හෙළයේ නිදහස් සටනේ ආරම්භය හා වාරියපොල සුමංගල මා හිමි
වාරියපොල රාජමහා විහාරාධිපති,
අස්ගිරි මහාවිහාරීය
කාරක සංඝ සභික
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
නිදහස් සටනේ ඇරඹුම
මේ දිනය අපේ ජාතිය පිළිබඳවත්, වසර දෙදහස් ගණනක උදාර මානව ශිෂ්ටාචාරයක්
හා සංස්කෘතියක් උරුමව සිටි ශ්‍රී ලංකාව පිළිබඳවත් ඓතිහාසික වූවක් ම
විය. මේ දින සිංහල ඉංගී‍්‍රසි දෙපක්ෂය ම නියමිත වේලාවට උත්සවශ්‍රීයෙන්
ගිවිසුම අත්සන් කොට සිංහල, ඉංගී‍්‍රසි, ධ්වජ එක්වර එසවීමටත් යුහුසුලුව
සංවිධානය වූහ. කලින් ඇති කර ගත් නියමයක්ව අනුව ඩොයිලි විසින් සිංහල,
ඉංගී‍්‍රසි ධ්වජ ඔසවනු පිණිස සූදානම් වන ලෙස මහනුවර මඟුල්මඩුව ඉදිරිපස
පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපළට නියම කරන ලදී. එදා එහි
එක් පසක කොඩි සහ තුවක්කු අතට ගත් සිංහල යුද්ධ සේනාව ද අනික් පසින් ආයුධ
සන්නද්ධ ඉංගී‍්‍රසි යුද හමුදාව ද පෙළ ගැසුණහ. තව මොහොතකින් නියමිත
වේලාවට ඉංගී‍්‍රසි ධ්වජය කන්ද උඩරට නිල්වන් අහසෙහි ලෙළ දෙන බව හොඳින් ම
දැන දැනත්, නො ඉවසිලිමත් භාවයෙන් ක්‍රියාත්මක වූ එක් දඩබ්බර ඉංගී‍්‍රසි
සෙනවියෙක් වහා ඉංගී‍්‍රසි රාජකීය ධ්වජය අහසට නඟාලීය. මේ වන විටත්
ඉංගී‍්‍රසි, සිංහල දෙපක්ෂය විසින් ගිවිසුම අත්සන් කොට නො තිබීම නිසා
එසේ ඉංගී‍්‍රසි කොඩිය එසවීම නිත්‍යානුකූල ද නොවිය. එහෙත් අවුරුදු
දෙදහස් තුන්සීයක් නිදහස්ව නිවහල්ව ජීවත් වූ ශ්‍රේෂ්ඨ වර්ගයාටත්,
වර්ගයාගේ අතිනිර්මණ ආගම ධර්මයටත්, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනටයත් කරන ලද
මේ අවමානයට විරුද්ධව නැගී සිටීමට තරම් සිදු වූයේ තවත් ඓතිහාසික
සිද්ධියකි.
එම ඓතිහාසික දිනයෙහි සන්ධ්‍යා සමයෙහි සිදු වන්නට යන මෙම තීරණාත්මක
සිද්ධිය ගැන සිත යොමු කරමින් සිංහල ජාතිය පිළිබඳව කනස්සල්ලෙන් එහෙත්
විමසිලිමත් වෙමින් වාරියපොල සුමංගල මාහිමියෝ සුපුරුදු සේවාවෙහි නියුතුව
ලද විවේකයෙහි එහෙත් සිදු වන්නට යන මේ ඛේදජනක සිදු වීම් පිළිබඳ මහත් වූ
නො ඉවසිල්ලෙන්, ඒ පිළිබඳ අතිශයින් ම විමසිලිමත් වෙමින් දළදා මාලිගාවෙහි
වැඩ සිටියහ. මාලිගාව අබියස මහ මලුවේ දෙපක්ෂයේ නිලධාරීන් නියමිත ස්ථානයට
රැස්වීමට පෙරාතුව පටන් සිදු වෙන ක්‍රියාදාමයන් සියැසින් දැකීමේ ආශාවෙන්
උන්වහන්සේ සිය දෙනෙත් එදෙසට යොමු කළහ. ජාතිය පිළිබඳ උදාර හැඟීම් ඇති
වාරියපොල මාහිමියෝ ඉවසුම් නො දෙන හදවතින් තෙරපෙමින් දළදා මැදුරේ
නැගෙනහිර දොරටුවෙන් නික්ම මඟුල් මඩුව දෙසට විමසුම් සහිතව පියවර නැගූහ.
සිංහල ඉංගී‍්‍රසි දෙපක්ෂය පෙළ ගැසී සිටිනු දුටහ. තවත් වඩ වඩාත්
විමසිලිමත් වූහ. හදිස්සියේ උන්වහන්සේගේ නෙත ගටුණේ ඒ රාජකීය මහ මලුවේ
අහසෙහි ඉහළට නැගෙමින් සසල වන ඉංගී‍්‍රසි ධ්වජය යි. ගිවිසුම අත්සන්
තැබීමට පෙර මෙසේ ඉංගී‍්‍රසි ධ්වජය පමණක් අහසෙහි ලෙළ දෙන මේ දර්ශනයෙන්
උන්වහන්සේගේ සර්වාංගයම වෙව්ලුම කන්නට වන වහා සිය සිරුරෙහි දහදිය බිඳු
නැඟිණ. මුහුණ රත්පැහැ ගත්තේ ය. දැඩි ආත්ම විශ්වාසයෙන් ජාත්‍යනුරාගයෙන්
තෙදවත් වූ වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියෝ අභීත අනභිභවනීය කේශර
සිංහරාජයෙකුගේ ලීලාවෙන් ඉංගී‍්‍රසි සෙන්පති කරා පැමිණ,
“තොපට තොපේ කොඩිය දැන් ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක්
නැහැ. තොපට මේ නියමය කළේ කවුද? මේ සිංහලේ රට තවමත් මේ රට තොපට භාර
දෙන්නට බැහැ. වේලාව පැමිණෙන තුරු, ඉවසන්නට තරම් ආත්ම විශ්වාසයක් සුදු
ජාතීන්ට නැත්ද?”
යි, ජාතික හැඟීම් උත්සන්න වීමෙන් තර්ජන ස්වරයෙන් ප්‍රශ්න කළහ. අනතුරුව
උන්වහන්සේ ඉංගී‍්‍රසි කතිර කොඩිය පහතට ඇද තවත් කන්ද උඩරට නිත්‍යනුකූල
බලය හිමි සිංහල ජාතියට බව පවසා මහත් සේ උද්ඝෝෂණය කරන්නට වූහ. සිංහල
කොඩිය එසවූහ. නියමිත වේලාවට පෙරාතුව කොඩිය නොඑස විය යුතු බවට කරුණු ගෙන
හැර පෑහ. ඉංගී‍්‍රසිහු වහා නැවතුණහ. ඇහැලේපොල නිලමේ ඇතුළු උඩරට
නිලමේවරු වහා එතනට එක් වූහ. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා ද රැස් වූහ.
මෙහිදී මුළු මහත් ජාතිය දිරි ගන්වමින් ක්‍රියාත්මක වූ වාරියපොල ශ්‍රී
සුමංගල අනුනායක මාහිමියන්ගේ වීරක්‍රියාව හෙළ ජන හදවත්වල සදා නොමියෙනු
ඇත. එදා පැමිණි සිටි වාරියපොල ශ්‍රී සුමංගල සුදුහුම්පොල රජමහා
විහාරාධිපති අස්ගිරි මහාවිහාරයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ජාත්‍යාභිමානයෙන් හා ආගමාලයයෙන් ඔද වැඩීගිය චිත්ත ධෛර්යෙන් යුතුව ආයුධ
සන්නද්ධ ඉංගී‍්‍රසි සෙන්පති ප්‍රමුඛ සෙබළ මුළුමහත් සිංහල ප්‍රතාපවත්
නිලමවරුනුත් දෙපසට වී සිටියදීවහා ඉදිරියට පැන, ඉංගී‍්‍රසි කොඩිය එස වූ
සුදු සෙනවියා ඉවත් කොට ගිවිසුම අත්සන් කරන තුරු ඉංගී‍්‍රසි කොඩිය
එසවීමට ඉඩ නැතැයි අභීතස්වරයෙන් තර්ජනය කරමින් ඉංගී‍්‍රසි කොඩිය බිම
හෙළා ස්වකීය ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සුදු අධිරාජ්‍යවාදීන්ගේ
අභිමුඛයෙහි කියා පෑ ආකාරය විශ්මය ජනකය. එබැවින් මේ ශ්‍රේෂ්ඨ වීරවර
බුද්ධ පුත්‍රයාණන්ට මාතෘභූමියේ නාමයෙන් ජාතියේ නමස්කාරය සදා හිමිවිය
යුතු ය.
ජාතියේ උදාරත්වය කියාපාන එහෙත් මෙ බිහිසුණු අවස්ථාවේ කෝපයට පත්
ඉංගී‍්‍රසි සෙනවිතෙම කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොල මාහිමියන් මත
හෙළන්නට සූදානම් වෙද්දී, ඒ වන විටත් කාර්යය සංවිධානයෙහි යෙදෙමින් සිටි
ඩොයිලි වහා එතනට පැමිණ කඩු පහර වළක්වා ස්වකීය නියමය වරදවා ගැනීමෙන්
සුදු සෙනවියා විසින් කරන ලද වරද පිළිබඳව සමාව දෙන ලෙස මෙම ජාතියේ
ශ්‍රේෂ්ඨ වීරවර වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා
සිටි බවක් කියවේ.
ගිවිසුම අත්සන් වූයේ ක්‍රි.ව. 1815 මාර්තු 02 දා පරාධීන වූ දා යි.
වේලාව සිංහල පැය ක්‍රමයට හිරු මුදුන් වී දස පැයක් ගිය තැනයි. ස්ථානය
මහනුවර මඟුල් මඩුවයි. අදට වසර 200 කට පෙරයි.
මෙසේ 1815 මාර්තු 02 වෙනි දින යථෝක්ත ඓතිහාසික උඩරට ගිවිසුමට සිංහල,
ඉංගී‍්‍රසි දෙපක්ෂය අත්සන් තැබීමෙන් අනතුරුව කන්ද උඩරට රාජධානිය
ඉංගී‍්‍රසීන්ට යටත් විය. මුළු මහත් ලංකාවේමත් පාලන බලය අධිරාජ්‍යවාදී
මහා බ්‍රිතාන්‍යයේ කිරීටය සතු විය.
අවි බලයක් හෝ ධන බලයක් හෝ පිරිස් බලයක් හෝ හිමි නො වූ උදාර චිත්ත බලය ම
තම එක ම අවිය කොටගත් වාරියපොල අනුනායක මාහිමියන් වහන්සේ අධර්මයෙන්
අභිමුඛයට අවුත් අවසාන මොහොත දක්වා සිටිය නො හී බලලෝභයෙන් මත් වීමෙන්
ඉංගී‍්‍රසි ධජය එස වූ නො ඉවසිලිමත් වූ අද මිටු සුදු සෙන්පතියාගේ අමෝරා
ගත් අවියට දිවි පාමින් සිංහල බලය එදා හඬ නගා පෙන්වූහ. ඩොයිලි ප්‍රමුඛ
ඉංගී‍්‍රසි බලවත්හු එදා මුළු මහත් ජාතිය නියෝජනය කළ ශ්‍රේෂ්ඨ ලංකා
පුත්‍ර වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක මාහිමියන්ගෙන් මොහොතකට හෝ
පරාජිත වූහ. තව මොහොතකින් ඉංගී‍්‍රසි සිංහල ධජ අහසට නැගෙද්දී සිංහලයා
සුදු ඉංගී‍්‍රසින්ගේ අභිමුඛයේ පරාධීන ජාතියකට උරුමකම් කීව ද, ජාතියේ
ගෞරවයෙන් පුදනු ලැබූ වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක මාහිමියන් එදා
විදහා දැක් වූ වීර ක්‍රියාව නිසා එම යතිවරයාණන්ගේ නාමය ශ්‍රී ලංකා
ධරණිතලය පවත්නා තුරු ම අනුස්මරණීය වේ.
ලාංකික දේශප්‍රේමීන්ගේ අසහනය නිසා 1818 ඌවේ මහ කැරැල්ල හටගත් ආකාරය අපේ
සාකච්ඡාවට භාජනය විය. මේ අවස්ථාවේ දී ස්වකීය දේශ විමුක්ති අරගලයේ
සාර්ථකත්වය සඳහා දළදා මාලිගාවේ වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේ මාලිගාවෙන්
පැහැර ගෙන නැවතත් සඟවා ගත යුතු යැයි එදා සිටි උඩරට රදළවරු කල්පනා කළහ.
මෙසේ දළදා වහන්සේ පැහැර ගැනීම සඳහා ඉහගම තෙරුන් වහන්සේ ඇතුළු පිරිසක්
කටයුතු කළහ. මේ පිළිබඳ ව පැහැදිලි විස්තරයක් සහිතව 1816 නොවැම්බර් 05
වන දා එවකට ආණ්ඩුකාර බ්‍රවුන්රින් රාජ්‍යභාර ලේකම් වෙත රහස්‍ය ලිපියක්
යැවීය. මේ අවස්ථාවේ ඉහගම තෙරුන්ගේ හිතවතෙකු වූ මඩුගල්ලේ උඩගබඩා නිලමේ
දළදා වහන්සේ පැහැරගෙන යා යුතු බව අස්ගිරි, මල්වතු මහා නායක
මාහිමිවරුන්ට උපදෙස් දෙන බවක් කියැවේ. මේ තත්ත්වය දැනගත් බ්‍රිතාන්‍ය
පාලකයන් විසින් එය රාජ්‍ය විරෝධී ක්‍රියාවන් සේ සලකා නඩු විභාග කොට
වරදකරුවන්ට දඬුවම් පමුණුවනු ලැබීය. එහෙත් දළදා වහන්සේ සඟවා තබා කන්ද
උඩරට රජ කිරීමේ අයිතිය තමන් සතු කොට ගෙන බලය පෙන්වීමේ අරමුණෙන් දියත්
කළ ක්‍රියාවලිය ඉන් අවසන් නොවීය.
ඉංශී‍්‍රසි පාලනයට විරුද්ධව උඩරට ජනතාව 1818 දී වීර කැප්පෙටිපොලගේ
නායකත්වයෙන් ඌවේ ආරම්භ කළ කැරැලි සමයේ දී නැවතත් දළදා වහන්සේ පැහැරගත්
බවක් කියැවේ. ඒ අවදියේ දී එක් දිනයක හඟුරන්කෙත රැස්ව සිටි විශාල
ජනතාවක් ඉදිරියේ වාරියපොල අනුනාහිමියන් විසින් තමන් වෙත භාර කෙරුණු
ශ්‍රීමත් දළදා වහන්සේ කැප්පෙටිපොල නිලමේ විසින් එක්තරා වී කුරුණියක්
පෙන්වා එය මුර භටයන් දෙදෙනෙකු විසින් මහනුවර දළදා මාලිගාවෙන් ගෙන එනු
ලැබූ බවත්, ඒ තුළ බුදුරජාණන් වහන්සේගේ පූජනීය වූ දන්තධාතූන් වහන්සේ වැඩ
සිටින බවත් ප්‍රකාශ කරන ලදී. මේ ආකාරයෙන් දළදා වහන්සේ තමන් සතු බව
ප්‍රකාශ කිරීමෙන් අදහස් කළේ උඩරට රාජ්‍යය පිළිබඳ හිමිකාරකම තහවුරු කර
ගැනීමයි. මේ එකම මහාර්ඝ වස්තුව මේ වන විට සිංහලයා අතට පත්කොට ඇති නිසා
අවසාන ජයග්‍රහණය නියත බව ද වැඩි දුරටත් ප්‍රකාශ විය. මෙය දැනගත්
බ්‍රවුන්රීග් ආණ්ඩුකාරවරයා මේ පුවතේ සත්‍යාසත්‍යතාව දැන ගැනීම සඳහා
දළදා මාලිගාවේ කරඬුව විවෘත කිරීමට යෝජනා කොට විදේශභාර ලේකම් වෙත ලිපි
යැවී ය. එහෙත් ඒ සඳහා ඉංගී‍්‍රසීහු මැලි වූහ. යථෝක්ත කැප්පෙටිපොලගේ
ප්‍රකාශයේ සත්‍යතාවක් නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ. මේ වන විට දළදා වහන්සේ
කැරැලිකරුවන් සතු වී තිබීම වූ කලී සත්‍යයක් ම විය. එහෙත් බ්‍රවුන්රිග්
ආණ්ඩුකාරවරයා විදේශභාර මහලේකම් වෙත යවන ලද ලිපි අනුව දළදා වහන්සේ
සොරාගෙන ගොස් ඇති බවක් පාලකයෝ විශ්වාස නොකළහ. මේ අවදියේ දී දළදා තේවා
මුරයෙහි යෙදී සිටියාහු වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියෝ ය. උන්වහන්සේ
මෙලෙස දළදා වහන්සේ පිටමං කරගැනීමේ කාර්යයට මූලිකව ක්‍රියා කළහ.
උන්වහන්සේට සහය පිණිස කළුගමුවේ කාරිය කරවන රාළ ඉදිරිපත් විය.
පසු දා පාන්දර අලුයම දුර තේවාව සඳහා හේවිසි නාද කරද්දී පෙරදින
රාත්‍රියේ ගබඩා වල සැඟ වී සිටි පිරිස මහ කරඬුව විවෘත කෙට දළදා වහන්සේ
සහිත කරඬුව රැගෙන පළාගොස් වැල්ලගිරියේ සිටි කැප්පෙටිපොල නිලමේතුමාට භාර
දුන්හ. කෙසේ නමුත් එදා දළදා වහන්සේ පැහැර ගැනීමෙන් පසු කැප්පෙටිපොල
නිලමෙතුමා මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබුණේ එම නියම කරඬුවයි.
මෙසේ දළදා මාලිගාවේ තේවා මුරයෙහි යෙදී සිටි වාරියපොල සුමංගල
මාහිමියන්ගේ උපක්‍රම යටතේ දන්තධාතූන් වහන්සේ අභිරහස් ලෙස පිටමං කරනු
ලැබූහ. ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් මෙය අසත්‍යය
ප්‍රවෘත්තියක් ලෙස ප්‍රකාශ කොට ප්‍රසිද්ධ කරනු ලැබුවත්, ඔවුහු මෙහි
සත්‍යතාව තේරුම් ගෙන දළදා වහන්සේ නැවත ලබාගන්නට ප්‍රයත්න දැරූහ.
1819 ජනවාරි 08 වෙනිදා ආණ්ඩුකාරයා විසින් බැතර්ස්ට් වංශාධිපති වෙත යවන
ලද ලිපියකින් ස්වකීය අභිප්‍රාය පරිදි දළදා වහන්සේ නැවත ලබාගත් අයුරු
පෙන්වා දී ඇත. ඒ ලිපියේ සඳහන් පරිදි කයිකාවල මුර පොළේ රැඳී සිටි විශේෂ
සෙබළ මුළුවක් විසින් ඒ ආසන්නයේ ගම්වැසියන්ගේ ද ආධාර ඇතිව 1818
නොවැම්බර් දෙවෙනි දා මඩුගල්ලේ නම් නිලමේ අල්ලා ගන්නා ලද බව කියැවේ.
එදින ම සන්ධ්‍යාවේ විශේෂ භට පිරිස මෙහෙය වූ සැත්තෑ තුන්වෙනි එන්සයින්
සුට්බරේඩ් විසින් දන්තධාතූන් වහන්සේ සමඟ භික්ෂු නමක් ද අල්ලා ගන්නා ලද
බව එම ලිපියෙන් ප්‍රකාශ වේ. පෙර කී පරිදි 1818 නොවැම්බර් දෙවැනි දින
ඉංගී‍්‍රසි සෙබල මුළුව විසින් භික්ෂූන් වහන්සේ නමක් සමඟ දළදා වහන්සේ
අල්ලා ගන්නා ලදහ. ආරක්ෂා සහිතව තිබියදීත්, දළදා මාලිගාවෙන් දළදා වහන්සේ
සොරකම් කොට පැහැරගෙන ඇත්තේ 1818 මැයි මාසයේ දී බව ඒ ලිපියෙන්
වැඩිදුරටත් ප්‍රකාශ වේ. ක්‍රි.ව. 1818 නොවැම්බර් 01 වෙනි දින ලැබුණු
ආරංචියක් අනුව ක්‍රියාත්මක වූ සුට්බරේඩ් වනයේ සැරසරමින් සිටි භික්ෂූන්
වහන්සේ නමක අල්ලා ගත්තේ ය. ඒ හිමියන් සතුව කිසියම් පොදි කිහිපයක්
තිබුණු බව කියැවේ. ඉන් එක් පොදියක දළදා වහන්සේ ඇතුළුව රන් කරඬුව විය. ඒ
අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ අතවැසියන් තිදෙනක් ද අල්වා ගනු ලැබූහ. මෙහි
කියන භික්ෂූන් වහන්සේ අන් කිසිවකු නොව වාරියපොල සුමංගල අනුනායක
මාහිමියෝ ය. මෙසේ දළදා වහන්සේ ලබා ගැනීමෙන් මහත් පී‍්‍රතියට පත්
ඉංගී‍්‍රසිහු චාරිත්‍රානුකූලව වැඩමවාගෙන අවුත් නිත්තවෙල රාජමහා විහාරයේ
තැන්පත් කොට පසුව මහනුවරට වැඩමවා දළදා මාලිගාවෙහි තැන්පත් කර තැබූහ.
වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය දිවි දෙවැනි
කොට දළදා වහන්සේ රැක ඇත්තේ අන් කිසිදු ප්‍රතිලාභයක් නිසා නොව සිංහලේ රජ
තනතුර කෙදිනක සිංහල බෞද්ධයෙකු මතු කරලීමේ දේශවාත්සල්‍යය නිසා ය.
එදා දඹුළු කැලයේ කයිකාවල මුරපොලේ දී ඉංගී‍්‍රසි නිලධාරීන්ට වාරියපොල
මාහිමියන් මුණ ගැසුණු අවස්ථාවේ දී ඔවුහු උන්වහන්සේගෙන් දැඩි ලෙස
ප්‍රශ්න කළහ. එහෙත් දන්තධාතූන් වහන්සේ වැඩ සිටි තැන හෝ උන්වහන්සේ දළදා
වහන්සේ සඟවා තබාගත් ආකාරය හෝ අදහා ගැනීමට ඉංගී‍්‍රසිහු අපොහොසත් වූහ.
තමන් වහන්සේ කෙතරම් ප්‍රයත්න දැරුවා ද මේ රහස හෙළි වී දේශපාලන
සිරකරුවකු ලෙස සුදු පාලකයාගේ ග්‍රහණයට පහසුවෙන්ම හසුවෙන බව දත්
උන්වහන්සේ තමන් වහන්සේට කිසිදු හානියක් නො කරන බවට ත්, දඬුවම් නොදෙන
බවටත් නිලධාරීන් ලවා පොරොන්දු කරවා ගත්හ. අනතුරුව මෙම ජාති හිතෛෂි,
ශාසනමාමක, සුගතෝරස, වාරියපොල මාහිමියෝ වම් උරයේ සිවුරු ගැබේ වැඩසිටි
දළදා වහන්සේ ඉංගී‍්‍රසීන් වෙත ගෙනහැර පෑහ. මේ විශ්මය ජනක ක්‍රියාවෙන්
ප්‍රමුදිත වූ ඉංගී‍්‍රසීන් සිය ප්‍රසාදය පල කිරීමක් ලෙස උන්වහන්සේට
“දරාණේ විහාරය” පරිත්‍යාග කළ බවක් ජනප්‍රවාදයන්හි දැක්වෙයි. මෙහි සඳහන්
දරාණේ විහාරය මහව නාගොල්ලාගම දරාණේ විහාරය යැයි සිතිය හැකිය.
1815 මාර්තු 02 වැනි දා සිට ඉංගී‍්‍රසි රජය භාරයේ පැවැති දළදා වහන්සේ
රහසිගතව පැහැරගෙන යාමේ මෙම ක්‍රියාවට එවක රජය විසින් යුද්ධාධිකරණය
මඟින් උන්වහන්සේ වෙත දඬුවම් පමුණුවනු ලැබීය. වාරියපොල මාහිමියන්ගේ මෙම
ක්‍රියාව පිළිබඳ සුළු වෙනස්කම් ඇති ජනකථා කන්ද උඩරටත්, මාතලේ
ප්‍රදේශයෙත් ව්‍යාප්ත වී ඇත. එයින් පැහැදිලි වන එක් කරුණක් නම්
වාරියපොල අනුනාහිමිපාණන් මේ ස්ථානයේ දී ආරක්ෂක භට පිරිස්වලට හසු වූ බව
කියැවෙන පුවත සත්‍යයක් බවයි. දැනට සොයාගෙන ඇති පුස්කොළ පිටපතක (මෙම
පුස්කොළ පොත අභාවප්‍රාප්ත අධිනීඥ වෝල්ටර් විමලචන්ද්‍ර මැතිතුමා සතුව
පැවති අවධියේ මෙම ග්‍රන්ථ කතාවන මා විසින් එය පිටපත් කර ගෙන එය තහවුරු
කොට එතුමාගේ අත්සන ද ලබා ගතිමි.) එන කරුණු අනුව වාරියපොල මාහිමියන්
දළදා වහන්සේ පැහැර ගෙන ගොස් සැඟ වී සිට බව පැහැදිලිව ප්‍රකාශ වෙයි.
එපමණක් නොව උන්වහන්සේට ඉංගී‍්‍රසි රජයෙන් දඬුවම් දී රටෙන් පිටමං කළ
බවක් ද කියැවේ. මේ අනුව එදා ඉංගී‍්‍රසි රජය වාරියපොල මාහිමියන් යාපනයේ
සිර කඳවුරේ රැඳවීමට ගත් තීරණය මඟින් පුස්කොළ පොතේ එන කරුණු සනාථ වේ.
එදා කෙනෙකු යාපනයේ රැඳවීම රටින් පිටමං කොට සැලකීමක් විය. කන්ද උඩරට
වෙනම රාජධානියක් වීමත්, යාපනය මුහුදුබඩ ඈත ප්‍රදේශයක් වීමත් නිසා
පුස්කොළයේ එන පරිදි වාරියපොල මාහිමියන් සිර කඳවුරේ රැඳවීම රටින් පිටමං
කිරීමක් ලෙස සැලකීම යුක්ති සහගතය.
රොබට් බ්‍රවුන්රින් ආණ්ඩුකාරයාගෙන් පසුව ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් සර්
එඩ්වඩ් බාර්න්ස් 1820 පෙබරවාරි මස 25 වැනි දින විදේශභාර මහලේකම් වෙත
යැවූ අංක 05 දරන ලිපියෙන් යාපා පටුනේ රඳවා තැබිය යුතු සිරකරුවන් ලෙස
අදහස් කළ භික්ෂූන් වහන්සේලාගේ ලේඛනයෙහි 04 වැනි අංකයට සඳහන් වන්නේ
වාරියපොල මාහිමියන්ගේ නාමයයි. ඒ අනුව උන්වහන්සේට චෝදනා වශයෙන් නඟා
තිබුණේ ක්‍රි.ව. 1818 කැරැල්ල පැවැති කාලය තුළ දී මහනුවර දළදා මාලිගාවේ
දන්තධාතූන් වහන්සේ පැහැර ගෙන පිටමං කිරීමේ කාර්යයට සහභාගි වීමයි.
මෙයින් පසු වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක මාහිමියන් පිළිබඳ කිසිම
තොරතුරක් ඉංගී‍්‍රසි ලිපි ලේඛනවලින් අනාවරණය නොවන බව පෙනේ.
මෙසේ පරම පූජනීය දළදා වහන්සේ රැක ගැනීම සඳහා ජාතිවාත්සල්‍යයෙන් හා
දේශභක්තියෙන් ජීවිත පරිත්‍යාග කොට ක්‍රියා කිරීම නිසා වාරියපොල ශ්‍රී
සුමංගල අනුනායක මාහිමියෝ එදා ඉංගී‍්‍රසි යුද්ධාධිකරණය ඉදිරියෙහි වරදකරු
බවට පත් වූහ. යාපනයේ සිර කඳවුරේ සිරකරුවකු වශයෙන් කල් ගෙවූහ. 1821
අප්‍රේල් 18 දිනැති ලිපියෙන් වාරියපොල හිමියන් බන්ධනාගාරයෙන් නිදහස්
කොට ඇත.
එහෙත් උන්වහන්සේගේ ශ්‍රී නාමය ලංකා ඉතිහාසය කතාන්තරය දිගේ ම නො සිඳී නො
කැඩී ගමන් කරන්නේ උන්වහන්සේ උදාර බුද්ධ පුත්‍රයකු ද වූ නිසා ය. මේ නිසා
උන්වහන්සේ අනුස්මරණය කරමින් උන්වහන්සේගේ ජන්ම භූමි ප්‍රදේශය වූ
වාරියපොල කෘතවේදී ජනතාව රජයේ අනුග්‍රහය ද ලැබ වාරියපොල නගරයේ ශ්‍රී
සුමංගල නාමය සිහිගැන්වෙන ප්‍රජා ශාලාවක් ඉදිකොට එය ඉදිරියෙහි වාරියපොල
ශ්‍රී සුමංගල මාහිමි ප්‍රතිමාවක් නිමවා අදත් උන්වහන්සේට ගෞරව කරති.
ජාතියේ ණයගැති බව ප්‍රකාශ කරති. එපමණක් නොව ස්වකීය ජාතිවාත්සාල්‍යයෙන්
ඔදවත් වූ මේ ශ්‍රේෂ්ඨ ලංකා බුද්ධපුත්‍රයාගේ ඓතිහාසික කාර්යය වූ
ඉංගී‍්‍රසි කොඩිය පහත හෙළීමේ අභීත ක්‍රියාව සිදු වූ මහනුවර ශ්‍රී
දන්තධාතු මන්දිරය ඉදිරිපිට මහ මලුවෙහි ද එවැනි ම වාරියපොල ශ්‍රී සුමංගල
මාහිමි ප්‍රතිමාවක් ඉදිකොට අදත්, මේ දැනුත්, ජාතියේ ගෞරවය පුදනු ලැබේ.
වාරියපොල මාහිමියන්ගේ වීර ක්‍රියාව
වර්ෂ 1505 සිට ම විටින් විට ශ්‍රී ලංකාව වෙනත් ජාතීන්ට යටත් වූ බව
ප්‍රකට කරුණකි. වරෙක පෘතුගීසීන්ගේත් තවත් වරෙක ලන්දේසීන්ගේත්, නැවත
ඉංගී‍්‍රසීන්ගේත් කුමන්ත්‍රණකාරී උපක්‍රමයන්ගේ සාර්ථකත්වය නිසා ම තමන්
උපන් බිම අන්‍ය ජාතීන්ට යටත් කොට ඔවුන්ගේ වහලුන්, බවට පත්වීමට තරම්
ලාංකිකයා දුබල වූයේ නො දැනුවත්ව මය. මේ තත්ත්වය උදා වූයේ අභ්‍යන්තර භේද
හා ආරවුල් වියවුල් සිංහල ජාතිය තුළ ජනිත කරවීමේ අපූරු ශක්තියක් එම
ජාතීන්ට උරුම වූ නිසා ම නොව ලාංකිකයාගේ අදූරදර්ශී භේදභින්නතා හේතුවෙන්
පෙළගැසුණු චින්තනය මත පදනම් වූ ක්‍රියාදාමයක් අහස උසට ගොඩනැං වූ නිසා ම
නොවේද? එකම ජාතිය මෙසේ ඔවුනොවු හා ගැටෙද්දී උපක්‍රමශීලීව ක්‍රියා කළ
බටහිර ජාතීහු වර්ෂ 1815 දී ඇති කර ගත් තීරණාත්මක ගිවිසුම මගින් කලක්
තිස්සේ ඔවුන් හදවත්හි නලියමින් පැවැති අදහස් සමුදායක් මුදුන් පත්
කරගත්හ. හද පිරි සතුටින් ජය පැන් බොන්නට වූහ. මේ සිදුවීම සමස්ත වශයෙන්
අන්‍ය ජාතීන් විසින් වර්ෂ 1505 දී දියත් කෙරුණු සාර්ථක ප්‍රයත්නයන්ගේ
දීර්ඝකාලීන ක්‍රියාදායමයක උත්කෘෂ්ට ප්‍රතිඵලයක් නොවේද? මෙරට වැසියාම
ස්වකීය මාතෘභූමියේ උරුමය අන්‍ය ජාතීන් සතුකොට දීන ජාතියක් බවට ස්ථිර
වශයෙන්ම මෙතැන් සිට පත් නොවුයේ ද? මෙම සංවේගජනක ඉතිහාස කතාන්තරය තුළ
අපේ කථානායක වාරියපොල ශ්‍රී සුමංගල අස්ගිරි පාර්ශ්වයේ අනුනායක
මාහිමියන්ගේ උදාර ජාතික මෙහෙවර වසර 200 ක් ගත වන අද අපේ විමසීමට ලක්විය
යුතු කාලය එළඹ තිබේ.
වර්ෂ 1815 මාර්තු 02 වෙනිදාට යෙදී තිබුණේ දෙදහස් තුන්සිය සත් පනස් වසක්
ස්වාධීනත්වයේ හිණි හිසට නැග ප්‍රතාපයෙන් සාමන්ත ජාතින් පවා බිය ගැන් වූ
අපේ රාජ්‍යය මහනුවර මඟුල් මඩුවේ දී ගිවිසුම් පත්‍රයක් පිට එංගලන්තයේ
තුන් වැනි ජෝර්ජ් මහ රජතුමාණන් වෙත පවරා දීමයි.
1815 පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉංගී‍්‍රසීන්
විසින් ජීවග්‍රාහයෙන් ගනු ලැබීමත්, 1815 මාර්තු මස 02 වෙනි දා උඩරට
ගිවිසුමට අත්සන් තැබීමත් අතර කාලය ගෙවී ගියේ ඉංගී‍්‍රසි සිංහල දෙපක්ෂය
අතර මහත් උණුසුම් වාදවිවාද සාකච්ඡා පැවැත්වෙමින් විය යුතු යයි සිතන්නට
කරුණු තිබේ. මේ අතර ගත වූ කාලය දෙසතියකට පමණ සීමා විය. උඩරට රජතුමා
ජීවග්‍රාහයෙන් අල්වා ගැනීමෙන් පසු රජමාලිගය ආදී රාජකීය ස්ථානද අවශේෂ
පොදු භූමි ද ස්ව අභිමතය පරිදි පරිහරණයට ඉඩ ලැබී තිබුණත්, ආණ්ඩුකාරතුමා
සහපිරිවරින් ම එහිම විසුවේ වුවද තවමත් යථාර්ථයක් වශයෙන් කඳුකර රාජධානිය
ඉංගී‍්‍රසීන්ගේ බලයට පත් නොවූ බව පැහැදිලිය.
එසේ ම බ්‍රිතාන්‍ය කොඩිය කිසිදු බාධාවකින් තොරව මොවුනට මහනුවර නැංවිය
හැකි වූයේත් උඩරට රජතුමා අල්වා ගත හැකි වූයේත්, උඩරට සිංහලයන්ගේ ම
අනුබලය නිසාය. මොවුන්ගේ අනුබලය ඔවුනට ලැබුණේ, සිංහලයන්ගේ උදාර
පරමාර්ථයන් යටතේ පෙළ ගැසුණු ඉල්ලීම් සමූහයක් උඩ ය. මේ නිසා මේ දෙපක්ෂය
අතර මූලික සම්මතයක් ඇති කර ගන්නා තුරු රටේ පාලන භාරය පිළිබඳ කිසියම්
ස්ථාවරත්වයකට ගෙන ඒමට ඉංගී‍්‍රසීහු අපොහොසත් වූහ. එබැවින් දෙපක්ෂය අතර
ගිවිසුම් පත්‍රයක් සකස් විය යුතු කාලය එළඹිණි. වර්ෂ 1815 මාර්තු මස 02
වැනි දින අත්සන් කොට ප්‍රකාශයට පත් කිරීමට නියම වූ බෞද්ධ භික්ෂූන්
වහන්සේ නමක් (වාරියපොල සුමංගල හිමියන්) විසින් පිළියෙළ කරන ලද මේ
දේශපාලන ගිවිසුම නිසා අවුරුදු දෙදහස් තුන්සියයක් තුළ රැකගෙන ආ සිංහල
රාජ්‍යය හා බුද්ධාගම පිළිබඳ ස්වකීය අයිතිවාසිකම් තවදුරටත් සුරැකෙන සේ
මෙම ශ්‍රී ලංකාද්වීපය බ්‍රිතාන්‍ය මහ රජුට පැවැරුවත්, ලෝකයේ අපරාජිත
මානව වර්ගයක් වීමේ ගෞරවය එදත්, අපේ හෙළ වීරවරයෝ රැක ගත්හ. |