Print this Article


සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය –
හීන –ග්‍රාම්‍ය, පෘථග්ජන ,අනාර්ය,අනර්ථ සංහිත නිසා කාමසුඛල්ලිකානු යෝගයත් දුක්ඛ ,අනාර්ය, අනර්ථ සංහිත නිසා අත්තකිලමථානුයෝගයත් නොසෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලන “ධම්ම චක්කප්පවත්තන සූත්‍රය” සෙවිය යුතු නිවැරැදි මග ලෙස “මජ්ක්‍ධිමා පටිපදා” නමින් හඳුන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරයි. මේ ප්‍රතික්ෂිප්ත අන්තද්වයෙහි ම පොදු ලක්ෂණ දෙකක් වූ අනාර්ය බවත් අනර්ථ සංහිත බවත් ඉක්මවා සිටීම එම අන්තවාදයන්ගෙන් මජ්ක්‍ධිමා පටිපදා නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය විශේෂයෙන් වෙන්කොට දක්වන හේතුව වන නිසා ආර්ය හා අර්ථ සංහිත බව එහි විශිෂ්ට ලක්ෂණ දෙක වන්නේය. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර –
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය, “මජ්ක්‍ධිම පටිපදා” නමින් හඳුන්වයි. එය මධ්‍යම මාර්ගයක් වන්නේ අන්තද්වයක් බැහැරලා අන්තයන් සියල්ල ඉක්මවා සිටින බැවිනි. මෙසේ අන්ත දුරලීම ආර්ය මාර්ගයෙහි සෑමඅංගයක් කෙරෙහිම දක්නට ලැබෙන ලක්ෂණයෙකි. ශීල සමාධි ප්‍රඥා ස්කන්ධත්‍රයෙහිම අන්ත බැහැරලීම අනිවාර්යෙන්ම සිදු කළ යුත්තකි. බුදු සමය හඳුන්වා දෙන මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය මාර්ගය පුද්ගලයා ගේ ලෞකික ජීවිතයද සැපවත් කරන අතර පරමාර්ථ වශයෙන් සදාතනික සැනසීමට ද මඟ පෙන්වයි.

ප්‍රශ්නය –
බොදුනුවෙකු තුළ තිබිය යුතු ඇති කර ගත යුතු ගති ලක්ෂණ බුදුහු මෙසේ වදාළහ.

අක්කොසං වධ බන්ධංච
අදුට්ඨො යො තිතික්කති
ඛන්ති බලං ඛලානිකං
තමහං බ්‍රෑමි බ්‍රාහමණ

මෙහි සරල අදහස පැහැදිලි කොට මෙම බුද්ධ දේශනාව පැවැත්වීමට හේතුපාදක වූ කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර –
යම් පුද්ගලයෙක් ගැරහීම, අවමානය, වද වේදනා දීම, හිංසනයට පත් කිරීම ආදි සියල්ල අභියෝගාත්මක ව ඉවසීමෙන් ජයග්‍රහණය කරන්නේද, ඔහු මහණ බමුණකු වශයෙන් මම සලකමි. යනු එම ගාථා පාඨයේ අදහසයි.

හේතු පාදකය ( නිදාන කථාව) අක්කොසක භාරද්වාජ බමුණාගේ සහෝදර භාරද්වාජ බුදුන් වහන්සේ හමුව විවාදයකින් අනතුරුව පැවිදි විය. මෙයට උරණ වූ අක්කෝසක බුදුරජුන් වෙත ගොස් පරුෂ වදනින් පරිභව කළේය. බුදුරජාණන් වහන්සේ අක්කෝසක බමුණා ගේ පරිභවය නොසලකා ආහාර පාන දීමෙන් ආගන්තුක සත්කාර කොට තමා වෙත ප්‍රසන්න සිත් ඇත්තකු බවට පත් කර ගත්හ. මේ හේතුවෙන් සුන්දකෙ භාරද්වාජ විලිංගික භාරද්වාජ යන බාල සහෝදර දෙපළ ද පැවිදිව රහත් බවට පත්වූහ.

මේ අතර දින දම්සභා මණ්ඩපයෙහි භික්ෂූන් අතර ඇවැත්නි “බුදුගුණ මහත් අසිරිය. සහෝදරයින් සිව් දෙනෙක් ඉදිරියට අවුත් ඇනුම් බැණුම් අපහාස නින්දා පරිභව කරද්දී ඔවුනට පිළිතුරු වශයෙන් පෙරළා නොබැන, ආහාරපාන ද ලබා දී සසර විමුක්තිය උදෙසා පිහිට වීමෙන් අනුග්‍රහ දැක් වී යැ” යි කථාබහක් ඇති විය. බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.

ප්‍රශ්නය –
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවරේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය බුදුරජුන් ගේ ජන්මභූමිය ද විය. මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බුදු සසුනට එකතු වූ විශේෂිත පුද්ගල නාමයන් කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර –
මහා ප්‍රජාපතී ගෝතමී ,යශෝධරා, රාහුල, නන්ද ,අනුරුද්ධ, නාගකිම්බිල යන අයය.

ප්‍රශ්නය –
පහත දැක්වෙන්නේ ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි ධර්මස්ථ වර්ගයේ පළමු වන ගාථා ධර්මයයි. මෙහි සරල අර්ථය පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්ම දේශනා කළ නිදාන කතාව පැහැදිලි කරන්න.

න තෙන හොති ධම්මට්ඨො
යෙ නත්ථං සහසා නයේ
යොච අත්ථං අනත්ථංච
උහො නිච්ඡෙය්‍ය පණ්ඩිතො

පිළිතුර
යුක්තිය පසිඳලීමේ විනිශ්චය,අසත්‍යයෙන් යුතුව සඟවා විනිශ්චය කිරීම යුක්තිගරුක, සාධාරණ විනිශ්චයක් නොවේ. සත්‍ය හා අසත්‍යය නුවණැති තැනැත්තා නිශ්චය කොට යුක්තිගරුක විනිශ්චයට පැමිණෙන්නේය. ධර්මයෙහි පිහිටි ඔහු ධර්මයෙන් ම ආරක්ෂා කරන්නේය.

සැවැත් නුවර ජේතවනාරාම වාසී භික්ෂූන් වහන්සේ පිඬු සිඟා වඩින මහ මග දී ඇදහැළුනු මහ වර්ෂාවක් නිසා ඉදිරියෙහි හමු වූ අධිකරණ ශාලාවට ගොඩවූහ.

එහිදී අල්ලස්ගෙන හිමියන් අහිමියන් කරමින් වරද කළ වුන් නිදහස් කරමින් නිදොස් අහිංසකයන් දඟ ගෙට යවමින් නඩු විසඳන මහා විනිසකරුවන් දැක”අනේමේ විනිසකරුවෝ නොදැහැමියි (අධාර්මිකයි) මොවුහු ධාර්මික ව යුක්තියෙහි පිහිටා නඩු විසඳතියි. අපි මෙතෙක් සිතා ගෙන සිටියෙමු.අධිකරණ ශාස්ත්‍රය නොදන්නා අපිටත් යුක්තිය මේ යැයි දැනෙද්දී මොවුනට යුක්තිය නොදැනෙන්නට හේතුවක් නැත.

මොවුන් අල්ලසට යටත්ව නොදැහැමි ව නඩු විචාරති” සිතා වැසි පායා ගිය කල්හි විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ වෙත “මහා විනිසකරුවෝ යුක්තිය පසෙක තබා රාජ ධර්මයට විරුද්ධව නඩු විචාරති” යි සැළ කළහ. බුදුරදුන් මෙය අසා, මහණෙනි,ජන්දාදී සිව් අගතියට ගොස් සැහැසි ව නඩු විසඳන්නෝ ධර්මයෙහි පිහිටියෝ නොවෙති.

අපරාධය – වරද මැනවින් දැන,අපරාධය වරද සොයා බලා රාජ ධර්මය හා යුක්ති ධර්මයට එකඟව විනිශ්චය කරන්නෝම ධර්මයෙහි පිහිටියෝ වේ යනුවෙන් වදාළ සේක.