පූජාච පූජනීයානං
මඩිතියවල විජිතසේන අනු නා හිමි
මඩිතියවල විජිතසේන නාහිමියන් වහන්සේගේ දසවන (10)ගුණ සමරුව 2015.03.05
දිනට යෙදී ඇත.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ හා පිටිගම් කෝරළයේ මඩිතියවලනම්
ගම්පියසෙහි විජේසිංහ ගමරාළලාගේ සේදිරිස් අප්පුහාමි, කාරියවසම් විතාරණගේ
පොඩිහාමිනේ යන දම්පතීන්ට දාව වර්ෂ 1922 අගෝස්තු 16 වැනි දින මෙම
පින්වත් කුමරුවා ජන්ම ලාභය ලැබීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරංගමුව බෞද්ධ මිශ්‍ර පාසලේ ලයනල් විජේසිංහ
යන ගිහි නමින් මූලික අධ්‍යාපනය ලබන කුඩා අවදියේ පටන්ම ආගමික හැඟීම්
දැඩිව පැවතීම නිසා උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට ප්‍රවේශවීමේ ආශාව
ඇතිවිය. වර්ෂ 1938 ජනවාරි 16 වැනිදා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ
දී තම මුත්තනුවන් වූ අති පූජ්‍ය මැදදූවේ විපුලසේන නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ ආචාර්යත්වයෙන් “මඩිතියවල විජිතසේන” නම් පැවිදි නාමයෙන් උතුම්
වූ පැවිද්දට පත්කළහ.
පැවිදි වූ දින පටන් අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කරමින් කොළඹ මාලිගාකන්ද
විද්‍යෝදය මහා පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබීය.
1940 දී රාජකීය පණ්ඩිත හේන්පිට ගෙදර ඤාණසීහ හිමියන් විසින් මැදදුවේ
විපුලසේන හිමියන්ගේ අනුමැතිය ලබා විජිතසේන හිමියන් මුද්දුවේ ශ්‍රී සුමන
පිරිවෙනට කැඳවාගෙන එන ලදී.
පරිපූර්ණ විසි එක් වයස් ඇති මඩිතියවල විජිතසේන හිමි 1943 දී කරතොට
ඉන්ද්‍රසාරභිධාන ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්
වහන්සේගේ ආචාර්යත්වයෙන් මහනුවර කටුගස්තොට මහවැලි ගඟ උදකුක්ඛේප සීමා
මාලකයේ දී උපසම්පදා වූහ.
රාජකීය පණ්ඩිත හේන්පිට ගෙදර ඤාණසීහ, ලෝලුවාගොඩ සුමංගල යන ස්වාමීන්
වහන්සේලා මඩිතියවල හිමියන්ගේ ආචාර්ය වහන්සේලා විය. ප්‍රාචීන,
ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාගවලින් සමත් වී 1951 දී පණ්ඩිත උපාධිය
ලබා ගත්හ.
මඩිතියවල විජිතසේන ස්වාමීන් වහන්සේ 1948 දී රත්නපුර කජුගස්වත්ත ශ්‍රී
ධනවර්ධනාරාම විහාරයේ විහාරාධිපති පදවියට පත්වූහ.
1950 දී මුද්දුවේ ශ්‍රී සුමන පිරිවනේ පිරිවෙන් ආචාර්යවරයෙක් වශයෙන් ද,
1957 දී කුරුවිට කෝරළයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරිවරයෙකු ද, විය.
කලවාන වතුරාව නිග්‍රෝධාරාම විහාරස්ථානය ආරම්භ කිරීම.
මුවගම කන්ද ශ්‍රී විවේකාරාමය විහාරස්ථානය නැවත ආරම්භ කිරීම.
කරංගොඩ රජසිසුගම ශ්‍රී ජය සුමනාරාම විහාරස්ථානය ආරම්භ කිරීම.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩිහිටි මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම.
අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වය දැරීම.
ශ්‍රී ලංකා ජාතික හා ස්වාධීන රූපවාහිනී සේවාවන්හි බෞද්ධ උපදේශක මණ්ඩලයේ
සාමාජිකවත්වය ආදිය වේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සද්ධර්ම වාගීස්වරාචාර්ය ශ්‍රී ඤාණසීහ
වංශාලංකාර සාසන ධජ ගෞරව නාමයෙන් පිදුම් ලැබීම.
1960 දී රත්නපුර සුදර්මශාලා සද්ධර්මාලංකාර පිරිවනේ පිරිවේණාධිපති
වශයෙන් සේවය කිරීම.
1970 දී රත්නපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පදවිය
දරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ආගමික හා සාමාජීය කටයුතුවලදී
පෙරමුණ ගෙන ක්‍රියාකළ එඩිතර සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වීය.
එසේම විදේශ ආරාධනා කීපයක් පිළිගෙන ඉන්දියාව, කොරියාව, ජපානය, තායිලන්තය
වැනි රටවල් කීපයකටද වැඩම කරවා ඇත. උන්වහන්සේ විහාර සංවර්ධනයෙන් මහත්
කැපවීමෙන් ක්‍රමවත් කාර්යයන් ඉටුකළහ.
රත්නපුර කජුගස්වත්ත විහාරස්ථාන කඳු මුදුනේ බැබලෙන පූජනීය වූ වන්දනීය වූ
දැවැන්ත බුදුපිළිම වහන්සේ නාහිමියන් වහන්සේ සම්බුද්ධ ශාසනය උදෙසා කැපකළ
අප්‍රමාණ සේවාවකි. මෙවන් නිර්මාණශීලී කාර්යක්ෂම සේවාවන් නොමැකෙන
සිහිවටන ඉතිරිකළ මඩිතියවල විජිතසේන අනුනාහිමි වහන්සේ 2005.03.05 දින
අපවත් වී වදාළ සේක. අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත පූජ්‍ය මඩිතියවල
විජිතසේන අනුනාහිමියන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
කමලා හෙට්ටි ආරච්චි
බොරගොල්ලේ ශ්‍රී සුමංගල සෝමානන්ද මහා නා හිමි
1881 නොවැම්බර් මස 20 වැනි දින වැලිමඩ අඹේවෙල බොරගොල්ලේ දී ජන්ම ලාභය
ලැබූ උන්වහන්සේ 1891 දී පාලුගම සුභද්‍රාරාමයේ දී දිගනතැන්නේ ශ්‍රී
දේවරක්ෂිත සුමංගල ඌව මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වෙතින්
ප්‍රව්‍රජ්ජ්‍යා භූමියට ඇතුළත් කරවනු ලැබූහ. මූලික බණ දහම් සිය ආචාර්ය
උපාධ්‍යයන් වෙතින් ලබා ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර බදුල්ල “විද්‍යෝත්තංස”
පිරිවෙනින් ලබා විසි වයස් සම්පූර්ණ වෙත් ම මහනුවර මල්වතු මහා විහාරස්ථ
මංගල උපෝසථාගාරයේ දී 1901 දී උපසම්පදාව ලබා ගත්හ.
බොදුනුවන්ගේ ප්‍රසාදයට පත් වූ සෝමානන්ද හිමියෝ තරුණ යතිවරයාණන් කෙනෙකු
වශයෙන් ජාතික ආගමික හා ශාසනික වශයෙන් සේවාවන් රැසකට මුල පිරූහ. පාලුගම
සුභද්‍රාරාම විහාරස්ථ නටබුන් ව පැවති කුඩා දාගැබ වටා විශාල දාගැබක්
ගොඩනඟා කොත් පැලඳවීම, විහාර මන්දිරයෙහි වට මාලයෙහි සූවිසිවිවරණ විහාරය,
දෙමහල් ධර්ම ශාලාව දෙමහල් ධාතු මන්දිරය සහිත පුස්තකාලය, ඝණ්ඨාස්ථම්භය,
දේවාල සංකීර්ණය, සංඝාවාසය, විහාරය වටා ප්‍රාකාරය ආදී සකල විහාර
අංගයන්ගෙන් සමලංකෘත මහා විහාරයක් බවට පත් කිරීමට සෝමානන්ද හිමිපාණන් ගේ
මඟ පෙන්වීම හා අනුශාසකත්වය මත සිදු වූ බව සඳහන් කළ යුතු ය.
මෙසේ භෞතික අංගයන්ගෙන් තම විහාරස්ථානය දියුණුවේ උපරිමය කරා ගෙන යන අතර
ඌව ප්‍රදේශයෙහි භික්ෂු අධ්‍යාපනය හා ප්‍රදේශවාසී දූ දරුවන්ගේ අධ්‍යාපන
අවශ්‍යතා වැඩිදියුණු කිරීමේ පවිත්‍ර චේතනාවෙන් තම විහාරස්ථානයෙහි බෞද්ධ
අධ්‍යාපන ආයතනයක් පිහටුවීමට කල්පනා කළ නාහිමියන් ප්‍රදේශවාසීන්ගේ
සහයෝගයෙන් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති පණ්ඩිත ශිරෝමණී
බද්දේගම සිරි පියරතන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මාහිමියන් අතින්
අකුරු කියවා 1955 අප්‍රේල් මස 28 දින සෝමානන්ද පිරිවෙන ආරම්භ කළ අතර එම
පිරිවෙන මඟින් පුරා වසර හැටකට ආසන්න කාල පරාසයක් තුළ කරන ලද ධර්ම
ශාස්ත්‍රීය සේවය පමණ කළ නොහැක.
බොරගොල්ලේ සෝමානන්ද හිමියන් විසින් සිදු කරන ලද ජාතික, ආගමික, සේවාවන්
අගය කළ මහනුවර මල්වතු මහා විහාරස්ථ කාරක සංඝ සභාව 1927 දී
සද්ධර්මභාණකාචාර්ය, ගෞරව නාම සම්මුතිය සමඟ උඩුකිඳ වැල්ලවාය දෙපළාතේ
ප්‍රධාන සංඝනායක ධුරයත්, 1939 වර්ෂයේ දී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන
අධිකරණ සංඝනායක ධුරයත්, උපාධ්‍යාය ධුරයකිනුත් පුදනු ලැබූහ.
පළාතේ භික්ෂූන් වහන්සේගේ පහසුව සඳහා තම ප්‍රදේශයෙහි සැදැහැවත් ප්‍රභූ
පිරිසගේ බලවත් ඉල්ලීමට අවධානය යොමුකළ සෝමානන්ද නාහිමියෝ තම විහාරස්ථානය
වූ සුභද්‍රාරාම විහාරස්ථානයත්, කළුබුලුලන්ද පුරාණ විහාරස්ථානයත්
කේන්ද්‍ර කොටගෙන 1939 දී සියම් මහා නිකායේ ඌව පාර්ශ්වය පිහිටුවීම
සුවිශේෂී සිද්ධියකි. එමඟින් සැළසුණු ශාසනික සේවාව ඉමහත් ය. මෙසේ තම
ප්‍රදේශයේ පහසුව තකා වෙනම පාර්ශවයක් වශයෙන් බෙදී වෙන්ව ගියත් මල්වතු
මහා විහාරස්ථානය සමඟ පැවති ශාසනික සබඳතාවයන් පෞද්ගලික මිත්‍රත්වයත්
කිසිඳු හානියක් සිදු නොකොට එම කාර්ය සපුරා ගැනීමෙහි ලා සමත් වීම
උන්වහන්සේගේ දූරදර්ශි බවත් නායකත්ව ලක්ෂණයත් මොනවට පැහැදිලි වෙයි.
1939 දී පාලුගම සුභද්‍රාරාම විහාරස්ථ ශ්‍රී සුමංගල උපෝසථාගාරයට රැස්ව
විංශත්වර්ගික කාරක සංඝ සභාව විසින් “සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල” යන
නාම සම්මුතිය සමඟ සිය පාර්ශවයේ ප්‍රථම මහ නායක පදවියට සෝමානන්ද මහ
නාහිමියෝ පත් කරනු ලැබූහ. අභිනව මහ නාහිමියන් විසින් ස්වකීය පාර්ශවයෙහි
උන්නතිය අරභයා කරන ලද ශාසනික සේවයේ ප්‍රතිඵලයක් ලෙස ඌව පළාතේ පමණක් නොව
නැගෙනහිර පළාතේත් විහාරස්ථාන ගණනාවක ම ඌව පාර්ශවයට එක් ව සිය ශාසනික
කටයුතු පහසුවෙන් කරගනු ලැබේ.
ප්‍රදේශවාසී සැහැදැවත් බොදුනුවන්ගේ ආගමික කටයුතු පහසු කරලීම සඳහා
සුභද්‍රාරාම මහා විහාරය අනුබද්ධව ආරාම පන්සල් රාශියක් ගොඩනැංවීමෙන් කරන
ලද ශාසනික සේවය ද සුළුපටු නොවේ. අඹේවෙල ශ්‍රී පූර්වාරාමය, එරබද්දේ
ශ්‍රී විවේකාරාමය, අඹේවෙල ශ්‍රී සෝමාකනන්දාරාමය, ඇල්ලේ ශ්‍රී
සුමංගලාරාමය, ඒ අතර ප්‍රධාන වේ.
තමන් වහන්සේ විසින් ඇති කරන ලද ජාතික ශාසනික සේවය ඉදිරියට පවත්වාගෙන
යාම සඳහා විශේෂයෙන් භික්ෂු ශාසනයේ චිර පැවැත්ම සඳහාත් සිය ගණනකින් යුතු
භික්ෂු ශිෂ්‍ය පිරිසක් ඇති කළ අතර කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද
පරිවේණාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත පාලුගම ශ්‍රී සුමනසාර ඌව
පාර්ශවයේ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වත්මන් සුභද්‍රාරාම
විහාරාධිපති ඌව පාර්ශවයේ අතිගරු මහා නායක අඹේවෙල පඤ්ඤාසාර
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ අතර කැපී පෙනේ.
මෙබඳු ලෝක ශාසන දෙකට සුවිශාල කාර්ය භාරයක් ඉටු කර 1956 වර්ෂයෙහි
පෙබරවාරි මස 26 වැනි දින අපවත් වී වදාළ ශ්‍රී සෝමානන්ද මහ නාහිමියන්ගේ
ගුණ අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන පුණ්‍ය කර්මය පෙබරවාරි
මස 25 දින අඹේවෙල පඤ්ඤාසාර මහනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි
විහාරාධිකාරී අධ්‍යාපනපති විල්ඔය පඤ්ඤාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ප්‍රධාන ශ්‍රී පුණ්‍යෙීදය ශාසනාරක්ෂක සමිතිය, සුචරිතෝදය කුලඟන සමිතිය
කටයුතු යොදා ඇත.
ධර්මසේන ඒකනායක
වැලිමඩ කලාපයේ විශ්‍රාමික (සිංහල – බුද්ධ ධර්මය)
ගුරු උපදේශක
යටිනුවර සුමන නාහිමි
උඩරට අමරපුර නිකායේ මධ්‍යම, උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක,
ශාසනජෝතිකා කාරක සංඝසභා සම ලේඛකාධිකාරී මහනුවර ශ්‍රීමත් අනගාරික
ධර්මපාලමාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති,
ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති යටිනුවර, සුමන නාහිමියන් විසින් සිදුකරනු
ලබන ශාසනික ආගමික ධර්ම අධ්‍යාපන හා බෞද්ධ සංස්කෘතික සේවාවන් අගය කරමින්
මහනුවර සාම විනිසුරු නිදහස් සංසද විධායක සභාව හා විශේෂිත සාම විනිසුරු
මණ්ඩලය මගින් උන්වහන්සේ වෙත “කීර්ති ශ්‍රී ශාසනෝද්දීපන ධර්ම බන්දු
වංසාවතංස සද්ධර්මෝද්ධජ” යන ගෞරවනාම සම්මුතිය පිරිනමා ඇත.
දශක හතරකට අධික කාලයක් විශේෂයෙන් දහම් අධ්‍යාපනය වෙනුවෙන් මහනුවර
පොත්ගුල් විහාරයීය සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු
කරමින් දැහැමි අනාගත පුරවැසියන් බිහිකිරීමෙහි ලා ශාසනික සේවාවක් ඉටුකරන
සුමන නාහිමියෝ බටගල්ල ධම්මරතන මහ පිරිවෙනේ පරිවෙනාධිපති වශයෙන්
පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුව සඳහා ධර්ම ශාස්ත්‍රීය සේවාවක් ඉටු කර ඇත.
උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික
හිමිනමක් වශයෙන්ද, සිරි සිදුහත් භික්ෂු පදනමේ සහ මහබෝ පදනමේ
ක්‍රියාකාරී මහ තෙරනමක් වශයෙන්ද එහි වාර්ෂිකව සිදු කරනු ලබන මහබෝ
වන්දනාව හා පෙරහර සංවිධානය කිරීමෙන් ඉටු කරනු ලබන්නේ ජයසිරි මහා බෝ
සමිඳු වෙත පළමුවෙනි රන්වැට පූජා කළ සංඝනායක යටිරාවන නාරද නාහිමිගේ
ප්‍රධාන ශිෂ්‍යරත්නය වශයෙනි.
කේ. බණ්ඩාරනායක
|