Print this Article


සුභාසිතා ච යා වාචා එතං මංගල මුත්තමං

සුභාසිතා ච යා වාචා එතං මංගල මුත්තමං

බුදුරජාණන් වහන්සේ නිබඳව ම ලොවට ඉගැන්වූයේ දුර්භාෂණයෙන් වැළකීමට ය. සුභාෂණයෙහි යෙදීමටය. මේ වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි තෙවැනි අංගය ලෙස දක්වන ලද සම්‍යග් වචනයයි. නිවැරදි යහපත් කතාබහයි. එසේම සතර සංග්‍රහ වස්තුවෙහි දෙවැනි ව දක්වන ලද පි‍්‍රය වචනයයි. ප්‍රියවාදී බවයි. එය මංගල කරුණක් ද වේ. සම්මා වාචා යන්න පැහැදිලි කරන බුදුදහම මුසාවාදයෙන් වැළකීම, පිසුණු බසින් ( කේලාම් කීමෙන්) වැළකීම, පරුස වචනයෙන් (රළු වදනින්) වැළකීම හා අරුත් සුන් (හිස් වචනයෙන්) වැළකීම එයින් අදහස් වන බව උගන්වයි. ඉපැරණි සූත්‍රාන්තයන් රැසක ම මෙකී සාවද්‍ය භාෂණයන්ගෙන් වැළකීමත් නිරවද්‍ය වූ සුභාෂණයත් ඉතා පැහැදිලි ලෙස විස්තර කොට තිබේ.

බොරු කීම දුරලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියන සුළු ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු ව පිහිටි කතා ඇත්තේ ය. ඇදහිය යුතු කතා ඇත්තේ ය. ලොව නොරවටන්නේ ය. කේලාම් කීම් දුරලා, කේලාම් කීමෙන් වැළැක්කේ වෙයි. මෙතැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතැන්හි නොකියයි. එතැනින් අසා ඔවුන් ( මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතැන නොකියයි. රළු කථා බස් දුරලා, රළු බස් දෙඩීමෙන් වැළැක්කේ වෙයි. නිදොස් වූ ද, කනට මිහිරි වූ ද, පෙම් වඩනසුලු වූ ද, සිත් ඇදගන්නා වූ ද, ග්‍රාම්‍ය බවින් තොර (දියුණු) බොහෝ කොට පි‍්‍රය, මන වඩන යම් වදනෙක් වේ ද එබඳු වූ වදන් කියන්නේ ය. හිස් බොල් දෙඩවිලි හැර දමා, බොල් (නිසරු) දෙඩවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කල්හි කතා කරන්නේ ය. සත්‍යය ම කියන්නේ ය. වැඩ සලසන බස් ම කියයි. දැහැමි වචන ම කියයි. හික්මීමට තුඩු දෙන, සිත්හි තබාගන්නට සුදුසු, සකාරණ වූ, ඉමක් කොණක් ඇති, දෙලෝ වැඩදායක වචන ම කල් දැන කියයි. මෙසේ වාග් සංචරය, සම්මා භාෂණය යනු තුණ්හීභාවය (නිහඬව සිටීම) ද නොවේ. බහු භාෂණය (බොහෝ කොට කතා කිරීම) ද නොවේ. දුර්භාෂණයෙන් (අපි‍්‍රය වූ අවැඩදායක වූ කතා කිරීමෙන්) වැළකීමයි. සුභාෂණයයි. බුදුරජාණන් වහන්සේ වූ කලී නිබඳව ම පි‍්‍රයවාදී ව, මිහිරි වදනින් කථාබස් කළ උතුමෙකි. වතක් මෙන් නිහඬකම පිරූ ශාස්තෘවරයෙක් නොවේ. කවරෙකු සමඟ වුව ද සිත් ඇදගන්නා පරිදි පිළිසඳරෙහි යෙදීම උන්වහන්සේගේ ප්‍රසන්න පැවැත්මෙහි ලකුණක් විය. හමුවට එන්නවුන් හා සතුටින් කතා බස් කිරීම (සම්මෝදනීයං කථං) සිහි කටයුතු කතා බහ (සාරාණීයං කථං) නොවේ නම් ප්‍රසන්න පිළිසඳර පැවැත්වීම බුදුරදුන්ගේ සාමාන්‍ය පිළිවෙත වූ බව සූත්‍රාන්තයන්හි නිතර සඳහන් වේ. ධර්ම සාකච්ඡාව ඇරඹෙනුයේ ඉන් පසුවයි. වාදයෙන් වාදයට ශ්‍රමණ භවත් ගෞතමයන් වෙහෙසට පත්කර පරදවමු’යි කල් ඇති ව සකසා ගත් ප්‍රශ්න ද ඇති ව ඇතැම් පඬිවරු බුදුරදුන් හමුවූහ. එහෙත් එබන්දන් සමඟ ද උන්වහන්සේ තුටු පහටු වදනින් කතා බස් කළහ. දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටට පත් කළහ. ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට අසමත්වූහ. සෝණ දණ්ඩ නම් උගත් වයෝවෘද්ධ බමුණු තෙමේ සිය පිරිසට බුදුරදුන් ගැන කියමින් වෙසෙසින් ම උන්වහන්සේගේ පි‍්‍රයවාදීත්වය, මිතභාණී බව වර්ණනා කළේ ය. ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ, ‘එන්න මෙහි එන්නැ’යි හමුවට එන්නවුන් ඉතා සතුටින් උණුසුම් ව පිළිගනිති. කනට සුව දෙන මිහිරි වදන් ඇත්තේ ය. පි‍්‍රයමනාප ව පිළිසඳරෙහි සතුටු සාමිචියෙහි යෙදීමට දක්ෂ ය. රළු වු බැම හකුළුවන (ගොරෝසු) මුහුණු නැත්තේ ය. කරුණු සහිතව සවිස්තරව කතා කරති. හමුවට එන්නවුන් හා තෙමේ පළමු ව කතා කරන සුලු ය. තව ද, ඒ බුදුරජාණන් වහන්සේ මිහිරි යහපත් වචන ඇතියහ. මනා ව කරුණු පැහැදිලි කරන සුළු ය. නොගැමි වූ දියුණු වචන ඇත්තෝ ය. පිළිගත හැකි දෙය ම පවසති. කෙලතොලු නොවෙති. මැනවින් අරුත් හෙළි කරන මටසිලිටි වදන් ඇත්තේ ය. බුදුරදුන්ගේ මේ මිහිරි පැහැදිලි සවිස්තර භාෂණ සංයුත්ත නිකායේ සුදත්ත සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ චූල ගොසිංහ සූත්‍රය ආදී තවත් බොහෝ තැන්වල ද දැකගත හැකිය.

‘තථාගත තෙමේ අනුනට අපි‍්‍රය අමනාප බස් තපලන්නේ දැයි විටෙක නිඝණ්ඨනාථ පුත්තයන්ගේ ශ්‍රාවකයකු වූ අභයරාජ කුමරු විසින් බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. කුමරුවෙනි. එය ඒකාන්ත කොට (එක එල්ලේ) කිව නොහැකි යැයි බුදුහු පිළිතුරු දුන්හ. මේ අවස්ථාවේ දී කුඩා බිලිඳෙකු අභයරාජ කුමරුගේ ඇකයෙහි විය. බුදුහු මෙසේ ඇසූහ. කුමරුනි, ඔබ ඇකයෙහි සිටින කුමරු යම් විටෙක ඔබගේ හෝ කිරි මවගේ ප්‍රමාදයකින්, කෝටුවක්, කැට කැබිලිත්තක් මුවෙහි දමා උගුරේ හිරකර ගතහොත් කුමක් කරන්නේද?

ස්වාමීනි, මම එය ඉවතට ඇද දමමි. එකවර ඇද දැමිය නොහැකි නම් දරුවාගේ හිස වමතින් තදින් අල්ලාගෙන දකුණත ඇඟිල්ලක් ඔහුගේ මුවට දමා ලේ සහිතව හෝ එය ඉවතට ඇද දමමි. (දරුවාට වේදනා ඇති වෙද්දීම, ඔහු නොකැමැත්තෙන් ම එසේ කරමි) එසේ කරන්නේ දරුවා ගැන අනුකම්පාවෙනි. ඔහුට සිදුවන යහපත සලකා ගෙනයැ’යි අභයරාජ පිළිතුරු දුන්නේ ය.

කුමරුනි, මැනවි, ඔබ එසේ බිලිඳා කෙරෙහි අනුකම්පාවෙන් ආදර කරුණාවෙන් කටයුතු කරන්නාක් මෙන් ම තථාගතයන් වහන්සේ ද සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව සැලසෙන පරිදි වචන භාවිත කරන්නාහ. මේ අනුව සත්‍ය වුව ද, අර්ථවත් වුව ද, පි‍්‍රයමනාප වුව ද බුදුරජාණන් වහන්සේ අනුනට අනර්ථදායක වූ වචන ප්‍රකාශ කරන්නේ නැත. එසේ ම අනුනට අපි‍්‍රය අමනාප වුව ද වැඩදායක වන්නේනම් උන්වහන්සේ සත්‍ය වූ අර්ථවත් වූ එබඳු වචන ප්‍රකාශ කරන්නාහ. මෙසේ බුදුරදුන් දුන් ආදර්ශය හා අවවාදය වූයේ අර්ථශූන්‍ය තුණ්හිභාවය හෝ බහු භාෂණය නොවේ. දුර්භාෂණයෙන් වැළකීමයි. සුභාෂණයෙහි යෙදීමයි.

භාෂණය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව එය පස් ආකාර වෙයි. හෙවත් වචන පථයෝ පඤ්චවිධ වෙති. කාලෙන – අකාලෙන, භුතෙන, සණ්හෙන – ඵරුසෙන, අත්ථසංහිතෙන – අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන දෙසන්තරෙන යනුවෙනි. වඩාත් පැහැදිලි ව එම ආකාර පස මෙසේ දැක්විය හැකි ය.

1. අවස්ථාවට, කාලයට සුදුසු පරිදි කරනු ලබන භාෂණය හා නුසුදුසු ලෙස කරන භාෂණය.

2. ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ වන භාෂණය හා එසේ නොවන භාෂණය.

3. මොලොක්, මටසිලිටි භාෂණය හා රළු ගොරෝසු භාෂණය.

4. අර්ථවත් ලෙස කරන භාෂණය හා අනර්ථකාරී භාෂණය.

5. මෙත් සිතින් කරනු ලබන භාෂණය හා ද්වේශයෙන් කරන භාෂණය. කෙනෙකු මින් කවරාකාරයකින් හෝ කථා බස් කරන කල්හි සිත පෙරළා නොගත යුතු ය. ලාමක වූ ප්‍රතිවචන නොකිව යුතු ය. මෙත් සිතින් ම ක්‍රියා කළ යුතු යැයි අවවාද කෙරේ. මෙහි දී අසන්නාට පලදායක වන පරිදි කතා බස් කළ යුතු බව ද, කලට නොගැළපෙන, අසත්‍ය වූ, රළු වූ, අනර්ථකාරී වූ අන්දමින් කතා බස් නොකළ යුතු බව ද සැළකිය යුතු ය. භාෂාව නිසි ලෙස භාවිත කිරීමට, එමඟින් වඩාත් පැහැදිලි ව අර්ථ ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ වෙත පැවතියේ අපූර්ව හැකියාවකි. උපාලි ගෘහපති ජෛන ශ්‍රාවකයෙකි. බුදුරදුන් හමු වූ හෙතෙම කර්ම විපාක පිළිබඳ ව දිගින් දිගට ම උන්වහන්සේගෙන් කරුණු විමසුවේ ය. උන්වහන්සේ ද නැවත නැවතත් උපමා උදාහරණ දෙමින් දහම් දෙසූහ. ඔබ නැවත නැවතත් විමසන්නේ ඇයි දැයි අවසානයේ දී බුදුරදුන් උපාලි ගෘහපති වෙතින් ඇසූ විට ඔහු දුන් පිළිතුර, “වහන්ස, මම පළමු උපමාවෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු සිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණයන් අසනු කැමති වැ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කිව යුතු යැයි සිතීමි” යන්නයි.