ශාරීරිකව වර්ධනය වීමට අමතරම පංච ඉන්ද්‍රියන් මඟින් අරමුණු ගැනීමට අවශ්‍ය ශක්තිය වර්ධනය කරනු ලැබේ.

දෙවන ඵස්සාහාර මඟින් පංච ඉන්ද්‍රියන්ගෙන් ලබන අත්දැකීම් ස්පර්ෂ කිරීමේ හැකියාව ඇති වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ හා ධර්ම (සිතිවිලි) යන අරමුණු ග්‍රහණය කරගැනීමේ ශක්තිය ලැබීමයි. ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් නැවත නැවතත් කල්පනා කොට සිතට ලබාදෙන ආහාර මනෝසඤ්චෙතනා යනුවෙන් හැඳින්වේ. පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා අරමුණු හඳුනා ගැනීමේ කාර්යය සිදුවන්නේ විඤ්ඤාණාහාර මඟින්ය. මෙම ආහාර වර්ග තුන පුද්ගලයාගේ මානසික ක්‍රියාවලිය හා සම්බන්ධ වේ. මෙම ලිපියෙන් අවධානය යොමුකරන්නේ පළමු කබලිංකාර ආහාරය ගැනය.

කායික පැවැත්ම පිණිස ඉවහල් වන ප්‍රධානම සාධකය වන්නේ අප විසින් ගනු ලබන ආහාර පානය. එම ආහාර පාන අපගේ ශාරීරික වර්ධනය පිණිසත් එහි නිරෝගී බව පිණිසත් හේතුවන අතර ඇතැම්විට මෙම ආහාර පාන අපගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට හානිකරන අවස්ථාද සුලබය. අප ගන්නා ආහාර පාන මඟින් ඇතිවෙන විවිධ බලපෑම් නිසා සුව කළ නොහැකි රෝගියෙකු බවට පත්විය හැකි අතරම අකාලයේ ජීවිතයෙන්ද සමුගැනීමට සිදුවේ. භෝජනයෙහි මත්තඤ්ඤුතා යනුවෙන් අදහස් කරන්නේ පමණ දැන ආහාරපාන අනුභව කිරීමයි. අධික ලෙස ආහාර පාන අනුභවයත් කුසගින්න නිවීමට ප්‍රමාණවත් නොවන පරිදි ඉතාසුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙනුත් වැළකී සම ලෙස ආහාර පාන ගැනීම ඉන් අදහස් වේ.

බුදුරදුන් වදාළ විමුක්තිය මුළුමණින්ම මනස හා සම්බන්ධ ක්‍රියාවලියකි. මනස හා කය අතර අන්තර් සම්බන්ධයක් පවතී. මනස සංවර්ධනය කිරීම සඳහා කායික යහපැවැත්ම අවශ්‍ය වේ. මෙම තත්ත්වය යටතේ භාරතීය යෝගීන් සිත පිළිබඳව වගේම කය පිළිබඳවත් විශේෂ උනන්දුවක් දැක්වීය. කයට දැඩි දුක්දෙන පිළිවෙත මෙන්ම අනවශ්‍ය අයුරින් කය පෝෂණය කරන පිළිවෙත ද බුදුසමයෙන් ප්‍රතික්ෂේප කෙරේ. කය හා මනස සමතුළිතව පවත්වාගැනීමට බුදුසමය උපදෙස් දෙයි. ඒ දෙකම සමතුළිත වූ විට කඩිනමින් විමුක්තිය සාක්ෂාත් කළ හැකි වේ.

අධික ලෙස ආහාර පාන ගැනීමෙන් ශාරීරිකව විවිධ ලෙඩ රෝග වැළඳුණු පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. නිරෝගීකම උතුම්ම ලාභය ලෙස දැක්වූ ශාස්තෘවරයෙකුගේ වර්තමාන ශ්‍රාවක පිරිස නුවණින් තොරව ආහාර පාන අනුභව කිරීම නිසා රෝගීන් බවට පත්වීම එක අතකින් කනගාටුවට කරුණකි. ගිහි පැවිදි දෙපක්ෂයටම ආහාර අනුභවයෙහි පමණ දැනගැනීම නීරෝගීකමට හේතුවේ. පැවිද්දාගේ ආහාර අනුභවයෙහි අරමුණුවලට වඩා ගිහියාගේ අරමුණු වෙනස්ය. එහෙත් නුවණින් යුක්තව ආහාර අනුභවය දෙපක්ෂයටම හිතකරය. නුවණින් මෙනෙහි කොට ආහාර පාන ගැනීම ප්‍රත්‍යවේක්ෂා යනුවෙන් හැඳින්වේ. මෙය පැවිද්දා පමණක් නොව ගිහියා විසින් ද අනුගමනය කළ යුතු යහපත් පිළිවෙතකි. නුවණින් මෙනෙහි කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ආහාර අනුභවයෙහි අරමුණ කවරේදැයි නිවැරැදිව හඳුනා ගැනීමයි. අරමුණ නිසි ලෙස හඳුනාගත් විට ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමත් අහිතකර ආහාර පාන ගැනීමත් වැළකෙයි. අධික ආහාර අනුභවය කායික රෝග සඳහා පමණක් නොව ප්‍රඥාවේ උදාවට බාධකයක් වන නුවණ යටපත් කරන ථීනමිද්ධ නීවරණය ඇතිවීමෙහිලා ද හේතු වේ. අධික ලෙස ආහාර පාන අනුභවය නිසා කයෙහි හා සිතෙහි අකර්මණ්‍ය බව ඇතිකරන හෙයින් එම නීවරණය පාලනය කිරීමේ එක් උපක්‍රමයක් ලෙස එයින් වැළකිය යුතු යැයි ධර්මයේ දැක්වේ. රාත්‍රී භෝජනයෙන් වැළකීමෙන් නිදුක් නීරෝගී බවද, ශාරීරික සැහැල්ලු බවද, කාය බලය හා සැපයද අත්දුටු බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසටද එය අනුගමනය කරන මෙන් අනුශාසනාව කීටාගිරි සූත්‍රයේ ඇතුළත් වේ. බුදුරදුන් අත්විඳි කායික හා මානසික සුවය විකාල භෝජනයෙන් වැළකෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටද නොඅඩුව ලබාගත හැකි වේ.

දිනක් අධික ලෙස ආහාර අනුභව කොට බුදුරදුන් අභියස ඉතා අපහසුවෙන් සිටි කොසොල් රජතුමා අමතා දේශනා කොට වදාළේ සෑම කල්හීම සිහියෙන් යුක්තව පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ ශාරීරික වේදනා තුනී වන බවත්. අනුභව කළ ආහාර සෙමෙන් දිරවන බවත්, ආයුෂ ද රැකෙන බවත්ය. කොසොල් රජුට දුන් අවවාදය වර්තමාන සමාජයට ද බෙහෙවින් වැදගත් වේ අප අතර බොහෝ දෙනෙකු වෙළෙඳ දැන්වීම් මඟින් ඉදිරිපත් කෙරෙන කරුණු නුවණින් නොවිමසා අනුකරණවලට රැවටී කෘත්‍රිම ආහාර පාන අනුභව කොට ආර්ථික වශයෙන් පමණක් නොව සෞඛ්‍ය අතින්ද දැඩිලෙස පරිහානියට පත් වී තිබේ. අධික රුධිර පීඩනය, දියවැඩියාව හා රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම නිසා ඇති වී තිබෙන විවිධ ආබාධ ගැන සළකන විට පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ මෙම අනුශාසනාව වුවද නීරෝගි දිවියක් ගැන උනන්දුවන්නෙකුට ප්‍රමාණවත් බවයි.

හදන්ත බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධිමග්ගයේ ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය යටතේ නුවණින් විමසා බලා ආහාර අනුභවයේ යහපත් ප්‍රතිඵල දීර්ඝ වශයෙන් පැහැදිලි කරයි. එහි දැක්වෙන පරිදි ආහාර අනුභවය හා යෙදෙන සුවිශේෂී සංකල්ප දෙකක් ලෙස නිරවද්‍යතාව (අනවජ්ජතා) හා පහසුවිහරණය (ඵාසුවිහාර) හඳුනාගත හැකිය. නිරවද්‍යතාවය යනු එම ආහාර පාන නිවැරැදි ආකාරයට ලබා ගැනීම, අපථ්‍ය ආහාරපාන වලින් වැළකීම, යෝග්‍ය නොවන සේ පමණ ඉක්මවා ආහාර පාන අනුභව කිරීමෙන් වැළකීම, අන්‍යයන්ගේ ගැරහුමට ලක්වන අයුරින් ආහාර පාන අනුභව කිරීමෙන් වැළකීම යනාදියයි.

පහසු විහරණය යනු ආහාර පාන අනුභව කිරීමෙන් ලැබෙන කායික මානසික සුවයයි. ඒ අනුව මානසික සුවය, නිදිමත, අලස ගතියෙන් නිදහස් වීම, කායික බලය හා සැහැල්ලු බව ලැබීම, ශාරීරික නීරෝගිතාව පහසුවිහරණයට අයත් වේ. මෙම විග්‍රහය අනුව ආහාරයෙහි පමණ දැනීම මඟින් පුද්ගල සදාචාරය මෙන්ම ශාරීරික නිරෝගිතාවත් අදහස් කර තිබේ. සිහි නුවණ (සති සම්පජඤ්ඤ) නොමැති වූ විට ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීම සිදු නොවෙයි. ඒ වෙනුවට අධික ප්‍රමාණයක් අනුභව කිරීම හෝ ඉතා අවම ප්‍රමාණයක් ගැනීම සිදුවෙයි.

මෙම අන්ත දෙකට නොයා ප්‍රමාණවත් ආහාර ගැනීමක් සිදුවන්නේ සිහිය හා නුවණ එක්තැන් වූ විටය.

බෞද්ධ විග්‍රහය අනුව ආහාර පාන ගැනීම එක්තරා ආකාරයක භාවනාවක් බව ඉහතින් දැක්වූ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙන් පැහැදිලි වේ. අනෙක් අතට ආහාර අනුභවය ඉතා උසස් චාරිත්‍රයක් බව විනයෙහි දැක්වෙන සේඛියා ශික්ෂාපදවලින් පැහැදිලි වේ.

කෙනෙකුගේ සදාචාරවත් බව මෙන්ම විනය ගරුක බවත් හැදියාවත් ප්‍රකට කරන එක් වැදගත් අවස්ථාවක් වන්නේ ආහාර පාන අනුභව කිරීමේ අවස්ථාවයි.

ආහාර අනුභවයේ දී බත් පිඬු හතරක හෝ පහක ප්‍රමාණයට කුස ඉඩ තබා එම අඩුව ජලය පානය කිරීමෙන් සම්පූර්ණ කළ යුතු බව බෞද්ධ උපදේශයයි. මෙම උපදේශය නිතර පිළිපදින පුද්ගලයාට කායික හා මානසික සැහැල්ලුව සමඟ නීරෝගී දිවියකට හිමිකම් කිව හැකිය. මේ අනුව බුදුසමයෙන් ඉදිරිපත් කරන භොජනෙමත්තඤ්ඤුතාව අධ්‍යාත්මික විමුක්තිය කඩිනම් කරන අතර කායික හා මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙකු නිර්මාණය කිරීමට මහෝපකාරී වේ.