පූජාච පූජනීයානං
ඊතණවත්තේ අත්ථදස්සි හිමි
මොණරාගල, බිබිල, ඊතණවත්ත ගම් පියසෙහි 1953 ඔක්තෝබර් මස 13 වැනි දින උපත
ලද කුමරුවාට දෙමාපියන් විසින් සෙනෙවිරත්න බංඩාර යනුවෙන් නම් තබන ලදී.
ආසල් අධ්‍යාපනය සඳහා මුල්පොත තබන ලද්දේ ධම්මපාල මහා විද්‍යාලයෙනි. එහි
09 වැනි ශ්‍රේණිය තෙක් උගත්හ.
තම ප්‍රදේශයේම පිහිටි ටැම්ගොඩ රජ මහා විහාරස්ථානයේ දී 1969 සැප්තැම්බර්
මස 27 වැනි දින ඊතණවත්තේ අත්ථදස්සි නමින් පැවිදි විය.
1971 දී මුද්දරගම හිරිකුළුව ශ්‍රී විද්‍යාදර්ශී පිරිවෙනට ඇතුළු වූ
උන්වහන්සේ එහි පිරිවෙන්පති කළුතර ගුණානන්ද හිමියන් සෙවණේ වැඩ හිඳිමින්
මූලික පිරිවෙන් අවසාන විභාගය තෙක් අධ්‍යාපනය ලැබූහ. ඒ කඩඉම ඉතා හොඳින්
තරණය කළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී
සුභද්‍රාරාම විද්‍යායතනයට 1976 වසරේ ඇතුළු වී එහි පිරිවෙන්පති
තිඹිරිවැව සුමනසාර හිමියන්ගේ අවවාද අනුශාසනා මධ්‍යයේ උසස්පෙළ විෂය
ධාරාවන් පමණක් නොව ප්‍රාචීන විෂයයන් ද ඉගෙනගෙන ඉහළින්ම සමත්වූහ.
මේ වන විට උන්වහන්සේ 20 වයස් සපුරා සිටි බැවින් 1975 ජූනි මස 18 වැනි
දින සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මූලස්ථානය වූ මහනුවර උපෝෂථ
පුෂ්පාරාම විහාරස්ථ සීමා මාලකයේ දී උපසම්පදා වූහ.
ඒ ටැම්ගොඩ හා උදයගිරි රජමහා විහාරද්වයාධිපති සේනාපතියේ ධර්මකීර්ති
ශ්‍රී ධම්මපාල සුදස්ස්‍යාභිධාන අම්පාර මඩකලපු දෙපළාතේ ප්‍රධාන සංඝනායක
හිමිපාණන් වහන්සේගේ හා ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේගේ
ආචාර්යත්වයෙනි.
උසස් අධ්‍යාපනය නිමාකළ උන්වහන්සේ 1980 දී නැවත ටැම්ගොඩ විහාරස්ථානයට
වැඩම කර එහි වැඩහිඳිමින් සාසනික කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.
1983 දී ටැම්ගොඩ විහාරස්ථානයේ පිරිවෙනක් ආරම්භ කරන්නට යෙදුනෙන්
උන්වහන්සේ ද ඒ සඳහා නොමඳ දායකත්වයක් ලබාදුන්හ.
1996 දී ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩසිටි ලුණුගල සුනන්ද හිමිපාණන්
වහන්සේ අපවත් වූ බැවින් ය. විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පමණක් නොව
පිරිවෙනේ කෘත්‍යාධිකාරීත්වය ද උන්වහන්සේට දරන්නට සිදු විය. පිරිවෙන්
විහාරස්ථානයේ අඩුවක්ව පැවති ගොඩනැගිලි අලුතින් ඉදිකළ අතරම ගරාවැටී
තිබුණු දෑ ප්‍රතිසංස්කරණය ද කළහ. විශේෂයෙන්ම සියලු විහාරාරංගයන්වලින්
සමන්විත ඌව පළාතේ ඇති පැරණිතම විහාරස්ථානය වශයෙන් නම් දරා සිටින්නේ මේ
විහාරස්ථානයයි. ඒ ගමන් මඟේදී සුවිශාල සේවාවක් සපයන ලද්දේ අත්ථදස්සි
හිමිපාණන් වහන්සේ විසිනි.
භික්ෂු ජීවිතයේ චිරාගත සම්ප්‍රදායයන් එලෙසින්ම ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන
උන්වහන්සේ පරිත්‍රාණ ධර්ම දේශනා හා අනෙකුත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ද
නෛපුණ්‍ය කථිකයෙකි. විහාරස්ථානය හා සම්බන්ධව පවත්වාගෙන යන සමිති සමාගම්
රැසක අනුශාසක වශයෙන් උන්වහන්සේ ඒවායේ ඉදිරි පැවැත්ම උදෙසා මහඟු සේවාවක්
සපයති. ඊතණවත්තේ අත්ථදස්සි හිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ සූවිසි ගුණ
මහිමයෙන් ඉදිරියටත් සසුන් කෙත අස්වද්දන්නට සියලු ශක්තිය ධෛර්යය
ලැබේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
පදියතලාවේ ඤාණවිමල හිමි
නවදගල චන්දසිරි නා හිමි
බුලත්සිංහල, ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, ඈගල්ඔය ශ්‍රී
සුනන්දාරාමය, දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය යන විහාරත්‍රයාධිපති, ගෝවින්න
මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පස්යොදුන්රට ප්‍රධාන
සංඝනායක, ශාස්ත්‍රපති, සද්ධම්ම වාගීශ්වර ධර්ම විශාරද නවදගල චන්දසිරි
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2015 ජනවාරි 31 දාට සිය ජීවන මගේ 59 වන
විය සැපිරිණි.
උන්වහන්සේ ජන්මලාභය ලැබුයේ 1956 ජනවාරි 31 දාය. ඒ ගාලු දිස්ත්‍රික්කයේ
ඇල්පිටිය නවදගල ග්‍රාමයේදීය. පැවිදි බිමට පිවිසියේ 1970 නොවැම්බර් 05
දාය. වීදාගම දෙල්ගස්වත්ත මහා විහාරයේදීය.
එදා මෙදාතුර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේගෙන් සම්බුද්ධ
ශාසනයටත්, ප්‍රදේශයටත් සිදුවන මෙහෙය අති විශාලය.
උන්වහන්සේ මූලික අධ්‍යාපනය ලැබුයේ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා
පීඨයෙනි. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන්
අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගත්තේ ය.
අනතුරුව ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් වශයෙන් ගුරු සේවයට බැඳුණේ ය. ඒ
තුළ උන්වහන්සේ නියෝජ්‍ය විදුහල්පති හිමි නමක් වශයෙන් මනා කැපවීමකින්
යුතුව පාසලේත් සිසු දරු දැරියන්ගේත් දියුණුව උදෙසා කාලය, ශ්‍රමය කැප
කළහ.
තමන් වහන්සේ විහාරාධිපතිත්වය උසුලන විහාරස්ථානයන්හි සියලු
විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ කළහ.
ප්‍රදේශයේ දායක දනන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පියවර ගනිමින්, මග
පෙන්වමින් කටයුතු කරයි. ශාසනික අවශ්‍යතා සඳහා තම යුතුකම නොපිරිහෙලා
ඉටුකරනු ලබයි.
විහාරස්ථ ශ්‍රී සුදර්ශන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් තම සේවය කිරීම
තුළින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවති.
ප්‍රදේශයේ සමිති සමාගම්වලට අනුශාසකත්වය දෙමින් ඒ සඳහා මඟ පෙන්වමින්
උන්වහන්සේගෙන් සිදුවන සාමාජික සේවාවද අති මහත්ය.
ශාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා පැවිදි සිසු පිරිසක් ද ඇති
කරමින්උන්වහන්සේලා ගුණ නැණ දෙකින් පෝෂණය කරන්නට ගන්නා වූ වෙහෙස ඉතා
වටනේය. සිය ජීවන මගේ 59 වන ජන්ම දිනය සමරණ හිමිපාණන්ට, කරන්නා වූ
ශාසනික, ජාතික, සමාජයීය සේවාව තව තවත් ඉටුකිරීම සඳහා අවශ්‍ය ශක්තිය,
ධෛර්ය ලැබේවා, උන්වහන්සේට නීරෝගී සම්පත් ජීවනය ලැබේවා.
ගෝවින්නේ,
යූ.ඩී.බන්දුසේන
බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමි
අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියන් වහන්සේගේ
සැට වන ජන්ම දිනය මෙම පෙබරවාරි 17 දිනට යෙදිණි.
1956 පෙබරවාරි 17 දා කේ.ඒ. හෙන්ද්‍රික් හා ලුසිනෝනා දම්පතින්ගේ කනිටු
පුත් රුවන ලෙසින් බම්බලපිටියේ දී උපත ලැබීය. කොළඹ ලුම්බිණි
විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් 1967 අප්‍රේල් 28 දින චේතියගිරි
විහාරාධිපති රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් හා අම්බලන්ගොඩ රන්දොඹේ මහාචේතිය පරිවේනාධිපති රාජකීය
පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන්
ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්නහ.
ගුරු හිමි ඇසුරෙන් සාමණේර බණදහම් උගනිමින් මහා චේතිය පිරිවෙනේ
අධ්‍යාපනය ලබමින් වැඩිදුර අධ්‍යාපනය රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධර්මකුසල
මහානායක හිමියන් පරිවේණාධිපතිත්වය දැරූ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය
පිරිවෙනෙන් ලදහ. සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂා පිළිබඳ
දැනුමෙන් පෝෂිතව ප්‍රාචීන අධ්‍යාපනය අවසානය දක්වා උගත් ආනන්ද තිස්ස
සාමණේරයෝ 1975 ජූලි මස 06 වන දින අමරපුර නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමියන්ගේ ආචාර්ය
උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පන්න බව ලදහ. ශිෂ්‍යයෙකු වෙතින්
ගුරුවරයෙකුට කළයුතු සියලු යුතුකම් වගකීම් නොපිරිහෙළා ඉටුකරමින් මහත්
ගුරු භක්තියෙන් පිරි ආනන්ද තිස්ස හිමියනට 1978 සැප්තැම්බර් 06 දින ගුරු
හිමියන්ගේ අපවත්වීම දරාගත නොහැකි මහත් පාඩුවක් විය. එදින සිට තරුණ
ආනන්ද තිස්ස හිමි නමට පැවරුණු විහාරාධිපතිත්වයේ මහා යුතුකම් වගකීම්
රැසක් කරන්නට සිදුවිය.
නිරහංකාර, නිහතමානී සැබෑ සංඝ ශෝභන ගුණයෙන් අනූන ආනන්ද හිමියන් වටා බොහෝ
දෙනා ඒක රාශී වූහ. විහාරස්ථානය හා සම්බන්ධ කුදු මහත් කටයුත්තෙහි දායක
කාරකාදී කාගේත් සහය ලබමින් මහත් මෙහෙවරක් සිදු කළහ.
ඉපැරණි විහාර මන්දිරය මුළුමනින්ම දර්ශනීය ලෙස ප්‍රතිසංස්කරණ කළ
උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසාම චේතියගිරි මහ සෑය ගොඩනැංවිණි.
කලාත්මක මලසුන්, ගෙවල් පියගැටපෙළ පිවිසුම් දොරටුව දර්ශනීය වේ.
බෝධීන් වහන්සේ වටා රන්වැට ඒ ආසන්නතම අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය
සෝමාරාම තිස්ස නාහිමි අනුස්මරණ පුස්තකාලය උන්වහන්සේ විසින් සිදුකළ
විශිෂ්ට නිර්මාණයන්ය. දාන ශාලා, ධර්ම ශාලා ආදී සියලුම අංගයන්ගෙන්
සපිරුණු චේතියගිරි විහාරස්ථානයේ ඉපැරණි කොස්වඩුවේ දේවාලය නවතම
ප්‍රතිසංස්කරණයට ලක් කරමින් සප්ත මහා දේව මන්දිරය ද ආනන්ද හිමියන්
විසින් ගොඩ නැන්විණි.
චේතියගිරි විහාර සියවස් සමරුව මහත් ඉහළින් සිදුකළ උන්වහන්සේ ඒ පිළිබඳ
බොහෝ කටයුතු ඉටු කළහ. විසි හය වරකටත් වඩා වසරකට දෙවරක් බැගින් දඹදිව
බුද්ධ භූමි වන්දනාවේ උන්වහන්සේ යෙදෙනුයේ බොහෝ පිරිසකට එහිලා අවකාශ
සලසමිණි. මෑත භාගයේ දී තායිලන්ත, බුරුම, මැලේසියා, සිංගප්පූරු වන්දනාවේ
ද යෙදීම සිදු කරති.
උන්වහන්සේගේ චේතියගිරි දහම් පාසලෙන් රටදැය සමයට උදාරතර පිරිසක් බිහිව
සිටිති. ප්‍රදේශයේ සමිති සමාගම් රාශියක අනුශාසකත්වය දරමින් මහත්
සේවාවක් සිදු කරන ආනන්ද තිස්ස නාහිමියෝ සිය දායකකාරකාදීන්ට ගමට පමණක්
නොව මුළු පළාතටම හා මහත් මෙහෙවරක් ඉටු කරන්නාහ. නම්බු නාම, කීර්ති,
ප්‍රශංසා, පසුපස නොයන උන්වහන්සේ මහත් ජනප්‍රසාදයක් දිනා සිටිති.
ලෝක ශාසනද්වයට අපමණ මෙහෙවරක් සිදු කරන ආනන්ද තිස්ස නාහිමියෝ සිය ජන්ම
දිනය සමරනුයේ ඓතිහාසික සෙංකඩගල පුර ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයේ
ශ්‍රී දළදා වහන්සේ උදෙසා ගිලන්පස දාන, මුළුතැන් දාන මෙන්ම මල්වතු
අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රධාන මහ සංඝයා වහන්සේලා විෂයෙහි දානමය
පුණ්‍ය ක්‍රියා සිදු කිරීමෙනි.
මෙම පෙබරවාරි මස 17 දිනයට එළඹෙන සැටවන ජන්ම දිනය නිමිත්තෙන් 17 – 18
දෙදින දළදා මන්දිරයෙහි ඒ මහා පුණ්‍ය කර්මය 26 වැනි වරටත් සිදු කෙරිණි.
සැටවන ජන්ම දිනය සමරන බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියන්ට අයුරාරෝග්‍ය
සම්පත් ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය
සිරිපාල මාදුවගේ |