නිරන්තරයෙන් වැඩිය යුතු සතර සම්‍යක් ප්‍රධාන වීර්යය
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
සත්‍යාවබෝධයට හේතු වන්නා වූ උතුම් ධර්මතාවන් අතර හෙවත් සත්තිස්
බෝධිපාක්ෂික ධර්ම අතර දෙවන කොටස ලෙසින් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය
දක්වා ඇත. නිර්වාණගාමී මාර්ගයේ සම්මා වායාමය හඳුන්වන තැන ද දක්වා ඇත්තේ
ද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යි. ප්‍රධාන වීර්යය යනු මහත් වූ
කැපවීමෙන් කරනු ලබන උත්සාහය යි. එය සිත අකුසලයෙන් මුදවා කුසලයෙහි
යෙදවීම සඳහා ම කරනු ලබන මනා වූ උත්සාහයක් බැවින් සම්‍යක් නමින් දක්වා
ඇත.
කිසියම් දෙයක වටිනාකම ඇත්තේ ඒ දේ දුර්ලභ වන විටදීය. පොළොවෙහි ඇති සෑම
ගලක් ම මැණික් ගලක් වූයේ නම් මැණික්වල වටිනාකමක් නැත. කැලයෙහි ඇති සෑම
ගසක් ම සඳුන් ගසක් වූයේ නම් සඳුන් ගස්වල වටිනාකමක් නැත. ඒවා වටින්නේ
එහි ඇති දුර්ලභ භාවය නිසාම යි. යමක් දුර්ලභ වීමෙන් වනුයේ ඒ දේ ලබා
ගැනීමට ද බොහෝ වෙහෙස වන්නට උත්සාහ කරන්නට සිදුවීමයි. වඩාත්ම වටිනා දේ
ලබා ගැනීමට වඩ වඩාත්ම උත්සාහවත් විය යුතු ය. දුර්ලභ දේ බොහෝ පහසුවෙන්
ලබාගත නොහැකිය.
මේ ලොව ඇති දුර්ලභ ම සැපත නිවන් සැපතයි. ඒ සැපත ලබා ගැනීමට නම් සිත
අකුසලයෙන් මුදවා ගත යුතු සේම කුසලයෙහි භාවිත කළ යුතු ය. නිරන්තරයෙන් ම
පවට ම නැඹුරු වූ මේ සිත කුසලයට යොමු කිරීමට බොහෝ සේ උත්සාහවත් විය යුතු
ය. එම උත්සාහය සම්මා වායාමය හෙවත් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයයි.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ධර්මයෙහි විස්තරව ඇත්තේ මෙසේ ය.
චත්තාරෝ මේ භික්ඛවේ සම්මප්පධානා, කතමේ චත්තාරෝ?
මහණෙනි, සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙකි. ඒ කවර යත්,
ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං
ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පජහති.
මහණෙනි, මෙහි දී මහණතෙම, නූපන් පවිටු අකුසල් දහම් නුපදවීම පිණිස
කැමැත්ත ඇති කර ගනී ද, වෑයම් කරයි ද, වීර්යයෙන් ආරම්භ කරයි ද, සිත දැඩි
කොට පිහිටුවයි ද, මහත්කොට වීර්යයෙහි යෙදෙයිද,
උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති වීරියං
ආරභති චිත්තං පග්ගණ්හාති පජහති.
උපන් පවිටු අකුසල් දහම් ප්‍රහාණය පිණිස කැමැත්ත ඇති කර ගනී ද, වෑයම්
කරයිද? වීර්යයෙන් ආරම්භ කරයි ද, සිත දැඩි කොට පිහිටුවයි ද, මහත්කොට
වීර්යයෙහි යෙදෙයි ද,
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං
ආරභති චිත්තං පග්ගණ්හාති පජහති.
නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගනී ද, වෑයම් කරයි
ද, වීර්යයෙන් ආරම්භ කරයි ද, සිත දැඩි කොට පිහිටුවයි ද, මහත්කොට
වීර්යයෙහි යෙදෙයි ද,
උප්පන්නානං කුසලානං ධම්මානං භියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා
ඡන්දං ජනේති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හානි පජහති.
උපන් කුසල් දහම්හි බහුලත්වය පිණිස නැවත නැවත ඇතිවනු පිණිස, වැඩීම
පිණිස, පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇති කර ගනී ද, වෑයම් කරයිද,
වීර්යයෙන් ආරම්භ කරයි ද, සිත දැඩි කොට පිහිටුවයි ද, මහත්කොට වීර්යයෙහි
යෙදෙයි ද, මහණෙනි, මේවා සතර සම්‍යක් ප්‍රධාන යැයි හැඳින්වේ.
මෙය සරල ආකාරයකට දක්වන්නේ නම්
නූපන් අකුසල් නූපදවීමටත් ,
උපන් අකුසල් දුරුකිරීමටත් , නූපන් කුසල් උපදවා ගැනීමටත් , උපන් කුසල්
දියුණු කිරීමටත් කරන උත්සාහය සතර සම්‍යක් ප්‍රධාන වීර්යය නම් වේ.
මෙහි එන වීර්යය විස්තර කර ඇති වචන දෙස බලන කළ එයට ප්‍රමුඛත්වයක් දී ඇති
බව තේරුම් ගැනීම අපහසු නොවේ. සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වන්නට
කලින් පුද්ගලයෙකු සතු විය යුතු ගුණාංග පහක් ධර්මයෙහි විස්තර කර ඇත.
පධානියංග වශයෙන් ඒවා හඳුන්වා ඇත. නොපසුබස්නා සුළු උත්සාහයක යෙදෙනුයේ මේ
අංගයන්ගෙන් සමන්වාගත වෙන විට ය.
1. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, සියල්ල දන්නා බව විශ්වාස කිරීම
හෙවත් ශ්‍රද්ධාවන්තවීම. 2. ලෙඩ දුක් නැති, අධික වූ බඩගින්න නැති, කවර
ආහාරයක් හෝ දිරවීමට සමත්කම් ඇති බඩගින්නක් ඇති අයෙකුවීම. 3. කෛරාඨික
නොවන, වරද නොසඟවන, තමාගේ දුබලකම් ඇති සැටියෙන් ගුරුවරුනට පවසා ඇති
සංවරයෙහි පිහිටන කෙනෙකුවීම. 4. අකුශලයන් ප්‍රහාණය කිරීමට හා කුසලයෙහි
යෙදීමට ඇති නොහැකිළෙන නො පසුබසින අදහස්වලින් යුක්තවීම. 5. සංස්කාරයන්ගේ
ඇතිවීම් නැතිවීම් දෙක දන්නා නුවණින් යුක්තවීම. යන මේ කාරණයන්ගෙන් ශක්ති
ප්‍රමාණයෙන් යුක්ත වන්නට උත්සාහ ගැනීම වීර්යය නොකඩකොට පවත්වාගෙන යාමට
හේතු වේ. මේ කරුණුවලින් යුක්ත වන්නට නම් සද්පුරුෂයන් සේවනය කිරීම,
සද්ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මය කියවීම, නුවණින් මෙනෙහි කර බැලීම, මනා
වූ පැවැත්මකින් යුක්ත වීම, ඉන්ද්‍රිය සංවරයකින් යුතුව කටයුතු කිරීම ආදි
කරුණු ජීවිතය තුළ ක්‍රියාත්මක කළ යුතු ය.
සම්‍යක් ප්‍රධාන වීර්යය හඳුන්වා දෙන තැන අකුසල සහ පාපක යන පද දෙකම යොදා
ඇත්තේ කර්මත්වය හා චෛතසිකත්වය යන දෙකම සලකා ගෙන බව අප තේරුම් ගත යුතු
ය. පළමුව චෛතසිකත්වය පිළිබඳව වන උත්සාහය ගැන සලකා බලමු. සත්ත්වයන්
සන්තානයේ වන්නා වූ කෙලෙස් අදියර තුනකින් ක්‍රියාත්මක වෙති. ඒ අනුසය,
පරියුට්ඨාන, වීතික්කම වශයෙනි. යම් සිතෙක කෙලෙස් නැද්ද ඒ සත්‍යාවබෝධයට
පත් සිතක් හෙවත් රහතන් වහන්සේ නමකගේ සිතකි. පුහුදුන් සෑම සත්ත්වයෙකුගේ
ම සන්තානයේ කෙලෙස් ඇත. ඒ සිත බොහෝ දුරට නැඹුරුව පවතින්නේ ද පවටය. මානසං
පාප සන්නින්නං යනුවෙන් දේශනා කොට ඇත්තේ එයයි. එසේ වනුයේ සිතෙහි යට
තැන්පත් වූ අකුසල සිතිවිලි මූල බීජ වශයෙන් ක්‍රියාත්මක වන බැවිනි.
යටි සිතේ තැන්පත් ව, නිද්‍රෝපගත ව කිඳා බැස ඇති කෙලෙස් සිතිවිලි අනුසය
කෙලෙස් වශයෙන් දක්වා ඇත. ඒවා නොනැඟිට පවතින තාක් නූපන් අකුසල් වශයෙන්
හැඳින්වේ. සිතෙහි නිද්‍රෝපගත ව පවතින්නා වූ සිතිවිලි නැඟිට එන්න ඇස,
කන, නාසයාදී ඉන්ද්‍රියනට ගෝචර වන්නා වූ අරමුණුවල ආදීනවයන් නොදැක නොදැන
ආශ්වාදනීයත්වයෙන් වැලඳගන්නට යාමෙනි. කලින් ලැබුණු අරමුණු මනෝද්වාරයෙහි
සිහිකිරීම් වශයෙන් මතක්වීම් වශයෙන් ඉස්මතුව පැමිණේ. එසේ ඉස්මතුව
පැමිණීම නූපන් අකුසල් ඉපදීමකි. එය වළකාලිය හැක්කේ සතිපට්ඨාන භාවනාව
පුරුදු කිරීම් වශයෙනි. ඉඳුරන්ට ගොදුරු වන අරමුණු සිහියෙන් පරිහරණය
කිරීමෙනි. යෝනිසෝමනසිකාරය පුරුදු කිරීමෙනි. වෙනත් ලෙසකින් දක්වන්නේ නම්
සිතින් සිත දැකීමෙනි. සතර සතිපට්ඨානයෙහිදී ධම්මානුපස්සනා වශයෙන් ද,
ත්‍රිශික්ෂාවෙහි දී ප්‍රඥා වශයෙන් ද දක්වා ඇත්තේ අනුසය කෙලෙස් හෙවත්
නූපන් අකුසල් නූපදවා සිටින ක්‍රමයයි. ඒ සඳහා වන උත්සාහය සතර සම්‍යක්
ප්‍රධාන වීර්යයන් අතර පළමුවන වීර්යයයි.
කර්මත්වයෙන් සලකා බලන්නේ නම් අතීතයේ සිදු කරන ලද කර්මයනට සත්ත්වයා
අපායට පැමිණවිය හැක්කේ ඔහු තුළ සක්කාය දිට්ඨිය පවත්නා තෙක් පමණි.
සක්කාය දිට්ඨිය නැති කළ තැනැත්තාට අපාය භයක් නැත. අතීතයෙහි දී කළ පාප
කර්මයක විපාක වශයෙන් මේ අත් භවයෙන් පසු අපායගාමී වන්නට නියමිත ව
තිබුණත් සෝතාපත්ති ඵලයට පත්වීමත් සමඟ ම තවමත් විපාක නොදුන් හෙවත් නූපන්
් පාප විපාකය අහෝසි වී යන්නේ ය. ඒ සෝතාපන්න කිසිදු කෙනෙක් අපායගාමී
නොවන බැවිනි. ඒ අනුව බලන කල සෝතාපන්නවීමට කරන උත්සාහය, සක්කාය දිට්ඨිය
නැති කිරීමට කරන උත්සාහය, අපායගාමි කර්මයන් ක්ෂය කිරීමට කරන උත්සාහය,
නූපන් අකුසල් නූපදවීමටත්, උපන් අකුසල් දුරු කිරීමටත් ගන්නා උත්සාහයයි.
මේ කර්ම විපාක හා සම්බන්ධ උත්සාහය පාපකානං යන පදයෙන් ගම්‍ය වේ.
උපන් අකුසලයන් වශයෙන් දක්වා ඇත්තේ සිතෙහි කෙලෙස් ක්‍රියාත්මක වන දෙවන
හා තෙවන අදියරයන් ය. බාහිර අරමුණු නිසා සිතෙහි තැන්පත්ව තිබූ කෙලෙස්
හාත්පසින් නැඟී සිටින අවස්ථාව හෙවත් පරියුට්ඨාන අවස්ථාව හා
චිත්තාවේගයන් පාලනය කිරීමට අපහසුවීම මත ඒවා කය වචනයෙන් පිටාරා ගලා යන
අවස්ථාව, ප්‍රාණඝාතාදී පාපයන් සිදු කරන අවස්ථාව හෙවත් වීතික්කම අවස්ථාව
උපන් අකුසල් වශයෙන් දැක්විය හැකි ය. මේ අවස්ථාවන් දෙකෙහි ම ඇති
ආදීනවයන් දැක ඒවා ඇති නොවනු පිණිස සංවරය පිණිස කටයුතු කිරීම උපන්
අකුසල් දුරු කිරීම පිණිස කරන උත්සාහය යි. පරියුට්ඨාන අවස්ථාව හෙවත්
සිතෙහි තැන්පත්ව තිබූ කෙලෙස් ඇවිස්සී එන අවස්ථාව පාලනය කිරීමට නම් සිත
විවිධ අරමුණු පසුපස දුවන ස්වභාවය පාලනය කළ යුතු ය. කුසල අරමුණුවල සිත
මෙහෙයවිය යුතු ය. ඒ සඳහා භාවනාව පුරුදු කළ යුතු ය. සමාධිය දියුණු කළ
යුතු ය. කුසල සිතිවිලිවල සිත එකඟ කළ යුතු ය. සමාධියෙන් සිතෙහි කෙලෙස්
හාත්පසින් නැගී සිටින අවස්ථාව පාලනය වේ. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට
හැකියාව ලැබෙනුයේ එවිට ය. තවද සිතෙහි වන කෙලෙස් සමාජගත වනුයේ කය වචනය
ඔස්සේ ය. කය , වචනය සංවර කර ගන්නේ නම් සමාජයට වන හානිය වළකාලිය හැකි ය.
සීලයෙන් සිදු කරනුයේ කය, වචනය සංවර කර ගැනීමයි. චිතික්කම අවස්ථාව හෙවත්
කෙලෙස් පිටාරා ගලා යන අවස්ථාව පාලනය කිරීම යි.
නූපන් කුසල් උපදවා කළ හැක්කේ සිත තුළ කුසල අරමුණු දියුණු කිරීමෙනි.
භාවනාව එය සිදු කළ හැකි හොඳම ක්‍රමය යි. සිත තුළ භාවනා සිතිවිලි හෙවත්
කුසල සිතිවිලි ඇති කර ගැනීමට උත්සාහ කරනවා යනු උපන් අකුසල් ප්‍රහාණය
කිරීමට ද කරන උත්සාහයකි. උපන් කුසල් යනු භාවනාව තුළින් සිත තුළ ඇති කර
ගත් සිතිවිලිය. දිගින් දිටගම පුරුදු කරන භාවනාව තුළින් එම කුසල
සිතිවිලි දියුණු කර ගත හැකිය. ප්‍රඥා චෛතසිකයන් දියුණු තත්ත්වයට පත්
වන්නේ සිතෙහි වන ඒකාග්‍රතාව පදනම් කරගෙනය. සිතෙහි වන තැන්පත්වීම පදනම්
කර ගෙන චිත්තාභ්‍යන්තරයෙහි වන නූපන් කෙලෙස් දැකිය හැකි වන අතර ඒවායෙහි
වන ආදීනවය සලකාගෙන ප්‍රඥාවෙන් එම සිතිවිලි ඉවත් කළ හැකිය. වෙනත්
ලෙසකින් පවසන්නේ නම් උපන් කුසල් දියුණු කරනවා යනු නූපන් අකුසල්
ප්‍රහාණය වීමකි. නූපන් අකුසලයන් නූපදවීමටත්, උපන් අකුසලයන් දුරු
කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් දියුණු කර ගැනීමටත්
කරනු ලබන උත්සාහය හතරාකාරයකින් දක්වා ඇත.
1. සංවරප්පධාන 2. පහානප්පධාන 3. භාවනාප්පධාන 4. අනුරක්ඛනප්පධාන වශයෙනි.
සංවරප්පධාන යනු ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණයේ දී සංවරශීලී ව කටයුතු
කිරීමයි. හෙවත් ඉන්ද්‍රිය සංවරය හෙවත් සීලය දියුණු කිරීමයි. පහනප්පධාන
යනු සිතට නැඟිී එන අකුසල් සිතුවිලි නොඉවසා සිතින් ඉවත් කිරීමට උත්සාහ
ගැනීමයි. නරක සිතිවිලිවල ආදීනවයන් දැක ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීමයි.
භාවනාප්පධාන යනු කෙලෙස් අරමුණු සිතට නො නැඟෙනු පිණිස සිත තුළ හොඳ
සිතිවිලි, කුසල සිතිවිලි දියුණු කිරීමකි. බෝධ්‍යංග ධර්ම දියුණු
කිරීමයි. අනුරක්ඛනප්පධාන යනු තමා තුළ පහළ වූ චිත්තේකග්‍රතාව බිඳ
වැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමයි. මේ අනුව සංවරප්පධානය හා පහානප්පධානය
නූපන් අකුසල් නූපදවීමටත් උපන් අකුසල් දුරු කිරීමටත් උපකාර වන අතර
භාවනාප්පධානය හා අනුරක්ඛනප්පධානය නූපන් කුසල් උපදවා ගැනීමටත් උපන්
කුසල් වැඩිදියුණු කර පවත්වාගෙන යාමටත් උපකාර වන බව තේරුම් ගත හැකි ය.
එසේ ම මේ කරුණු දෙස විමසිල්ලෙන් බලන කල පෙනී යන්නේ සතර සම්‍යක් ප්‍රධාන
වීර්යය යනු සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශිෂ්ක්ෂාව දියුණු කිරීම බවයි.
සටහන
නයනා නිල්මිණි |