අල්ප අවශ්‍යතාවයි සතුටයි
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
“අප්පිච්චතා” යන මෙම පාලි වදනේ අරුත වන්නේ අල්ප කැමැත්තයි. ව්‍යවහාරයට
අනුව එයින් අදහස් කෙරෙන්නේ අල්ප අවශ්‍යතාවන්ගෙන් සතුටු වීමයි. එය බෞද්ධ
ඉගැන්වීම්වල අන්තර්ගත අතිශය වැදගත් පුරුෂාර්ථයකි.අල්පේච්ඡතාවට
ප්‍රතිවිරුද්ධ අංශය මහිච්ඡතාවයි. එයින් අදහස් වන්නේ අසීමාන්තිකව පවතින
ආශාව පදනම් කරගෙන වැඩි සම්පත් ප්‍රමාණයක් බලාපොරොත්තුවීමයි. පැවිදි
පක්ෂයට නිර්දේශිත විශේෂ සදාචාරාත්මක ඉගැන්වීමක් වන මෙය ගිහි සමාජයටද
එකසේ භාවිතකළ හැකි වටිනා ගුණාංගයකි.
බෙද්ධ ජීවිතය අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන්ය. අල්පේච්ඡතාව හා බැඳීපවතින අවශේෂ
බෞද්ධ පුරුෂාර්ථ ලෙස සුහරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ
හැකිවීම,අල්පකෘත්‍යතාව හා සැහැල්ලු පැවැත්ම, පිරිසුදුකම හා සරලත්වය
හඳුන්වාදිය හැකිය. ගිහි වුවද, පැවිදි වුවද බෞද්ධ ජීවිතයක වටිනාකම තීරණය
වන්නේ බාහිර වශයෙන් ගොඩගසා ගන්නා අසීමාන්තික ධන සම්පත් හෝ බාහිර ආටෝප
සාටෝපවලින් යුක්ත ව්‍යාජ හැසිරීම්වලින් නොව අභ්‍යන්තර පාරිශුද්ධත්වය
සහිත චාම් සරල ජීවන පිළිවෙතකින්ය. ගිහි පැවිදි බොහෝ දෙනෙක් කල්පනා
කරන්නේ භෞතික සම්පත් ගොඩගසා ගැනීමෙන් මෙන්ම භෞතික ඉදිකිරීම් මගින්
මානසික සුවය අත්පත් කරගත හැකි බවයි. එහෙත් බුදුරදුන් වදාළ අල්පේච්ඡතාවට
අනුව අවශ්‍යතාවන්ට පමණක් සෑහෙන අවම සම්පත් ප්‍රමාණයකින් යුක්ත
දිවිපෙවෙත සතුට මෙන්ම විවේකය ගෙන දෙන බව ඉතා පැහැදිලිය.අවශ්‍යතාව
කවරක්දැයි නුවණින් නොවිමසා එකතුකරගන්නා භාණ්ඩ නඩත්තු කිරීමට මෙන්ම
ආරක්ෂා කිරීමටත් කොතරම් වෙහෙසක් දැරිය යුතුද ? එහෙත් අවශ්‍යතා මැනවින්
වටහා ගන්නා තැනැත්තාට අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම විවේකයක් මෙන්ම
සතුටක් ලැබිය හැකිවේ.ඇතැම් විටෙක අප මිලදී ගන්නා භාණ්ඩ ජීවිතකාලයේම
එක්වරක්වත් පරිහරණය නොකරන අවස්ථා තිබෙන්නට පුළුවන. තිරසාර සංවර්ධනය
පිළිබඳ නූතන සංකල්පයට අනුව අනාගත පරපුරටත් යමක් ඉතිරිකොට පරිභෝජනය
කිරීමේ පුරුද්ද ඇතිකර ගැනීම ගැන අවධානය යොමුවෙමින් පවතී. මේ පිළිබඳ
වටිනා අදහස් සමූහයක්,ඊ.ඇප්. ෂූමාකර් විසින් රචිත පුංචිනම් ලස්සනයි”
කෘතියෙන් පෙන්වා දෙයි. බෞද්ධ ආර්ථික දර්ශනය උපයෝගිකර ගනිමින්
අල්පේච්ඡතාවේ හා සරල බවේ වටිනාකම ඔහු පැහැදිලි කරයි.
අධ්‍යාත්මික ගුණයන්ගෙන් පෝෂණය වූ ආර්ය ශ්‍රාවකයා තමන් තුළ පවතින සැබෑ
ගුණය වුව අන් අය හමුවේ කියා පෑමට මැලිකමක් දක්වන බව බුදුරජාණන් වහන්සේ
හත්තකාළවක උපාසකතුමා මූලික කරගෙන පැහැදිලි කළ අයුරු අංගුත්තර හත්ථාආළවක
සූත්‍රයේ ඇතුළත් වේ. මෙම සූත්‍රයේ දැක්වෙන පරිදි එක්තරා භික්ෂූන්
වහන්සේ නමක් හා හත්ථකආළවක අතර ඇතිවන සංවාදය මගින් මහිච්ඡතාවෙන් කටයුතු
කරන පුද්ගලයාට වැදගත් පණිවිඩයක් ලබාදෙයි. බුදුරදුන් විසින් හත්ථක
ආලවකගේ ආධ්‍යාත්මික ගුණ ඇගයීමට ලක්කළ බව එම භික්ෂූන් වහන්සේ ඔහුට
ප්‍රකාශ කළහ. එම අවස්ථාවෙහි හත්ථක ආලවක එම භික්ෂුවගෙන් මෙසේද විමසයි.
ස්වාමින් වහන්ස, බුදුරදුන් මා ගැන එසේ පැහැදිලි කරද්දි එහි සුදුවත්
හැදි කවුරුන් හෝ ගිහියෙක් සිටියේද ? එයට පිළිතුරු සපයමින් භික්ෂූන්
වහන්සේ ප්‍රකාශ කළේ බුදුරදුන් ඔබ ගැන එසේ ප්‍රකාශ කරද්දී එහි කිසිත්
ගිහියෙකු නොසිටි බවයි. ඒ ගැන සතුටට පත්වන හත්ථකආලවක ප්‍රකාශ කරන්නේ,
ස්වාමීනි, එහි සුදුවත් හදින ගිහියෙක් නොසිටියේ නම් එය ඉතාමත් යහපත්ය
යනුවෙනි. ආධ්‍යාත්මික අංශයෙන් ඉහළ දියුණුවක් අත්පත්කරගත් තැනැත්තා
කිසිවිටෙකත් එම ගුණ පදනම් කරගෙන මහේච්ඡතාවෙන් කටයුතු නොකරන බව මෙම
සංවාදයෙන් පැහැදිලිවේ. බුදුරදුන් වදාළ ධර්මය අල්පේච්ඡ ජීවිතයක් ගතකරනු
කැමැති පුද්ගලයාට මිස මහිච්ඡතාවෙන් යුක්ත පුද්ගලයාට නොවන බව බුදුරජාණන්
වහන්සේම දේශනා කළහ (අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡස්ස )
අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයා නිරන්තරයෙන්ම සමාජයේ සම්භාවනාවට
ලක්වේ. බහුභාණ්ඩික ජීවිතය තමාට පමණක් නොව සමාජයටත් මහත් බරක් මෙන්ම
පීඩනයක් බව ඉතා පැහැදිලිය. අසීමිත සම්පත් ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු
විසින් පරිහරණය කිරීම එක්අතකින් සෙසු පුද්ගලයන්ගේ යැපීම් අවශ්‍යතා
අහිමි කිරීමකි. බුදුරදුන් වදාළ අල්පේච්ඡතා ගුණය ජීවිතයට අදාළ කරගැනීම
නූතන පරිභෝජනවාදය මගින් ජනිතකර තිබෙන සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුද
විසඳාගැනීමට උපකාරි වේ.
ශ්‍රාවකයා තුළ වර්ධනය කරගත යුතු අල්පේච්ඡතා ගුණය සසුනේ පැවැත්ම කෙරෙහි
හේතුවේ. අල්පේච්ඡතා ගුණයෙන් යුක්ත භික්ෂුව හෝ භික්ෂුණිය සමාජයට බරක්
නොවන බැවින් දායකයාට පහසුවෙන් පෝෂණය කළ හැකිවේ. අනෙක් අතට එවැනි පැවිදි
උතුමන්ගේ සරල ජීවිතය වර්තමාන බහුභාණ්ඩික සමාජයට මහත් ආදර්ශයක් වේ. ගිහි
සමාජය සම්බන්ධයෙන් සැළකීමේදී අල්පේච්ඡතාව පුහුණු කිරීම පවුලක ආර්ථික
සුරක්ෂිතතාවට මෙන්ම එම සාමය හා සතුට සඳහාද හේතුවේ.
අල්පේච්ඡතාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා රාශියක් ත්‍රිපිටක
සාහිත්‍ය යටතේ හදුනාගත හැකිවේ.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි උදායි තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්ස,
තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව මහත් තෙද ඇති බව, තමන් වහන්සේ
ප්‍රකාශ නොකරන සේක. එසේ වූ ඔබ වහන්සේගේ අල්පේච්ඡ බව, ලද දෙයින්
සතුටුවීම, සැහැල්ලු දිවි පැවතුම් ඇති බව ඉතා පුදුම යයි කීය. උදායි,
මෙයින් එක්ගුණයක්වත් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් තුළ තිබේ නම්,
එපමණකින්ම ඔවුහු කොඩි ඔසවා ගෙන ඇවිදිතැයි කීය (දි.නි. සම්පසාදනීය
සූත්‍රය)
දීඝ නිකාය සම්පසාදනීය සූත්‍රයේ දැක්වෙන මෙම පාඨය බුදුරදුන්ගේ
අල්පේච්ඡතා ගුණය මොනවට පෙන්වන සාධකයකි. උන්වහන්සේ සතුව කොතරම් ඍද්ධිමය
හැකියාවක් පැවතියද, ඒ බව ප්‍රකාශ කොට ජනයා තුළ ප්‍රසාදය ඇතිකරමින් ලාභ
ප්‍රයෝජන සඳහා උත්සුක නොවූහ.නොයෙකුත් අභිධාන තම මූලයට එකතුකර ගනිමින්
විවිධ අභිලාස ඇතිව සමාජයේ කැපීපෙනෙන්නට උත්සුක වන අයට බුදුරදුන්ගේ මෙම
ආදර්ශය කොතරම් අගනේද? බුදුරජාණන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ
ශ්‍රාවකයන් වහන්සේලාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල්පේච්ඡ වූහ. මහලු
වියට පත් මහාකාශ්‍යප මහාරහතන් වහන්සේ අමතා බුදුරදුන් වදාළේ තමන් වහන්සේ
අභියස වෙසෙමින් සුවපහසු දිවියක් ගෙවන ලෙසයි. එහෙත් උන්වහන්සේ
අල්පේච්ඡතාවෙහි අගය වටහා ගනිමින් (අප්පිච්ඡතාය වණ්ණවාදී) බුදුරජාණන්
වහන්සේගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. මෙහිදී බුදුරදුන් සෙසු
ශ්‍රාවකයන් වහන්සේලාට අනුශාසනා කළේ මහාකාශ්‍යප මහරහත් වහන්සේ අනුගමනය
කරන ලෙසයි. මුල් අවදියෙහි සසුනෙහි වැඩි අගයක් හිමි වූයේ අල්පේච්ඡතාව
අනුගමනය කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටය. නමුත් කලක් ගත වන විට මෙම
අල්පේච්ඡතාව පුහුණුූ කළ අය පසෙක තබා සිව්පස ලාභයෙන් අගතැන් පත් වූ
භික්ෂූන්ට වැඩි පිළිගැනීමක් ස්ථවිර භික්ෂූන් අතර ඇතිවිය. මෙය දුටු නවක
භික්ෂූහු සිව්පසයෙන් ආඩ්‍ය ජීවන පිළිවෙතක් ඇතිකරගතහොත් තමන්ටද එවැනි
පිළිගැනීමක් ඇතිවේයැයි සළකා මහිච්ඡතාවෙන් කටයුතු කිරීමට කල්පනා කළ
අයුරු කස්සප සංයුත්තයේ තෙවන ඕවාද සූත්‍රයෙහි ඇතුළත් වේ.මෙහි අන්තර්ගත
කරුණ ගිහි පැවිදි දෙපක්ෂයම ගැඹුරින් සිතා බැලීමට කාලය එළඹ තිබේ.
මහිච්ඡතාව හේතුවෙන් පුද්ගලයා තුළ නූපන් අකුසල් දහම් වර්ධනය වන බවත්
උපන් කුසල් දහම් පිරිහීමට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මහිච්ඡතාව පුද්ගලයා තුළ තවදුරටත් තෘෂ්ණාව වර්ධනය වීමට හේතුවක් වන
බැවින් එය පදනම් කරගෙන විවිධ දුශ්චරිතවලට යොමුවීමේ අවස්ථා වර්ධනය වේ.
මහෙච්ඡතාවෙන් යුක්ත පුද්ගලයා සදාචාරය නීතිය යුක්තිය පසෙක ලා ධන සම්පත්
ඉපැයීමේ අරගලයක නිරත වෙයි. එවැනි පුද්ගලයන්ගේ මෙලොව ජීවිතය හිරේ
විලංගුවේ වැටීමෙන් අවසන් වන අතර සංසාරික ජීවිතය දුගතියෙන් කෙලවර වේ.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් අමතා දේශනා කළේ ආමිසයට හිමිකරුවන්
නොවී ධර්මයට හිමිකරුවන් වන ලෙසයි. මේ බව බුදුරදුන් වදාළ ධම්මදායාද
සූත්‍රයේ ආරම්භයේම සඳහන් වේ. ඒ අනුව මහණෙනි, මාගේ ධර්මයට හිමිකරුවන්
වන්න,ආමිසයට (සිව්පසයට ) හිමිකරුවෝ නොවන්න, ශ්‍රාවකයෝ මාගේ ධර්මයට
හිමිකරුවෝ වන්නාහු. ආමිසයට හිමිකරුවෝ නොවන්නාහුය යයි භික්ෂූන් කෙරෙහි
මාගේ අනුකම්පාව ඇත. ධර්මගරුක නොවී ආමිසයට ගරු කරන්නෝ, ගැරහිය යුත්තො
වෙති. මාගේ ශ්‍රාවකයො ආමිස ගරුකව ධර්මගරුක නොවී වෙසෙත් යැයි මම ද
ගැරහුමට ලක්වන්නෙමි. යම් හෙයකින් මාගේ ශ්‍රාවකයෝ ධර්ම දායාදව ආමිස
දායාද නොවී වෙසෙත් නම්, එයින් මාගේ ශ්‍රාවකයෝ ගැරහිය යුත්තෝ නොවෙති.
මමද ගැරහිය යුත්තෙක් නොවෙමි. ඒ නිසා ධර්ම දායාද වන්න.ආමිස දායාද වන්න
(ධම්මදායාද සුත්ත)
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගෙන් කුමක් අපේක්ෂා කළේද ?යන්න
උන්වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. අල්පේච්ඡතාව හා බැඳුණු තවත්
වටිනා ගුණාංග කීපයක් ධර්මයේ දැක්වේ. ‘සන්තුටිඨිතා යනුවෙන් හැදින්වෙන
සතුට ‘සල්ලේඛතා’ යනුවෙන් හැඳින්වෙන මනාලෙස කෙලෙසුන් සිඳහැරීම, සුභරතා
යනුවෙන් හැඳින්වෙන පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු බවට පත්වීම,
විරියාරම්භතා යනුවෙන් හැඳින්වෙන වීර්ය වැඩීම යන ගුණාංග වර්ධනය කරගත
යුතු පුරුෂාර්ථ ලෙස දැක්වේ. අල්පේච්ඡතාව ප්‍රගුණ කිරීමත් සමඟම මෙකී
උත්තම ගුණයන්ද වර්ධනය වේ. මේ අනුව අල්පේච්ඡතාව ඇතිකර ගැනීම යනු
අධ්‍යාත්මික දියුණුවේ දොරටු විවර කරගැනීමකි. |