Print this Article


මානසික හා ලාංකේය නිදහස

මානසික හා ලාංකේය නිදහස

බාධක විරහිතභාවය නිදහසයි. රටක් ලෙස පුද්ගලයෙකු ලෙස දියුණුව විෂයෙහි මෙය අත්‍යවශ්‍ය සාධකයකි. බුදු දහම විශේෂයෙන්ම මානසික නිදහස චින්තන නිදහස තුළින් යථාර්ථය දකින්නට මග පෙන්වන දර්ශනයකි. ඒ මන්දයත් නිදහසින් තොර යථාර්ථවාදි චින්තනයක් පහළ නොවන බැවිනි. ස්වඡන්දතාවක් ඇතිවීමට මානසික නිදහස අවශ්‍ය වේ.

බුදුරදුන් පහළවන කාලසීමාව තුළ භාරතයේ එවැනි තත්ත්වයක් නොතිබුණි. සියල්ල දෙවියන්ට බාරකරමින් දේවකැමැත්ත පින ලෙස අර්ථගන්වා තිබුණි. දේවකැමැත්ත ඉටු කිරීම නොකිරීම මත පිරිසිදුවීම හෝ අපිරිසුදුවීම තීරණය වූහ. මිහිපිට වෙසෙන මිනිසාගේ ස්වාමියා අන්කවරෙකු හෝ නොව නොපෙනෙන දෙවියෙකු ලෙස ඔවුහු විශ්වාස කළහ. මේ නිසාවෙන් දර්ශනයකට අවශ්‍ය කරන නිදහස නිවහල් චින්තනයක් එවක නොපැවතුනි. මෙවැනි පරිසරයක් තුළ බුදුරදුන් මහා චින්තන විප්ලවයක් වෙනසක් අතිකිරීමට සමත් වූහ. උන්වහන්සේ පුද්ගලයාට හා පුද්ගල ශක්තියට ලොකු වටිනාකමක් ඇති බව අවධාරණය කළහ. මිනිසාගේ ස්වාමියා මිනිසා මිස අන් කවරෙකුවත් නොවන බව දේශනා කළහ. ඒ තුළ ගුරුවරුන් පවා අත්හැර මනස දියුණු කර ලෝක යථා ස්වභාවය ඇති සැටියෙන් දැකීම හෙවත් යථාභූතඤාණය ලබාගත්හ.

මානසික නිදහස අහිමිවීම යහපත් හොඳ දේ ග්‍රහණය කරගැනීමට බාධාවකි. විශේෂයෙන් දෘෂ්ටිගතිකවීම මෙයට හේතුවකි. බ්‍රහ්මජාල සූත්‍රයට අනුවද බුදුරදුන් පහළවන කාල සීමා වේ භාරතය දෘෂ්ටි කලහයකි. හැමෝම පාහේ තමා දරන මතය දෘෂ්ටිය නිවැරදියැයි තර්ක කරමින් පසුවූහ. එවැනි දෘෂ්ටි 62 ක් අතර බුදුදහම තවත් දෘෂ්ටියක් නොවීමට උන්වහන්සේ වග බලා ගත්හ. දෘෂ්ටිගතිකවීම ඒ මත ගැටීම කලහ කිරීම ක්ලේස මාගන්ධිය සූත්‍රය පැහැදිලි කරයි. නිවැරැදි දේ නිවැරැදි ලෙස දැකීමටත් අයහපත දුරු කර හරවත් දේ ළඟාකර ගැනීමට දෘෂ්ටියෙන් ඉවත් විය යුතුය. එවිට මානසික, චින්තන නිදහස ඇතිවේ.

කුසල අකුසල සීමාව හඳුනාගෙන කටයුතු කිරීමට නිදහසම අත්‍යවශ්‍යය. කාලාම සූත්‍රයේදී බුදුරදුන් අවධාරණය කළේ මෙම තත්ත්වයයි. කවුරු කෙසේ කීවත් තම මනසින් නිදහස් නිවහල්ව පවතින තත්ත්වයන් කලමනාකරණය කර ගැනීම අවශ්‍ය වේ. හොඳ නරක තීරණය කිරීමේදී මානසික නිවහල් බව වුවමනා වේ.

බුදුරදුන් ශ්‍රේෂ්ඨ මඟ පෙන්වන්නෙක් පමණි “තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා” යන පාලි පාඨයෙන් එය මනාව පැහැදිලිය. මහණෙනි මම මග පෙන්වන්නෙකු පමණි. නුඹලා ක්‍රියා කරන්න” උන්වහන්සේගේ මඟපෙන්වීම ඉතා ශ්‍රේෂ්ඨය අරිය පරියේෂණ සූත්‍රය ඊට කදිම නිදසුනකි. සසර මා තුළින් බොහෝ අනාර්ය නොවැදගත් පර්යේෂණ සිදුවිණි. එහෙත් දැන් ආර්ය පර්යේෂණය මම සොයාගත් අතර නුඹලා එම මාර්ගයේ ගමන් කරන්න. යැයි උන්වහන්සේ නියම මග පැහැදිලි කළහ. එහි ගමන් කිරීමේ නිදහස හා වගකීම තම තමන්ගේ අවබෝධය මත සිදුවිය යුත්තකි බුදුරදුන් පෙන්වුයේ මඟ පමණි.

උපාලි , සච්චක වැනි සූත්‍ර චින්තන නිදහස මොනවට පැහැදිලි කරන්නකි. විශේෂයෙන්ම උපාලි ගෘහපතියා බුදුරදුන්ට වඩාම පැහැදෙන්නේ එම නිදහස මතය. එනම් තම ඉල්ලීම සම්බන්ධයෙන් නැවත, නැවත සිතන්න යැයි උපාලි අමතා බුදුරදුන් දේශනා කරයි. එසේම තමන් වහන්සේ සරණ ගියද ඔහු විසින් නිඝණ්ඨ ශාසනය විෂයෙහි කළ අනුග්‍රහයට බුදුහු බාධා නොකළහ.

බොහෝ ආගම්වල ස්වභාවය වන්නේ ශාස්තෘවරයා ප්‍රශ්න කිරීමට හෝ සැකකිරීමට නොහැකි වීමය. එහිදී ඔවුන් උදහස්වන අතර පාපයන් සිදුවේ යැයි අනුගාමිකයන් තුළ අනියත බියක් ඇතිකර ඇත. ඒ මගින් කළ මතවාද සම්බන්ධයෙන් තම අනුගාමිකයන් තුළ භක්තියක් ඇති කරයි . එනම් බියමත විශ්වාසයක් ගොඩනැගීමයි. බුදු දහම ඊට හාත්පසින් වෙනස්ව අවබෝධය මත විශ්වාස ගොඩනගයි. මහාවේඛනස්ස සූත්‍රය ඒ බව අවධාරණය කරයි. ධර්මය පමණක් නොව තමන් වහන්සේද ප්‍රශ්න කිරීමට ශ්‍රාවකයන්ට අනුගාමීකයන්ට හැකියාව ඇත. වීමංසන සූත්‍රයේදී බෞද්ධයාට එම අයිතිය ලබාදී ඇත. එමෙන්ම බුදුරදුන් සම්මා සම්බුද්ධද භික්ෂූන් වහන්සේ සුපටිපන්නද විමසිය හැකි බව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අවධාරණය කර ඇත. මේ කාරණාවන් තුළින් පුද්ගල චින්තනයට බුදුදහම ලබාදෙන නිදහස කෙතරම් ද යන්න පැහැදිලි වේ.

ධර්මය වුවද බැබැළීමට පත්වනුයේ විවෘත වූ තරමටය. ඒ හෙයින් ප්‍රශ්න කරමින් එය විමසීමට කිසිදු බාධාවක් නැත. ධර්මය ලෝක යථාර්ථය තේරුම් ගැනීමේදී මනසට ලැබෙන කාර්යභාරය බුදු දහම ඉතා ඉහළින් අගය කරයි. මහාවේදල්ල සූත්‍රයේදී අවධාරණය වන්නේ පරතෝඝෝෂ ප්‍රත්‍ය හෙවත් ධර්මය අවබෝධවීම සඳහා යෝනිසෝමනසිකාරය අවශ්‍ය බවය. කෙතෙක් ධර්මය ජීවමාන වුවද යෝනිසෝ මනසිකාරය හෙවත් මනාසිහිබුද්ධිය නැතිනම් එය අවබෝධ කර ගැනීම අපහසු බවය. විවේක බුද්ධියේ බලපෑම සත්‍ය අවබෝධයට කොතරම් දුරට බලපාන්නේද යන වග මෙයින් අවබෝධ වේ.

කිසිවක් දැඩිව අල්වා ගැනීම ධර්මයට එකඟ නොවේ. දැඩිව අල්වා ගැනීම මානසික නිදහසට බාධාවකි. ධර්මය පවා ආධානග්‍රාහීව අල්වා නොගත යුතුය. අලගද්ධූපම සුත්‍රයේද පැහැදිලි කරනුයේ එසේ වැරදියට ධර්මය අල්වාගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්වා ගැනීමක් බඳු භයානක ක්‍රියාවක් බවය. එසේම එහිදීම ධර්මය පහුරකට උපමා කරනුයේ ධර්මය එගොඩ වීමට මිස කරතියාගෙන යාමට නොවන බව පසක්කර දීම සඳහාය. ආධ්‍යාත්මික ලෝකය ජයග්‍රහණය කිරීම සඳහා මෙන්ම භෞතික ලෝකය ජයග්‍රහණය කිරීම සඳහාද නිදහස අත්‍යවශ්‍ය සාධකයක් බව බුදුදහම අවධාරණය කරයි.

තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව නිදහස අගය කරන එවන් ධර්මයක පහස ලැබීමට තරම් ශී‍්‍ර ලංකාව භාග්‍ය සම්පන්න විය. රටක් ලෙස සංස්කෘතික සාමාජීය,දේශපාලනික ආගමික යම් පුනරුදයක් ලැබී ඇත්නම් එය මෙම නිදහස් නිවහල් චින්තනය නිසාවෙනි. විදේශිකයන්ට අප මාතෘ භුමිය යටත්වූ සෑම කාලසීමාවක වගේම ව්‍යසනයන්ට ගොදුරුවූ විට ඊට එරෙහිව පළමුකොට භික්ෂුව සහ බෞද්ධයා නැඟී සිටින්නේ බුදුදහම තුළ පවතින සුවිශේෂි බව නිසාවෙනි. 1815 වසරේදී ඉංගී‍්‍රසින්ට රට සම්පූර්ණයෙන්ම යටත්වන අවස්ථාවේදී පවා වාරියපොල සුමංගල නා හිමියන් ඊට එරෙහිව තම හඬ අවධි කළේය. යටත්වීමෙන් පසු කාල සීමාව තුළ පවා ඉහගමරතනපාල, කපුලියද්දේ උන්නාන්සේ ඇතුළු භික්ෂූන් අමතක කල නොහැකිය.

පැල්මඩුල්ලේ ත්‍රිපිටක සජ්ඣායනාව මෙන්ම විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් බිහිකිරීම තුළ උකටලීව සිටි ජනයා ප්‍රබෝධයට පත්කිරීමට බෞද්ධ චින්තනය සමත් වූහ.

එහිදී රත්මලානේ ධර්මාරාමනා හිමි, බුලත්ගම ධම්මාලකාර, පොතුවිල ඉන්දජෝති බත්තරමුල්ලේ සුභූති යන නා හිමිවරුන් ප්‍රමුඛය. නිදහස් ලංකාව බිහිකිරීමට විශාල ලෙස සහයෝගය දැක්වූ 1880 දී ලංකාවට ඕල්කට්තුමා සැපත් වනුයේද 1873 වසරේදී සිදුවූ පානදුරාවාදය අධ්‍යයනය කිරීම තුළිනි.

නිදහස් සටන වෙනුවෙන් පවා මනා දායකත්වය දැක්වූ අනගාරික ධර්මපාල , වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි විරුවන් පෝෂණ වන්නේ බෞද්ධ චින්තනයෙහි ඔවුන් තුළ ඇති එම නිදහස් චින්තනය තුළිනි. නිදහස නොමැතිවීම තුළ රටට සිදුවන සංස්කෘතික ආගමික හානිය බෞද්ධයාට දැනෙනු යේ බෞද්ධ දර්ශනය තුළ පවතින නිදහස හේතුවෙනි.

වැරැද්ද වැරැද්ද ලෙසත් එය අන්‍යයන්ට අවබෝධ කරදීමට තරම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද ,කුඩාපොල වැනි හිමිවරුන් පෙළඹෙන්නේද බුදුදහම තුළින් ඇතිකරගත් නිදහස් චින්තනය තුළිනි. තමාට නොලැබෙන දෙයට වඩා රටට හිමිවන දැ සම්බන්ධයෙන් දැවැන්ත පූර්වාදර්ශය සැපවූයේ අප ගෞතම බුදුරදුන්ය.

බුද්ධ පුත්‍රයන් මෙන්ම ධර්මයෙන් පෝෂණය වූ ගිහියාද එවැනි කැපකිරීම් ඉතිහාසය පුරාවට සිදු කර ඇත. බුදු දහම පුද්ගල මානසික නිදහසට මෙන්ම රාජ්‍ය නිදහසට කෙතරම් බලපෑම් කර ඇද්දැයි අවබෝධ කර ගැනීම සඳහා 1948 පෙබරවාරි 04 දින ඉංගී‍්‍රසින්ගෙන් නිදහස ලබන අප රට කදිම නිදසුනකි.