Print this Article


සැලසුම් කර ගත යුතු ජීවිතය

සැලසුම් කර ගත යුතු ජීවිතය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සිදුවු සිදුවීමක් අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පාඨයක් සඳහන් වෙන කරුණක් සිහියට නැඟෙනවා. එම දහම් පාඨයෙන් කියැවෙන්නේ තරුණ කාලයේ හරිහම්බ කිරීම් කරන්නේ නැතුව තමන් ධනය උපයන්නේ නැතිව,අධ්‍යාපනික වශයෙන් දැනුම දියුණු කරගන්නේ නැතිව නිස්කාරණ ජීවිතය ගත කරපු අයට තමන්ගේ ජීවිතය සකස් කරගන්න ක්‍රමයක් ලැබෙන්නේ නැහැ කියලා කියන එකයි. මෙම දේශනාවට මූලික වුනේ බුද්ධ කාලයේ හිටපු මහ ධන සිටුවරයා ගේ පුත්‍රයා පිළිබඳව කතා පුවතයි. මිල මුදල් යහමින් තිබුණ පුද්ගලයකු බරණැස්නුවර ජීවත් වුණා. එකල සමාජය තුළ ධනය වැඩිපුරම තිබුණ පිරිස සිටුවරු නමින් හැඳින්වුණා. සිටුවරයා කියලා කියන්නේ මිල මුදල් යහමින් තිබුණ බවයි. මේ සිටුවරයාට විශාල ධනයක් තිබුණ නිසා මහා ධන සිටුවරයා කියන නමින් මොහු ප්‍රසිද්ධ වුණා. මහා ධන සිටුවරයා කියූ පමණින් බරණැස්නුවර සිටින සෑම පුද්ගලයකු ඔහු හඳුනනවා. මේ මහා ධන සිටුවරයාට දරුවන් ලෙස එකම පුත්‍රයෙක් හිටියා. සිටුවරයා සතු සියලුම ධනයට අයිතිවාසිකම් කියන්න එකම උරුමක්කාරයා වුණෙත් මේ පුත්‍රයායි.

මිල මුදල් විශාල වශයෙන් තිබුණ නිසාම දෙමව්පියන් කල්පනා කළා මෙතරම් ධනයක් මිල මුදලක් තියෙද්දීත් මේ තිබෙන සියලුම වස්තු තියෙන්නේත් මේ පුත්‍රයාටම නිසා . ඔහු අධ්‍යාපනයට යොමු කරන්න අවශ්‍ය නැති බවට. මොහුට සතුව මිල මුදල් වස්තු තිබෙන නිසා ඔහුට උගත්කම් අවශ්‍ය නැති බවත්, අලුතෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම අවශ්‍ය නැති බවත්ය. එසේ කල්පනා කළ මෙම දෙමාපියන් මේ දරුවාට ඉගැන්වීම් කළේ නැහැ. අධ්‍යාපනය තුළින් සමාජය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබීමත් සමාජයේ ජීවත්වන මිනිස්සු කවුද? කොහොමද ? කියලා දැන හඳුනාගන්න හැකියාව ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. මිනිසුන් සමඟ ජීවත්වන ආකාරය, පිළිවෙළ ඉගෙන ගන්නේ තේරුම් බේරුම් කරගන්නේ අධ්‍යාපනය තුළින්. මේ තරුණ දරුවාට ඒ මොනවත් දේවල් නොලැබුණේ ඔහු ඉගෙන ගත්තේ නැති නිසා.

මේ තරුණ පුද්ගලයාට මිල මුදල් විශාල වශයෙන් තිබුණ නිසා සෙල්ලම් කරමින්, නැටුම් නටමින්, ලී කෙළි සෙල්ලම් කරමින් නර්තනය බලමින් සුරාධූර්ත වෙමින්, ඉත්ති ධූර්ත වෙමින් ජීවත් වුණා. අධ්‍යාපනය නොලබපු මොහු ජීවිතයේ තෘප්තිය ලෙසත්, ජීවිතයේ සතුට ලෙසත් දකිනු ලැබූයේ එවැනි ක්‍රියාවන් පමණයි. පියාට අසුකෙළක් ධනය තිබුණු නිසාම මේ පුත්‍රයා තමනට අවශ්‍ය පරිදි සල්ලිය භාගය අවශ්‍ය ආකාරයට වියදම් කරන්න පටන් ගත්තා. හිතුන, හිතුන දේවල් කරමින් ලැබුණ. ලැබුණ ආකාරයට ජීවත් වුණා මිස, අනාගතය පිළිබඳව හිතුවෙ නැහැ.මොහු තරුණ වියට එළඹුණාට පසුව දෙමව්පියන් කල්පනා කළා මේ සියලුම ධනයට හිමිකම් කියන මේ දරුවා තනිකඩව නොතිබිය යුතු බව. ඒ නිසා සුදුසු විවාහයක් කරදිය යුතු බව තීරණය කළා. ඔහු පිළිබඳව මේ ආකාරයට සිතපු දෙමව්පියන් මිල මුදල් යහමින් තිබෙන තරුණියක් පිළිබඳව මංගල යෝජනා සොයන්න පටන් ගත්තා. තමන්ගේ පුතාට සුදුසු සහකාරියක් සොයා දිය යුතු බව තීරණය කරමින් සොයාගෙන යන විට අසු කෙළක් ධනය තිබෙන දෙමව්පිය යුවළකට දාව උපන්න තරුණියක් හමුවුණා. මේ දෙපළ පිළිබඳව සාකච්ඡා කරල දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි මේ දෙදෙනා විවාහ කර දුන්නා. කුමරියගේ පාර්ශ්වයේ දායාදය ලෙස කහවනු අසූ කෝටියක් ලබාදුන්න අතර කුමාරයාගේ පාර්ශ්වයෙන් කහවනු අසූකෝටියක් ලබාදුන්නා. මේ තරම් ධනයක් තිබෙන මේ දෙදෙනා විවාහයට පත්වෙලා විවාහ ජීවිතය සතුටින් ගත කළා. විවාහ ජීවිතය සතුටින් ගතකරනවා ය කියලා මේ දෙදෙනා කළේ නැටුම්, ගැයුම්, වැයුම්වලට මුදල් වියදම් කළ එක. නැටුම්, ගැයුම් වැයුම් තිබෙන ස්ථාන සොයාගෙන යමින් ඒ දෙදෙනා කාලය ගත කළා. මේ ආකාරයෙන් කාලයක් ගත වන විට මේ දෙදෙනා තුළ තිබුණ සියලු ධනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා. මුදල් ඉවරවුණා. දෙදෙනාගේ කෑම බීම වියදම පවා බොහොම අපහසුවෙන් කරගෙන ගියා. ඒක ඒ දෙදෙනා නැටුම්, ගැයුම්, වැයුම්වලට ලොල්වෙලා හිටිය නිසා ඒවාටම යෙදිලා මුදල් වියහියදම් කළා. එකම දෙය නැවත නැවත කරනවා නම්, එකම දෙය නැවත නැවත කරන සිදුවීම ඇබ්බැහිවීමක් ලෙස හඳුන්වනවා. සමහරු පින්දහම් කරන්න ඇබ්බැහි වෙනවා. සමහරු අකුසල කර්ම කරන්න ඇබ්බැහි වෙනවා. සමහරු අයහපත් ක්‍රියා කරන්න ඇබ්බැහි වෙනවා. සාමාන්‍ය මිනිසාගේ ස්වභාවය යහපත් දෙයත් අයහපත් දෙයත් කරනු ලැබීමයි. යම් දෙයකට ඇබ්බැහි වු පුද්ගලයකු එසේ නොවන අතරම එම ඇබ්බැහියාව නැවත නැවතද කරගෙන යනු ලබයි. මේ දෙදෙනෙක් අනාගතය පිළිබඳව සිතමින් මුදල් හදල් කළමනාකරණය කරලා ඉතිරි කරගන්නවාට වඩා ඔවුන් එදාවේල කාල බීල සතුටින් ජීවත් වුණා. ඒ නිසාම ඔවුන් දෙදෙනො සතුව තිබු මුදල් ඉක්මනින්ම ඉවර වුණා. අවසානයේ මේ දෙදෙනා හිඟමනට වැටුණා. ඉන් පසු දෙදෙනාම සමඟියෙන් සාමයෙන් හිඟාකන්න පටන් ගත්තා. දෙදෙනා අතර අදහස් පෑහෙන නිසාම දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වුණේ නැහැ. එක දවසක් මේ දෙදෙනා හිඟාකමින් පන්සලට අවා. හිඟමන් ඉල්ලාගෙන පන්සලට පැමිණි පසු පන්සලේ වැඩ සිටි පොඩි හාමුදුරුවන් දානයට ලැබුණ රසකැවිලි වර්ග මේ හිඟන යුවළට දුන්නා. පොඩි හාමුදුරුවරු දුන් රසකැවිලි වර්ග කමින් බීම වර්ග බොමින් හරිම සතුටෙන් මේ දෙදෙනා කාලය ගත කළා.

බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක්කත් මේ දෙදෙනා හිඟමනට වැටුණේ කොහොමද කියලා පොඩි හාමුදුරුවරු දන්නේ නැහැ.මේ අයගේ ජීවිතවල තිබුණ දුර්වලතාවය කුමක්ද ? කියලා උන්වහන්සේලා දන්නේ නැහැ. එහෙම සෙවීමට පොඩි හාමුදුරුවන්ට අවශ්‍යතාවයකුත් නැහැ. හිඟමන් ඉල්ලාගෙන එන හිඟන ජෝඩුවට ආහාර පානයෙන් සංග්‍රහ කර පොඩි හාමුදුරුවන් සතුටු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම වෙනත් ආකාරයකට දකිනු ලැබුවා. මේ තරම් ධනයක් තිබුණ මේ දෙපළ හිඟමනට වැටිල තිබෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දැක්කා. මිල මුදල් නිවැරැදිව පරිහරණය කරන ආකාරය දන්නේ නැහැ. එනිසා මොවුන් හිඟමනට වැටුණා. “බුදුරජාණන් වහන්සේ මෙම කාරණය නිමිති කරගෙන ධර්ම පණිවුඩයක් දේශනා කරනු ලැබුවා”. අනුවණ මිනිස්සු තරුණ කාලය තුළ බඹසර රකින්නේ නැතිව තමන් හරිහම්බ කරගත්ත ධනය ආරක්ෂා කරගන්නේ නැතිව මහලු බවට පත්වුණාට පසුව බොහෝ දුක්විඳින බව වර්තමාන සමාජය තුළ වුණත් වයසට ගිය මහලු බවට පත්වුණු බොහෝ පිරිස් ඉන්න හිටින්න තැන් නැතිව වැඩිහිටි නිවාසවල ජීවත්වෙනවා. දරුවන් නොසලකන බවට බැලූ බැල්මට චෝදනා කරනු ලැබුවත් ඒවාට හේතු කාරණා තියෙනවා. ඒ ඒ අයගේ ජීවිත තුළ තිබුණ පුංචි පුංචි දුබලතා හෙවත් දුර්වලතා තමයි අද මෙබඳු ඛේදවාචකයකට පත්වෙලා තිබෙන්නේ කියන බවට ඔවුන්ගේ ජීවිත කතා සිදුවීම් දෙස විමසන විට පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. තමන්ට හැකි කාලය තුළ ධාර්මිකව හරි හම්බ කළ යුතුයි. ඒවා සමාජයට හානියක්, විපතක් කරන්නේ නැතිව තමන් හම්බ කළ ධනය අනාගතයේදි තමන්ට පරිහරණය කිරීම සඳහා ඉතුරු කරගත යුතුයි. එය ජීවිතය සැලසුම් කරමින් ජීවිතය සකස්කිරීමක්. ඒ ආකාරයට කටයුතු කරන්නේ නැති අයගේ ජීවිතය අවුල් සහගතව අපිළිවෙළ වෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් එය හරියට මහා ධන සිටු පුත්‍රයාගේ ජීවිතයේ අවසාන කාලය වගේයි.