Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 26

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 26

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවරදී මහා පරිනිර්වාණයට පත්ව ආදාහනය කර අවසන් වූ පසු උන්වහන්සේගේ ධාතු කොටස් බෙදා දීමෙන් නෑදෑයන් වන කපිලවත්ථු නුවර ශාක්‍ය වංශිකයින්ටත් ධාතුන් වහන්සේලා කොටසක් ලැබී ඇත. එම ධාතුන් වහන්සේලා කොටස කපිලවත්ථු නුවරට වැඩම කර ගෙනවුත් ස්තූපයක් කර එහි තැන්පත් කර පුද පූජා පවත්වන ලදී. එම ස්තූපය අවස්ථා කිහිපයකදීම විශාල කර ඉදිකර ඇත. අද වුවද කපිලවත්ථු නුවරට යන අපට එම ස්තූපය දැකිය

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වීමට පෙර සිට ශාක්‍ය ජනපදයේ කපිලවත්ථු රාජ්‍යය විනාශය වෙමින් පැවතුණි. ශාක්‍ය ජනපදය කෝසල රාජ්‍යයට අයත් විය. පසේනදී කොසොල් රජතුමා ශාක්‍යයන් හා තම රාජ්‍යය අතර ඇති සම්බන්ධය ශක්තිමත් කිරීම සඳහා ශාක්‍ය වංශයේ කාන්තාවක් විවාහ කර ගැනීමට තීරණය කළේය.

මානයෙන් අධික ශාක්‍යවරු තම කුලයේ අයකු වංශයෙන් පිටස්තර අයෙකු හා සරණ යෑම භීතියට කරුණක් ලෙස සැලකුහ. එහෙත් තමන්ගේ බලසම්පන්න අසල්වැසි රජතුමාගේ සිතුම් පැතුම් වලට විරුද්ධ වීමට ශාක්‍යයන්ට නොහැකි විය. මහානාම ශාක්‍ය රජතුමා මෙයට විසඳුමක් ඉදිරිපත් කළේය.

තමන්ට දාව වහල් කාන්තාවගේ කුසින් උපන් වාසභ කත්තියා නමැති තරුණියක් විය.ඇය පසේනදී රජු බිරිඳ ලෙස සරණ පාවාගත්හ. වහල් තරුණිය ශාක්‍ය කුලයේ කාන්තාවක් හැටියට පිළිගනු ලැබූහ. ශ්‍රාවස්තියට ගෙන යනු ලැබූ ඇය කෝසල රජ පවුල හා විවාහයෙන් එක් වී “විඩුඩභ” නමින් පුතකු ලැබුවාය. “විඩුඩභ” තරුණ වයසට පත්වූවාට පසුව කපිලවත්ථු නුවර සිටින තම නෑදෑයන් දැකීමට යාමට ආසාවක් ඇති විය. එහෙත් ශාක්‍යවරුන් මොහු එහි ගිය පසු ගරු සැලකිලි නොදක්වන බව දත් මව්තුමිය පිරිස සමඟ නෑදෑයන් දැකීමට යන ගමනට අනුබල නොදුන්නේය. කෙසේ හෝ “විඩුඩභ” පිරිසත් සමඟ තම නෑදෑයන් දැකීමට කපිලවස්තු නුවරට ගියේය.

එහිදී මොහුගේ උප්පත්ති තොරතුරු දත් ශාක්‍යයෝ විඩුඩභට කිසිම ගරු සැලකීමක් පිළිගැනීමක් ආදිය සිදු නොකළහ. පහත් තත්වයෙන් පිළිගත් බව තේරුම් ගිය විඩුඩභ නොසන්සුන්ව ආපසු යාමට පිටත් විය. එතැනින් පිටත්වූ පසු ඔහු සමඟ ගිය එක් පුද්ගලයෙකුට ඔහුගේ ආයුධයක් අමතක වූ බව පවසා එය රැගෙන යාමට විඩුඩභ සිටි ස්ථානයට ආපසු පැමිණියේය. ඔහු එන විට විඩුඩභ හිඳගත් ආසනය වහල් කාන්තාවක් විසින් කිරෙන් සෝදමින් ඔහුට අපහාස වන ආකාරයට වහල් දරුවෙකු යැයි සඳහන් කරණු දක්නට ලැබුණි. ඇය වහල් දරුවෙකු යන්නෙන් සේවකයාට විඩුඩභගේ මව කවුද? ආදි තොරතුරු හෙලි කළාය. සේවකයා විසින් සියළු තොරතුරු විඩුඩභ රජුට දැනුම් දුන් විට ඔහු කෝපවී පළිගැනීමට තීරණය කොට නැවත කොසොල් රටට පිටත් විය.

හොඳයි ඔවුන් මා හිඳගත් ආසනයත් එම ස්ථානයත් පිරිසුදු කිරීමට කිරෙන් සේදුවාට කමක් නැත. මා රජවූ විට එම ස්ථානය ඔවුන්ගේ හදවත්වලින් ගලායන ලේ වලින් සෝදමියි අධිෂ්ඨාන කර ගන්නා ලදී.

විඩුඩභ රාජ්‍යයට පත්වූවාට පසු තුන්වරක්ම ශාක්‍යවරුන්ගෙන් පළිගැනීමට හමුදාවක් රැගෙන කපිලවත්ථු නුවරට යෑමට පිටත් විය. එහෙත් එම අවස්ථා තුනේදීම බුදුරජාණන් වහන්සේ විඩුඩභ රජුට යුද්ධ කිරීමෙන් ජීවිත විනාශ වන අයුරුත් එයින් සිදුවන විනාශයත් ප්‍රකාශ කර සිදුවීමට ගිය අනතුර වළක්වාලීය. එහෙත් අන්තිමේදි විඩුඩභ රජු බුදුරජාණන් වහන්සේගේ කීම ප්‍රතික්ෂේප කොට තම හිතේ තිබු වෛරය පිරිමසා ගැනීමට කපිලවත්ථු නුවරට සේනාව සමඟ ගියේය. එහි ගිය විඩුඩභ රජු ශාක්‍යවරුන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්කළ අතර මහානාම ශාක්‍ය රජු හා ඔහුගේ පිරිසේ ටික දෙනෙකුට කිසිඳු කරදරයක් නොකළේ ය.

එයින් පසු කපිලවත්ථු නුවර විනාශය කරාම ගමන් කළේය. තමා සිතු ආකාරයට යුද්ධ කර එය අවසන් වූ පසු යුද්ධ භට පිරිසක් සමඟ සැවැත්නුවරට ආපසු එන විට “අචිරවතී “ ගංගාවේ මහා ජල ගැලීමකට හසු වී රජතුමා ඇතුළු පිරිස විනාශ වූහ.


නිග්‍රෝධාරාමය පිහිටි පුදබිම

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවරදී මහා පරිනිර්වාණයට පත්ව ආදාහනය කර අවසන් වූ පසු උන්වහන්සේගේ ධාතු කොටස් බෙදා දීමෙන් නෑදෑයන් වන කපිලවත්ථු නුවර ශාක්‍ය වංශිකයින්ටත් ධාතුන් වහන්සේලා කොටසක් ලැබී ඇත. එම ධාතුන් වහන්සේලා කොටස කපිලවත්ථු නුවරට වැඩම කර ගෙනවුත් ස්තූපයක් කර එහි තැන්පත් කර පුද පූජා පවත්වන ලදී. එම ස්තූපය අවස්ථා කිහිපයකදීම විශාල කර ඉදිකර ඇත. අද වුවද කපිලවත්ථු නුවරට යන අපට එම ස්තූපය දැකිය හැකිය.

කපිලවත්ථු නගරය හා රාජ්‍ය නායකත්වය ක්‍රමයෙන් විනාශයට පත්විය. පසු කාලයේදි භික්ෂූන් වහන්සේලා කීප නමක් හා පවුල් සුළු ගණනක ගම්වැසියෝ මෙහි ජීවත් වූහ. පසුව එම පිරිසද ස්වභාවික ජල ගැලීම් වලට අසුව එම ප්‍රදේශ අතහැර ගියහ. ඉන් පසුව රාජධානිය මහා වනාන්තකරයක් බවට පත් විය. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 942 කට පමණ පසුව තරම් කාලය තුළදී පාහියන් නමැති චීන ජාතික භික්ෂුව කපිලවස්තු පුරයට පැමිණෙන විට එහි සියලුම ගොඩනැගිලි අතහැර ගොස් තිබී ඇත. එම ප්‍රදේශයම පාළු ස්වරූපයක් ගෙන ඇත.

ගොඩනැගිලි පස් ගොඩවල් බවට පත් වී තිබුණි. එහි පදිංචිව සිටියේ භික්ෂූන් වහන්සේ කීප නමකුත් සාමාන්‍ය වැසියන් පවුල් කීපයකුත් පමණි. සුද්ධෝදන රජතුමාගේ මාලිගාව පිහිටි තැන සිද්ධාර්ථ කුමාරයා හා මව්තුමිය මූර්තිමත් කළ පිළිරුවක් පමණක් විය. ඔහුට සිද්ධාර්ථ කුමාරයාගේ කුඩා කාලයේදි වැදගත් සිදුවීම් සිදුවුන ස්ථාන පෙන්නුම් කරන කුඩා දාගැබ් පෙන්වන ලද පාහියන් භික්ෂුව කපිලවස්තු නුවර සිට ලුම්බිණියට ඇති දුර සහ එය පිහිටා ඇති දිශාවද සඳහන් කර ඇත. පාහියන් භික්ෂුවගේ තොරතුරුවලින් ද දැනගත හැක්කේ උන්වහන්සේ එහි වඩින විට රාජධානිය විනාශ වී ගොස් තිබුණු බවය. සුළු වශයෙන් හෝ නිග්‍රෝධාරාමය භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගෙන සිටි බවයි.

බුද්ධ පරිනිර්වාණයෙන් අවරුදු 1178 ක් තරම් කාලය තුළදි තවත් චීන සංචාරක භික්ෂූන් වහන්සේ නමක් වන හියුෂාන් හිමියන් කපිලවස්තු පුරයට වැඩම කර ඇත. පාහියන් භික්ෂුව දුටු දර්ශනයට සමාන දර්ශනයක් මේ භික්ෂුවද කපිලවස්තු පුරයේ දැක ඇත.

“මා කපිලවස්තු පුරයට පැමිණෙන විට රාජධානිය (අගනුවර) නටබුන්වලින් පිරී තිබුණි. මාර්ගය නම් හරියාකාරව සඳහන් කළ නොහැකිය. මේ රාජධානියේ මාලිගා භූමියේ සීමාව වටා ආරක්ෂක වලලු 14 ක් 15 ක් පිහිටා තිබුණු බව පෙනේ. මේ සියල්ලම ගඩොල් වලින් ගොඩනඟා ඇත. අත්තිවාරමේ බිත්ති තවමත් ශක්තිමත්ය. උසය. මේ නගරය බොහෝ කාලයකට කලින් අතහැර දමා ගොස් තිබේ. පදිංචිකරුවන් ඇති ගම් ස්වල්ප දුරින් දුරට පිහිටා ඇත” .

ඒ අනුව හියුෂාන් භික්ෂුව කපිලවත්ථු නුවරට යාම සඳහා ගෙවන්නට වූ දුර ප්‍රමාණය හා පිහිටි දිසාව ද සඳහන් කරයි. මෙම නුවර විනාශ කිරීමෙන් පසුව නැවත කිසිදිනක ප්‍රතිසංස්කරණය නොකළ බව පෙනේ.අවට ඇති කැලෑවලට වගා කළ හැකි ගොඩ ඉඩම් ගොදුරු විය. ජනගහණය හීන විය. කපිලවත්ථු නුවර ඉන්පසු ආරක්ෂාකරගෙන ඇත්තේ එහි විසූ භික්ෂූන් වහන්සේ කීප නමක් විසින් හා වරින් වර එහි පැමිණී වන්දනාකරුවන් විසිනි. ඉන්දියාවේ බුද්ධාගම දුර්වල වී යාමත් වන්දනාකරුවන් එහි නොපැමිණීමත් සමඟ නගරය කැලෑවෙන් වැසීයාම නිසා කපිලවස්තු පුරය පරිහනියට ගියේය.


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 25