Print this Article


අතීත ධර්ම දේශනා ක්‍රම

අතීත ධර්ම දේශනා ක්‍රම

දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟාවීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ට ද එයින් ලෞකික සතුටක් වුව ද ලබා ගැම උගහට නොවේ. එහෙයින් අතීත මෙරට ජනතාව ධර්ම දේශනා, පින්කම් සංවිධානය කිරීම අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වග බලා ගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ විට ඒ බැව් මැනවින් පසක් වෙයි.

පැරැණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති වකවානු වල බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙයි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහි ජනතාව ද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන වන තෙක් ධර්ම ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු වස්, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පද භාණක, ධම්මකථික යනුවෙන් තුන් නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා, මඟුල් බෙර වාදන, ජාම කාසි එකතු කිරීම වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනියි. දිවා කථීක හිමියන් ජනතාව රැස්වන තුරු පොදු අනුශාසනාවන් පවත්වයි. පදභාණක හිමියෝ මාතෘකා සූත්‍ර කිහිපයක් කටපාඩමින් දේශනා කරති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කරමින් ධර්ම දේශනා කරති.

ධර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණු. මහාවංසය වැනි වංස කතාවල සඳහන් පරිදි, දක්ඛිණවිභංග සූත්‍රය, දේවදූත සූත්‍රය, ගිලාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, අරියවංස සූත්‍රය වැනි සූත්‍ර දේශනා සහ ජාකත කතා දේශනාවන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. මෙම දේශනා උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහ නොමදව ලැබුණි. වෝහාරතිස්ස, රජතුමා අරියවංස දේශනා උත්සවය සඳහා දානය පිරිනැමීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. තෝනිගල සෙල් ලිපියට අනුව ‘දේව නමැත්තෙක් කාලසුමනක නම් බැංකුවෙහි වී, උඳු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොට එහි පොලියෙන් ‘යහිසපවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි.

ලබුඇටබැඳිගල සෙල් ලිපියට අනුව පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක්ද විස්සක් ද, තැන්පත් කර, එම පොලියෙන් දේවගිරි විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනා පින්කමට ආධාර කරයි. පසු කාලෙයහි අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස් වී නව මුහුණුවරකින් එළි දකින්නට විය. ඒ අනුව ‘ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, අභිධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගනියි.මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස්, නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතරින් ‘සච්චක දමනය, ආලවක දමනය, යමරජුගේ නඩු තීන්දුව, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය, යන මේවා ප්‍රධාන තැනක් ගනියි.

මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලා ද සොයා ගැනීම අපහසුය. එහෙත් ඇතැම් පිටිසර බද ප්‍රදේශවල අදද මෙම දේශනා ක්‍රම නොනැසී පැවතීම වාසනාවකි.

හුදෙක් ධර්මාවබෝධය ලබා ගැනීම පමණක් මේවා මඟින් අපේක්ෂා නොකළ අතර, දැයෙහි සමගිය, සමාදානය, සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චාරිත්‍ර පිළිබඳ විමසීමේ දී පෙනෙයි.

මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොකඩවා ග්‍රහණය කර ගන්නටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් වහන්සේලා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් බෙහෙවින් බලපා ඇත. වත්මන් ධර්ම දේශනාවක් පැයකට පමණ සීමා වන බව කව්රුත් දනිති. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරාවට පැවත්වුණි. ගොවිතැන් කර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත් වෙයි. නිදහසේ මෙවැනි පින්කම්වලට සහභාගි වීමට හැකියාව ලැබුණි. එයින් ඔවුහු අසීමිත ආශ්වාදයක් ලැබූහ. ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ ගැන ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමට ද නැරඹීමට ද ජනතාව බෙහෙවින් කැමති විය. එවැනි දේශනාවක් පැවැත්වෙන බව ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින් ද ප්‍රචාරය කරයි. මුද්‍රණ කටයුතු පහසුවෙන් කර ගත නොහැකි එදා, අත් අකුරන් ලියන ලද දැන්වීම් මඟින් ද ප්‍රචාරය කරයි.

“සම්බුදු පියා දෙසූ බණ ටික අහගන් න
බිහිසුණු අලව් යකු දමනය කරලන් න
දහ අට වන දිනය අමතක නොකරන් න
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන් න

මෙය අදට වසර හැටකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගත් කවියකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දින ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙළ කරති. අඳුර වැටෙත්ම පන්දම්, හුළු එළි දල්වාගෙන කව්රුත් පන්සලට පැමිණෙති. පන්සලට උචිත ඇඳුමින් සැරසීමට කව්රුත් වග බලා ගත්හ. නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීමේ හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදු විය. බුදුන් උදෙසා මල් පහන් ගිලන්පස පිදීම විශේෂ විය. පංච තූර්ය වාදනය මැද්දේ එම කටයුතු සිදු විය. අනතුරුව මල් බඳුන් වෙන්දේසි ආරම්භ වෙයි.මෙවැනි ක්‍රියා මගින් ගැමියෝ අහිංසක විනෝදාශ්වාදයක් ලැබූහ. මල් බඳුන් අලෙවියෙන් පසු සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු වෙයි. මේ සියල්ල සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙනි. මේවා අතරට පන්තේරු නැටුමක් වැනි නැටුමක් ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කරගෙනය. ඒ සඳහා සුදුසු ශිල්පීන් ගමෙන්ම සොයා ගත හැකි විය. මෙම මූලික කටයුතු වලින් පසුව දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි හඬ මධ්‍යයේ අත් පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලා ගෙන පුටුවක් මෙන් සකස් කර ගත් එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කරවා ගෙන ඔසවාගෙන ධර්මාසනය මතට වැඩම වීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වැඩ හිඳීමෙන් පසු, මංගල හේරි නාදය පවත්වයි. රැස්ව සිටින සියලු දෙනා එකවර සාධු නාද පවත්වයි. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතු ය. පන්සිල් ඉල්ලීමට හැකියාව ඇති හඬ නඟා මිහිරිසරෙන් ගායනා කළ හැකි බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියෙහි දොහොත් මුදුන් තබාගෙන,

බුද්ධමානි චිත්‍යපාද පුම්බුපේත රෝරුගම්
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම්
කාමනාථ සග්ග පාද නිබ්බුතේන අන්ත්‍යගම්
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමං”

මෙවැනි ගාථා සහ කවි කියමින් පන්සිල් ආයාචනා කරයි. පන්සිල් ඉල්ලීමෙන් පසු නමස්කාරය කීමට අවසර ඉල්ලන්නේ මෙසේ ය.

‘පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම් ලත් මෙම මන්දි රේ
එවෙනි සව්සත දහම් අසමින් නිවන් පුරයට සන්තො සේ
දිව පුරට ගොස් ඉසුරු විඳිනට සැම සතුන්ටම සිද්ධ වේ
මෙ අපි සැමටම නමස්කාරය කියන්නට දැන් අවස රේ’

මෙලෙස නමස්කාරය කීමට අවසර ඉල්ලා නමස්කාරය කියති. අනතුරුව පන්සිල් දෙති. පන්සිල් සමාදන් වීමෙන් පසුව දහම් දෙසන මෙන් ආරාධනා කරයි. ඒ සඳහා කවි ගාථා රැසක්ම ඇත. මේ එවැනි කවියකි. මෙලෙස ආරාධනා කිරීමෙන් පසු දේශකයන් වහන්සේ ‘සග්ගේ කාමේච රූපෙආදී වශයෙන් වර්තමානයේ ද භාවිතා වන ගාථා කිහිපය දේශනා කිරීමෙන් දේවාරාධනය කරති. අනතුරුව පැරණි තාල අනුව නමස්කාර ගාථා කියයි. එනම්,

“ගගන තල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳි සොඳ උඩු විය න්
අවට වට තරු විලස බබළන අඳුර දුරු කරලා පහ න්
රුවට වගුරැළ පෙළට මලලොඹු දොරටු වල සැදි පුන් කළ ස්
එමැද වැඩ උන් බණ අසුන් පිට යතිඳු පාවැඳලා කිය ම්

‘සංපීන ලක්ඛණ විරාජිත රූප සාරං
සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං
දේහං වරක්ිත භවන්තය ඤෙය්‍ය ලෝකං
ලෝකඤ්ඤුතං ජිනවරං සිරසා නමාමී

සන්තින්ද්‍රියං විත පාපමලං විසුද්ධං
සම්බුද්ධ සාසන නහේ විය පුණ්ණ චන්දං
යං අග්ග පුග්ගල පවග්ග මහග්ඝ දානං
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමී’

අනතුරුව දීර්ඝ ‘චූර්ණිකාව‘ කියයි. මෙය අනුප්‍රාස සමාස වලින් සපිරි කියමනක් නිසා උවසු උවැසියෝ සැදැහැයෙන් යුතුව අසාගෙන සිටිති. මෙලෙස චූර්ණිකාව දේශනා කිරීමෙන් පසු ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ‘සංග්‍රහවක්’ කියයි. එය දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. ‘මෙසේ පූර්ව කටයුතු රැසක් සිදු කිරීමෙන් පසු, මාතෘකා පාඨයක් හෝ සූත්‍රයක් කියයි. ධර්ම අවවාද කරයි. මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි.

‘ආලවක දමනය’ වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනා වලදී, බුදු හිමියන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මඟින් දහම් කරුණු ලිහිල්ව ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත් බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් වටහා ගත හැකිය. දහස් ගණන් සෙනඟ රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු බලා සිටිති. ඝෝරබිරං හඬ නංවමින් අලව් යකු පැමිණෙන විට නින්දට වැටී සිටි ළමා ළපටියන් බියට පත් වී හඬ නගති. එය ඉතා උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමඟ අලව් යකු දමනයට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යක්ෂයාට බිලි පිණිස පිළිගැන්වීමත්, යකු විසින් කුමරු බුදු හිමියන්ට පූජා කිරීමත් දකින සංවේදී කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.

සියල්ල අවසන් වීමෙන් පසු, ‘මෛත්‍රී වර්ණනාවෙන්’ ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. මෛත්‍රී වර්ණනාව මගින් පැවසෙන්නේ මෛත්‍රී බුදුන් දකින සහ නොදකින අය පිළිබඳවයි. පුණ්‍යානුමෝදනාව කිරීමෙන් පසු, හේවිසි මධ්‍යයේ දේශකයන් වහන්සේ පෙර පරිදිම අත් පුටුවෙහි තබාගෙන පන්සල තුළට වැඩමවනු ලබති. මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම සකස්වී තිබූ ක්‍රමයන්ය. මෙවැනි සද් කාර්යයන්ගෙන් එදා ජනතාව මෙන්ම මහා සංඝරත්නයද බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය වැනි කරුණු මිස යම් යම් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීම නොවන බව පැහැදිලිය.