Print this Article


මානත්ථද්ධ සූත්‍ර සාරය

මානත්ථද්ධ සූත්‍ර සාරය

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයෙහි වැඩ වසන සමයෙහි සැවැත් නුවර මානත්ථද්ධ නම් බමුණකු වාසය කළා. හේ මවට වඳින්නෙ නැහැ. පියාට වඳින්නෙ නැහැ. ගුරුවරයට වඳින්නෙ නැහැ. දෙටු නෑයට වඳින්නෙ නැහැ. මේ බමුණ මෙහි නම් කරල තියෙන්නෙ මානත්ථද්ධ බමුණ කියල. ඒ කියන්නෙ මානයෙන් තදවූවෙක් කියන බවයි. මොහු හරියට හුලං පිරිච්ච හම්වලින් සැදූ පසුම්බියක් වගෙයි. අපේ බසින් කියනව නම් “මයින හම් පසුම්බියක්” වගෙයි.

මේ මාන්නක්කාරය හිතනව මාත් මිනිහෙක් නේ. මා, පිය, ගුරු, වුවත්, මිනිසුන්නේ? ඉතින් මිනිහෙකුට මිහිසෙක් වඳින්නෙ මොනවටද? වැඳීම කෙනෙකුට යටත් පහත් බවක් දැක්වීමයි. මා මොනවට ද තවත් කෙනකුට යටත් වන්නේ? පහත් වන්නේ? අප හැමෝම තිරිසනුන් මෙන් සම සමයි. කියල මානයෙන් හිස උදුම්මා ගත් අනුවණයා හිතනවා.

මානය ඉතාම දරුණු ක්ලේශයක්. තුදුස් අකුසල චෛතසිකවලින් එකකි. මානය ප්‍රහීණ වන්නේ අරහත්වයෙනි. ගම්වැසියන් කියන උපමාවක් නම් මානයෙන් මත් වූ අනුවණයා අං ගිලපු පිඹුරෙකු වැනියි. පිඹුරා මුවකු මරාගෙන උගේ අං දෙකත් සමඟ ගිල දමනවා. එවිට එය දිරවනතුරු නැමෙන්න බැරිවෙනවා. එමෙන් මානයෙන් උඩඟු වූ අනුවනයන් කිසිවකුටත් හිස නමන්න කැමැති නැහැ. මානය සත්ත්වයා සසර බැඳ තබන සංයෝජනයකි. මානය ත්‍රිවිධාකාරයි. (තමාට වඩා යම් යම් කරුණු අතින් උසස් යයි සම්මත පුද්ගලයා සමඟ තමා සසඳමින් ඔහුට වඩා තමා උසස් යයි සිතීම) (තමාට හා සමාන පුද්ගලයා සමඟ තමා සසඳා බලා තමාත් ඔහු හා සමානයයි සිතීම) (තමාට වඩා යම් යම් කරුණුවලින් අඩු පුද්ගලයා සමඟ තමා සසඳා බලා ඔහුටත් වඩා තමා පහත්යයි සිතීම.) යනුවෙන් තමා ගැන මැන බලා සිතන්නා එයින් උන්නතියට, උද්දාමයට හෝ පහත් බවට පත් වෙයි. අනුවණයා මේ සඳහා තම කුලය, බලය, ධනය, උගත්කම, විශේෂ දක්ෂතා, රූපවත් බව, මැරවැර කම්, පරිවාර සම්පත්තිය, දරු මුණුපුරන්ගේ ලොකුකම් ආදී විවිධ මැනීම් තමා උසස්යයි පිළිගැනීමට ඉවහල් කර ගනී. බුදුරජාණන් වහන්සේ මෙන්ම අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාද අපට කියා ඇත්තේ,

කම්මං විජ්ජා ච ධම්මොච
සීලං ජීවිත මුත්තමං
එතෙන මච්චා සුජ්ඛන්ති
නගොත්තෙන ධනෙනවා
යනුවෙනි.

මිනිසුන් උසස් වන්නේ ක්‍රියාවෙනුත් නුවණිනුත් ධර්මානුකූල පිළිවෙත් වලිනුයි ශීලයෙනුත්, උතුම් ගුණවලින් මිස ගෝත්‍රයෙන් කුලයෙන් ධනයෙන් නොවන බවයි. ඒ නිසා හොඳ මිනිසෙක් වූ තරමට මිනිසා ලෝකයද පිළිගන්නා බව සිතන්න. මානය නිසා වන්නේ මිනිසා තව තවත් සමාජයෙන් ඈත් වීමයි. ඔහු සමාජය පිළිකුල් කරන බව සිතන්න. මානය තවදුරටත් කොටස් නවයකට බෙදා දැක්වෙනව. ආර්ය සත්‍යාවබෝධය නොකළ ඇතැම් මුග්ධයකු තමා සෝවාන් ආදී මාර්ගඵල ලාභියෙකැයි ලොවට කියාපානව නම් එය අධිමානයකි. “අස්මි මානය” කියන මේ රූපය ඔබ වෙමි. මේ පඤ්චස්කන්ධය මම වෙමි. යනාදී වශයෙන් තමා පිළිබඳව මමත්වයෙන් සිතීම අස්මි මානයයි. පවිටු මිථ්‍යා දෘෂ්ටික ශීල, මම පිළිගෙන ඒ නිසා මානයක් ඇති කර ගන්නවා නම් එය “මිථ්‍යා මානයයි”, මෙසේ විවිධ අන්දමින් ඇතිකර ගන්නා මානය නිසා පුද්ගලයා මරණින් මතු අපාගාත වනව. එසේම මානී පුද්ගලයා මරණින් පසු වඳුරු යෝනියෙහි උපදින බවත් අතිමානී පුද්ගලයා මරණින් පසු සුනඛව උපදින බවත් මානෙන මක්කථො හොති අතිමානෙන කුක්කුරො යන ගාථාවෙන් කියවෙන බව සිතන්න. අනතිමානී ගුණය මෙන්ම නිවෘත ගුණය හැම කෙනකු තුළම ඇතිකර ගතයුත්තකි. මොන කරුණක් නිසා හෝ යමෙක් උඩඟු වේ නම් හේ අනුවණයෙකි. ගසක් පල දරන්න පලදරන්න එහි අතු බිමට නැමෙයි. අනතිමානී පුද්ගලයා ද උසස් වන්න වන්න නිවෘත පැවැතුමෙන් බර විය යුතුයි. මෙහිදී වෙහෙසි මහණ බමුණන් මාපියන් වැඩිහිටියන් හා ගුරුවරුන් උසස් අයසේ සලකනවා.

ස ැවැත් නුවර වැසි මේ මානත්ථද්ධ බමුණා මව් පියන්ට වඳින්නෙ නැහැ. ගුරුවරයාට වඳින්නෙ නැහැ. දෙටු සොහොයුරාට වඳින්නෙ නැහැ. ඒ අය තමාගෙන් ගරු සැලකිළි ලැබිය යුත්තන් සේ ඔහු සිතන්නෙ නැහැ. මා පියන් කියන්නෙ තමා මෙලොවට උපදවපු එසේම හැදුව වැඩුව පෝෂණය කළ මේ ලෝකය දකින්න සැලැස්වූ දෙන්නෙක්ය කියල ඔහු හිතන්නෙ නැහැ. ඔවුන් එසේ නොකරන්න තමා මෙලොව උපදින්නෙ නැති බව මේ අනුවණයාට නොසිතේ. බුදුන් වදාළේ දරුවකු විසින් මා පිය දෙපළ මුළු ජීවිතකාලය තුළම දෑළේ හිඳුවාගෙන කවමින් පොවමින් නාවමින් මළ මුත්‍ර ඉවත් කරමින් සැලකුවත් ඔහුට මාපියන්ගේ ණය ගෙවන්න නොහැකිය කියල. මහණෙනි, මා පියෝ දරුවන්ට අපමණ උපකාරකාරයෝ වෙති කියලයි ඒ බව වදාළේ. කිසියම් දරුවෙකු මා පියන්ට සලකනව නම් ඔහු ඒ පිනෙන් මරණින් මතු දෙව්ලොව උපදින බවයි බුදුන්වහන්සේ වදාළේ. එසේම ගුරුවරයා තම ශිෂ්‍යයාට ශබ්ද ශාස්ත්‍ර උගන්වා ඔහු රටට ප්‍රයෝජනවත් පුරවැසියකු බවට පත්කරන්නා යි. පූර්වාචාර්යයන් වන මාපියන්ගෙන් පසු අප උගන්නේ ගුරුවරයාගෙනි. ඔහු ශබ්ද ශාස්ත්‍ර පමණක් නොවේ උගන්වන්නේ. සිරිත් විරිත්, හොඳ නරක ආදී සියල්ලම උගන්වන්නේ ඔහුයි

ශිෂ්‍යයා ගුරුවරයාට යටත් පහත් භාවයෙන් ඔහුගේ සිත නොරිදවා මනාව උගන්නා නිසා ඔහුට ගරු සැළකිලි වැඳුම් පිදුම් කරන්න ශිෂ්‍යයා දැන ගන්න ඕන. ගුරුවරයාට නොවඳින ශිෂ්‍යයාට ගුරුවරයා මනාව ශිල්ප ශාස්ත්‍ර නූගන්වයි. එබඳු ශිෂ්‍යයෙකු තමා වෙත ඉන්නවද කියලවත් ගුරුවරයා නොසිතයි. එමෙන්ම දෙටු සොහොයුරා යනු පවුලේ මාපියන් හැරුණම පියා වශයෙන් සොහොයුරු සොහොයුරියන් පිළිගන්නේ දෙටු සොහොයුරායි. වයසින් බාල අය අනුකරණය කරන්නේ දෙටුබෑයායි. ඒ නිසා ඔහුත් ආදර්ශවත් පුද්ගලයෙකු වන්න ඕන. බාල අයට අවවාද අනුශාසනා කරන්න තරම් සුදුස්සකු වන්න ඕන. බාල අයත් ඔහුට කීකරුව ඔහුගේ අවවාද අනුශාසනා පිළිගන්න ඕන. ඔහුට බාල අය වඳින පුදන කොට ඔහුගේ අනුකම්පාව බාල සොහොයුරු සොහොයුරියන් කෙරෙහි යොමුවෙනව. ඒ අයත් හොඳට හදා වඩා ගැනීමට උත්සුක වෙනව. අද උනත් දියුණු උගත් දරුවන් සිටින පවුල්වල මේ යහගුණ දකින්න තිබේ.

මානත්ථද්ධ බමුණා දවසක් දැක්ක බුදුහාමුදුරුවො විහාරෙ මහා පිරිස් පිරිවරාගෙන ධර්ම දේශනා කරනව. ඔහුත් සිතුව බුදුහාමුදුරුවො මහ පිරිස් පිරිවරාගෙන දහම් දෙසනව, මාත් එතැනට යන්න ඕන කියල. එහෙම හිතූ ඔහු මෙහෙමත් හිතුව. හොඳයි, බුදුහාමුදුරුවො මා සමඟ එළඹුම කතා කළොත් මාත් කතා කරනව. නැත්නම් නැහැ කියල හිතල බමුණ බුදුන් ළඟට ගියා. ගිහින් නිශ්ශබ්දව පැත්තකටවෙල හිටිය. බුදුහාමුදුරුවොත් ඔහුට කතා කළේ නැහැ. බමුණ හිතුව භවත් ගෞතමයන් කිසිවක් නොදන්න කෙනෙක්. එහෙම හිතල ආපසු යන්නත් හිතුව. ඒ අවස්ථාවෙ බුදුහාමුදුරුවො බමුණගෙ හිත දැනගෙන.

බමුණානනි, යමක් බලාපොරොත්තුවෙන් ඔබ මෙහි ආවානම් මානයෙන් නිහඬව සිටීම සුදුසු නැහැ. යමක් බලාපොරොත්තුවෙන් ආවානම් ඒක ඉටුකර ගන්න. (වදාළ) එවිට බමුණ දැන ගත්ත ගෞතමයන් වහන්සේ ඔහුගේ හිත දැනගත් බව ඔහු එතනම බිම වැටිල බුදුන්ගේ දෙපා මුහුණින් සිඹින්න පටන්ගත්ත. අත්වලින් පිරිමදින්න පටන් ගත්ත. ගෞතමයන් වහන්ස, මම මානත්තද්ධ මානත්ථද්ධ යි නම කියා කියා තමා හැඳින්වුව. ඒ අවස්ථාවෙ එහි සිටි පිරිස පුදුම වෙල සිය සතුට ප්‍රකාශ කළ පින්වත්නි, පුදුමයි, පුදුමයි, මොහු මා පියන් ගුරුන්, කුල දෙටුවන් නොපුදන්නෙකි.

එහෙත් මොහු අද බුදුන් කෙරෙහි මෙබඳු යටහත් පහත් බවක් දක්වයි.ඒ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ බමුණ, ඔය ඇති දැන් නැගී සිටින්න. ඔබේ අසුනෙහි හිඳගන්න. ඔබේ සිත මා කෙරෙහි පැහැදුණු බව මම දනිමි යි වදාළ. එවිට සිය අසුනෙහි හිඳගත් මානත්තද්ධ බමුණා බුදුන්ට මෙසේ කීව.

ස්වාමීනි, කවර කෙනෙකු කෙරෙහි ද මානය නොකළයුත්තේ? කවර කෙනෙකු කෙරෙහි ද ගෞරව කළ යුත්තේ? කවර කෙනෙකු ද පිදිය යුත්තේ? ඔහු විසින් මනාව පිදිය යුතුවන්මෝ කවරහුද? බමුණාගේ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ. මව, පියා, දෙටු බෑයා සහ ගුරුවරයා යන සිව් දෙනා කෙරෙහි මානය නොකළ යුතුයි. ඔවුන් කෙරෙහි ගෞරවය කළයුතුයි. ඔවුන්ට පුද පූජා කළ යුතු යි. ඔහු විසින් ඒ අය මැනවින් පිදිය යුතු වෙයි යනුවෙන් වදාළහ.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් තමන් වහන්සේ ඇතුළු කෙලෙස් ගිනි නිවූ රහතුන් වහන්සේ ද ඇතුළත් කරමින් සිසිල් වූ අර්හත්වය තෙක් කළ යුතු යමක් ඇත්නම් ඒ සියල්ල කොට නිම කළා වූ (කතකිච්ච) රාගාදී ආශ්‍රව දුරු කළා වූ මානය දුරු කළා වූ උත්තම වූ රහතන් වහන්සේට මානය දුරු කොට තද නොවී (කාරුණික සිතින්) වඳුව යි කියා තවදුරටත් බුදුන් වහන්සේ මෙසේ වදාළ පසු මානත්ථද්ධ බමුණා බුදුරජාණන් වහන්සේට මෙසේ පැවසුව.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා සතුටුයි ඉතාම සතුටුයි. යටිකුරු කොට තබන ලද්දක් උඩුකූරු කොට පෙන්වන්නාක් මෙන්ද වැසී තිබෙන්නක් විවර කොට පෙන්වන්නාක් මෙන් ද, මංමුළා වුවකුට නිසි මග පෙන්නා දෙන්නාක් මෙන් ද අඳුරෙ හි තිබෙන දෑ දකින්නට තෙල් පහනක් දල්වන්නාක් මෙන් ද ඔබවහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ ඇසූ මම බුදුන් වහන්සේ සරණ යන්නෙමි. ධර්මයත් සංඝයාත් සරණ යන්නෙමි. ස්වාමීනි, අද පටන් දිවි හිමියෙන් මා තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් පිළිගන්නා සේක්වා යි කී මානත්ථද්ධ බමුණා තෙරුවන් සරණ ගියේ ය.

පින්වත, මේ මානත්ථද්ධ බමුණා බුද්ධිමතෙකි. එහෙත් ඔහු තමාගේ උසස් කුලහීන බව රහත් කම ආදී යම් යම් කරුණු මුල්කරගෙන එදා සමාජයේ වැජඹුන වැදගත් පුද්ගලයකු වශයෙන් ඔහු මානයෙන් මත්ව ජීවත් වූ බව මේ පුවතින් හෙළි වේ.